කුමන බාධක දැමුවත් වත්මන් රජය බටහිර රටවල රූකඩයක වීමට කිසිසේත්ම සූදානම් නෑ – ඇමති ප්‍රසන්න

  • ජිනීවා මානව හිමිකම් යෝජනාව සම්මත වීමට හේතුවක්  වූයේ ශ්‍රී ලංකාවේ වත්මන් රජය බටහිර රටවල රූකඩයක් බවට පත් නොවීමයි…
  • රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන්, රටේ ස්වෛරීත්වය වෙනුවෙන් සෑමවිටම කටයුතු කරන රජයක නියෝජිතයෙක් වීමට හැකිවීම සම්බන්ධයෙන්  ආඩම්බරයට පත් වනවා

ශ්‍රී ලංකාවේ වත්මන් රජය බටහිර රටවල රූකඩයක් බවට පත් නොවීම ජිනීවා මානව හිමිකම් කවුන්සලය වෙත ඉදිරිපත් කර තිබූ යෝජනාව සම්මත වීමට හේතුවක් බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 

ජිනීවා මානව හිමිකම් යෝජනාව සම්මත වීම සම්බන්ධයෙන් විපක්ෂය,දෙමළ පක්ෂ සංධානය ඇතුළූ විවිධ පාර්ශවයන් සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

  ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය බලයට පත් වූයේ රට ජාතිය  රැක ගනිමින් සියලු ජාතීන්ගේ අයිතීන් තහවුරු කිරීමට මිස යහපාලන ආණ්ඩුව මෙන් බටහිර රටවල රූකඩයක් වීමට  නොවන බවත් කුමන බාධක දැමූවත් වත්මන් රජය බටහිර රටවල රූකඩයක වීමට සූදානම් නොමැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. 

විපක්ෂය ,දෙමළ පක්ෂ සන්ධානය ඇතුළු විවිධ පාර්ශ්ව ජිනීවා යෝජනාව සම්මත වීම සම්බන්ධයෙන්  අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් රටේ ජනතාව  මුළා කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැක.

පසුගිය යහපාලන රජය විවිධ පාර්ශවයන්ගේ උවමනාව මත බටහිරට ගැති වෙමින් ජිනීවා යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමට කටයුතු කළ නමුත් වත්මන් රජය සෑම විටම ජනතාවගේ පැත්තේ සිට රටේ සාමය, සමගිය,ස්වාධීනත්වය, මෙන්ම ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සෑම විටම කටයුතු කොට තිබේ.

යුද්ධය අවසන් කිරීමේදී මානව හිමිකම් ආරක්ෂා කරමින් දෙමළ ජනතාව මුදා ගැනීමේ මානුෂීය මෙහෙයුම දියත්කිරීම සම්බන්ධයෙන් සිහිපත් කළ අමාත්‍යවරයා එළෙසම වර්තමානයේ දී යුද්ධයෙන් තොර සාමකාමී රටක ජනතාවගේ මානව හිමිකම් විශාල ලෙස ආරක්ෂා කිරීමට රජය කැපවන බව ද අවධාරණය කළේය.

 එමෙන්ම කොවිඩ්  වසංගතය හමුවේ ජනතාව ආරක්ෂා කර ගැනීමේ සාර්ථක මෙහෙයුමක නිරතවෙමින් සිටින රජය ජාත්‍යන්තර වශයෙන් බිඳවැටෙමින් තිබෙන ආර්ථක තත්වයන්ටද දේශීය වශයෙන් සාර්ථකව මුහුණ දෙමින් සිටින  පෙන්වා දුන්නේය.

 බටහිර ගැති යහපාලන රජය වැනි ආණ්ඩුවක සාමාජිකයෙක් නොවී  රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන්, රටේ ස්වෛරීත්වය වෙනුවෙන් සෑමවිටම කටයුතු කරන රජයක නියෝජිතයෙක් වීමට හැකිවීම සම්බන්ධයෙන් තමා ආඩම්බරයට පත් වනවා මෙන්ම එවැනි රජයක් පත්කරලීමට දායකත්වය ලබාදුන් සියලු දෙනාද මේ අවස්ථාවේදී ඊට එක් කරගන්නා බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

Recommended For You

About the Author: Thusal