‘EDB Women Cell’ කාන්තා ව්‍යවසායකයින් සඳහා අපනයන වෙළඳපොළ

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව 2021 මාර්තු 8 වන දින කොළඹ 07, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිජන පර්යේෂණ හා පුහුණු ආයතන ශ්‍රවණාගාරයේදී අපනයන වෙළඳපොළ වැඩසටහනක් සංවිධානය කරන ලදි.

“EDB Women Cell” යටතේ ලියාපදිංචි කර ඇති අපනයන විභවයක් ඇති කාන්තා ව්‍යවසායකයින් සඳහා අපනයන වෙළඳපොළට යාමේ හැකියාව වැඩි කිරීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කෙරිණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපතිනි ඉන්දිරා මල්වත්ත මහත්මිය, කාන්තා ව්‍යවසායකයින්ගේ හැකියාවන් සාක්ෂාත් කර ගැනීම, පෝෂණය කිරීම හා දිරිගැන්වීම සඳහා අඛණ්ඩව කටයුතු කරන අපනයන සංවර්ධන මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතනවල වැදගත්කම අවධාරණය කළාය. මෙම අවස්ථාවට සහභාගී වෙමින් අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ද මෙල් මහතා කියා සිටියේ ශ්‍රී ලාංකීය කාන්තා ව්‍යවසායකයින් ගෝලීය වෙළෙඳපොළ තුළ සවිබල ගැන්වීමට රජයේ සංවිධානයක් ලෙස අපනයන සංවර්ධන මණ්ඩලය කැපවී සිටින බවයි. කාන්තා ව්‍යවසායකත්වය සංවර්ධනය කිරීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ධාරිතා සංවර්ධනය, නිෂ්පාදන සංවර්ධනය සහ වෙළඳපල සංවර්ධනය යනුවෙන් ක්ෂේත්‍ර තුනක් හඳුනාගෙන ඇති අතර ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ සාර්ථකත්වයට පත්වීමට කාන්තා ව්‍යවසායකයින් මෙම අංශයන්හි සන්නද්ධ කළ යුතු බව ද සභාපතිවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

“EDB Women Cell” යනු අපනයන සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචිවී ඇති කාන්තා ව්‍යවසායකයින්ගේ තොරතුරු පද්ධතියයි. මේ යටතේ දිවයින පුරා කාන්තා ව්‍යවසායකයින් 850 කට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටියි. ඔවුන්ගේ පැතිකඩ විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඔවුන්ට ජාත්‍යන්තර වෙළඳපොළට පිවිසීමට ආර්ථික, සමාජීය හා භෞතික බාධක කිහිපයක් ඇති බව හඳුනා ගන්නා ලදී. එම කාන්තා ව්‍යවසායකයන් දුෂ්කරතා කිහිපයකට මුහුණ දුන්නද, ජාත්‍යන්තර වෙළඳපොළට පිවිසීමට ඇති බාධක හඳුනා ගැනීමට අපොහොසත් වී ඇත.

එබැවින්, අපනයනය නිෂ්පාදන සංවර්ධනය කිරීම සඳහා තීරණාත්මක වන විවිධ සේවා සපයන්නන් සම්බන්ධ කරන වෙළඳපොළක් හඳුන්වා දීමෙන් ජාත්‍යන්තර වෙළඳපල අවස්ථා සොයා ගැනීමට ඔවුන්ට මග පෙන්වීම වැදගත් වන අතර මෙම වෙළඳපල යාන්ත්‍රණය මඟින් නිෂ්පාදනයේ ගුණාත්මකභාවය ශක්තිමත් කිරීම, නව සහ පවත්නා අපනයනකරුවන්ගේ හැකියාවන් වර්ධනය කිරීම සහ වඩාත් දියුණු වෙළඳපල වෙත පිවිසීමේ හැකියාව සහ ඒ සඳහා ඇති වටිනාකම් ශක්තිමත් කිරීම වැඩසටහන මගින් අරමුණු කරයි.

මාර්තු 8 වන දින ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව 2018 සහ 2020 වසරවල දී අපනයන විභවයක් ඇති කාන්තා ව්‍යවසායකයින් ඉලක්ක කර ගනිමින් අපනයන වෙළඳපොළ වැඩසටහන් අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරන ලදී. සෑම වැඩසටහනකදීම හොඳම අලෙවිකරණ උපාය මාර්ග ඉදිරිපත් කළ හොඳම ව්‍යවසායකයින් තිදෙනා තෝරාගෙන ඇති අතර ඔවුන්ගේ ව්‍යාපාරය ජාත්‍යන්තරව ව්‍යාප්ත කිරීම අවශ්‍ය ප්‍ර‍මුඛතම සේවාවන් ලබා ගැනීම සඳහා මුල්‍යමය ත්‍යාගයන් ප්‍රදානය කරන ලදී. මේ වනවිට ජාත්‍යන්තර වෙළඳපලවලට සරිලන පරිදි තම ව්‍යාපාර සංවර්ධනය කිරීමට ඔවුන් සමත් වී තිබේ.

පෙර වසරවල මෙන් මෙම වසරේ ද පැවැත්වෙන අපනයන වෙළඳපොළ වැඩසටහනේ අවසාන වැඩසටහනට පෙර, තෝරාගත් කාන්තා ව්‍යවසායකයින් සඳහා 2021 මාර්තු 4 වන දින අපනයන සංවර්ධන මණ්ඩලයේ පුහුණු කණ්ඩායම විසින් නිෂ්පාදන තෝරා ගැනීම සහ අලෙවිකරණ සැලැස්ම පිළිබඳ දැනුම ලබා දීමේ වැඩමුළුවක්ද  පවත්වන ලදි.

Recommended For You

About the Author: Thusal