කොවිඩ් නිසා ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු රටවල ‘ළමා සහ මාතෘ මරණ 239,000ක්’

කොවිඩ්-19 වසංගතයත් සමඟ සෞඛ්‍ය සේවා අඩාලවීම හේතුවෙන් දකුණු ආසියානු රටවල ළමා සහ මාතෘ මරණ 239,000ක් පමණ සිදුව ඇතැයි ඇස්තමේන්තු කෙරෙන බව එක්සත් ජාතීන්ගේ වාර්තාවක් කියයි.

එම වාර්තාව මගින් අවධානය යොමුකරනු ලැබ තිබෙන්නේ ඇෆ්ඝනිස්තානය, නේපාලය, ඉන්දියාව, පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව යන දකුණු ආසියානු රටවල් සමූහයයි. එම රටවල ජීවත්වෙන ජනගහනය කෝටි 180ක් පමණ වෙයි.

එක්සත් ජාතීන්ගේ එම වාර්තාව අනුව දකුණු ආසියාතික රටවල එකී ව්‍යසනයට දරුණු මට්ටමින් ගොදුරුව ඇත්තේ කාන්තාවන්, ළමුන් සහ වැඩිහිටියන්ය.

මේවනවිට දකුණු ආසියාවෙන් කොවිඩ්-19 ආසාදිතයන් මිලියන දහතුනක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 186,000ක් පමණ වේ.

ඉහත කී දකුණු ආසියානු රටවල් ද ඇතුළුව කොරෝනා වසංගත තර්ජනය එල්ල වූ බොහෝ රටවල් ඊට මුහුණදෙන ලද්දේ දැඩි අගුලු දැමීමේ (‘ලොක්ඩවුන්’) පිළිවෙතක් අනුගමනය කරමිනි. එහෙත් ඒ අතරවාරයේ රෝහල්, ඖෂධ වෙළෙඳසල් සහ සිල්ලර අලෙවිසල් විවෘතව පවත්වාගනු ලැබුණි. සෙසු සියලු අංශ සහමුලින්ම මෙන් වසාදමනු ලැබීමේ පිළිවෙතක් අනුගමනය කරනු ලැබුණි.

‘කොවිඩ් -19 වසංගතයේ සෘජු සහ සෘජු නොවන බලපෑම් සහ දකුණු ආසියාවේ ප්‍රතිචාරය’ යනුවෙන් නම්කරනු ලැබ ඇති එක්සත් ජාතීන්ගේ වාර්තාව මගින් එම රටවල ආණ්ඩු විසින් සෞඛ්‍ය සේවා සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන මූලෝපායී ක්‍රියාමාර්ගයන්, සමාජ සේවාවන් සහ පාසල් අධ්‍යාපනයත් ඇතුළුව ආර්ථික ක්ෂේත්‍රය ගැනත් විපරම් කිරීමක් සිදුකරයි.

මුලින් සඳහන් කරන ලද දකුණු ආසියානු රටවල් පහේ වයස අවුරුදු පහට අඩු අතිරේක ළමා මරණ 228,000ක් සිදුව ඇති බවත් එම එක්සත් ජාතීන්ගේ වාර්තාව පවසයි. එම මරණවලට හේතුව ලෙස දැක්වෙන්නේ පෝෂණ ප්‍රතිලාභ සහ ප්‍රතිශක්තිකරණය වැනි ඉතාම වැදගත් සමාජ සේවා නතරවීමය .

වාර්තාව පෙන්වාදෙන පරිදි නේපාලයේ සහ බංග්ලාදේශයේ මන්දපෝෂණය සඳහා ප්‍රතිකාර කරනු ලබන ළමුන්ගේ සංඛ්‍යාව 80%කින් පහත වැටුණි. ඒ අතරම ඉන්දියාවේ සහ පාකිස්තානයේ ළමුන් ප්‍රතිශක්තිකරණය පිළිවෙලින් 35% සහ 65% මට්ටමින් පහත වැටී ඇත.

එක්සත් ජාතීන් සඳහන් කරන පරිදි 2020 වසර ඇතුළත දකුණු ආසියාවේ වැඩිම ළමා මරණ අනුපාතය වාර්තාවන්නේ ඉන්දියාවෙනි. ඉන්දියාවේ ළමා මරණ සංඛ්‍යාව 15.4%ක අනුපාතයකින් ඉහළ ගියේය. ඊළඟට සිටින බංග්ලාදේශයේ ළමා මරණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙන්නේ 13%ක අනුපාතයකිනි. මේ අතර මාතෘ මරණ වැඩිම සංඛ්‍යාව වාර්තාවන්නේ ශ්‍රී ලංකාවෙනි.එම මාතෘ මරණ අනුපාතය 21.5%කින් ඉහළ ගිය අතර පාකිස්තානයේ මාතෘ මරණ අනුපාතය 21.3%කින් වැඩිවී තිබිණි.

මෙහි තවත් ප්‍රවනතාවක් ද දක්නට ලැබෙයි. එනම් අපේක්ෂා නොකළ ගැබ්ගැනීම් ලක්ෂ තිස්පහක් (මිලියන3.5) පමණ සිදුව ඇතැයි ඇස්තමේන්තු කරනු ලැබීමය. එම කාන්තාවන්ගෙන් හාරලක්ෂයක් (400,000) පමණ යොවුන්වියේ පසුවෙන තරුණියෝ වූහ. එම අනපේක්ෂිත ගැබ්ගැනීම්වලට හේතුව ලෙස දැක්වෙන්නේ දුප්පත්කම හෝ උපත්පාලන පහසුකම් නොවීමය.

වසංගතයේ පූර්ණ බලපෑම සහ ලොක්ඩවුන් කරනු ලැබීම නිසා පසුව බලපැවැත්වෙන ප්‍රතිවිපාක එම රටවල මහජන සෞඛ්‍ය සහ අධ්‍යාපන වැඩසටහන් කෙරෙහි බලපෑම මේවනවිට පැහැදිලි වෙන්නට පටන්ගෙන ඇත.

ඉදිරි මාස කීපය තුළ තොරතුරු ගලාඑන්නට පටන් ගැනීමත් සමඟ රටපුරාම මන්දපෝෂණ තත්ත්වයේ නරකම සංඛ්‍යා දත්ත අනාවරණය වෙනු ඇතැයි ඉන්දියානු විශේෂඥයන් විසින් දැනටමත් බිය පළකරනු ලැබ ඇත.

ඉන්දියාව වැනි දකුණු ආසියාවේ ඇතැම් රටවල් තවමත් පසුවන්නේ වෛරසය පැතිරයාම පාලනය කරගැනීමේ අරගලයක නිරතවෙමිනි. ඉන්දියාවේ ජාතික මට්ටමේ අගුලු දැමීම පසුගිය ජූනි මාසයේ අවසන් කෙරුණි. එහෙත් වෛරසය පැතිරීම පාලනය කරගැනීම සඳහා ප්‍රාන්ත කීපයක සහ ඇතැම් දිස්ත්‍රික්කයන්හි අගුලු දැමීම් වරින්වර සිදුකෙරෙයි.

සෞඛ්‍ය සේවාවන් අඩාලවීම කලාපයේ රටවල වෙනත් ව්‍යාධීන්ගෙන් පීඩා විඳින ජනතාවටත් බලපෑවේය. එක්සත් ජාතීන්ගේ වාර්තාව සඳහන් කරන පරිදි, සෞඛ්‍ය සේවා අඩාලවීම් හේතුවෙන් ක්ෂයරෝගය, මැලේරියාව, උනසන්නිපාතය සහ එච්අයිවී/ඒඩ්ස් සඳහා ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 5,943ක් මරණයට පත්වූ බව හඳුනාගනු ලැබුණි.

BBC

Recommended For You

About the Author: Thusal