මානව හිමිකම් ගැන ‘බිඩෙන්ගෙන් සෞදිරජුට’ සිහිකැදවීමක්

ජගත් මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳව එක්සත් ජනපදය වැදගත් ස්ථානයක් දෙන බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සෞදි අරාබි බලධාරීන්ට දැඩිව දැනුම්දුන් බව ධවල මන්දිරය පවසයි.

එම දැනුම්දීම සිදුකරනු ලැබ තිබෙන්නේ ජනාධිපති ජෝ බයිඩන් දෙරට අතර සබඳතා නව අදියරක් කරා ගෙන යාමේ අභිප්‍රායයෙන් එක්සත් ජනපදයේ මැදපෙරදිග පැරණි සගයා වන සෞදි අරාබියේ සල්මන් රජතුමා සමඟ පවත්වන ලද දුරකථන සාකච්ඡාවකදීය.

ජනාධිපති බයිඩන් එම දුරකථන සංවාදයේ නිරත වූයේ සෞදි අරාබියානු මාධ්‍යවේදී ජමාල් කෂෝඝි ඝාතනයට අදාළව ඉදිරිපත්වීමට නියමිතව ඇති එක්සත් ජනපද වාර්තාවක් කියවනු ලැබීමෙන් පසුව බවත් වාර්තා වෙයි.

ඉතා ඉක්මණින් නිකුත් කරනු ලැබීමට නියමිතව ඇති එම වාර්තාව අනුව, කෂෝඝි මාධ්‍යවේදියා මරාදමනු ලැබීම සම්බන්ධයෙන් සෞදි අරාබි රජු පුත් ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මන් කුමරුන්ගේ නමත් ගෑවී ඇතැයි සැලකෙයි.

ජනාධිපති බයිඩන්ගේ පූර්වප්‍රාප්තිකයාව සිටි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෞදි අරාබිය සමඟ පවත්වා ගෙනයන ලද්දේ කිට්ටු සම්බන්ධතාවකි.

කඝෝෂි ඝාතනයට අදාළ වාර්තාව රහස්‍ය නොවන මට්ටමින් නිකුත්කරනු ලැබීමේ නෛතික අවශ්‍යතාව ප්‍රතික්‍ෂේප කරමින් ජනාධිපති ට්‍රම්ප් පරිපාලනය විසින් ඒ වෙනුවට අනුගමනය කරන ලද්දේ සෞදි අරාබිය සමඟ සහයෝගීතාව වර්ධනය කරගනු ලැබීමේ පිළිවෙතකි.

එහෙත් සෞදි අරාබියේ යම් නිශ්චිත ස්ථාවරයන් සම්බන්ධයෙන් වඩාත් දැඩි පිළිවෙතක් අනුගමනය කිරීම බයිඩන් පාලනයේ අරමුණ වී ඇත.

2018 වසරේ දී තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ සෞදි කොන්සියුලර් කාර්යාලය තුළ දී මරාදමන ලද මාධ්‍යවේදී ජමාල් කඝෝෂි ගේ සිරුර කපාකොටා විනාශකොට සඟවනු ලැබිණි. එම ඝාතනයට තමා හවුල්බවට නැගෙන විවේචන සෞදි ඔටුන්න හිමි සල්මන් කුමරු විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

කඝෝෂි නැවත සෞදි අරාබියට ගෙන ඒමේ ”කුරිරු මෙහෙයුමක්” සඳහා යවන ලද ඒජන්තයන් කණ්ඩායමක් විසින් ඔහු ඝාතනය කරන ලද බවට සෞදි බලධාරීහු චෝදනා කරති. එම චෝදනා සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියට පමුණුවන ලද චූදිතයන් පස්දෙනකුට ආරම්භක තීන්දුවේ දී මරණීය දණ්ඩනය නියමකරන ලද නමුත් පසුව එය වසර විස්ස බැගින් බල පැවැත්වෙන සිර දඬුවම් බවට පත්කෙරිණ.

මොහමඩ් බින් සල්මාන් කුමරු (වමේ)
,මොහමඩ් බින් සල්මාන් කුමරු (වමේ)

බයිඩන් සැබැවින්ම කියාසිටියේ කුමක්ද?

ධවල මන්දිර ප්‍රකාශනයෙහි කිසිදු තැනක ජමාල් කඝෝෂි ගැන සඳහන් නොවෙයි. එහෙත් එහි මෙසේ දැක්වෙයි.

”සෞදි අරාබි බලධාරීන් විසින් සෞදි-ඇමෙරිකානු ක්‍රියාකාරිකයන් කීපදෙනෙක් නිදහස් කරනු ලැබීම සාධනීය පියවරක් ලෙස ජනාධිපතිවරයා සලකයි. එසේම, ලුයේන් අල්-හත්ලූල් (Loujain al-Hathloul) අත්අඩංගුවෙන් මුදාහරිනු ලැබීමත්. විශ්ව මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යය අතින් ඇමෙරිකා එක්සත් ජනපදයට හිමි තත්ත්වයේ වැදගත්භාවය ජනාධිපතිවරයා විසින් අවධාරණය කරනු ලබන්නේය”

සෞදි අරාබි ජාතික ලුයේන් අල්-හත්ලූල් (Loujain al-Hathloul) සෞදි අරාබි කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන් සටන්කරන ක්‍රියාකාරිනියකි. අවුරුදු තුනකට ආසන්න කාලයක් රඳවාගෙන සිටි එම කාන්තාව මුදාහරින ලද්දේ මේ මාසයේය. එහෙත් ඇයට සංචාරක තහංචියක් බල පැවැත්වෙයි. එපමණක් නොව, මාධ්‍යයට අදහස් පළකරනු ලැබීමද තහනම් කරනු ලැබ ඇත.

මුදාහරින ලද ක්‍රියාකාරිනියගේ පවුල ඇය වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටියි.

ජනාධිපති බයිඩන් සහ සල්මන් රජතුමා එක්සත් ජනපදය සහ සෞදි අරාබිය අතර පවත්වා ගනිමින් ඇති දිගුකාලීන සම්බන්ධය ගැන අදහස් හුවමාරු කරගත් අතර, ඉරානයට අවනත කණ්ඩායම්වලින් සෞදි අරාබියට එල්ලවෙමින් ඇති තර්ජන පිළිබඳවත් අවධානය යොමුකර ඇත.

”ශක්තිමත් සහ හැකිතාක් විනිවිදභාවයෙන් යුතුව ද්විපාර්ශ්වීය සබඳතා පවත්වා ගැනීමට ක්‍රියාත්මක වෙන බව ජනාධිපතිවරයා සල්මන් රජතුමාට ප්‍රකාශ කළා” ධවල මන්දිර ප්‍රකාශනයේ දැක්වෙයි.

”නායකයන් දෙදෙනාම දෙරට අතර ඓතිහාසික සම්බන්ධතාව තහවුරු කරමින් අදහස් පළකළා. එසේම දෙරටේ අභිලාෂයන් සහ අන්‍යෝන්‍ය වශයෙන් බලපැවැත්වෙන කාරණාවන්හි දී එකමුතුව වැඩ කිරීමටත් එකඟ වුණා.” එම ප්‍රකාශනය වැඩිදුරටත් සඳහන් කරයි.

2018 වසරේ දී තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ සෞදි කොන්සියුලර් කාර්යාලය තුළ දී මරාදමන ලද මාධ්‍යවේදී ජමාල් කඝෝෂි ගේ සිරුර කපාකොටා විනාශකොට සඟවනු ලැබුණි.
2018 වසරේ දී තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ සෞදි කොන්සියුලර් කාර්යාලය තුළ දී මරාදමන ලද මාධ්‍යවේදී ජමාල් කඝෝෂි ගේ සිරුර කපාකොටා විනාශකොට සඟවනු ලැබුණි.

කවුද මේ ජමාල් කෂෝගි?

ජමාල් කෂෝගි යනු සෞදි පුවත් ආයතන කිහිපයක් වෙනුවෙන් ප්‍රබල පුවත් ආවරණය කළ ප්‍රකට මාධ්‍යවේදියෙකි.

ඔහු සෞදි රජයේ උපදේශකයෙකු ලෙස ද සේවය කර ඇති අතර, පසුකාලීනව රජයේ උදහසට ලක් විය.

පසුව ඔහු ඇමෙරිකාවට ගොස් ‘වොෂිංටන් පෝස්ට්’ (Washington Post) පුවත්පතේ මාසික තීරු ලිපියක් පළ කළේ ය.

ජනාධිපති ට්‍රම්ප්, කඝෝෂි ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති සෞදි ඔටුන්න හිමි සල්මන් කුමරුන් සමඟ
ජනාධිපති ට්‍රම්ප්, කඝෝෂි ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති සෞදි ඔටුන්න හිමි සල්මන් කුමරුන් සමඟ

Text by – bbc

Recommended For You

About the Author: Thusal