Voice of දියවන්නා : කාංචනගේ මතයට ‘ප්‍රසන්නගෙන් පොඩි තල්ලුවක්’

සටහන – ගජබා නාගහවත්ත

පසුගිය සිකුරාද (12) සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් කොළඹට කැදවා තිබිණි. ඉදිරි දේශපාලන කටයුතු පිළිබද සාකච්ඡා කිරීම රැස්වීමේ අරමුණ විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය වෙනුවෙන් මෙම රැස්වීම සංවිධානය කිරීමේ වගකීම බැසිල් රාජපක්ෂ පවරා තිබුණේ සබරගමුව පළාත් සභාවේ හිටපු සභාපති කංචන ජයරත්නටය. කංචන පක්ෂයේ පළාත් සභා මන්ත්‍රී සංසදයේ කැදවුම්කරු ද වුයේය. ජනාධිපතිවරයා හා බැසිල් රාජපක්ෂට අමතරව ප්‍රසන්න රණතුංග, ජනක බණ්ඩාර තෙන්නකෝන්, රොෂාන් රණසිංහ, ජයන්ත කැටගොඩ හා පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

පිළිගැනීම කළේ ද කංචන ජයරත්නය. කංචන මේ රැස්වීමේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවීම සදහා මෙන්ම වත්මන් ආණ්ඩුව ගෙන ඒම සදහා කළ  කැපකිරීම් ගැන සංවේදී කථාවක් කළේය.

“ආණ්ඩුව හදන්න දිවිහිමියෙන් කැප වුණා වගේම ආණ්ඩුව රකින්නත් අපි කැපවෙනවා..” කංචන කීවේය.

“කොවිඩ් 19 නිසා තමයි අපේ ආණ්ඩුව ප්ලෑන් කරපු හුගක් දේවල් කරන්න බැරිවුණේ. දැන් කොවිඩ් වසංගතය තරමක් පාලනය කරගනිමින් ඉන්නවා. ඒ නිසා කොවිඩ් වසංගතය පාලනය කරලා ලැබෙන පළමු පැයේ දී පළාත් සභා මැතිවරණය තියන්න කටයුතු කරන්න.” කංචන කීවේය.

ඇමති ප්‍රසන්න රණතුංගගෙන් කංචනගේ අදහසට ලැබුණේ පොඩි තල්ලුවක්. “මමත් එකගයි පළාත් සභා මැතිවරණය ඉක්මණින් තියමු. අපි විපක්ෂයේ ඉන්නකොට දිගින් දිගටම පෙනී සිටියේ මැතිවරණ කල් දැමීමට විරුද්ධව. ඒ කමිටුවේ සාමාජිකයෙක් මම. ඒ නිසා මැතිවරණය කල් දැමීමට සම්පූර්ණයෙන් ම විරුද්ධයි. හැබැයි පක්ෂ‍යේ මතයට ගරු කරනවා.” ප්‍රසන්න පැහැදිලි කළේය.

“මටත් හැමෝම කියනවා ඡන්දය තියන්න කියලා. මම ඉන්නෙත් ඡන්දය තැබිය යුතුයි කියන ස්ථාවරයේ..” ගෝඨාභය කීවේය.

“හැමෝම හිතන්නේ රාජපක්ෂ පවුල ඇතුළේ ගැටුම් කියලා. අපේ පවුල් ඇතුළේ කිසිම ගැටුමක් නෑ. අපි නිරන්තරයෙන් සාකච්ඡා කරමින් පවතින තත්ත්වය සමාලෝචනය කරනවා. අපේ පවුලේ ප්‍රශ්ණ, සහෝදරයා බිදිලා කියන්නේ බොරු. රාජපක්ෂලා අතර ප්‍රශ්න ඇත්තේත් නෑ. රාජපක්ෂලා අතර ප්‍රශ්න ඇති කරන්නත් බෑ. ” ජනාධිපති ගෝඨාභය දැඩිලෙස කීවේය.

පසුගිය සෙනසුරාදා (17) ඇමති ප්‍රසන්න රණතුංග ගම්පහ මල්වත්තට ගියේය. තනිවම නොවේ. රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ ද සමගය. ගම්පහ අත්තනගලු ඔය හරහා නව ප්‍ර වේශ මාර්ගයක් ඉදිකිරීම සදහා මුල් ගල තැබීමේ අවස්ථාවට ප්‍රසන්නත්, රොෂානුත් එක්ව සිටියහ. උත්සවය ආරම්භ කිරීමට පෙර ප්‍රසන්න රොෂාන්ට කථා කළේය. “ඇමතිතුමා එන්න පොඩි බඩුවක් පෙන්වන්න.” ඇමති ප්‍රසන්න රොෂාන්ට කීවේය. ඇමතිවරුන් දෙපළම ගියේ ගම්පහ උද්භිද උද්‍යානයේ ඇති ලෝකයේ එකම ගසයැයි කියු පඩු කරද ගස නැරඹීමටය. පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට ලක්ව තිබු පඩු කරද ගස් කීපයක්ම ගම්පහ මල්වත්තේ තිබෙන බව ප්‍රසන්නට කීවේ ගම්පහ මල්වත්තේ සහකාර අධ්‍යක්ෂිකා රුවිනි ගෝමස්ය.

“මේ ගහයි දාරළුවේ ඇති පඩු කරද ගහයි එක හා සමානයි කියලා ඔප්පු කරගන්නේ කොහොමද? ”

“අපි මේ ශාකයේ පත්‍ර මල් වෙන වෙනම පරීක්ෂා කළා. මේ තියෙන්නේ ඒ ගස් වර්ගයේ ම ගහක්. මේකෙන් පැළ කීපයක් මේ ඇළ දිගේම තියෙනවා. ඒ වගේම මිනුවන්ගොඩ, මාතම්මන වැනි පැති වලත් මේ ගස් තියෙනවා.” සහකාර අධ්‍යක්ෂකවරිය කීවාය.

“දාරළුව පඩු කරද ගහ බේරලා අධිවේගය හදන්න රුපියල් ලක්ෂ 86, 000 ක් යනවා කියලා මට ලාන්සා ඇමතිතුමා කිව්වේ..” ප්‍රසන්න පැහැදිලි කළේය.

“දාරළුව තියෙන්නේ ලෝකයේ එකම ගහ කියලා නේද කිව්වේ අර නෝනා..?” රොෂාන් රණසිංහ ඇසුවේය.

“එහෙම තමයි එයා කිව්වේ. ඔය කථාව එක්කෝ කරුණු නොදැන කිව්ව එකක්. නැත්නම් කරුණු දැනගෙන හිතාමතා ආණ්ඩුවේ සංවර්ධනය නතර කරන්න කියපු එකක්. ” ප්‍රසන්න කීවේය.

“දැන් අපි මේක බලපුවාමත් කියයිද දන්නේ නෑ අපි මේ ගහත් බැලුවේ කපන්න කියලා.” රොෂාන් විහිළුවක් කළේය.

“අපිත් ගස් කපනවාට විරුද්ධයි. දැන් ඉතිං පරිසරවේදීන් ආණ්ඩුවට කියන්න ඕනේ මොකද්ද කරන්න ඕනේ කියලා..” ප්‍රසන්න ද සිනාසෙමින් කීවේය.

මේ අතර පසුගිය සතියේ මෙරට පරිසර හානිය පිළිබද තවත් ආන්දෝලනාත්මක සිද්ධියක් සිදු වුයේය. සිංහරාජ මායි‍මේ වෙසෙන භාග්‍යා නම් තරුණියක් පුද්ගලික මාධ්‍ය ආයතනයක වැඩසටහනකට සහභාගී වෙමින් කීවේ සිංහරාජයට අයත් භූමියක වන විනාශයක් සිදුවන බවයි. මේ ප්‍රකාශය සමාජය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙද්දී ඇගිල්ල දික් වූයේ ආණ්ඩුවටය. පසුව මේ ඉඩම සිංහරාජයට අයත් නොවන බව තහවුරු වුව ද සමාජ මාධ්‍ය ඔස්සේ ආණ්ඩුවට වන විනාශයන් සිදු කරන බවට ප්‍රබල සමාජ මතයක් පැතිරයමින් තිබිණ.

පසුගිය සදුදා (15) සවස ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී මේ පිළිබද කථාබහක් ඇතිවිය.

“ඔය කියන ඉඩම සිංහරාජයට අයත් ‍එකක් නෙමේ. ඒක පුද්ගලික ඉඩමක්..”අමරවීර කීවේය.

“මේවා හිතමතාම කරන දේවල්. ජනාධිපතිතුමාගේත්, ආණ්ඩුවේත් ඉමේජ් එක බිදින්න කරන දේවල්. මේ ගැන අපි නිහඩව ඉදලා බෑ. මේ බොරුවට අපි එරෙහිව ඇත්ත සමාජගත කරන්න වැඩපිළිවෙලක් අවශ්‍යයි.” ප්‍රසන්න කීවේය.

“දැනටමත් වන විනාශය වළක්වන්න අපි එස්.ටී. එෆ් එක යොදවලා තියෙන්නේ. පසුගිය කාලයේත් අපිට ලැබෙන පැමිණිලි පරීක්ෂා කරලා වැරදිකරුවන්ට දඩුවම් දුන්න‍ා.” ඇමති සරත් වීරසේකර කීවේය.

“මේ ආණ්ඩුව ආවේ කැළෑ රකින්න මිසක් කැළෑ කපන්න නෙමෙයි. හැබැයි සමහරු සංවිධානාත්මකව මේ ආණ්ඩුවට විරුද්ධ මතවාද සමාජගත කරනවා. මේ ගැන ඉක්මණ් පියවරක් ගන්න. ” ප්‍රසන්න කීවේය.

“වන විනාශයත් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි කඩිනමින් විමර්ෂණය කරලා අවසන් කරන්නත් වැරදිකරුවන්ට දඩුවම් දෙන්න අවශ්‍ය පියවර ගන්නත් මම දැනටමත් උපදෙස් දීලයි තියෙන්නේ..” ජනාධිපතිවරයා කීවේය.

සටහන – ගජබා නාගහවත්ත

Recommended For You

About the Author: Thusal