දේශීය කොරෝනා ඖෂධයක් ප්‍රවර්ධනය කළ වෙනිසුවේලාවේ ජනාධිපතිට ෆේස්බුක් තහංචියක්

කොවිඩ් 19 සුව කළ හැකි බව පවසමින් දේශීය ශාකසාර ඖෂධයක් හඳුන්වා දුන් වෙනිසුවෙලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ ගේ ෆේස්බුක් පිටුවට තහංචියක් පනවා තිබේ. මේ අනුව දින 30ක් ගතවන තුරු ජනාධිපති මදුරෝ ට තම ෆේස්බුක් පිටුවේ කිසිවක් පළ කළ නොහැකිය.

thyme නමැති පලෑටියක සාරය යොදා ගනිමින් තනා ඇති එම ඖෂධය මගින් කොවිඩ් 19 සුව කළ හැකි බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ පසුගිය ජනවාරියේදී ය. නමුත් එම ඖෂධයෙන් කොවිඩ් 19 සුව වන බවට මේ දක්වා සනාථ වී නොමැත.

ෆේස්බුක් සමාගම පවසන්නේ කොරෝනාවෛරසය සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රචාරයන් පළකිරීම වැලැක්වීම සඳහා පනවා ඇති ප්‍රතිපත්ති මාලාව ජනාධිපති මදුරෝ විසින් පුනපුනා උල්ලංඝනය කර ඇති බවය.

කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සමාගම් විසින් අවහිර කරනු ලැබ ඇති එකම රාජ්‍ය නායකයා ඔහු නොවේ.

කොවිඩ් පිළිබඳව පළ කෙරුණු පෝස්ටු හේතුවෙන් එවක එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බ්‍රසීලයේ ජනාධිපති බොල්සොනාරෝ ද මෙවැනි අවහිර කිරීමකට මුහුණ දුන්හ.

“කොවිඩ් 19 සම්බන්ධයෙන්, මිනිසුන් අවදානමකට ලක්විය හැකි සහ හානිකර විය හැකි සාවද්‍ය තොරතුරු පළකිරීමට එරෙහිව ඇති අපගේ ප්‍රතිපත්ති උල්ලංඝනය කරමින් පළකර තිබූ වීඩියෝවක් ජනාධිපති මදුරෝ ගේ පිටුවෙන් අප ඉවත් කළා.” ෆේස්බුක් සමාගමේ ප්‍රකාශක බීබීසීයට පැවසීය.

“කොරෝනාවෛරසයට එරෙහිව මේ දක්වා කිසිදු ඖෂධයක් නොමැති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති මග පෙන්වීම් තමයි අප අනුගමනය කරන්නේ. අපගේ නීතිරීති පුනපුනා උල්ලංඝනය කර ඇති හෙයින් එම පිටුවේ කිසිවක් පළකිරීම දින 30කට අත්හිටුවීමට ද පියවර ගත්තා. එතෙක් එම පිටුව භාවිත කළ හැක්කේ කියවීම සඳහා පමණයි (read-only).”

බ්‍රසීලයේ ජනාධිපති බොල්සොනාරෝ
බ්‍රසීලයේ ජනාධිපති බොල්සොනාරෝ

බ්‍රසීලයේ ජනාධිපති බොල්සොනාරෝ ගේ ෆේස්බුක් පිටුවේ පළකර තිබුණු වීඩියෝවක් ද පසුගිය වසරේදී ඉවත් කෙරුණි. එම වීඩියෝවෙන් කියැවුණේ හයිඩ්රෝක්සික්ලෝරෝකුයින් නමැති ඖෂධය මගින් කොවිඩ් 19 සම්පුර්ණයෙන්ම සුව කළහැකි බවකි.

එමෙන්ම, වෙනිසුවෙලාවේ ජනාධිපති මදුරෝ විසින් ඊට පෙර පළකරන ලද ට්විටර් පණිවිඩයක් ද ඉවත් කෙරුණි. එහි සඳහන් කර තිබුණේ ද ව්‍යාජ ප්‍රතිකර්මයක් පිළිබඳව ය.

කොවිඩ් 19 යනු සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවටත් වඩා “අඩු මාරාන්තික” මට්ටමක පවතින රෝගයක් බව සඳහන් කර තිබූ පෝස්ටුවක් පසුගිය ඔක්තෝම්බරයේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ෆේස්බුක් පිටුවෙන් ඉවත් කරනු ලැබීය.

Getty Images

එමෙන්ම, ට්‍රම්ප්ගේ පිටුවෙන් තවත් වීඩියෝවක් පසුගිය අගෝස්තුවේ දී ගලවා දැමුණි. එමගින් ජනාධිපති ට්‍රම්ප් පවසා තිබුණේ කොවිඩ් 19 සඳහා “ළමුන් තුළ ප්‍රතිශක්තිය පවතින” බවකි.

කොවිඩ් 19 පිළිබඳව ව්‍යාජ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම ලොව පුරා පැතිර ගිය ප්‍රශ්නයකි.

එක්සත් රාජධානියේ සිට ක්‍රියාත්මක වන, Center for Countering Digital Hate නමැති මධ්‍යස්ථානය සිදුකර ඇති විශ්ලේෂණ වලින් පෙනී යන්නේ ෆේස්බුක් සහ ට්විටර් ඔස්සේ එන්නත් විරෝධී ප්‍රචාරයන් සිදු කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් කීපදෙනෙකු වගකිව යුතු බවය.

ඔවුන් අතර, එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ජෝන් එෆ් කෙනඩි ගේ බෑනා කෙනෙකු වන රොබර්ට් එෆ් කෙනඩි (කනිෂ්ඨ) ද සිටී. ඔහු, එන්නත් විරෝධී කණ්ඩායමකට නායකත්වය දෙයි.

පසුගිය වසරේ, මැඩගස්කරයේ ජනාධිපතිවරයා ද කොවිඩ් 19 වෙනුවෙන් දේශීය ඖෂධයක් ප්‍රවර්ධනය කළේය. එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියේ සාම්ප්‍රදායික ඖෂධ භාවිතය දිරි ගැන්වීමට නම් එම ඖෂධ සඳහා විද්‍යාත්මක සාක්ෂි පැවතිය යුතු බවය.

Text by – bbc

Recommended For You

About the Author: Thusal