ඔබත් ඔබගේ කොණ්ඩය ගැන වද විඳිනවා ද? සහනයක් ලබා ගන්න නිවැරදි මග පෙන්වීමක්

කාන්තාවන් මෙන්ම පුරුෂයිනුත් තමන්ගේ කොණ්ඩය ගැන සැලකිලමත්. මේ නිසා විවිධ වර්ගයේ කොණ්ඩා මෝස්තර හා වර්ණ ගැන්වීම්වලට අද බොහෝ දෙනා උනන්දුවක් දක්වනවා.

මේ කුමන ආකාරයක හැඩගැන්වීම් වර්ණ ගැන්වීම් කළත් කාලයක් ගත වන විට හිසකෙස් සම්බන්ධව ප‍්‍රශ්න ඇති වෙනවා. මෙම ලිපියෙන් අවධානය යොමුන්නේ හිසකෙස්වලට බලපාන ගැටලූ කිහිපයකට පිළියම් කරන ආකාරය පිළිබඳවයි.

ඔබේ කෙස් කළඹ වියළි ද?

ඔබ නිතරම හෙයාර් ජෙල් හෝ හෙයාර් ස්පේ‍්‍ර භාවිතයට ගන්නවා නම් කෙස් කළඹ වියළි ස්වභාවයකට පත්විය හැකියි. එවැනි අවස්ථාවක ෂැම්පු හා කන්ඩිෂනර් භාවිතයෙන් හිසකෙස් සෝදා හැරීම අවශ්‍යයි. සබන් වර්ග හිසෙහි ගැල්වීම ද නොසුදුසුයි. ෂැම්පු භාවිත කරන විට තමන්ගේ හිසකෙස්වලට ගැළපෙන ෂැම්පු වර්ගයක් තෝරාගත යුතුයි.

එසේම ෂැම්පු භාවිතයෙන් හිස සේදීමේදී හිස හොඳින් සම්භාහනය කරමින් හිස සේදිය යුතුයි. සතියකට දෙවතාවක් ෂැම්පු භාවිත කිරීමත් මෙහිදී වැදගත් වේ. අධික ලෙස ෂැම්පු හා කන්ඩිෂනර් භාවිත කිරිමෙන් E හිසකෙස්වල තෙල් සහිත ස්වභාවය අඩු වී යයි. ඒ හේතුවෙන් තමන්ගේ හිසකෙස්වලට ගැළපෙන ෂැම්පු වර්ගයක් තෝරාගෙන එය ප‍්‍රමාණාත්මකව භාවිතයට ගැනීම වැදගත් වේ.

මෘදු කෙස් කලඹක් ලබා ගන්නේ කෙසේ ද?

ජලය වැඩිපුර පානය කිරීමත් ප්‍රෝටීන් බහුල ආහාර ආහාරයට එකතු කරගැනීමත් මෘදු කෙස් කළඹක් ලබාගැනීමට හේතුවේ. ඒ වගේම විටමින් ද මෘදු කෙස් කළඹකට වැදගත් වේ. මෘදු හිසකෙස් කළඹක් තිබීමෙන් හිසකෙස් අවුල් වීම ද පාලනය වෙයි. මෙම ප‍්‍රශ්නයට විසඳුමක් ලෙස කන්ඩිෂනර් වර්ගයක් භාවිත කළ හැකියි.

ඔබේ හිස කෙස්වලට හානිවෙලා ද?

කෙස් අග පැලීම, දුර්වර්ණ වීම හා කෙස් ගස් කැඞී යාම මගින් හිසකෙස්වලට හානි සිදුවේ. හිසකෙස් පැලී ඇත්නම් හිසකෙස් අගින් මඳක් කපා දැමිය යුතුයි. එවිට පළුදු වූ හිසකෙස් ඉවත් වී යයි. පළුදු වූ හිසකෙස් කපා නොදමා දිගු කාලයක් තැබීමෙන් හිසකෙස්වල වැඩි ප‍්‍රමාණයක් පැලීමට ලක් වේ. කැපිය යුතු ප‍්‍රමාණය තීරණය වන්නේ හිසකෙස් පැලී ඇති ආකාරය අනුවයි. නෑමෙන් පසු කොණ්ඩය තුවායකින් බැඳ සිටීම හා තෙත් වූ කොණ්ඩය පීරීම හේතුවෙන් ද හිසකෙස්වලට හානි සිදුවේ.

අකලට හිසකෙස් පැසෙනවා ද? නැති නම් හිසකෙස් වැටෙනවා ද?

හිසේ කේෂ මූල ප‍්‍රාණවත් නොවීම හේතුවෙන හිසකෙස් පැසීම හා හිසකෙස් වැටීම සිදුවේ. ඒ නිසා හිස සම්භාහනය කිරීම වැදගත් වේ. සතියකට වරක් තෙල් වර්ගයක් දමා හිසකෙස් සම්භාහනය කරගැනීම කළ යුතුයි. එය ඔබට තනිවම වුවද සිදුකර ගතහැකිය. හිසකෙස් සවි වී ඇත්තේ හිස් කබලටයි. සම්භාහනය තුළින් සිදුවන්නේ හිසේ කේෂ මූල ප‍්‍රාණවත් වී රුධිර ගමනාගමනය හොඳින් සිදුවීමයි. එමෙන්ම හිස් කබලට දැනෙන පරිදි දෙවතාවක් පමණ හිස පීරීම ද වැදගත් වේ. මෙවැනි ක‍්‍රම අනුගමනය කිරීමෙන් හිසකෙස් අකලට පැසීම හා වැටීම පාලනය කරගත හැකිය.

සැකසුම – ශානිකා සුලක්ෂී තිලකරත්න

Recommended For You

About the Author: Thusal