අවුං සාන් සූ චී අධිකරණයේ: තවත් චෝදනා එකතු වෙයි

මියන්මාරයේ අවුං සාන් සූ චී, වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණය ඉදිරියේ පෙනී සිටි අතර එරට පාලනය හමුදාව අතට පත්වීමෙන් අනතුරුව ඇය දැකගන්නට ලැබුණේ ප්‍රථම වතාවටය.

බලයෙන් පහ කරනු ලැබූ නායිකාව වන අවුං සාන් සූ චී “යහපත් සෞඛ්‍ය තත්ත්වයකින්” පසුවන බව පෙනෙන්නට තිබුණි.

පෙබරවාරි පළමු වැනිදා සිදුවූ හමුදා කුමන්ත්‍රණයෙන් පසුව අත්අඩංගුවට ගැනුණු ඇයට එරෙහිව නව චෝදනා දෙකක් නිවේදනය කෙරුණි.

මේ අතරතුර, ඉරිදා (පෙබරවාරි 28) නැවතත් උද්ඝෝෂකයෝ වීදි බැස සිටියහ. හමුදා කුමන්ත්‍රණයෙන් පසුව පැවති දරුණුතම විරෝධතාව එය වූ අතර 18 දෙනෙක් මිය ගියහ.

මෙම මරණ සිදුවූයේ හමුදාව සහ පොලිසිය විසින් විරෝධතාකරුවන් වෙත වෙඩි ප්‍රහාර එල්ල කරනු ලැබීම හේතුවෙනි.

නමුත් එම ප්‍රතිචාරයෙන් පසුබට නොවූ උද්ඝෝෂකයන් ඉල්ලා සිටියේ ජනතාව විසින් තෝරා පත්කර ගනු ලැබූ ආණ්ඩුව යළි පිහිටුවා අවුං සාන් සූ චී සහ ඇයගේ දේශපාලන පක්ෂයේ නායකයන් නිදහස් කළ යුතු බවය.

පසුගිය නොවැම්බරයේ පැවති මහ මැතිවරණය වංචාකර ඇති බවට චෝදනා එල්ලවී ඇති බැවින් තමන් බලය අත්පත් කරගත් බව මියන්මාරයේ හමුදාව පවසයි. එම මැතිවරණයේ නිල ප්‍රතිඵලවලට අනුව අවුං සාන් සූ චී ගේ NLD පක්ෂය (ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගය) විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකරගෙන තිබුණි.

එකී චෝදනා සඳහා සාක්ෂි ඉදිරිපත් කර නොමැති නමුත් මැතිවරණ කොමිසම ප්‍රතිස්ථාපනය කෙරුණු අතර වසරකින් නව මැතිවරණයක් ලබාදෙන බවට හමුදාව ප්‍රතිඥා දී ඇත.

අවුං සාන් සූ චී හිටියේ කොහේද?

EPA

පෙබරවාරි පළමුවැනිදා හමුදා කුමන්ත්‍රණය සිදු වීමෙන් අනතුරුව අද දක්වා, 75 හැවිරිදි අවුං සාන් සූ චී ප්‍රසිද්ධියේ පෙනී සිටියේ නැත. ඇය අද (මාර්තු 01) අගනුවර අධිකරණය ඉදිරියේ පෙනී සිටියේ වීඩියෝ සම්බන්ධතාවක් ඔස්සේ ය.

පසුගිය මාසය පුරා ඇය රඳවාගෙන සිටි ස්ථානය තවමත් පැහැදිලි නැත. නමුත් ඇතැම් වාර්තා සඳහන් කරන්නේ අගනුවර පිහිටි ඇයගේ නිවස තුළ ඇය රඳවා සිටි අතර පසුව වෙනත් රහසිගත ස්ථානයකට රැගෙන ගොස් ඇති බවය.

මූලිකව ඇයට එරෙහිව චෝදනා දෙකක් ඉදිරිපත් වී තිබුණි. නීතිවිරෝධී ලෙස වෝකි ටෝකි යන්ත්‍ර (කුඩා ගුවන්විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍ර) ආනයනය කිරීම සහ මියන්මාරයේ ස්වභාවික ආපදා නීතිය උල්ලංඝනය කිරීම එම චෝදනා ද්විත්වය වේ.

අද, සඳුදා තවත් චෝදනා ඊට එක් විය. මැතිවරණ සමයේ දී කොවිඩ් 19 නීති උල්ලංඝනය කිරීමත්, “බිය සහ චකිතය” ඇති කිරීමත් එම නව චෝදනා අතර වේ.

Getty Images

කලින් ඉදිරිපත් කර තිබූ මූලික චෝදනා සඳහා වසර තුනක් දක්වා වූ සිර දඬුවමක් පැනවිය හැකිය. අලුතින් ඉදිරිපත් කර ඇති චෝදනා සඳහා පැනවිය හැකි දඬුවම කුමක්දැයි තවමත් පැහැදිලි නැත. නමුත් එම චෝදනා සඳහා වරදකාරිය වුවහොත් ඉදිරියේ පැවැත්වෙන මැතිවරණවලට තරඟ කිරීම ඇයට තහනම් විය හැකිය.

මෙම නඩු විභාගය මාර්තු 15 වැනිදාට කල් තැබුණි.

බලයෙන් පහ කරනු ලැබ ඇති මියන්මාර ජනාධිපති වින් මයින්ට් ට එරෙහිව ද දණ්ඩ නීති සංග්‍රහයට අනුව චෝදනා ගොනු කර ඇති බව Myanmar Now පුවත් සේවය වාර්තා කර තිබුණි. අවුං සාන් සූ චී ගේ ප්‍රධාන ආධාරකරුවෙකු වන ඔහුට පවතින චෝදනාව නම්, ඉහත කී වැරදිවලට අනුබල දීමයි.

අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව අවුං සාන් සූ චී ගේ ජනප්‍රියත්වය මියන්මාරය තුළ එකවරම ඉහළ ගියේය. නමුත් ඇය කෙරෙහි ජාත්‍යන්තර වශයෙන් තිබූ ජනප්‍රියත්වය තවමත් දුර්වර්ණව පවතින්නේ, රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාවට එරෙහිව දියත්වූ බවට පැවසෙන ජන සංහාරය නොදැක්කා සේ සිටි බවට එල්ල වන චෝදනා හේතුවෙනි.

දැන් සිදුවන්නේ මොනවාද?

Getty Images

රටේ නගර කීපයකම උද්ඝෝෂණ දියත්වී ඇත.

AFP පුවත් සේවය වාර්තා කර තිබුණේ වෙඩි ප්‍රහාරයක් එල්ල වෙද්දී නිරායුධ උද්ඝෝෂකයන් පිරිසක් පලා යන ආකාරය දුටු බවය. මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත්තේ ජීව උණ්ඩ යොදා ගනිමින් ද? නැතහොත් රබර් උණ්ඩ යොදා ගනිමින්ද? යන්න තවමත් පැහැදිලි නැත.

එම පුවත් සේවය තවදුරටත් වාර්තා කර තිබුණේ, යැන්ගොන් නගරයේ මාර්ග බාධක ඇතිකිරීම සඳහා උද්ඝෝෂකයන් විසින් උනබට, ගස් කඳන් වැනි දෑ යොදා ගනු ලැබ තිබූ බවය.

වීදිබට ජනතාවට එරෙහිව කඳුළු ගෑස් එල්ලකරනු ලබන ආකාරය දැක්වෙන ඡායාරූප ද පළ කර තිබුණි.

පසුගිය මාසයේ ඇරඹි විරෝධතා හේතුවෙන් මේ දක්වා අවම වශයෙන් 21 දෙනෙකුවත් මිය ගොස් ඇත.

මෙහි සංදර්භය කුමක් ද?

ජෙනරාල් මින් අවුන්ග් ලයිඞ්
ජෙනරාල් මින් අවුන්ග් ලයිඞ්

පෙබරවාරි පළමුවැනිදා මියන්මාරයේ පාලන බලය හමුදාව අත්පත් කර ගත්තේය. හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරුණි. රටේ සියලු බලතල ජෙනරාල් මින් අවුන්ග් ලයිඞ් ට පවරන ලදී.

දින කීපයකට පසුව, ජනතා විරෝධයක් මතු වන්නට විය. හමුදා කුමන්ත්‍රණයට විරෝධය පෑමක් වශයෙන් රටේ වෘත්තිකයෝ සේවයට වාර්තා කිරීම ප්‍රතික්‍ෂේප කළහ.

ජන රැල්ල කඩිනමින් ශක්තිමත් වන්නට පටන් ගත්තේය. දහස් ගණනින් ජනතාව වීදි බසින්නට වැඩි දවසක් ගත නොවීය.

මෑතක දියත් වූ විරෝධතාවලදී පොලිසිය සහ ජනතාව අතර ගැටුම් උත්සන්න විය. සති අන්තයේ පැවති විරෝධතා වලදී යටත් පිරිසෙයින් 18 දෙනෙකුවත් ජීවිතක්ෂයට පත් වුහ.

text by – bbc

Recommended For You

About the Author: Thusal