ගොවි අත්පොත: වී වගාවේ පෝෂණ ඌනතා නිවැරදිව දැන ගනිමු – 01 වැනි කොටස

ගොයම් ගසට නිසි පරිදි පෝෂණය නොලැබුණහොත් (මූල්‍යද්‍රව්‍යයන්ගේ ඌනතා* දැකිය හැකි පොදු පෝෂණ ඌනතා ලක්ෂණ කිහිපයක් පහත දැක්වෙනවා.

1 පත‍්‍ර කහ වීම, තැඹිලි පාට වීම හෝ තද කොළ පාට වීම.
2 පත‍්‍ර නාරටි අතර හරිතක්ෂය ඇති වීම (කොළ පාට අඩුවීම*
3 පත‍්‍රවල දුඹුරු පුල්ලි ඇති වීම.
4 පත‍්‍ර අග හා දාරය දුඹුරු පාට වී වියළි යාම.

ඉහත සඳහන් කවර හෝ ඌනතාවකදී භාවිතයට ගත හැකි පෝෂණ ප‍්‍රතිකාර කිහිපයක් තිබේ. මෙහිදී ඉතාමත් වැදගත් කරුණ වන්නේ ගොවිබිමට හැකි තරම් කාබනික පොහොර සැපයීමයි. ඒ සඳහා ක‍්‍රම දෙකක් අනුගමනය කළ හැකියි.

  1. ගොවියා ගොවිබිමේදීම තම ගොවිබිමට අවශ්‍ය පොහොර සකසා ගැනීම.
  2. සකස් කරන ලද කාබනික පොහොර වෙළෙඳපොළෙන් මිලදී ගැනීම.
    සාරවත් ගොයමක ලක්ෂණ හඳුනා ගනිමු
    ගොයම් ගසට අවශ්‍ය පෝෂක නොඅඩුව ලැබෙන සාරවත් කුඹුරක පහත සඳහන් ලක්ෂණ ඔබට දැකගත හැකියි.
  3. ගස නීරෝගීයි.
  4. මූල මණ්ඩලය හොඳින් පැතිර තිබෙනවා.
  5. පිරිණු ඇට සහිත වී කරල් තිබෙනවා.
  6. ගොයම් ගස සුළඟට ඇඳ වැටෙන්නේ නැහැ. (මේ තත්ත්වය වී වර්ගයන් අනුව වෙනස් විය හැකියි.
  7. රෝග හා කෘමි හානිවලට ගොදුරු වන්නේ නැහැ.

වී වගාවේ රෝග පළිබෝධකයෝ සහ ඔවුන් පාලනය කරන ආකාරය

හොඳ පෝෂණයක් ලබන, නිතර නිතර ගොවියාගේ ඇල්ම බැල්ම ලබන කුඹුරක් සරුසාර වෙන කොට නිසි පෝෂණය නොලබන, ගොවියාගේ ඇල්මෙන් බැල්මෙන් තොර වූ කුඹුරක් නිරන්තරයෙන් රෝග හා පළිබෝධ හානිවලට ලක් වෙනවා.

ගොවිතැනේදී ‘පළිබෝධ’ කියලා හඳුන්වන්නේ ගොවිතැනට හානි කරන, ගොවිබිමේ සිටින වෙනත් ජීවීන් සහ ශාක විශේෂයන්ටයි. ඒවා ප‍්‍රධාන වශයෙන් කොටස් තුනකින් යුක්ත වෙනවා.

ගොයමට අවශ්‍ය පෝෂණ පදාර්ථ රැසක් තිබෙනවා. ඒවා අතරින්, කාබන්, හයිඩ‍්‍රජන්, ඔක්ෂිජන්, නයිට‍්‍රජන්, පොස්පරස්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, ගෙන්දගම් ප‍්‍රධාන මූල්‍ය ද්‍රව්‍ය වශයෙන් සැලකෙනවා. මේ ප‍්‍රධාන මූලද්‍රව්‍ය අතරින් කාබන්, ඔක්ෂිජන් හා හයිඩ‍්‍රජන් වායුගෝලයෙන් සහ ජලයෙන් ස්වභාවිකව ම ලැබෙනවා.

ඉහත සඳහන් පෝෂණ පදාර්ථ ඒකාකාරයෙන්ම ගොයමට අවශ්‍ය වන්නේ නැහැ. ඒ අතරින්, නයිට‍්‍රජන්, පොටෑසියම් හා පොස්පරස් පමණක් වැඩි ප‍්‍රමාණයක් අවශ්‍ය කරනවා. මේවා බහුලව භාවිත කරන්නේ පැළෑටිවලට තිබෙන උපයෝගීතාවය නිසයි. ශාක විවිධත්වය අනුව විවිධ අනුපාතවලින් මේවා භාවිතයට ගන්නවා.

ශාකවලට මූල ද්‍රව්‍ය අවශ්‍ය ඇයි ?

ශාකයකට මූල ද්‍රව්‍ය අවශ්‍ය වන හේතු කිහිපයක් ම තිබෙනවා.
1 ශාක තුළ ජෛව රසායනික ප‍්‍රතික‍්‍රියා සිදුකිරීම මගින් අපට අවශ්‍ය අස්වැන්න ලබාගැනීමට.
2 ශාකයට ඔරොත්තු දෙන පරිදි වර්ධනය කර ගැනීමට.

ශාක සඳහා අවශ්‍ය පෝෂක මූල ද්‍රව්‍යයන්ගෙන් වැඩි ප‍්‍රමාණයක් වාතයෙන්, ජලයෙන් සහ පසෙන් ශාකයට උරාගැනීමට හැකියාව ලැබෙනවා. එහෙත් ශාකයේ සක‍්‍රීය පඳුරු දමන අවධියේදී පෝෂක ඌනතා දැකිය හැකියි.

ශාක වර්ධනයේදී ඇතිවන මෙම පෝෂක අඩුපාඩු / ඌනතපෝෂක මූලද්‍රව්‍යයන්ට අදාළ ඌනතා ලක්ෂණ

නයිට‍්‍රජන් ; මේරු පත‍්‍ර කහ පැහැ වෙනවා. ශාකය කුරු වෙනවා. පත‍්‍ර කෙළින් පිහිටනවා.

පොස්පරස් ; ශාකයේ මුල් පද්ධතියේ වර්ධනයේදී ද, ප‍්‍රජනන අවස්ථාවේ මල් හා බීජ හට ගැනීමේදී ද පොස්පරස් අවශ්‍ය වෙනවා. මෙම අවස්ථාවේදී පොස්පරස් හිඟ වුවහොත් අදාළ ක‍්‍රියාකාරීත්වයන් මන්දගාමීවීම හෝ සිදුනොවීමට ඉඩ තිබෙනවා. පොස්පරස් ඌනතාවයෙන් පෙළෙන ශාක අසාමාන්‍ය ලෙස කුරු වෙනවා. පත‍්‍ර හා කඳ කොළ පාටින් යුක්ත වන අතර, පහළ පත‍්‍ර තැඹිලි පැහැයක් ගන්නවා. පොස්පරස් ඌනතාවය නිසා වී ගසේ නම් ධාන්‍ය ඇට පිරීම අඩු වී අස්වැන්න ද අඩු වෙනවා.

පොටෑසියම් ; පොටෑසියම් ඌනතාවට ලක්වන ගොයම් පැළයේ පත‍්‍ර තද කොළ පැහැයට හැරෙනවා. පත‍්‍ර එල්ලා වැටෙනවා. පත‍්‍ර අග කහ පාට වී දාරය වියළි දුඹුරු වර්ණයට හැරෙනවා. ගොයම් ගසේ වැඞීම බාල වී කුරු වෙනවා. කෘමි උවදුරුවලට පහසුවෙන් ගොදුරු වෙනවා.

කැල්සියම් ; පත‍්‍ර සුදු පැහැ වී දෑකැති හැඩයට බොකුටු වෙනවා. පත‍්‍ර අග මැරී යන අතර මුල්වල වැඞීම බාල වෙනවා.

මැග්නීසියම් ; මැග්නීසියම් අඩු වූ විට ගොයම් ගස උස නොයන අතර පඳුරු දැමීම ද සිදු වන්නේ නැහැ. පත‍්‍රවල නාරටි අග කහ පැහැ ගන්නවා. ප‍්‍රභාසංස්ලේෂණය අඩු වෙනවා. ඒ වගේම ගොයම් ගසේ දැඩි බව අඩු වෙනවා.

ගෙන්දගම් (සල්ෆර්*; ගොයම් ගස කොළ පාට අඩු වී කහ පැහැයට හැරෙනවා. මුල් දුර්වල වෙනවා. දිගින් වැඩෙනවා.

යකඩ ; ගොයම් ගසේ ළපටි පත‍්‍ර කහ පැහැ ගන්නා අතර පත‍්‍ර නාරටි කොළ පැහැයට හැරෙනවා. තෙත් කලාපයේ කුඹුරුවල යකඩ විෂවීම් බහුල වශයෙන් දැකිය හැකියි. මෙම ගැටලූව විසඳා ගැනීමට නම් කිවුල් ඇළ මගින් යකඩ/ ලවණ වතුරට මිශ‍්‍ර වී යාමට සැලැස්විය යුතුයි.

බොේරා්න් ; ගොයම් ගසේ අග‍්‍රස්ථ අංකුරය අවර්ණවී ගස මැරී යනවා. බොකුටු වී ළපටි පත‍්‍රවල නාරටි අතර කහ පැහැ ගන්නවා.

තඹ ; පත‍්‍ර අග හරිතක්ෂය ඇති වෙනවා. අලූතින් ඇතිවන පත‍්‍ර දිග හැරෙන්නේ නැහැ. බොල් වී ඇති වෙනවා.

මැංගනීස් ; ගොයම් පැළ මිටි වෙනවා. නාරටි තද කොළ පැහැ දැලක් ආකාරයෙන් දිස් වෙනවා. ළපටි පත‍්‍ර කහ පැහැයට හැරෙනවා.

සින්ක් ; නාරටිය හරිතක්ෂය වී පසුව පත‍්‍රය මත දුඹුරු ලප ඇති වෙනවා. කිරි වැදෙන අවස්ථාවේදී ධජ පත‍්‍රයේ ද මෙම දුඹුරු පාට ඇති වෙනවා.

මොලිබිඩිනම් ; මේරු පත‍්‍ර ලා කොළ පැහැයේ සිට කහ පැහැයට හැරෙනවා. පසුව ඒවා තැඹිලි පැහැයට හැරී ඒවායේ කොළ මැරී ඇති අයුරු දැකිය හැකියි.

සිලිකන් ; ගොයම් ගසේ කඳේ දැඩිබව අඩු වෙනවා. ගස කඩා හැලෙනවා. ඒ නිසා ගසේ ප‍්‍රභාසංස්ලේෂණය අඩු වෙනවා.

සැකසුම – කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පත‍්‍රිකා සහ ‘වස විස නැති ධාර්මික වී ගොවිතැන- අත්පොත ඇසුරිණි.

Recommended For You

About the Author: Thusal