‘මේ කන්නයේ වී ගොවියාගේ කරල පැහුණා’

දුමින්ද ප්‍රියදර්ශන – වී අලෙවි මණ්ඩලයේ උප සභාපති

  • නව වැඩපිළිවෙළ සහ ප්‍රතිපත්ති පිළිබඳ ගොවීන් දැඩි ලෙස විශ්වාසය තබා තියෙනවා
  • ගොවියා ළඟටම ගිහින් රජයේ  නිලධාරින් වී මිලට ගැනීමේ ක්‍රමය ආරම්භ කළා
  • බැංකු පොලිය තුන් ගුණයකින් පමණ අඩුකරන්න රජය පියවර ගෙන තියෙනවා
  • පොහොර සහනාධාරය කපාහැර ඇති බවට අසත්‍ය ප්‍රවෘත්ති මවනවා
  • මාසයක් දෙකක් අක්‍රියව තිබුණහොත් වී අලෙවි මණ්ඩලයේ අගය රටටම දැනෙනවා

මඩ සෝදාගත් කල ගොවියා රජකමට වුවද සුදුසුය යන්න කලක් තිස්සේ මෙරට කටවහරේ පැවත එන්නකි. එහෙත් එය එසේම දැයි අස්වනු නෙළන කාලයට ගොවීන්ගෙන් ඇසෙන මැසිවිල්ලෙන් ම හැ‍ඟේ. වෙනදා වී අලෙවි කරගත නොහැකි බවට ගොවීන්ගේ දුක් ගැනවිලි වැඩි වැඩියෙන් ඇසෙන මහ කන්නයේ වී අස්වනු නෙළන කාලයේදී වී අලෙවි මණ්ඩලයේ තොග ගබඩා ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබෙන්නේ ය. ඒ පිළිබඳ විමසන්නට හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණායතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක, කෘෂි ආර්ථික විශ්ලේෂක, වී අලෙවි මණ්ඩලයේ උප සභාපති දුමින්ද ප්‍රියදර්ශන මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

මහ කන්නයේ වී අස්වැන්න මේ දිනවල ලැබෙමින් තියෙනවා. වී අලෙවි මණ්ඩලය විදිහට මහ කන්නයේ අස්වැන්න ගැන කියන්න තියෙන්නේ මොනව ද?

අපේ රටට වැඩි වී අස්වැන්නක් ලැබෙන්නේ, මහ කන්නයේදියි. ඒක හැම වර්ෂයකම වගේ දක්නට ලැබෙන කාරණයක්. මහ කන්නයේ දී ලැබෙන වී අස්වැන්න ප්‍රතිශතයක් ලෙස සියයට හැට පහක තරම් ප්‍රමාණයකින් වාර්තා වෙනවා. ඒ ප්‍රමාණයෙන් සියයට 30ක ප්‍රමාණයක් දැනට අස්වනු ලැබිලා තියෙනවා. ඉතිරි අස්වනු ප්‍රමාණය ඉදිරි මාස එකහමාර තුළ වෙළෙඳපොළට ලැබෙනවා. වෙනත් කාල වලට වඩා මෙවර මහ කන්නයේදී ලැබුණු අස්වැන්න ඉතා හොඳ මට්ටමක තියෙනවා. වගාබිම් හෙක්ටයාර හතහමාරකින් මෙට්‍රික් ටොන් ලක්ෂ 32ක පමණ අස්වැන්නක් අපේ රට තුළ නිෂ්පාදනය වී තිබෙන බව මේ වන විට හඳුනාගෙන තිබෙනවා. මේ මහ කන්නය සාර්ථකයි කියලා කියන්නේ වගා හානි සහ ගැටලු අවම මට්ටමක තිබෙන නිසයි.

ලැබෙන මහ කන්නයේ අස්වැන්න අපේ රටේ වී අවශ්‍යතාවයෙන් මාස නවයක කාලයකට ප්‍රමාණවත්. ඊළඟට එන්නේ යල කන්නය. ඒ පිළිබඳ මහවැලි අමාත්‍යංශයේ පැවැති අස්වනු පුරෝකථන රැස්වීමේදී කරුණු අනාවරණ කළා. යල කන්නයෙන් ලැබෙන අස්වැන්නත්, තවත් මාස 6කට විතර රටේ පරිභෝජනයට ප්‍රමාණවත්. ඒ අනුව බැලූ විට මෙවර මහ කන්නයේදී පමණක් මෙට්‍රික්ටොන් ලක්ෂ 6ක පමණ අතිරික්තයක් තියෙනවා. රාජ්‍ය යාන්ත්‍රණයේ ක්‍රියාකාරිත්වය යහපත් මට්ටමක තිබෙන නිසා මෙවර වී අස්වැන්න කළමනාකරණය කර ගන්න හැකියාව ලැබී තියෙනවා.

පසුගිය කාලයේ දක්නට ලැබුණේ වී වලට සහතික මිලක් නොමැති වීමයි. ඒ නිසා ම වී ගොවිතැනෙන් වෙනත් වගාවන්වලට ගොවීන් විතැන් වුණා නේ ද?

අද වන විට ඒ අපහසුතා මඟහැරිලා ගිහින් තියෙන බව කවුරුත් දන්නවා. රුපියල් 38ට පැවැති වී මිල අද වන විට රුපියල් 50ටත් වඩා වැඩි වෙලා තියෙනවා. ගොවීන්ට පොහොර ලබා දෙන්නෙත් නොමිලේ. වගාවට අවශ්‍ය වෙලාවට ජලය ලබා දෙන්නත් පියවර ගෙන තිබෙනවා. අඩු මිලට ගොවීන් දැන් වී විකුණන්නේ නැහැ. සහතික මිල පිළිබඳ දැඩි විශ්වාසයක් ගොවීන්ට දැන් තියෙනවා. ජනාධිපතිතුමාගේ නව වැඩපිළිවෙළ සහ ප්‍රතිපත්ති පිළිබඳ ගොවීන් දැඩි ලෙස විශ්වාසය තබා තියෙනවා. පසුගිය කාලයේ වී අස්වනු ලැබෙන විට ගබඩා විවෘත වුණේ නැහැ. අස්වැන්නෙන් 50%ක් පුද්ගලික අංශය විසින් අඩු මිලට ගත්තා. ඊට පසුව තමයි, ආණ්ඩුවෙන් වී අලෙවි මණ්ඩලයට මුදල් ලබා දුන්නේ. ඒ වන විටත් මඩකළපුව, අම්පාර වැනි ප්‍රදේශවල අස්වනු නෙළලා ඉවරයි.

වී අලෙවි මණ්ඩලයේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න පියවර ගත්තේ කොහොම ද?

පසුගිය මාසයේ 13 වැනිදා මහ කන්නයේ මුල්ම අස්වැන්න රජයෙන් මිල දී ගැනීම ඇරඹුවේ නැඟෙනහිර පළාතෙන්මයි. ඒ සඳහා ජාතික උත්සවයක් සංවිධානය කළා. පවතින රජයෙන් වී මිලදී ගැනීමට රුපියල් මිලියන 16,000ක් වෙන් කරලා තිබුණා. ඒ කාර්යන් රාජ්‍ය බැංකු හරහා කඩිනමින් සිදු කරන්න පියවර ගෙන තිබුණා. ඒ මුදලින් වී මෙට්‍රික් ටොන් 3,25,000 ක් මිලට ගැනීමට අදාළ ගබඩා 325ක් දැන් විවෘත කර තියෙනවා. දිසාපතිවරු හා සමුපකාර සමිති හරහා වී මිලට ගැනීමටත් වී මිලදී ගැනීමට රුපියල් මිලියන 5000ක් වෙන් කර තියෙනවා.

වී අලෙවි මණ්ඩලයට පුද්ගලික අංශයත් සමඟ කරට කර තරග කරන්නට යුද හමුදාවේ සහාය ලැබීමත් වී අලෙවි මණ්ඩලයේ කාර්යක්ෂමතාවය වැඩි වන්න එක් හේතුවක්. මීට පෙර නොතිබුණු ඒකාබද්ධවීමක් කෘෂිකර්ම අමාත්‍යංශයේ විවිධ අංශ අතරත් ඇති වෙලා තිබුණා. වී අලෙවි මණ්ඩලයේ 225ක පමණ කණ්ඩායමට ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට අයත් 14,000ක පමණ පිරිසකගේ සහායත් ලැබුණේ මා කලින් සඳහන් කළ ඒකාබද්ධ සැලසුම් අනුවයි. ඒ නිසා මානව සම්පත්වල තිබුණු හිඟය මඟහරවා ගන්නටත් හැකි වුණා. රුපියල් තිහට තිබුණ වී කිලෝව රුපියල් පනහට ගන්න මට්ටමට ගෙන එන්නට හැකි වුණේ සූක්ෂම කළමනාකරණය නිසයි. එයිනුත් නොනැවතී මේ වතාවේ වී අස්වනු ප්‍රවාහන වියදමටත් රජයෙන් සහනාධාරයක් ලැබෙනවා. කෘෂිකර්ම පර්යේෂණ නිලධාරින්ට දැනටමත් ඒ මුදල් ලබා දීලා තියෙනවා. වී ප්‍රවාහනය කිරීමේ අවශ්‍යතාවක් දැන් ගොවියාට නැහැ. ගොවියා ළඟටම ගිහින් රජයේ නිලධාරින් වී මිලට ගැනීමේ ක්‍රමය ආරම්භ කරලා තියෙනවා. වී පුරවා ගැනීමේ බෑගය පවා ගොවියාට ලබා දෙන්න අපි කටයුතු කළා.

වී මිල ඉහළ යෑම නිසා පසුගිය කාලවලට සාපේක්ෂව ගොවීන්ගේ ආර්ථිකය යහපත් කරන්න හැකියාව අපට ලැබිලා තියෙනවා. එනිසා ම ගොවියාටත් කේවල් කිරීමේ හැකියාව ලැබී තියෙනවා. එකවර අස්වැන්න අලෙවි කර ගැනීමටත්, ගබඩා කරගෙන මිල ඉහළ ගිය විටත් වී විකුණා ගැනීමටත් ඔවුන්ට දැන් අවස්ථාව තියෙනවා. කොහොම නමුත් මේ රටේ වී වගාවේ නියැලී ඉන්න ලක්ෂ 10ක පමණ ගොවීන් සහ මිලියන විසි එකක පාරිභෝගිකයින්ටත් යහපතක් වෙලා තියෙන බව සඳහන් කරන්න පුළුවන්.

පුද්ගලික අංශයේ කාර්ය භාර්ය ගැන ඔබේ මතය කවරක් ද?

පුද්ගලික අංශයේ දායකත්වය ප්‍රශංසනීයයි. ආසියාවේ සහල් අතුරෙන් ඉහළම ප්‍රමිතිය මෙරට ඇති කිරීමට ඔවුන් කටයුතු කළා. මීට පෙර තරම් ගල්, වැලි, කළු ඇට හාල්වල දක්නට නොලැබෙන්නේ ඔවුන්ගේ කැපවීම් නිසයි. මිලෙන් අධික යන්ත්‍ර සූත්‍ර මහා පරිමාණ වී මෝල් හිමියන් මෙරටට ගෙනැවිත් තිබෙනවා. බොහෝ නිවෙස්වලින් කුල්ල ඉවත්වෙලා ගියේ ඒ තාක්ෂණය නිසයි. ඔවුන් බඩබත් සහල් විදියට හැඳින්වෙන රසවත් බතක් රටට හඳුන්වා දුන්නා. ඒත් සමඟ මහා පරිමාණ මෝල් හිමියන් සහ කූඨ වෙළෙඳුන් ඇතැම් අසත්‍ය ප්‍රචාර පතුරුවා හරින බවකුත් පෙනෙන්නට තියෙනවා. රජය විසින් පොහොර සහනාධාරය කපාහැර ඇති බවට අසත්‍ය ප්‍රවෘත්ති මවනවා. එවැනි ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍යයි. ආහාර සුරක්ෂිතතාවට අත්වැලක් ලැබිය යුතු නිසා හෙක්ටයාරයකට වඩා වැඩි වී වගා කරන ගොවින්ගෙන් රජය 1000kg සිට ඉහළට යම් ප්‍රමාණයක් වී මිලට ගැනීමට පෙලඹුණා. වැඩි මිලට වී ගන්නා නිසා කිසිම ගොවියකුට අසාධාරණයක් වෙන්නේ නැහැ.

වත්මන් රජය විසින් ගොවීන්ට ලබා තිබෙන සහන මොනවා ද?

පසුගිය කාලයේ 13%ක තරම් ඉහළ අගයක පැවතුණ බැංකු පොලිය තුන් ගුණයකින් පමණ අඩුකරන්න රජය පියවර ගෙන තිබෙනවා. සහනය ගොවීන්ට පමණක් නෙවෙයි, පොදුවේ රටට ම සුබවාදිව බලපානවා. පොදු යහපත උදෙසා කටයුතු කිරීමෙන් පසුව, සහල් කිලෝවක් රුපියල් 98කට ලබා දෙන්න කටයුතු කරලා තිබෙනවා. ඒ සියලු වියදම් පියවාගෙන, ලාභයකුත් ඇතිව වෙළෙන්ඳාගෙන් පාරිභෝගිකයාට සහල් යැවීමට කටයුතු කළා. සෑම වසරකම තෙත වී යම් ප්‍රමාණයක් අඩු මිලට සත්ත්ව ආහාර සහ මත්වතුර පෙරීම ආදියට ලබා ගන්නවා.

පොදුවේ බැලුවහොත්, රටට විශාල බලපෑමක් ඇති වන්නේ නැහැ. මේ වන විට හොඳ බඩ ඉරිඟු අස්වැන්නකුත් ලැබී තිබෙන නිසා අඩුවෙන් වී තොග ලබා ගැනීමක් සිදු වෙනවා. පුද්ගලික අංශයේ මහා පරිමාණ මෝල් හිමියන‍්ගේ ගබඩාවල වී ඇටයක්වත් නැතැයි කියන්නේ ඔවුන්මයි. ඒ නිසා කලින් වී මිලට අරන් සැකසූ සහල් තොග සම්බන්ධයෙන් මැසිවිලි නඟන්නත් ඔවුන්ට හැකියාවක් නැහැ. වී සහල් බවට පෙරළීමේදී ඉවත දැමෙන සුනු සහල්, දහයියා ආදියෙන් අමතර ලාභයක් ඒ අයටත් ලැබෙනවා. කුඩා සහ මැදි පරිමාණයේ වී මෝල් හිමියන් ලවා වී අලෙවි මණ්ඩලය මිලට ගන්නා විට 70% ක් වූ මෙරට වී මෝල් හිමියන් රැකෙනවා.

විවිධ සහල් වර්ග වෙළඳපළට නිකුත් කර තිබෙනවා. ඒ ගැන ඔබේ අදහස කුමක් ද?

සම්බා සහ නාඩු විදියට වී වර්ග ප්‍රධාන දෙවර්ගයකට බෙදනවා. ඉන් 80%ක තරම් වැඩි ප්‍රමාණයක් වගා කෙරෙන්නේ නාඩු සහල්. වී තම්බා සකස් කරගන්නේ සුළු ප්‍රමාණයයි. එසේ නොවන කැකුළු වර්ගයේ සහල් මෙරට 80%ක් දෙනා පරිභෝජනය කරනවා. සහල් පිටි කිරීමටත් සුළු ප්‍රමාණයක් වෙන් කෙරෙනවා. කීරි සම්බා සහ සම්බා ලෙස 18%ක වී අස්වනු ප්‍රමාණයක් වෙන් කෙරෙනවා. මෙවර මහ කන්නයේ අස්වැන්නෙන් 78%ක් නාඩු, 12 ක් පමණ සම්බා. බස්නාහිර පළාතේ වැඩිපුර පරිභෝජනය ‍කෙරෙන්නේ සම්බා සහ කීරි සම්බා. සෙසු පළාත්වලට නාඩු වැඩිපුර යැවිය යුතුයි කියලා තොග වෙළෙඳුන් හොඳින් දන්නවා. මැදිරිගිරිය, දෙහිඅත්තකණ්ඩිය ආදි ප්‍රදේශවලින් බස්නාහිර පළාතේ පරිභෝජනයට වැඩිපුර සම්බා සහල් ගෙනෙනවා. ඒ මෙරට සහල් පරිභෝජනයේ ස්වභාවයයි.

වී අලෙවි මණ්ඩලය පාඩු පිට පවත්වාගෙන යනවා යැයි රජයට එල්ල වෙන්නේ චෝදනාවක්?

මාසයක් දෙකක් අක්‍රියව තිබුණහොත් වී අලෙවි මණ්ඩලයේ අගය රටටම දැනෙනවා. වී මිලට, සහල් මිලට බලපෑම් කරන්න පුළුවන් වී අලෙවි මණ්ඩලයට පමණයි. ඒ අනුව සහතික මිල ක්‍රියාවට නංවනවා. කිසිම රජයකට වී අලෙවි මණ්ඩලය පාඩුයි කියලා වසා දමන්නට පුළුවන්කමක් නැහැ. ඒ බව දශකයකට පමණ පෙර පැවැති ලෝක ආහාර අර්බුද සමයේදි පවා පැහැදිලි වුණා. එවර මෙරටට සහල් ආනයනය කළා නම් කිලෝවක් රුපියල් 500ක් තරම් ඉහළ අගයක් ගන්නට ඉඩ තිබුණා. ඒත් ඒ වන විට රටට වුවමනා සහල් රටේම නිෂ්පාදනය කළ නිසා ඒ අවදානම වැලකුණා. වර්තමානයේදිත් ඉදිරියටත් ලෝකයේ විවිධ අර්බුද, වසංගත හමුවේ අපට වී වගාවෙන් ස්වයංපෝෂිත බව ඉතා වැදගත්. ඊට ඉහළ දායකත්වයක් වී අලෙවි මණ්ඩලයෙන් රටට ලබාගත හැකියි.

නුවන් මහේෂ් ජයවික්‍රම – Text by දිනමිණ පුවත්පත

Recommended For You

About the Author: Thusal