මැණික් හා ස්වර්ණාභරණ වෙලඳපළ මෙන්ම සංචාරක කර්මාන්තයද ප්‍රවර්ධනය කරනවා – සංචාරක ඇමති

  • ශ්‍රී ලංකාවට පැමිණ උසස් තත්වයේ ශ්‍රී ලාංකික මැණික් හා ස්වර්ණාභරණ මිලදී ගැනීමට  විදේශිකයින්ට අවස්ථාව
  • විදේශිකයින් සඳහා ශ්‍රී ලංකාවේ උසස් වර්ගයේ මැණික් හා ස්වර්ණාභරණ මිලදී ගැනීමට අවශ්‍ය වෙලඳපළ දේශීය වශයෙන් ව්‍යාප්ත කරනවා
  • කපා ඔප දමන මැණික් අපනයනය වෙනුවට නිමකරන ලද ස්වර්ණාභරණ නිෂ්පාදනය වැඩි කිරීමට අපේක්ෂා කරනවා

විදේශිකයින් සඳහා ශ්‍රී ලංකාවේ උසස් වර්ගයේ මැණික් හා ස්වර්ණාභරණ මිලදී ගැනීමට අවශ්‍ය වෙලඳපළ දේශීය වශයෙන් ව්‍යාප්ත කිරිම තුළින් මෙරට මැණික් හා ස්වර්ණාභරණ වෙලඳපළ මෙන්ම සංචාරක කර්මාන්තයද ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව  සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

 ඊයේ (31) කොළඹ දී පැවති මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සාමාජික හමුව අමතමින්  අමාත්‍යවරයා සඳහන්කළේ ජාත්‍යන්තර වෙළඳපලේ ශ්‍රී ලංකාවේ මැණික් සහ ස්වර්ණාභරණ ඉල්ලුම ඉහළ ගොස් ඇති බවයි.

ඒ සමග ඇතිවී තිබෙන ව්‍යාජ මැණික් හා ස්වර්ණාභරණ වෙලඳපළ වෙනස් කොට ශ්‍රී ලංකාවට පැමිණ උසස් තත්වයේ ශ්‍රී ලාංකික මැණික් හා ස්වර්ණාභරණ මිලදී ගැනීමට  විදේශිකයින්ට අවස්ථාව සැලසීම මෙමගින් අපේක්ෂා කෙරෙයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා –

මැණික් හා ස්වර්ණාභරණ කියන්නේ අපේ රටේ පැරණිතම අපනයන භාණ්ඩයයි. අපේ රට ඉංග්‍රීසීන්ට යටත් වෙලා තිබුණු කාලයේදී පවා අපේ මැණික් හා ස්වර්ණාභරණවලට හොඳ ඉල්ලුමක් තිබුණා. ඒ නිසා ලෝකය පුරා දේශීය මැණික් හා ස්වර්ණාභරණවලට හොඳ වෙළෙඳපොළක් තිබෙනවා. ඒ හොද වෙළෙඳ නාමය රැක ගැනීම අපේ වගකීමක්.

මෙරටට පැමිණෙන සංචාරකයාට අවශ්‍ය පහසුකම් සැලසීම අපේ යුතුකමක්. සංචාරක ආකර්ශනය දිනා ගන්න නම් අපි සංචාරකයින්ට පහසුකම් සපයන්න ඕනේ. ඒ වගේම සංචාරකයින් අපේ දේශීය නිෂ්පාදන මිලදී ගන්නා ආකාරයේ පෙළඹවීමක් ඇති කරන වැඩපිළිවෙළකුත් අපිට අවශ්‍යයි.

වාර්ෂිකව මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් වියදම් කිරීමේ හැකියාව සහිත සංචාරකයින් පැමිණෙන්නේ ලක්ෂ 15ක පමණ පිරිසක්. ආසියාතික රටවලින් පැමිණෙන සහ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් හැරුණු කොට වියදම් කිරීමේ හැකියාවක් සහිත මෙම සංචාරකයින් පිරිස ඉලක්ක කර ගනිමින් මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම මඟින් ඩොලර් මිලියන 500ක පමණ විදේශ ආදායමක් ලැබිය හැකි බවයි  ක්ෂේත්‍ර යේ අය පවසන්නේ.  මැණික් හා ස්වර්ණාභරණ  සම්බන්ධයෙන් සංචාරක ආකර්ශනය ඇති වන ආකාරයේ වැඩපිළීවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව මම විශ්වාස කරනවා. ඒ සඳහා ඔබේ යෝජනා ඉදිරිපත් කරන්න කියල ඉල්ලා සිටිනවා.

ඉදිරි වසර තුන ඇතුළත මෙරටට පැමිණෙන සංචාරකයින්ට අවශ්‍ය මැණික් හා ස්වර්ණාභරණ සැපයීම තුළින් රුපියල් ඩොලර් බිලියන 1 මුදලක් මෙරට ආර්ථකයට එකතු කිරීම පෙරදැරිව කටයුතු කරන ඔබේ සේවය හා කැපවීම, අධිෂ්ඨානය මම අගය කරනවා. අපේ රට කියන්නේ ඛණිජ සම්පත්වලින් සපිරිණු භුමියක්. මිල කළ හැකි මැණික් ගල් වර්ග 72ක් අපේ රටේ තිබෙනවා. ඩොලර් 100 සිට ඩොලර් ලක්ෂ තුන දක්වා වූ මුදලකට මේවා අලෙවි කිරීමේ හැකියාව අපිට තිබෙනවා.

චීනය, හොංකොන්, ජපානය, සහ ගල්ෆ් කලාපිය රටවලත් අපේ රටේ මැණික් හා ස්වර්ණාභරණවලට හොද ඉල්ලුමක් පවතිනවා. ලංකාව හැරුණු විට මැණික් හා ස්වර්ණාභරණවලට වෙළෙඳපොලක් තියෙන්නේ තායිලන්තයේයි. අපි උත්සාහ කලොත් අපේ තැන තවදුරටත් ආරක්ෂා කර ගැනීමේ හැකියාව අපට තිබෙනවා.

අපේ මැණීක් හා ස්වර්ණාභරණ කර්මාන්තය වැඩි දියුණුකිරීම සඳහා සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල මගින් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ජනාධිපතිතුමාගේ වැඩපිළීවෙල සකස් කරන අවස්ථාවේ ඔබව අමතක කර නැහැ.

ඒ වගේම ඛනිජ වැලි ඩොලමයිට් පොස්පේට් මැණීක් වැනි දැනට හඳුනාගෙන ඇති වටිනාකම එකතු කිරීමෙන් තොර වූ අපනයනය කරන ඛණිජ සම්පත් එසේ අපනයනය කිරීම සීමා කොට වටිනාකම් එකතු කළ ඉහළ අපනයන ආදායමක් ලබාගත හැකි නිෂ්පාදන බවට පත් කර අපනයනය කිරීමත් යෝජනා වී තිබෙනවා.

මේ ආණ්ඩුව ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කිරීම සඳහා කැපවී කටයුතු කරන ආණ්ඩුවක් බවත් මේ අවස්ථාවේ සිහිපත් කරනවා.

Recommended For You

About the Author: Thusal