‘ජාතික ඇඳුමෙන් සැරසී සිටි’ ව්‍යවසායකයින් පිරිසකට අගමැති කී කතාව

රට ජාතිය ගැන හැඟීම තිබෙන තරුණ ව්‍යවසායකයින් පිරිසක් ජාතික ඇඳුමෙන් සැරසී සිටිනු දැකීම විශාල ආඩම්බරයක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (10) දින පස්වරුවේ පැවසීය.

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ පැවති ලාංකේය තරුණ ව්‍යවසායකයින්ගේ මණ්ඩලයේ 22 වැනි සංවත්සර සැමරුමට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

හිටපු සභාපති චමත් කෝට්ටගේ මහතා එම තනතුරේ කාලය අවසන් කිරීමත් ලාංකේය තරුණ ව්‍යවසායකයින්ගේ මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස සාරංග ගුණවර්ධන මහතා පත්වීමත් මෙහිදී සිදුවිය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී කළ සම්පූර්ණ කතාව මෙසේය.

ලාංකේය තරුණ ව්‍යවසායකයින්ගේ මණ්ඩලයට දැන් වසර 22 ක් සම්පූර්ණ වෙනවා.

මට මතකයි මේ ලාංකේය තරුණ ව්‍යවසායකයින්ගේ මණ්ඩලය ආරම්භ කරපු කාලය. 1999 දී මම මේ සංගමය ආරම්යට සම්බන්ධ වුණා.

මම ඒ කාලයේ ධීවර ඇමතිවරයා. 17 දෙනෙකුගෙන් තමයි එදා මේ සංවිධානය ආරම්භ කළේ.

එදා ලාංකේය තරුණ ව්‍යවසායකයින්ගේ මණ්ඩලයට සම්බන්ධ වුණ අයට රටේ ඉන්න අනෙකුත් ව්‍යාපාරිකයින් එකට එකතු කරගෙන සංසදයක් හැටියට ඉදිරියට යන්න  ලොකු වුවමනාවක් තිබුණා. ඒ 17 දෙනා ඉතාමත් ධෛර්යවන්තව, අරමුණක් ඇතිව වැඩ කරන පිරිසක් වීම නිසා තමයි අවුරු 22 තුළ මෙච්චර දුර ගමනක් එන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ.

එදා සම්බන්ධ වුණ අයගෙන් ජගත් සුමතිපාල වගේ අය තවමත් මේ සංවිධානයේ ඉන්නවා දකින්න ලැබීම ගැන මම සතුටු වෙනවා.

මේ වෙනකොට මේ සංවිධානයේ විවිධ ක්ෂේත්‍රවල ව්‍යාපාර වල යෙදෙන 120 දෙනෙකු සාමාජිකත්වය දරන බව මට දැනගන්න ලැබුණා. ඒ වගේම  මේ රටේ දළ දේශිය නිෂ්පාදනයට බිලියන 600ක පමණ දායකත්වයකුත් ලබාදෙනවා. ඒ විතරක් නෙවෙයි, ලක්ෂ 4කටත් වඩා වැඩි පිරිසකට රැකියා සපයනවා.

මිත්‍රවරුනි,

මම දේශපාලනය ආවේ 70 දශකයේ. 1970 දී දේශපාලනයට ආපු මට ඒ කාලයේ රටේ අගනගරය වන කොළඹ හිටපු අපේ ලාංකික ව්‍යාපාරිකයෝ මුණ ගැහිලා තිබෙනවා. ඒ අයගේ ආකල්ප, හැසිරීම් මම දැකලා තියෙනවා.

ඒ අයට රට ගැන හැඟීමක් තිබුණා. ඒ අය රටේ දේශිය නිෂ්පාදනය ගොඩගැනීම ගැන හිතපු අය. බොහෝ දෙනෙක් පිට පළාත්වලින් කොළඹ ඇවිල්ලා ව්‍යාපාරිකව හැදුණු වැඩුණු අය. ඒ නිසාම ඒ අය අතරේ ලොකු සම්බන්ධයක් තිබුණා.

මිත්‍රවරුනි,

1977 දී විවෘත ආර්ථිකය මේ රටට හඳුන්වා දුන්නා. විවෘත ආර්ථිකය මේ රටට හඳුන්වා දීමත් එක්කම එදා හිටපු ව්‍යාපාරික පැලැන්තියට විශාල වශයෙන් බලපෑම් ඇතිවුණා.

ඒ අයට වෙනස් වෙන්න සිද්ධ වුණා. විවෘත ආර්ථිකය යටතේ ප්‍රධාන කාරණයක් තමයි තරගය. තරගකාරීව ව්‍යාපාරයේ යෙදෙන තැනැත්තා ජයග්‍රහණය කිරීම තමයි විවෘත ආර්ථිකයේ ක්‍රමය. තරගය මත තමයි සේරම තීරණය වුණේ.

විවෘත ආර්ථිකය පැමිණීමත් එක්කම ශක්තිවන්තයා ඉතුරු වෙලා දුර්වල තැනැත්තා හැලිලා ගියා. ඒ විතරක්ද? මේ තරගය නිසා අපිට විශාල දේවල් ප්‍රමාණයක් අහිමි වුණා.

මේ තත්ත්වය යටතේ තමයි අපේ සාරධර්ම තියෙන ව්‍යාපාරික එකමුතුවක් ඕන කියලා මීට අවුරුදු 22කට කලින් කොළඹ හිටපු ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෝ පිරිස කල්පනා කරන්න ගත්තේ. ඒ අරමුණින් තමයි ඔබ සියලුදෙනා එදා ඒකරාශි වුණේ.

දැන් තරගය වෙනුවට සහයෝගයෙන් කටයුතු කිරීම නිසා ගොඩනැගෙන්න  පුළුවන්  කියන හැඟිම ,දැක්ම අපේ ව්‍යාපාරික සමාජයට ඇවිල්ලා තියෙනවා. ඒක ඇති කරන්න මූලික වුණ ලාංකේය තරුණ ව්‍යවසායකයන්ගේ මණ්ඩලය (COYLE-කොයිල්) ගැන අපේ ගෞරවයක් තියෙනවා.

මිත්‍රවරුනි,

එදා හිටපු ව්‍යාපාරික පැලැන්තියට රට ගැන ලොකු හැඟීමක් තිබුණා. බොහෝ ව්‍යාපාරිකයින් තමන් උපයපු බොහෝ දේවල් රජයට හා සමාජයට දුන්නා. එහෙම නැත්නම් සමාජ සේවා කටයුතු වලට දායක වුණා.

අධිරාජ්‍යවාදීන්ගේ යුගයේ රටේ රෝහල්, පාසල් පරිත්‍යාග කළේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් නොවෙයි. අපේ ව්‍යාපාරිකයින්ගේ දේපළ තමයි සොයිසා වටරවුමේ තියෙන්නේ.

කොළඹ මහ රෝහල, විශාඛා විද්‍යාලයේ ඉඳන් බොහෝ දේවල් මේ රටේ ව්‍යාපාරිකයින් පරිත්‍යාග කළ දේවල්.

එදා ඒ ව්‍යාපාරිකයින් ඒවා පරිත්‍යාග කළේ ව්‍යාපාරික අරමුණින් නොවෙයි. රට ගැන තිබුණ කරුණාවෙන්. අපේ මිනිස්සු වෙනුවෙන් යමක් කරන්න ඕනෑ කියන හැඟීමෙන්. වර්තමාන ව්‍යාපාරවල මහජන සුභසාධන වැඩ තියෙනවා. ඒවා කරන්නේ එදා ව්‍යාපාරිකයින් කරපු ආකාරයට පුණ්‍ය චේතනාවෙන්ම නෙවෙයි.

ඒවා කරන්නේ ව්‍යාපාරයේ කීර්තිනාමය ඉහළට ඔසවලා තමන්ගේ භාණ්ඩ හා සේවා විකුණගන්න. නමුත් එදා අපේ ව්‍යාපාරිකයන් තුළ තිබුණු පුණ්‍යවන්ත අදහසින් යමක් දීම දැන් දකින්න ලැබෙන්නේ නැහැ. මේ ව්‍යවසායකයන්ගේ සංගමය ඒකට විසඳුමක් දීලා තියෙනවා.

ලාංකේය තරුණ ව්‍යවසායකයින්ගේ මණ්ඩලයට අනුබද්ධව  කාන්තා සංසදයක් ගොඩනගලා වසර 12ක පමණ කාලයක් තිස්සේ කටයුතු කරගෙන යන බව මම දන්නවා. ඒ අය එකතු වෙලා අතීතයේ ව්‍යාපාරිකයින් තුළ තිබුණු පුණ්‍ය චේතනාව ක්‍රියාවට නංවන්න වැඩකටයුතු කරන බව මට දැනගන්නට ලැබෙනවා.

ඈත ගම්මානවලට ගෙවල් හදාදීමේ ඉඳන්, ශාසනයට උදව් කිරීමේ ඉඳන් බොහෝ දේවල් ප්‍රචාරය කරන්නේ නැතුව කරගෙන යන බව මට දැනගන්න ලැබිලා තියෙනවා. අතීත ව්‍යාපාරික සමාජයේ තිබුණ සාරධර්මත් අරගෙන ව්‍යාපාරික සංසදය ගොඩනැගීම පිළිබඳව මම ඉතාම සතුටු වෙනවා.

මිත්‍රවරුනි,

තරුණ ව්‍යවසායකයින් පළමු වතාවට තමයි ටයි-කෝට් නැතුව ජාතික ඇඳුමින් සැරසිලා එදා ඒකරාශී වුණේ. මට මතකයි ජීවිතේ පළවෙනි වතාවට ජාතික ඇඳුමින් සැරසුණු අය මීට වසර 22කට කලින් එකතුවෙලා හිටපු හැටි.

අදත් ඒ ජාතික ඇඳුම ඇඳගෙන මෙතැනට ඇවිත් ඉන්න බව දකිනකොට වසර 22කට කලින් තිබුණු සුහඳ හැඟීම, ජාතිය පිළිබඳ හැඟිම, රට පිළිබඳ හැඟීම ඇති පිරිසක් දැන් එකතු වෙලා ඉන්නවයි කියන එක ගැන මට විශාල ආඩම්බරයක් දැනෙනවා.

ඔබගේ කටයුතු දිනෙන් දින දියුණුවට පත් වේවායි මම ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාට සුභ අනාගතයක්! යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන කංචන විජේසේකර, ෂෙහාන් සේමසිංහ, දයාසිරි ජයසේකර,  ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, තරුණ ව්‍යවසායකයින්ගේ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සභාපති දිමුත් චන්දන සිල්වා, උප සභාපති රසිත් වික්‍රමසිංහ මහත්වරු ඇතුලු ව්‍යවසායකයින්ගේ සංගමයේ සමාජිකයින් රැසක් සහභාගී වූහ.

Recommended For You

About the Author: Thusal