පිළිකාකාරක පොල්තෙල්: විජේදාස රාජපක්ෂගෙන් සහ වීරසුමන වීරසිංහගෙන් විශේෂ ඉල්ලීම්

අක්මාවේ පිළිකා ඇතිවීම සදහා හේතු වන බව කියන ඇෆලටොක්සීන් නමැති පිළිකා කාරකය අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තහවුරු කරන ලද පොල්තෙල් තොග වෙළඳපොලට නිකුත් වී ඇති බැවින් ආනයනික පොල්තෙල් ආහාරයට නොගන්නා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ මහතා ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

විජේදාස රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් පිටුව ඔස්සේ ජනතාවගෙන් මෙම ඉල්ලීම කර ඇත.

ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් ඇමැතිවරුන් පිළිකාකාරක පොල් තෙල් ආනයනය ගැන මුනිවත රකිමින් හෝ අදාළ චෝදනාව බැහැර කරන මත පළ කළ ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු වන වීරසුමන වීරසිංහ මන්ත්‍රීවරයා ඊයේ (28) දින මාතර පැවැති රැස්වීමකදී කියා සිටියේ පිළිකා කාරක අඩංගු පොල්තෙල් රටට නිකුත් කළේ නම් ඊට සම්බන්ධ සියලුම දෙනා එල්ලා මැරිය යුතු බවයි. “ශරීරයට අහිතකර විෂ සහිත දේවල් ගෙනල්ලා ඔවුන්ගෙ ලාභය වැඩිකරගන්න මැදිහත් වෙනවා නම් ඒ පුද්ගලයින්ටත් ඔවුන්ට උදව් දෙන, රුකුල් දෙන, ඔවුන්ට මඟ පෙන්වන, ඔවුන්ගෙන් සල්ලි අරගෙන ඒකට උදව් කරන කෙනෙක් ඉන්නවා නම් එල්ලලා මරන්න ඕනෙ”

ඇෆලටොක්සීන් නමැති පිළිකා කාරකය අඩංගු පොල්තෙල් පාරිභෝජනය කළහොත් අක්මාවේ පිළිකා ඇතිවිය හැකි බව විශේෂඥ වෛද්‍ය අර්ජුන පරාක්‍රම මහතා ද ඊයේ අවධාරණය කර තිබුණි.

Recommended For You

About the Author: Thusal