අශෝක් අබේසිංහගේ ප්‍රකාශය ගැන වහාම පරීක්ෂණයක් ඕනෑ – ප්‍රසන්න

පාස්කු ප්‍රහාරයට වගකිව යුතු යහපාලන ආණ්ඩුවේම මැති ඇමතිවරුන් අද කලු ඉරිදා විරෝධයට එක්වීම හාස්‍යට කරුණක්

යහපාලන ආණ්ඩුව නිසි ලෙස සිය වගකීම් ඉටුකලේ නම් පාස්කු ප්‍රහාරයට විරෝධය පල කරමින් කලු ඉරිදා දිනයක් ප්‍රකාශයට පත් කිරීමට සිදුනොවන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ පාස්කු ප්‍රහාරයට වගකිව යුතු යහපාලන ආණ්ඩුවේම මැති ඇමතිවරුන් අද කලු ඉරිදා විරෝධයට එක්වීම හාස්‍යට කරුණක් මෙන්ම පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට කල අපහාසයක් බවයි.

මිනුවන්ගොඩ උඩුගම්පල කාර්යාලයේ අද (07) පැවති රැස්වීමකදී ඇමතිවරයා මේ බව සඳහන් කළේය. රටේ වර්තමාන තත්වය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා සහ නගර සභා මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා රැස්වීම සංවිධානය කර තිබිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා මෙසේද කීවේය.

‘පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ යහපාලන ආණ්ඩුවයි. රනිල් මෛත්‍රී වගේම ඒ ආණ්ඩුවේ කැබිනට් ඇමතිකම් දරපු ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් වුනු හැම කෙනෙක්ම ඒකට වගකියන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි. යහපාලන ආණ්ඩුවට මුක්කු ගහපු සුළු ජාතික පක්ෂ වල අයත් ඒකට වගකියන්න ඕනේ. ඒ වගේම යහපාලන ආණ්ඩුව පවත්වාගෙන යන්න ඩීල් දාපු තිරය පිටුපස ඉඳන් ගේම් ගහපු රතු අලි පැටවුනුත් ඒකට වග කියන්න ඕනේ.

දැන් ඒ යහපාලන ආණ්ඩුවේ හිටපු අය පාස්කු ප්‍රහාරය පිලිබඳ කලු ඉරිදා විරෝධයට එකතු වෙනවා යැයි කියනවා. පාස්කු ප්‍රහාරයට වගකිව යුතු යහපාලකයන් කරන්න ඕනේ කළු ඇඳගෙන කණ්ණාඩියක් ඉදිරියට ගිහින් තමන්ටම විරෝධය පල කරගන්න එකයි. යහපාලන ආණ්ඩුව නිසි ලෙස තමන්ගේ  වගකීම ඉටු කලා නම් පාස්කු ප්‍රහාරයක් සිදුවන්නේත් නෑ. විරෝධය පල කරමින් කලු ඉරිදා දිනයක් ප්‍රකාශයක් පත් කරන්නත් වෙන්නේ නෑ. පාස්කු ප්‍රහාරයට වගකිව යුතු යහපාලන ආණ්ඩුවේම මැති ඇමතිවරුන් අද කලු ඉරිදා විරෝධයට එක්වීම හාස්‍යට කරුණක්. ඒ වගේම ඒක පාස්කු ප්‍රහාරයට වින්දිතයන්ට කල අපහාසයක්.

 ජනාධිපතිතුමා ඊයේ ඉතා පැහැදිලිව කිව්වා මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ට දඩුවම් දෙන බව. ඒ සඳහා අප දැන් කටයුතු කරමින් තිබෙනවා. පාස්කු කොමිෂන් වාර්තාව ගැන අප සෑහීමකට පත්වන්නේ නැතත් එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ වගකීම වත්මන් ආණ්ඩුව සතුයි. ඒ නිසා අපි ඊට අඳාල ඉදිරි ක්‍රියාමාර්ග ගන්න සූදානම්. එම ප්‍රහාරය පිලිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් අධ්‍යනය කිරීම සඳහා පත් කල කැබිනට් අනු කමිටුව මෙම වාර්තාවේ සඳහන් සියළු කරුණු සම්බන්ධව ඉතා ප්‍රවේශමෙන් අධ්‍යනය කරමින් තියෙනවා.

අපි කිසිම වෙලාවක මේ කොමිසමේ නිර්දේශ වෙනස් කරන්න හෝ යටගහන්න සුදානම් නෑ. අපිට එහෙම නෛතික බලයකුත් නෑ. මේ ඇමති කමිටුව සම්බන්ධයෙන් විපක්ෂය නඟන චෝදනා පදනම් විරහිතයි. අපි විපක්ෂයේ සිටියදී දැරූ ස්ථාවරයම අපි තවමත් දරනවා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ඕනෑම අයෙකුගේ තරාතිරම නොබලා දඬුවම් දෙන්න අපි කටයුතු කරනවා.

පාස්කු ප්‍රහාරය එල්ලවන වෙලාවේ යහපාලන ආණ්ඩුවේ හිටපු රාජ්‍ය ඇමතිවරයෙකු වූ අද සමගි ජනබලවේගය නියෝජනය කරන අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශයක් කරලා තිබුණා මේ පාස්කු ප්‍රහාරයට වගකියන්න ඕනේ ගෝඨභය රාජපක්ෂ ජනාධිපතිතුමා සහ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා කියලා. මේ ප්‍රකාශය ගැන වහාම පරීක්ෂණයක් කල යුතුයි. එය ජනතාව නොමඟ යැවීම සඳහා කල ප්‍රකාශයක්. මේ වගේ ඔලමොට්ටල ප්‍රකාශ වලට අපේ රටේ ජනතාව රැවටෙන්නේ නෑ. මේ වගේ ප්‍රකාශ වලින් පැහැදිලි වෙන්නේ යහපාලන නඩයේ සැබෑ නිරුවතයි. ඔවුන්ට අවශ්‍ය බොරු සමාජ ගත කරලා නැවත රටේ නැවත පාලන බලය ලබාගන්නයි. එවැන්නකට අපි කිසිසේත් ඉඩ තියන්නේ නෑ. ’

Recommended For You

About the Author: Thusal