වසර 172කට පසු ගාල්ලෙන් ‘කනපුස්වැල්’ සොයා ගනී

ඉතාමත් දුර්ලභ, ‘කනපුස්වැල්’ නමින් හැඳින්වෙන ශාක දෙකක් ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව හා අම්බලන්ගොඩ අතර පිහිටි මාදම්පාවිල අභයභූමිය ආසන්න ප්‍රදේශයේ තිබී හමුවූ බව ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසයි. ඔවුන් පවසන්නේ මෙම ශාකය පිළිබඳව වාර්තා වී ඇත්තේ වසර 172කට පසුව බවයි.

2012 වර්ෂයේ දී නිකුත් කළ රතු දත්ත වාර්තාවට අනුව මෙම ශාකය වඳ වී යාමේ දැඩි තර්ජනයට ලක් වූ විශේෂයක් ලෙස වර්ගීකරණය කර තිබේ.

මෙම ශාක දෙක හමුවී ඇත්තේ පසුගිය සතියේ දී මාදම්පාවිල අභයභූමිය හා ඒ අවට ප්‍රදේශයේ ජෛව විවිධත්වය පිළිබඳ කරන ලද පරීක්ෂණයකිනි. රනිල කුලයට අයත් මෙම වැල් විශේෂය උද්භිද විද්‍යාත්මකව ‘මුකුනා ගයිගන්ටියා’ (Mucuna gigantea) ලෙස හැඳින්වේ. කන පුස්වැල් නමින් සිංහල භාෂාවෙන් හඳුන්වන මෙම වැල් දෙකම හමුවී ඇත්තේ එකිනෙනකට ආසන්නව පිහිටි ගෙවතු දෙකක තිබූ කොට්ටම්බා ගස් දෙකක එතී ඉහළට වැඩෙමින් තිබිය දී ය.

මෙම පර්යේෂණයට සම්බන්ධ වූ පේරාදෙණිය ජාතික ශාකාගාරයේ හිටපු නිලධාරියකු මෙන්ම ශාක විශේෂ පිළිබඳ පර්යේෂකයකු වන භාතිය ගොපල්ලව මහතා පවසන්නේ Flora of Ceylon (Vol VII) ග්‍රන්ථයට අනුව කන පුස්වැල් ශාකය පළමුවෙන් ම වාර්තා වී ඇත්තේ 1849 වර්ෂයේදී පමණ මඩකලපුව ප්‍රදේශයෙන් බවයි. ඉන් පසු 1894 දී ට්‍රයිමන් නම් පර්යේෂකයා විසින් මෙම ශාකය පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ ශාක එකතුවේ තිබූ බවට වාර්තාවක් තබා තිබේ. ඒ අනුව පර්යේෂකයන් පවසන්නේ එක් නිදර්ශකයක් පමණක් ඇති මෙම ශාකය සම්බන්ධ වාර්තා සීමිත බවයි.

ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ සභාපති මධුර ද සිල්වා මහතා මෙසේ කීවේය.

“මෙය උද්භිද විද්‍යා ක්ෂේත්‍රයේ ඉතාමත් වටිනා සොයාගැනීමක්. මෙම පුස්වැල් විශේෂය වඳ වී යන්නට ඇතැයි විශ්වාස කළ ශාකයක්. මාදම්පේ අභයභූමිය ආසන්නයේ අභයභූමියට පිටත පිහටි පුද්ගලික ඉඩම්වලින් අපිට මේ ශාක දෙකම හමුවුණේ. ඒ නිසා මෙය සංරක්ෂණය සඳහා වහාම පියවර ගත යුතුයි. එමගින් මේ ශාක විශේෂය ආරක්ෂා කිරීමට අපිට හැකි වේවි.”

ශාක විශේෂ පිළිබඳ පර්යේෂක භාතිය ගොපල්ලව මහතා මෙසේ කීවේය. “ මෙය අපට හමුවන විටත් මල් පිපී ගෙඩි හටගෙන තිබුණා. ඒ නිසා පහසුවෙන් ප්‍රචාරණය කිරීමේ හැකියාව තිබෙනවා. උද්භිද උද්‍යානයන්හි ශාක එකතුවටත් මේ ශාක එක්කිරීමේ හැකියාවක් තිබෙනවා.”

මෙම පර්යේෂණය සඳහා මධුර ද සිල්වා, භාතිය ගොපල්ලව, සුපුන් දේශප්‍රේම, සිසිර දර්ශන ජයසිංහ, රොහාන් පාඬියප්පෙරුම, සම්පත් උඩුගම්පොළ, ලසිත් සිරිවර්ධන, ප්‍රදීප් කුමාර හා සම්පත් ගුණසිංහ යන පිරිස සහභාගී වූහ. වනජීවී දෙපාර්තමේන්තුවේ අඩවි සහකාර චමිල් ප්‍රදීප් මහතාගේ ද සහයෝගය මේ සඳහා ලැබුණු බව පර්යේෂකයෝ පවසති.

Recommended For You

About the Author: Thusal