‘ඇන්ටික් කඩයක මරණයක්’ සමඟ හඳගම යළි වේදිකාවට

1989 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම ස්වතන්ත්‍ර‍ නාට්‍ය ලෙස සම්මානයට පාත්‍ර‍ වූ මාඝාත නාට්‍යය නිර්මාණය කිරීමෙන් පසු වේදිකාවෙන් බැහැරව සිටි ප්‍ර‍වීණ සිනමාවේදී අශෝක හඳගම නැවතත් ඇන්ටික් කඩයක මරණයක් සමඟ වේදිකාවට ගොඩවෙයි.

ඇන්ටික් කඩයක මරණයක් නාට්‍යයේ මංගල දර්ශන පෙළ මාර්තු මස 19, 20, 21 දිනවල සවස 7ට කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී රඟ දැක්වේ. කොරෝනා අර්බුදය හමුවේ අකර්මන්‍යව පැවති වේදිකා නාට්‍යයට නැවත ජීවය දෙන්නට හඳගමගේ මේ වේදිකා පුනරාගමනය ඉවහල් වනු ඇති.

කලක් වේදිකා රංගනයෙන් බැහැරව සිටි ප්‍ර‍වීණ රංගන ශිල්පී සහ සෞන්දර්ය හා ප්‍රාසාංගික කලා මහාචාර්ය සෞම්‍ය ලියනගේ ප්‍ර‍ධාන භූමිකාවක් පණගන්වන ඇන්ටික් කඩයක මරණයක් නාට්‍යයේ සෙසු භූමිකාවන් පසන් රණවීර, නිපුණි ශාරධා සහ ස්ටෙෆාන් තිරිමාන්න විසින් රඟදක්වයි. චින්තක ජයකොඩිගේ සංගීතයෙන් ද බිමල් දුෂ්මන්තගේ වේදිකා නිර්මාණයෙන් ද හැඩ ගැන්වෙන මෙහි රංගාලෝකය අනුරුද්ධ මල්ලවාරච්චිගෙනි. රජය විසින් නිකුත් කරන ලද කොරෝනා පැතිරීම වැළැක්වීමේ උපදෙස් මාලාවනට අනුගතව මේ දර්ශන සංවිධානය කෙරෙයි. සියලුම ආසන සැලසුම් කර ඇති අතර ප්‍රවේශ පත්‍ර‍ නිකුත් කෙරෙනුයේ රඟහලෙන් පමණි. ප්‍රවේශ පත්‍ර මාර්තු මස 6 වන දා සිට ලයනල් වෙන්ඩ්ට් රඟහලෙන් පමණක් ලබා ගත හැකිය. (විමසීම් 0777363633)

සිනමාවේ, රූපවාහිනියේ තම මුද්‍රාව තැබූ හඳගමගේ මෙම වේදිකා අභ්‍යාසය ලාංකේය වේදිකා නාට්‍ය ප්‍රේක්ෂාගාරයට නවතම අත්දැකීමක් වනු ඇත.

Recommended For You

About the Author: Thusal