වාර්තාගත වී අස්වැන්නක් ලැබුණත් ‘සහල් හිඟයක්’ ඇයි ? කෘෂි විද්‍යාඥ කේ. රෝහණ තිලකසිරි කියන කතාව

  • වගා බිම්වලින් බරපතළ අස්වනු හානියක් වාර්තා වන්නේ නෑ
  • මෙවර පෙරට වඩා වී නිෂ්පාදනය ඉතා ඉහළයි
  • සෑම කලාපයකම අස්වනු ඉතා හොඳ මට්ටමක තිබෙනවා
  • පාරිභෝගිකයා සුරක්ෂිත කිරීමට රජයට හැකියාව ලැබෙනවා
  • පොහොර සහනාධාරය කිසිම ආකාරයකට කප්පාදු කළේ නෑ

දේශීය ආර්ථිකයේ කොඳුනාරටිය කෘෂිකර්මාන්තයයි. අනාදිමත් කාලයක සිට පැවත එන ගොවිතැන හා බද්ධ වුණු සම්ප්‍රදායන් සමග වී ගොවිතැන විවිධ හැලහැප්පීම් මැද ඉදිරියට ගිය ද මේ වන විට රට සහලින් ස්වයංපෝෂිත කිරීමත් ප්‍රධාන ආහාරය බත වූ රටක පාරිභෝගිකයා රැක ගැනීමත් සඳහා වන වගකීම කරට ගෙන වත්මන් රජය කටයුතු කරමින් සිටී.එවන් මොහොතක මේ භාරදුර කර්තව්‍යයට ගොවියාගෙන් ලැබිය යුතු දායකත්වය පිළිබඳව බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ කෘෂි විද්‍යාඥ කේ.රෝහණ තිලකසිරි මහතා සමග කළ සාකච්ඡාවකි මේ.

දේශීය ආර්ථිකය පණගැන්වීම සඳහා කෘෂිකර්මාන්තය තීරණාත්මක සාධකයක්. ඒ අතරින් ලංකාවේ ගොවිබිම්වලින් එන වී අස්වැන්න සහල් නිෂ්පාදනය සඳහා දක්වන දායකත්වය කෙබඳුද?

අනාදිමත් කාලයක සිට පැවත එන වී ගොවිතැන ලංකාවේ ප්‍රධානතම පරිභෝජන අවශ්‍යතාව තුලනය කිරීම සඳහා විශාල පිටිවහලක් වෙනවා. ඒ වගේම පෙරට වඩා වී නිෂ්පාදනය අතින් ඉතා ඉහළ ප්‍රගතියක් අපි අත්කරගෙන තිබෙනවා. ඇත්තෙන්ම ශ්‍රී ලංකාවේ බල පවත්වන දේශගුණ රටාව අනුව යල මහ දෙකන්නයේම වී වගා කරන්න පුළුවන්. මේ කන්න දෙකෙන්ම ලැබෙන අස්වැන්න ලංකාවේ සහල් අවශ්‍යතාව සපුරා ගැනීමට ඕනෑවටත් වඩා ප්‍රමාණවත්. 2020 යල කන්නයේ හෙක්ටයාර් 4 65000ක් වගා කළා. ඒ වගේම 2020-21 මාස් කන්නයේ හෙක්ටයාර් 7 65000කට ආසන්න ප්‍රමාණයක් වගා කර තිබෙනවා. මේ වගා බිම්වලින් මෙවර බරපතළ අස්වනු හානියක් වාර්තා වන්නේ නෑ. ඒ නිසා අපේක්ෂා කරන අස්වනු ප්‍රමාණය ගන්න බාධාවක් නෑ. මේ තත්ත්වය තුළ පිටරටින් සහල් ආනයනය නොකර ප්‍රමාණවත් සහල් සංචිතයක් පවත්වා ගෙන යාමට හැකියාව අපි සතුයි. අපි දැනට ආනයනය කරන්නේ බාස්මති පමණයි. ඒ හැර සහල් හිඟයක් මතු වීමට කිසිදු ඉඩක් නෑ. .

නමුත් මෙවර අස්වනු නෙළීමටත් පෙර තමන් අපේක්ෂා කළ අස්වැන්න ලබා ගැනීමට හැකියාවක් නොමැති බවට ගොවීන් මාධ්‍ය මඟින් අනාවරණය කළා නේද?

ඒ කාරණය ලංකාවේ වී වගාකරන දිස්ත්‍රික්ක අතරින් කලාප කිහිපයකට පමණක් බලපෑ කාරණයක් මිස සමස්ත ගොවි බිම්වල තත්ත්වය නෙමෙයි. මෙවර කුරුණෑගල දිස්ත්‍රික්කයේ කලාප කිහිපයකින් ගොක් මැස්සාගේ හානිය වාර්තා වී තිබෙනවා. නමුත් අම්පාර, කිලිනොච්චිය, කළුතර , පොළොන්නරුව අනුරාධපුර ආදී තෙත් සහ වියළි සෑම කලාපයකම පාහේ අස්වනු ඉතා හොඳ මට්ටමක තිබෙනවා.

පොහොර සහනාධාරය ලබන ගොවීන් වී අලෙවි මණ්ඩලයට අනිවාර්යයෙන් ම වී කිලෝ 1000ක් ලබා දිය යුතු බව ප්‍රකාශ කිරීමත් සමග ගොවීන් රතු නිවේදනයක් නිකුත් කළා අපිට දෙන්න වී නෑ කියලා.ඒ කතාවේ ඇත්ත නැත්ත මොකක්ද?

ශ්‍රී ලංකාවේ වී ගොවිතැන නඟා සිටුවීමට මෑත ඉතිහාසයේ ගත් දැවැන්තම ව්‍යායාමය සෑම ගොවියකුටම නොමිලේ පොහොර ලබා දීම. මේ නිසා බොහොමයක් ගොවීන්ට බයක් නැතිව කුඹුරට බහින්න අවස්ථාව උදා වුණා. ඒ වගේම රජය පොහොර සහනාධාරය වෙනුවෙන් රුපියල් බිලියන ගණනක් සෑම වසරකම වියදම් කරනවා. ඒ අන් කිසිවක් නිසා නොව මේ රටේ බහුතරයක් මිනිස්සු තුන් වේලම කන්නේ බත්. මේ නිසා සහල් වෙළෙඳපොළ ශක්තිමත් කිරීමේ වගකීම රජයට පැවරී තිබෙනවා. ඒ වගකීමෙන් කර අරින්න නම් පිටරටින් ආනයනය කරන්නත් බැරි කමක් නෑ. නමුත් දේශීය ගොවිබිම්වලින් එන අස්වැන්නෙන් රජයේ වී ගබඩා ටික පිරෙනවා නම් රට තුළ සහල් ඒකාධිකාරයක් ඇති නොවන ලෙස පාරිභෝගිකයා සුරක්ෂිත කිරීමට රජය ට හැකියාව ලැබෙනවා. අන්න ඒ නිසයි රජය එවැනි යෝජනාවක් කළේ. නමුත් ඇතැම් ගොවීන් ඒ දෙස ඉතා පටු ආකල්පයකින් බැලුවා.

මොකක්ද ඒ පටු ආකල්පය?

අන් කිසිවක් නොවෙයි. වී කිලෝවකින් ලැබෙන රුපියලක දෙකක ලාභය ගැන ඇතැම් ගොවීන් ලොකුවට තත්සේරු කළා. රජය විසින් පොහොර නොමිලේ දෙන්න එක් අයකුට අවම වශයෙන් රුපියල් 15000ක්වත් වැය කරනවා. එවැනි තත්ත්වයක් තුළ තමන්ගේ අස්වැන්නෙන් වී කිලෝ 1000ක් වැනි ඉතා සුළු ප්‍රමාණයක් රජයේ ගබඩාවලට දෙන්න බැරිකමක් නෑ. අනෙක ඉල්ලන්නේ නිකම් නෙමෙයි. මෙවර වී කිලෝවක මිල රුපියල් 2.00කින් වැඩි කරලා රුපියල් 52.00 කරලා තියෙනවා. සමහර විට පෞද්ගලික මෝල් හිමියෝ තවත් රුපියලක් දෙකක් වැඩි කරලා වී ටික ගන්ඩ එයි. නමුත් මේ රටේ පාරිභෝගික ජනතාව සහල් මාෆියාවෙන් මුදවා ගැනීමට නම් රජයේ ගබඩාවලටත් වී දෙන්න සදාචාරාත්මක යුතුකමක් ගොවියාට තිබිය යුතුයි.

ගොවීන්ගේ පැත්තෙන් ඔවුන් කියන්නේ වී අලෙවි මණ්ඩලයට ලබා දීමට නම් වීවල ප්‍රමිතිය වුවමනා බවත් ඒ සඳහා පහසුකම් වැඩිමනත් ගොවීන්ට නැති බවයි.

ඒ කාරණයේ සත්‍යතාවක් නැත්තේ ම නොවෙයි. මේ ප්‍රශ්නය අද මතු වී තිබෙන්නේ යන්ත්‍ර සුත්‍රවලින් අස්වනු නෙළීමේ දී ප්‍රායෝගිකව මතුවන ගැටලු නිසයි. මෙය නූතන තාක්ෂණයේ වාසි සහ අවාසි අතර දෝලනය වන ප්‍රශ්නයක්. එය වී වෙළෙඳපොලේ මිල සහ තරගය කියන දෙකම හසුරුවන කාරණයක් බවටත් පත්ව තිබෙනවා. ඉස්සර ගොවීන් අතින් ගොයම් කපලා ගෙට ගන්නේ නිසි ලෙස වියැලුණු ප්‍රමිතියෙන් උසස් අස්වැන්නක්. නමුත් දැන් මේ කාර්යය මුළුමනින්ම යන්ත්‍ර සුත්‍රවලින් කරන්නේ. ඉන් ලැබෙන්නේ තෙතමනය ඉවත් නොවුණු අස්වැන්නක්. මේ නිසා නැවත වේලන්න වෙනවා. මේ කාරණයේදි බොහොමයක් ගොවීන්ට ප්‍රායෝගික ගැටලු තිබෙනවා. මේ නිසා කුඹුරටම ලොරියත් අරන් එන පෞද්ගලික වෙළෙන්දට අස්වනු ටික දීලා බේරෙනවා. ඉස්සර වී අස්වනු නෙළා සතියක් දෙකක් ඉක්ම ගිය පසු තමයි මිල ඉහළ යන්නේ. නමුත් දැන් අස්වනු කපන විටම මිල ඉහළ ගිහින් එසැණින් මිල පහත වැටෙනවා. මෙවැනි තත්ත්වයක් ඇති වී තිබෙන්නේ වී අස්වනුවල ප්‍රමිතිය පිළිබඳ ගැටලු නිසයි.

සහල් වෙ‍ළෙඳපොළ තුළ මිල ගණන් ස්ථාවර නොවීමෙන් නිරන්තරයෙන් සහල් මාෆියාවක් ගැන කතා කරනවා. මේ ඒකාධිකාරය නැවැත්වීමටයි රජය තම ගබඩාවලට වී ලබා දෙන ලෙස යෝජනාවක් කළේ. ගොවියා රජයට දක්වන සහාය සහල් වෙළෙඳපොළ ට බලපාන්නේ නැද්ද?

මේ ප්‍රශ්නය මේ මොහොතේ අවධාරණයෙන් කතා කළ යුතු කාරණයක්. මේ රටේ උස් මිටි භේදයක් නොමැතිව සියලුම ජනතාවගේ ආහාර අවශ්‍යතා සපුරා දීමට රජය බැඳී සිටිනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල පාලනය කරමින් රජය කටයුතු කරන්නේ ඒ කාර්යය සපල කර ගැනීම සඳහායි. රජය සෑම කන්නයකම ගොවීන්ගේ අස්වනුවලින් යම් ප්‍රමාණයක් මිලදී ගනු ලබන්නේ රජයේ ගබඩා සතුව ස්ථාවර වී සංචිතයක් පවත්වා ගනිමින් සහල් මිල අවශ්‍ය අවස්ථාවලදී පාලනය කර ගැනීමටයි. නමුත් මෙතෙක් වී අලෙවි මණ්ඩලය හරහා මිලදී ගන්නා වී ප්‍රමාණය පෞද්ගලික සහල් මෝල් හිමියන්ගේ ඒකාධිකාරය සහ හිතුවක්කාරී පිළිවෙත මැඬලීමට ප්‍රමාණවත් නොවන බව හඳුනාගත් නිසා රජය මේ සංචිතය තවත් යම් ප්‍රමාණයකින් වැඩි කර ගැනීමටයි අපේක්ෂා කළේ. සහල් මිල පාලනයෙන් සෙතක් සැලසෙන්නේ මේ රටේ ජනතාවටමයි. මේ නිසා සහල් වෙළෙඳපොළ ස්ථාවර කිරීමට රජය දරන උත්සාහයට සහාය ලබා දීම ගොවියාගේ පරම යුතුකමක්.

රජය වී ගොවිතැන නඟා සිටුවීමට විශාල බරපැනක් දරනවා. එය මේ මොහොතේ සිහිපත් කිරීමට වටිනවා නේද?

අනිවාර්යයෙන්ම ඔව්. රජය පොහොර සහනාධාරය ලබා දීම ආරම්භ කළේ රටේ වී නිෂ්පාදනය ඉහළ නැංවීමටයි. රජය වාර්ෂිකව පොහොර සහනාධාරය සඳහා බිලියන ගණනක් මුදල් වෙන් කරනවා. මේ සහනාධාරය කිසිම ආකාරයකට කප්පාදු කළේ නෑ. මේ බරපැන දරන්නේ මහජනතාවයි. ඔවුන්ගේ බදු මුදල්වලින් තමයි පෙරළා මේ සහනාධාරය දෙන්නේ. ඒ වගේම වී නිෂ්පාදනය ඉහළ නැංවීමට විවිධ පර්යේෂණ ආයතන පවත්වා ගෙන යමින් ඒවා නඩත්තු කරමින් සේවකයින් ට පඩි නඩි ගෙවමින් කරන්නේත් ඒ කාර්යයමයි. ඒ විතරක් ද විවිධ වාරි යෝජනා ක්‍රම, සංවර්ධන ව්‍යපෘතිවලින් කරන්නේත් වී ගොවිතැන නඟා සිටුවීමට පහසුකාරකයන් සැපයීමයි. ඒ සියල්ල අවසානයේ දේශීය ගොවියාට ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට ශක්තියක් වෙනවා. ඒ පහනින් එළිය ලබා ගත් ගොවීන්ට රජයේ ගබඩාවලටත් වී දෙන්න බැරිකමක් නෑනේ. රුපියලක දෙකක පාඩුවක් වුණත් එය දරාගැනීමට ගොවියා සතුටු නම් එහි ප්‍රතිලාභය පෙරළා එන්නේත් පාරිභෝගිකයන්ටමයි. මෙය සද්භාවයෙක් ඉදිරිපත් විය යුතු දෙයක් මිස නීති රීති දමා සිහිපත් කළ යුතු හෝ කරවා ගත යුතු කාර්යයක් නොවන බවයි අපේ හැඟීම.

රජය සහල්වලට ස්ථාවර මිලක් දුන් විට පෞද්ගලික අංශය ඊට වඩා රුපියලක් හෝ වැඩි කරනවා. එහි වාසිය ගොවියාට ලැබෙන මුත් සහල් වෙළෙඳපොළේ තත්ත්වය මේ වාසිය කණ පිට පෙරළීමක් කියන එකද ඔබ කියන්නේ. ?

ඔව්. සහල් වෙළෙඳපොළ සිය අණසකට ගැනීමට පෞද්ගලික අංශය සෑම විටම උත්සාහ දරනවා. ඔවුන් පවසන්නේ වී කිලෝවක් 55.00ට අරගෙන සහල් කිලෝවක් 95.00ට දෙන්න බෑ කියලයි. එහි යම් සත්‍යතාව තිබුණා නොතිබුණා වී මිල ඉහළ දමමින් තරඟෙට වී මනින්නේ පෞද්ගලික අංශය සිය වුවමනාව මතයි.නමුත් ඔවුන් ඒසේ කළා කියා සහල් මිල වැඩි කිරීමට ඉඩ දෙන්න බෑ. එතැනදී ඔවුන් උත්සාහ කරන්නේ වැඩි මිලට ගත් මුදල සහල් මිල වැඩි කිරීමෙන් පියවා ගැනීමටයි.

ඇත්තෙන්ම වැඩි මිලට වී අරගෙන අඩු මිලට සහල් දෙන්න බෑ නේද?

වී සහල් කිරීමේ දී පිරිවැය වැඩිවෙනවා වගේම වී කිලෝවකින් සහල් කිලෝවක් නිපදවා ගන්න බෑ තමයි. ඒක ප්‍රායෝගික කාරණයක් නේ. නමුත් අස්වනු නෙළීමත් සමග පෞද්ගලික අංශය රජයේ සහතික මිලත් අභිබවා යමින් වී මිලදී ගන්නේ ගොවියා ගැන අනුකම්පාවෙන් නොවෙයි. ඔවුන් ළඟ තිබෙන්නේ ව්‍යාපාරික ලාභ ලැබීමේ අරමුණක්. ඔවුන් එය ක්‍රියාවට නංවන්නේ සහල් වෙළෙඳපොළ තුළයි.

ශ්‍රී ලංකාවේ වී නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා යන ගමනේදී ඒ ගමනට බාධා පමුණුවන ගොවීන් අතින් සිදු වන වැරැදි වත් පිළිවෙත් මොනවාද?

බොහොමයක් තිබෙනවා. විශේෂයෙන් ම සියලු පළිබෝධ හානි අවම කර ගැනීමට නම් කන්න මුලට වැඩ කළ යුතුයි. යායේ සිටින සියලු ම ගොවීන් එකවර වැඩ කළ යුතුයි. පළිබෝධ නාශක, වල් නාශක පොහොර යෙදීමේදී නිවැරැදි ක්‍රම, නිවැරැදි පරිමාව භාවිතයට ගත යුතුයි. ඒ වගේම යන්ත්‍ර සුත්‍ර භාවිතයේදි ත් නිවැරැදි ක්‍රම අනුගමනය කරන්න ඕනෑ. වගා බිම නිවැරැදි ක්‍රමයට සකස් කරන්න ඕනෑ. සෑම පිළිවෙතක්ම හරියට ක්‍රියාත්මක නොකළොත් තමයි සාර්ථක අස්වැන්නක් එන්නේ.

මේ දැනුම අලුත් කළොත් හොඳ නැද්ද?

ඇත්තෙන්ම එය විය යුතුමයි. පැරැණි ගොවීන් අතින් ඒ කාර්යය හරියට ම සිද්ධ වුණා. සොබා දහමත් එක්ක කරන මේ ගනුදෙනුව ඔවුන් හරියටම කළා. නමුත් දැන් ගොවීන්ට මේ ගැන පවතින දැනුම ප්‍රමාණවත් නෑ. නව දැනුමත් ඔවුන්ට අවශ්‍යයයි. ඒ සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය මගින් සැම ගොවි ජන සේවා කොට්ඨාසයකම අක්කර 10ක වී වගා ආදර්ශ ගොවිබිමක් පවත්වා ගෙන යාමේ වැඩ සටහනක් සැලසුම් කර තිබෙනවා. මෙය යල කන්නයේ සිට ඇරැඹීමටයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඕනෑම කෙනකුට මෙම ආදර්ශ ගොවි බිම ඇවිත් බලන්න පුළුවන්.

නමුත් මොන දැනුම පැවතියත් කාලගුණ දේශගුණ බලපෑම් නවත්වන්න පුළුවන්ද? 

සොබා දහමට අභියෝග කරනවාට වඩා සොබා දහමට අවනතව කටයුතු කිරීමයි වැදගත් වෙන්නේ. ලෝකයේ කාලගුණ දේශගුණ හැසිරීම් ගැනත් දැනුමක් ගොවියාට තිබිය යුතුයි. සාමාන්‍ය යෙන් වසර හතරකට පමණ වරක් කාලගුණ දේශගුණ විපර්යාසයන් නිසා ආහාර නිෂ්පාදනය ඇතුළු මනුෂ්‍ය අවශ්‍යතා සපුරා ගැනීමේ ක්‍රියාවලියට බාධා එල්ල වෙනවා. මෙය හඳුන්වන්නේ “එල්නිනා” නමින්. වායු ගෝලයේ උෂ්ණත්වය ඉහළ ගොස් සුළං ධාරාව වැඩිවෙමින් අසාමාන්‍ය හැසිරීමක් පෙන්නුම් කරනවා. එහිදි නියඟය එන්නත් පුළුවන්. ගංවතුර එන්නත් පුළුවන්. මෙවැනි බරපතල දේශගුණ විපර්යාසයන් හැර අනෙක් තත්ත්වයන් ට අනුගතව ගොවිතැනෙහි නියැළීමට ගොවියා ශූර විය යුතුයි.

දැනට වී නිෂ්පාදනයේ දි අපි සිටින තැනට වඩා ඉහළ ට යන්න බැරිද?

අනිවාර්යෙන්ම පුළුවන්. දැනට පර්යේෂණාත්මකව හඳුනාගෙන ඇති තොරතුරු අනුව අපිට වී අස්වැන්න වැඩි කර ගන්න පුළුවන්. ලෝකයේ වී නිෂ්පාදනය කරන රටවල් අතරින් ජපානය , චීනය කොරියාව වැනි රටවල් හෙක්ටයාරයකින් මෙට්‍රික් ටොන් 8-10ක අස්වැන්නක් ගන්නවා. මෙය වී වගා කරන රටවල්වල සමස්තයක් ලෙස ගත් විට 7.4ක් අපේ නිෂ්පාදන ධාරිතාව දළ වශයෙන් හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 6-7ත් අතර. දකුණු ආසියාවේ රටවල් අතරින් අපි අංක එකේ ඉන්නවා.

මේ රටේ කොඳුනාරටිය වෙන්නේ දේශීය ගොවියා. මේ රට පවතින තැනින් ඔසවා තැබීමේ වගකීම ගොවියා සතුයි. ඔබට දෙන්න තිබෙන පණිවුඩය කුමක්ද?

එදා මෙන්ම අදත් රට ආහාරවලින් ස්වයංපෝෂිත කිරීමේ සටනේ නියමුවා ලෙස කටයුතු කරන්නේ ගොවියා. ඔවුන් ගන්නා නිවැරැදි තීරණ මතයි ආහාර නිෂ්පාදන යාන්ත්‍රණය මෙන්ම වෙළෙඳපොළ ක්‍රමයත් පාලනය කළ හැකි වන්නේ. පෞද්ගලික අංශයේ තරගකාරිත්වය නිෂ්පාදන ධාරිතාව වැඩි කර ගැනීමට වැදගත් වන මුත් එය එ්කාධිකාරි හැසිරීමකට යාමෙන් වළක්වා ගැනීමේ වගකීම පැවරෙන්නේ ජනතාවට වගකියන රජයට. මේ නිසා ගොවියා මෙන්ම පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමේ බලය රජයට ලබා දීමට ගොවියා කටයුතු කළ යුතුයි.

සකුන්තලා ජයසිංහ – දිනමිණ පුවත්පතට කළ සම්මුඛ සාකච්ඡාවකි

Recommended For You

About the Author: Thusal