සහල් මිල ඉහළ යාම සහ ‘ආණ්ඩුවේ වි මිලදී ගැනීමේ වැඩපිළිවෙළේ හිල් ගැන’ හෙළිදරව්වක්

සහල් මිල ඉහළ ගොස් තිබෙනුයේ ආණ්ඩුව මහා පරිමාණ මෝලි හිමියන් සමග තරඟයට වී ලබා ගැනීමට යාම නිසා බවත් ආණ්ඩුව විසින් සිදුකළ යුතුව තිබුණේ රජයේ සහතික වී මිලට සාපේක්ෂව සහල් තොග මිලක් හා සිල්ලර මිලක් නියම කිරීම බවත් කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා සඳහන් කරයි.

සහල් ආනයනය කළොත් තියෙන් කුඩා මෝල් ටිකත් වැහිලා යාවි…

සහල් මිල පාලන කිරීමට ආණ්ඩුව තීන්දු තීරණ නොගෙන රටින් සහල් ගෙන්වීමට සැලසුම් කිරීම හරහා දැනට ඉතිරිවී තිබෙන කුඩා හා මධ්‍යම පරිමාණ මෝල් සුළු ප්‍රමාණයද වැසී යන බව ද මුදිත් පෙරේරා මහතා වැඩි දුරටත් සදහන් කළේය.

සහල් හිගය ගැන වැඩි දුරටත් අදහස් දක්වමින් මුදිත් පෙරේරා මහතා මෙසේ ද සදහන කළා.

‘‘ අපේක්ෂා කළ පරිදි මාස් කන්නයේදී ලැබිය යුතු වී අස්වැන්න මෙවර ලැබී තිබෙනවා., මේ නිසා රට තුළ කිසිදු ආකාරයක සහල් හිඟයක් ඇතිවීමට කිසිම හැකියාවක් නැහැ. තත්ත්වය එසේ වුවත් මේ වන විට රට තුළ සහල් හිගයක වගේම මිල ඉහළ යාමක් තිබෙනවා. සහල් මිල ඉහළ ගොස් තිබෙනුයේ ආණ්ඩුව මහා පරිමාණ මෝලි හිමියන් සමග තරඟයට වී ලබා ගැනීමට යාම නිසා බවයි අපේ ස්ථාවරය වෙන්නේ. ආණ්ඩු සිදුකළ යුතුව තිබුණේ රජයේ සහතික වී මිලට සාපේක්ෂව සහල් තොග මිලක් හා සිල්ලර හිලක් නියම කිරීම මිස මහා පරිමාණ මෝල් හිමියන් සමග තරගයට යාම නොවෙයි‘‘

ආණ්ඩුව ඊයේ (17) වනවිට නාඩු වී කිලෝවක් මිලදී ගනු ලැබුවේ රුපියල් 56. 50කට බවත් මේ අනුව සහල් කිලෝවක තොග මිල රුපියල් 105ක් විය යුතු අතර සිල්ලර මිල රුපියල් 110ක් වියයුතු බවත් මුදිත් පෙරේරා මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

‘‘ආණ්ඩුව මගින් වැඩි මිලට වී මිලදී ගෙන අතින් පාඩුපිට හෝ රුපියල් 100ට අඩුවෙන් සහල් ලබා දෙන බව කියනවා. ඒත් ඇත්ත කතාව නම් රුපියල් 100ට අඩුවෙන් සහල් ලබා දීමට නම් රුපියල් 48ට හෝ ඊට අඩුවෙන් වී මිලදී ගත යුතුයි. ඒ නිසා මේ කතා ගැන ඒ හැටි විශ්වාසයක් තැබිය නොහැකියි‘

මෙහිදී ආණ්ඩුවේ වී මිලදී ගැනීමේ අරමුණ ගැන සිය ස්ථාවරය පැහැදිලි කළ මුදිත් පෙරේරා මහතා කියා සිටියේ ආණ්ඩුවේ වී මිලදී ගැනීමේ ක්‍රමවේදය යටතේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් මිලදී ගැනීමට නියමිත වුවත් අදාළ වී තොගය රටේ මාසික සහල් අවශ්‍යතාවට පමණක් සීමා වන බවයි.

‘‘මෙහි බරපතළ තත්ත්වය තමයි සහල් මිල පාලනය කිරීම සඳහා රටින් සහල් ගෙන්වන බවට ආණ්ඩුව කරන ප්‍රකාශය. මේ හරහා සිදුවනුයේ කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට ව්‍යාපාර සිදුකර ගැනීමට නොහැකිවීමයි. ගෙවී ගිය දශක දෙක තුළ කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් ශක්තිමත් කිරීමට වැඩපිළිවෙළක් සකස් නොකිරීම හේතුවෙන් මෝල් 1,400ක් පමණ වැසී ගොස් තිබෙනවා. මේ අනුව රට තුළ දැනට ඉතිරිව තිබෙනුයේ කුඩා හා මධ්‍යපරිමාණ මෝල් 600ක් පමණයි‘‘

‘‘දැනට මේතරමින් හෝ සහල් මිල පාලනය වී තිබෙනුයේ කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් විසිනුයි. මේ තත්ත්වය තුළ සහල් ආනයනය කිරීම හරහා සිදුවනුයේ මෙම මෝල් ටිකජද වැසී යෑමයි. මේ නිසා ආණ්ඩුව කළ යුතු බුද්ධිමත්ම පියවර වන්නේ වී මිලට සාපේක්ෂව සහල් පාලන මිලක් නියම කිරීමයි. එසේ නොකර ගන්නා කිසිම ක්‍රියාමාර්ගයක් ගොවියට හෝ කුඩා – මධ්‍ය පරිමාණ මොල් හිමියන්ට මෙන්ම පාරිභෝගිකයින් ද යහපතක් උදා කරන්නේ නෑ‘

Recommended For You

About the Author: Thusal