දේශීය ඇඟළුම් ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට සැලසුම්ගත වැඩපිළිවෙළක්

ඇඟළුම් ක්ෂේත්‍රය වර්තමානයේ මුහුණ දී තිබෙන අභියෝග හඳුනාගෙන ඇති රජය එහි ඵලදායීතාව සහ ගුණාත්මකභාවය නැංවීමට පූර්ණ අනුග්‍රහය දීමට සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී. ඒ සඳහා සැලසුම්ගත වැඩපිළිවෙළක් ඔස්සේ ක්‍රියා කරන බවද ජනපතිවරයා පවසයි.

ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ නියෝජිතයන් සමග අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ, අපනයනය ඉලක්ක කරගත් කර්මාන්ත අතරින් ඇඟළුම් ක්ෂේත්‍රය ප්‍රමුඛස්ථානයක් ගනී. ශ්‍රී ලංකාව ඉතා උසස් තත්ත්වයේ ඇඟළුම් සඳහා ලෝක පූජීත සන්නාමයක් බවට පත්කිරීමේ හැකියාවද ලැබී තිබේ. දේශීය ඇඟළුම් ක්ෂේත්‍රයේ නව පිබිදීමක් ඇති කිරීමෙන් විශාල විදේශ විනිමයක් උපයාගත හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ඉලක්ක සපුරා ගැනීමට රජය විශේෂ උනන්දුවකින් ක්‍රියා කරන අතර, මේ වර්ෂයේ අපේක්ෂිත ඉලක්කය ඩොලර් බිලියන 5.1කි. ඉලක්ක සපුරාලීමට කැපවීමෙන් කටයුතු කරන බවට ව්‍යාපාරිකයෝ ජනාධිපතිවරයා හමුවේ සහතික වූහ.

සෞඛ්‍ය නිර්දේශ නිසා ක්ෂේත්‍රයේ ඉදිරි ගමනට එල්ල වී ඇති අභියෝග පිළිබඳව ද  ව්‍යාපාරිකයෝ  පැහැදිලි කළහ. රටේ පොදු සෞඛ්‍ය තත්ත්වයට බලපෑමක් නොවන අයුරින් ඇඟළුම් ක්ෂේත්‍රයට අදාළ යම් යම් සෞඛ්‍ය නිර්දේශ ලිහිල් කිරීමට ඇති හැකියාව සොයා බැලීමට යෝජනා කෙරිණි.

ක්ෂේත්‍රයේ මානව සම්පත් හිඟය පිළිබඳවද අවධානය යොමු වූ අතර ගුණාත්මක හා සුරක්ෂිත රැකියා අවස්ථා උදා කිරීම තුළින් ක්ෂේත්‍රයට තරුණ තරුණියන් ආකර්ශණය කර ගත හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ආයෝජකයන්ගේ වීසා කාලසීමාව දීර්ඝ කිරීම හා වීසා ලබාදීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම පිළිබඳව ද සාකච්ඡා විය.

( ඡායාරූප : රොෂාන් බොතේජු – ජනාධිපති මාධ්‍ය අංශය )

Recommended For You

About the Author: Thusal