ලෝකයේ වැඩියෙන්ම අලි මරණයට පත්වන රට: අලි මිනිස් ගැටුමට දැන්වත් සාර්ථක විසඳුමක් ලැබේ ද ?

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ වාර්තාවන්ට අනුව, අලි මිනිස් ගැටුම නිසා ලෝකයේ වැඩියෙන්ම අලි මරණයට පත්වන රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ. වසරකට ශ්‍රී ලංකාවේ මියයන අලි ඇතුන් සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 272කි. එමෙන්ම අලි මිනිස් ගැටුම නිසා වාර්ෂිකව අහිමිවන මිනිස් ජීවිත සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 85කි.

එසේ වුවද, ගෙවුණු 2020 වසර තුළ ශ්‍රී ලංකාවේ අලි මරණ 327ක් සහ මිනිස් මරණ 113ක් වාර්තා විය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම වඩාත්ම උග්‍ර වූ වසර 2019 වේ. එම වසරේදී අලි 407ක් සහ මිනිසුන් 122ක් මරණයට පත්ව තිබේ.

අවසාන වරට ශ්‍රී ලංකාවේ අලි සංගණනයක් සිදු වූයේ 2011 වසරේදීය. එහි දත්ත වලට අනුව ලංකාවේ අලි ගහනය 5879කි. ඉන් 55 දෙනෙකු වැඩුණු දළ ඇතුන් වූහ. කලා වැව අවට සැරිසැරූ ‘රේවත’ ඇතා කැකිරාවේදී විදුලි සැර වැදීමෙන් මියගොස් සිටියදී මාර්තු 09 වැනිදා හමුවීම, අලි මිනිස් ගැටුම කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු වූ ආසන්නම සිදුවීම වේ.

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 19 ක් තුළ පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 133ක දැනට අලි මිනිස් ගැටුම් වාර්තා වේ. 2021 වසරේ පළමු දින 68 තුළ වාර්තාවී ඇති අලි මරණ සංඛ්‍යාව 61කි.

කොළඹ කොටුවට අලි පනී

අතීතයේදී ශ්‍රී ලංකාව පුරා අලි ජීවත්වූ බවට සාධක තිබේ. 1751 දී කොළඹ කොටුවට පැමිණි අලි දෙදෙනෙකු කළ පහරදීමකදී මිනිසුන් දෙදෙනෙකු මිය ගිය බවට වාර්තා ඇතැයි ආසියානු අලි පිළිබඳ විශේෂඥයෙකු වන ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ මුළු භූමියෙන් 62% අලි ජීවත්වේ. ඉන් 44%ක අලි සහ මිනිසුන් එකම ප්‍රදේශයක ජිවත් වේ.
ශ්‍රී ලංකාවේ මුළු භූමියෙන් 62% ක අලි ජීවත්වේ. ඉන් 44%ක අලි සහ මිනිසුන් එකම ප්‍රදේශයක ජිවත් වේ.

සම්පුර්ණයෙන්ම නාගරීකරණය වූ ප්‍රදේශවල අද වනවිට අලි මිනිස් ගැටුම් වාර්තා නොවේ. මෙම ගැටලුව උග්‍ර වී තිබෙන්නේ අර්ධ නාගරික, තවදුරත් සංවර්ධනය කෙරෙමින් පවතින ප්‍රදේශවලය.

2010 සහ 2020 කාලය තුළ ශ්‍රී ලංකාවේ වාර්තාවූ අලි මරණ සංඛ්‍යාව 2958කි. ස්වභාවික මරණ 223ක් ද ඊට ඇතුළත් කර ඇත. වැඩිම මරණ සංඛ්‍යාවකට හේතුව වෙඩි තැබීම් වේ.

අලි මරණ වලට ප්‍රධාන හේතු

  • වෙඩි තැබීම
  • හක්ක පටස්
  • විදුලි සැර වැදීම
  • අනතුරු
  • වස දීම

‘කුල්ලක දේ අල්ලට දැමීම’

ශ්‍රී ලංකාවේ මුළු භූමියෙන් 62% ක අලි ජීවත්වේ. ඉන් 44%ක අලි සහ මිනිසුන් එකම ප්‍රදේශයක ජිවත් වේ.

”අපි අවුරුදු 60ක් 70ක් තිස්සේ මේ ප්‍රශ්නය විසඳන්න හදලා තියෙන්නේ මිනිස්සු ඉන්න පැතිවල ඉන්න අලි ටික මිනිස්සු නැති රක්ෂිතවලට කොටු කරල විදුලි වැට ගහන එක. අවුරුදු 50කට පස්සේ මේක කරලත් ප්‍රතිඵලය අසාර්ථක නම් තවදුරටත් ඒකම කරලා වෙනස් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැනේ” යනුවෙන් ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ මුළු භූමියෙන් 62% අලි ජීවත්වේ. ඉන් 44%ක අලි සහ මිනිසුන් එකම ප්‍රදේශයක ජිවත් වේ.
”මේකට හරි විසඳුමක් දෙන්න අපේ දර්ශනයේ සහ ප්‍රතිපත්තියේ පැහැදිළි වෙනසක් වෙන්න ඕනා.” – ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු

අලි පමණක් ජීවත් වන ප්‍රදේශවල පරිසරයට දරා ගැනීමට ප්‍රමාණවත් අලි සංඛ්‍යාවක් ජීවත් වේ. එබැවින් මිනිසුන් ජීවත්වන ප්‍රදේශවල සිටින අලි එම ප්‍රදේශවලින් පන්නා, අලි පමණක් සිටින ප්‍රදේශවලට කොටු කිරීමට උත්සහ කිරීම ‘කුල්ලක දේ අල්ලට දැමීම’ වැනි කළ නොහැකි දෙයක් බව ආචාර්ය පෘථිවිරාජ් පැහැදිළි කළේය.

”විදුලි වැට ගහන්න ඕනා කැලෑ වටා නෙමෙයි”

”අපේ පර්යේෂණ අනුව විදුලි වැට ගහන්න ඕනා කැලෑ වටා නෙමෙයි. ඒක ගහන්න ඕනා අපිට ආරක්ෂා කරගත යුතු ගම්මානය හෝ වගාබිම වටා. දැන් තියෙන විදියට විදුලි වැට දෙපැත්තේම අලි ඉන්නවා. අපි ජනාධිපතිතුමාට දුන්න වර්තාවෙනුත් මේ කාරණය පෙන්වා දුන්නා. මේකට හරි විසඳුමක් දෙන්න අපේ දර්ශනයේ සහ ප්‍රතිපත්තියේ පැහැදිළි වෙනසක් වෙන්න ඕනා.” යැයි ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු පැවසුවේය.

ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම විසඳීමට ජාතික සැලැස්මක් සෑදීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන ලදී. එහි වාර්තාව මේ වනවිට භාරදී අවසන්ය.

එම කමිටු සාමාජිකයෙකු මෙන්ම ආසියානු අලි පිළිබඳ විශේෂඥයෙකු සහ හිටපු වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ද වන ආචාර්ය සුමිත් පිලපිටිය බීබීසී සිංහල සේවයට කියා සිටියේ මිනිසුන්ගේ අවශ්‍යතා ගැන නොව අලින්ගේ අවශ්‍යතා ගැන සළකා ක්‍රියා කිරීමෙන් මීට වඩා සාර්ථකත්වයක් ලබාගත හැකි බවය.

”වනජීවී ඉඩම් 99%ක් මායිම් වෙලා තියෙන්නේ වන සංරක්ෂණ ඉඩම් වලට. අපි ගිහින් වැට ගහනවා වනජීවී – වන සංරක්ෂණ මායිම් අතර. අලියා ගමන් කරන්නේ මිනිස්සු දාපු පරිපාලන මායිම් දිගේ නෙමෙයි. අලියා වැට ළඟට ආවම දෙපැත්තේම පරිසර පද්ධතිය එකයි. ඉතිං වැට කඩලා අලියා එළියට යනවා.” යනුවෙන් ආචාර්ය සුමිත් පිලපිටිය කියා සිටියේය.

මේ වසරේදී අලුතින් 1500Km දුරට අලිවැට ඉදිකිරිම සඳහා රජය සැළසුම් කර තිබේ.
මේ වසරේදී අලුතින් කි.මී. 1500 දුරට අලිවැට ඉදිකිරිම සඳහා රජය සැළසුම් කර තිබේ.

විදුලි වැටක් යනු භූමියක මායිම් සීමාකරන දෙයක් නොවේ. මායිම් ලකුණු කිරීමට නම් මායිම් ගල් දැමිය යුතුය. විදුලි වැටෙන් සිදු කෙරෙන්නේ පරිසර පද්ධති දෙකක් වෙන්කිරීම වේ. එබැවින් විදුලි වැට ඉදිකළ යුත්තේ කැලෑව සහ ගම හෝ සංවර්ධනය වන ප්‍රදේශය වෙන්වන ස්ථානයේ මිස මායිම් දෙකක් වෙන්වන ස්ථානයේ නොවේ. එහෙත් ශ්‍රී ලංකාවේ සිදුව තිබෙන්නේ මායිම් සීමා කිරීම සඳහා විදුලි වැට යොදා ගැනීම බව ආචාර්ය පිලපිටියගේ අදහස වී ඇත.

”අලියා වැට ළඟට ඇවිත් බලනකොට වැටෙන් එහා පැත්තෙත් තියෙන්නේ තමන්ට හොඳ පරිසරයක් නම් වැට කඩාගෙන යනවා. නමුත් වැටෙන් එහා තියෙන්නේ වෙනස් පරිසරයක් නම් අලියා වැට කඩාගෙන යන එක අඩුයි. සමහර කැලෑ කුට්ටි පොඩි වැඩියි අලින්ට. ඒවා වටා වැටවල් ගහලත් වැඩක් නෑ. ඒ වගේ තැන්වල වැට ගහන්න ඕනා අපිට රැකගන්න ඕනා ගෙවල් ටිකයි, ගම වටේ හෝ වගාබිම වටේ.” යනුවෙන් ආචාර්ය සුමිත් පිලපිටිය පැවසුවේය.

වනජීවී දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම

අලි වැට සැදීම සඳහා 2021 වසරේදී රුපියල් මිලියන 3000ක මුදලක් වෙන්කර ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රචාරණ නිලධාරිනී හසිනි සරත්චන්ද්‍ර බීබීසී සිංහල සේවයට පැවසුවාය. මේ වසරේදී අලුතින් කිලෝමීටර 1500 දුරට අලිවැට ඉදිකිරිම සඳහා රජය සැළසුම් කර තිබේ.

ඊට අමතරව අලි වෙඩි ලබාදීම, වන්දි ගෙවීම, ජනතාව දැනුවත් කිරීම ඇතුළු අලි මිනිස් ගැටුම කළමනාකරණය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තවත් රුපියල් මිලියන ගණනක් වැය කරයි.

මේ වනවිට ඉදිකිර්ම් අවසන් කර ඇති අලි වැටවල දිග 4500Km පමණ වේ.
”අපි අලින්ට පහසුවෙන් කඩන්න බැරි විදියට විදුලි වැට ගහන්න කටයුතු කරනවා.” – හසිනි සරත්චන්ද්‍ර

2019 කාර්ය සාධන වාර්තාවට අනුව වනජීවී දෙපාර්තමේන්තුව එම වසරේදී අලි වෙඩි සඳහා රුපියල් මිලියන 151.9ක් ද වන්දි ගෙවීම සඳහා රුපියල් මිලියන 138.8ක් ද වැය කර තිබේ.

මේ වනවිට ඉදිකිරීම් අවසන් කර ඇති අලි වැටවල දිග කිලෝමීටර 4500 ක් පමණ වේ.

”අපි අලින්ට පහසුවෙන් කඩන්න බැරි විදියට විදුලි වැට ගහන්න කටයුතු කරනවා. එල්ලෙන විදුලි වැට, ආනතව හදන විදුලි වැට ඊට උදාහරණ. ඒ වගේම අලියට පයින් ගහලා කඩන්න බැරි විදියට විදුලි වැට හදනවා. අලි බොහෝ වෙලාවට පහර දෙන්නේ සැඟවිලා ඉඳලා. ඒ නිසා ඉදිරිය හොඳින් පෙන්න මග දෙපස එළි පෙහෙලි කරනවා.” යනුවෙන් හසිනි සරත්චන්ද්‍ර විස්තර කළා ය. ඇය පැවසූ ආකාරයට අලි පහරදීම්වලින් ආරක්ෂා වීම සඳහා ගතයුතු ආරක්ෂක පියවර සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා ද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩි අවධානයක් යොමුකර තිබේ.

අලින්ගේ ගමන අඩාල කිරීම සඳහා අගල් සැදීමද සිදු කරනු ලබන අතර පුත්තලම සහ කුරුණෑගල ගම්මාන වටා විදුලි වැට ඉදිකර ඇති බව ද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

”කරන වැඩෙන් අලි මිනිස් ගැටුම තවත් වැඩි වෙන්න පුළුවන්”

අලි මිනිස් ගැටුම අවම කිරීමට එක් පසකින් ක්‍රියා කරන රජය තවත් අයුරකින් අලි මිනිස් ගැටුම වැඩි කිරීමට දායක වන බව සත්ත්ව සුබසාධන ක්‍රියාකාරිනියක වූ ඉරාකී කොඩිතුවක්කු බීබීසී සිංහල සේවයට කියා සිටියාය.

”ඡන්ද කාලේ පාරම්පරික ඉඩම්, හේන් ටික, කුඹුරු ටික දෙනවා කිවුවා. මේ ඉටු කරගෙන යන්නේ ඒ පොරොන්දු. අපි කියනවා අලි මංකඩ නිදහස් කරලා දෙන්න කියලා. අපි එහෙම යෝජනා කරනකොට අනික් පැත්තෙන් සත්තුන්ට අයිති ඉඩම් ටික කපාගෙන යනවා. ඒ අයට ඕනා ඡන්දටික ගන්න. ” යැයි සඳහන් කළ ඇය දහයියාගල ප්‍රදේශයේ සිදුවන බව කියන පරිසර විනාශයක් ගැන සඳහන් කළාය.

”අලි බෝගහපට්ටිය, කරමැටිය ලවණ නිධියට එන මාර්ගය දැන් විනාශ කෙරෙනවා. ඒ නිසා අලින්ට ඒ ලවණ බිමට දැන් තියෙන පාරෙන් යන්න බැරි වුණොත් ඒ අය අලුත් පාරක් හොයා ගන්නවා. එතකොට මේ කරන වැඩෙන් අලි මිනිස් ගැටුම තවත් වැඩි වෙන්න පුළුවන්” යයි ඉරාකි වැඩිදුරටත් පැවසුවාය.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අලි මංකඩ 17ක් හඳුනාගෙන ඇත. එහෙත් මේ දක්වා ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට හැකිවී තිබෙන්නේ කවුඩුල්ල – මින්නේරිය අලි මංකඩ පමණි.

සිංහරාජයේ දක්නට ලැබෙන අලි දෙදෙනා ගමන් කරන මාර්ගය අවහිර වන සේ හෝටලයක් ඉදි කිරීමේ සිදුවීමක් ද මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි අවධානයට ලක්ව ඇත. බලධාරීන් පවසන්නේ එම ඉඩම් පුද්ගලික ඒවා බවයි. එහෙත් ඉඩම් පුද්ගලික වුව ද එමගින් තෙත් කලාපයට සීමාවූ අලි දෙදෙනාගේ ගමන්මග අවහිර වන බවට පරිසරවේදීහු පෙන්වා දෙති.

වල්සපුගල සත්‍යග්‍රහය

හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන්නැයි ඉල්ලා වල්සපුගල ප්‍රදේශයේ අඛණ්ඩ සත්‍යග්‍රහය මාර්තු 17 වැනිදා වනවිට 60 වන දිනටත් ක්‍රියාත්මක විණි. අදාළ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කරන බවට ලද ලිඛිත පොරොන්දුව මත එම ස්ථානයේ සිදු කළ මාරාන්තික උපවාසය පමණක් අත්හිටුවා ඇත.

ලුණුගම්වෙහෙර, උඩවලව සහ බුන්දල අවට ජීවත් වෙන අලි නිසා වල්සපුගල, කොස්වගාව සහ කරුවලගස්වැව යන ගම්මානවල ජනතාව දැඩි ලෙස පිඩාවට පත්ව සිටිති.
,ලුණුගම්වෙහෙර, උඩවලව සහ බුන්දල අවට ජීවත් වෙන අලි නිසා වල්සපුගල, කොස්වගාව සහ කරුවලගස්වැව යන ගම්මානවල ජනතාව දැඩි ලෙස පිඩාවට පත්ව සිටිති.

කලින් සැළසුම් වලට අනුව යෝජිත රක්ෂිතයට විශාල භූමියක් ඇතුළත් වීමට නියමිතව තිබුණ ද හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ, ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ආදී ඉදි කිරීම්, මහාපරිමාණ වගාවන් හා කර්මාන්ත සඳහා ඉඩම් භාවිත කිරීම හේතුවෙන් රක්ෂිතයට වෙන්කළ හැකි භූමිය අඩුවී තිබේ. ඒ හේතුවෙන් අලි ගම් වැදීම වැඩිවී ඇති බව ජනතාව පවසති.

ලුණුගම්වෙහෙර, උඩවලව සහ බුන්දල අවට ජීවත් වෙන අලි නිසා වල්සපුගල, කොස්වගාව සහ කරුවලගස්වැව යන ගම්මානවල ජනතාව දැඩි ලෙස පිඩාවට පත්ව සිටිති.

අලි මිනිස් ගැටුම විසඳන්න ‘ගෝඨාභය’ ගේ උත්සාහය

වන අලි ගම් වදිනවා වෙනුවට කැලෑ වදින ක්‍රමවේදයක් සකස් කර අලි මිනිස් ගැටුමට දෙවසරක් තුළ ස්ථීර විසඳුමක් දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2020 අගෝස්තු 27 වැනිදා නිලධාරීන්ට උපදෙස් දුන් බව ජනාධිපති කාර්යාලයේ වෙබ් අඩවියේ සඳහන් වේ.

දීර්ඝ කාලයක සිට පවතින ගැටලුවට විසඳුමක් සෙවීමට හෝ උපාය මාර්ග සකස් කිරීමට හෝ අදාළ ක්ෂේත්‍රවල නිලධාරීන්ට නොහැකිවීම ගැන ජනාධිපතිවරයා එම රැස්වීමේදී මවිතය පළ කළ බව ද එහි සඳහන් වේ.

”අවුරුදු ගාණක් තිස්සේ මේවා සාකච්ඡා වෙනවා. හැබැයි ක්‍රියාත්මක වෙලා නෑ තිරසාර ක්‍රමවේදයක්. මේ අවුරුදු දෙක තුන ඇතුළත අනිවාර්යෙන් ක්‍රියාත්මක වෙන්න ඕනා.” යනුවෙන් ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට පවසා තිබේ.

මේ අතර වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙල හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන නමින් නව රාජ්‍ය අමාත්‍යංශයක් ද ආරම්භ කර ඇත. ඒ, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශයට අතිරේකවයි. අලි මිනිස් ගැටුම කඩිනමින් විසදීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදී සිහිපත් කළේය. අලි මිනිස් ගැටුම වළක්වා ගැනීම සඳහා ක්‍රියාත්මක වෙමින් පවතින බව විෂය භාර අමාත්‍යවරු ද පවසති.

අලි මිනිස් ගැටලුව විසඳීමට විශේෂඥයින්ගේ අදහස් මෙන්ම ගොවි ජනතාවගේ හා ගැටලුවට මුහුණදී ඇති ජනතාවගේ අදහස් ලබා ගැනීමට රජය කටයුතු කර තිබේ.
අලි මිනිස් ගැටලුව විසඳීමට විශේෂඥයින්ගේ අදහස් මෙන්ම ගොවි ජනතාවගේ හා ගැටලුවට මුහුණදී ඇති ජනතාවගේ අදහස් ලබා ගැනීමට රජය කටයුතු කර තිබේ.

අලිවැට නඩත්තුව ගම්වල මරණාධාර සමිති, ස්වේච්ඡා සමිති සහ ගොවි සංවිධාන වෙත පැවරීමට ක්‍රියා කරනු ලැබේ. එමෙන්ම අලි මිනිස් ගැටලුව විසඳීමට විශේෂඥයින්ගේ අදහස් මෙන්ම ගොවි ජනතාවගේ හා ගැටලුවට මුහුණදී ඇති ජනතාවගේ අදහස් ලබා ගැනීමට රජය කටයුතු කර තිබේ.

ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුවේ වාර්තාව සක්‍රීය කිරීමට සහ අලි වැට සක්‍රීය කිරීමට රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත උපදෙස් ලබා දී ඇතැයි වනජීවී සහ වන සම්පත් අමාත්‍ය සී.බී රත්නායක බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

”රාජ්‍ය සේවයේ එක්තරා ඒකාධිකාරියක් තියාගෙන ඉන්නවා. දේශපාලන අධිකාරිය කිව්වත්, රටේ ප්‍රතිපත්ති කිව්වත් ඒ අයගේ කතන්දරයත් එක්ක අලි වැටවලට සහ අලි මංකඩවලට නිර්දේශ එදා දුන්නා. අද ඒක දෙන්නේ නැතුව කටයුතු කරනවා. ප්‍රයෝගිකව මිනිසෙක් හැටියට ජනාධිපතිතුමා ක්‍රියාත්මක වෙනකොට ඒ දේවල් ක්‍රියාත්මක කිරීම තමයි අපේ වගකීම.” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරත් පැවසුවේය.

”විද්වත් කමිටුව ලබා දුන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න ජනාධිපතිතුමා ඇතුළු බලධාරීන් ක්‍රියා කළහොත් ඉදිරියේදී අලි මිනිස් ගැටුම කළමනාකරණයේ හොඳ ප්‍රගතියක් අත්කර ගන්න පුළුවන්.” යන්න ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දුගේ අදහස වේ.

දශක තුනකට අධික කාලයක සිට අනුගමනය කළ ක්‍රමවේදයන්ගේ ප්‍රතිපලයක් ලෙස අද අපි මෙම අලි මිනිස් ගැටුමට මුහුණදී සිටිමු. ඉන් මිදීමට නම් අලි මිනිස් ගැටුම කළමනාකරණයේ දුර්වලතා හඳුනාගෙන ඊට නිසි ක්‍රමවේද අනුගමනය කළ යුතුව තිබේ. එවිට එය සම්පුර්ණයෙන්ම වළක්වා ගැනීමට නොහැකි වුව ද මෙම ගැටලුව නිසි පරිදි කළමනාකරණය කරගෙන සංවර්ධන කටයුතු සිදු කරන්නේ නම් එමගින් වටිනා මිනිස් ජීවිත සහ අලි ඇතුන්ගේ ජීවිත ආරක්ෂා කර ගත හැකිය. එමෙන්ම වසරකට රුපියල් මිලියන ගණනක මුදලක් ඉතිරි කර ගැනීමට ද හැකිවනු ඇත.

‘අලි මිනිස් ගැටුම නිසා මිනිසුන් වැඩියෙන්ම මිය යන රට’

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 13ක ආසියානු අලි ජීවත්වෙන අතර උන්ගේ ගහනය 50,000-60,000 අතර බවට ඇස්තමේන්තු කර ඇත. ඉන්දීය පරිසර, වන හා දේශගුණික විපර්යාස අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛන වලට අනුව ආසියානු අලින්ගෙන් 60%කට වැඩි ප්‍රතිශතයක් ඉන්දියාවේ ජීවත් වේ. 2017 සංඛ්‍යාලේඛන වලට අනුව ඉන්දියාවේ අලි ගහනය 29,964කි.

එහෙත් ඉන්දියාවේ අලි මිනිස් ගැටුමේදී මියයන අලින්ගේ සංඛ්‍යාවට වඩා මිනිසුන්ගේ සංඛ්‍යාව වැඩි වීම විශේෂ ලක්ෂණයකි. ඉන්දියාවේ වසරකට අලි 100ක් සහ මිනිසුන් 500ක් පමණ මිය යති.

ශ්‍රී ලංකාවට වඩා ඉන්දියාවේ භුමි ප්‍රදේශය විශාල බව සැබෑය. මෙහිදී අවධානය යොමු කළ යුතු කරුණ වන්නේ අලි සහ මිනිසුන් ගැටෙන වාර ගණන ශ්‍රී ලංකාවට ආසන්න වශයෙන් සමාන වන අතර එහිදී දෙරටේ ප්‍රතිඵලය හාත්පසින්ම වෙනස් වීමයි.

බි.බී.සී. සන්දේශය වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි

Recommended For You

About the Author: Thusal