Voice of දියවන්නා: පරිසරයට මුවා වී ආණ්ඩුවට මඩගහන කැම්පේන් එක ගැන ජනපති කී කතාව

සටහන – ගජබා නාගහවත්ත

ඉකුත් 26 දා බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේදී පළාත් පාලන ආයතන නියෝජිතයින් හා ජනාධිපතිවරයාගේ හමුවක් සංවිධානය කර තිබිණි. මෙම අවස්ථාවට බැසිල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග,රොෂාන් රණසිංහ, ඩි. වී. චානක,උදේනි අතුකෝරාල, සුමිත් උඩුකුඹුර, සාගර කාරියවසම්, මිලාන් ජයතිලක, මධුර විතානගේ, ජයන්ත කැටගොඩ, සුදත් මංජුල මහත්වරුද එක්ව සිටියහ.

සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වෙන පරිසර හානිය හා වන විනාශය සම්බන්දයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමුවිය. මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල මහතා මෙහිදී සඳහන් කළේ “ පරිසර හානියයි, වන විනාශය ගැනයි චෝදනාව ආණ්ඩුවට එල්ල කරන්නේ සංවිධානාත්මක විදියටයි. ඒ වුනාට ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මේවාට නිසි පිළිතුරු දීමේ  වැඩපිළිවෙලක් නැහැ. මේකෙන් වෙන්නේ ආණ්ඩුව ගැන ජනතාවගේ තියෙන විශ්වාසය නැතිවෙන එකයි. ජනාධිපතිතුමනි මේ තත්ත්වය නොසලකා හරින්න නම් එපා” යනුවෙනි.

“ඔව් ජනාධිපතිතුමනි. මේ කතාව ඇත්ත. එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂය හිතා මතාම ආණ්ඩුවට එරෙහිව මේ විදියේ මතවාදයක් නිර්මාණය කරමින් ඉන්නේ” යි ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

“ අද බොහෝ දෙනෙක්ට මතක නැහැ මහින්ද රාජපක්ෂ ජනාධීපතිතුමාගේ කාලයේ මේ ප්‍රදේශවල පරිසරය සංරක්ෂණය කරන්න අපි කරපු දේවල්. අනුරාධපුරය පොළොන්නරුව පළාත් වලින් පැල ගෙනල්ලා තමයි අපි අද මේ විදියට රූස්ස ගස් වවලා තියෙන්නේ ” කියමින් ජනාධිපතිවරයා අවට පරිසරය පෙන්වූවේය.

මෙම රැස්වීම සංවිධානය කර තිබුණේ දියත උයනේ එළිමහන් ප්‍රදේශයකයි. ඒ අවට ප්‍රදේශය දෙස බලමින් තව දුරටත් කතා කළ ජනාධිපතිවරයා “ පරිසරය අල්ලා ගෙන ආණ්ඩුවට විරුද්ධව ලොකු කැම්පේන් එකක් ගෙනියනවා. මේ කියන දේවල් ඇත්ත වුනානම් කමක් නැහැ. ආන්ඩුවට මඩ ගහන්න හිතාගෙන, ජනතාවට බොරු කියන එක තමයි වැරදි. මේක මගේ අවධානයට යොමු වෙලා තියෙන්නේ. මම මේ දේවල් දිහා සෑහෙන කාලයක් බලන් හිටියා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර දැන් මම අරන් තියෙන්නේ ”  කීවේය.

මෙහිදී ගම සමඟ පිළිසදර වැඩ සටහන සම්බන්ධයෙන් පළාත් පාලන නියෝජිතයින්ගේ ප්‍රසාදය පල විය. “අපේ පළාත් පාලන අයතන නියෝජිතයින් වැඩි දෙනෙක් ගම සමග පිළිසදර වැඩ සටහන අගය කරනවා. ජනාධිපතිතුමාටම ගමේ ප්‍රශ්න කියන්න අවස්ථාව ලැබෙන එක ගැන ඒ අය සතුටුයි ” මෙහිදී ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.

“ඒක ඇත්ත. මම ඒකෙදි දැක්ක දෙයක් තමයි යම් ගැටලුවක් ඉදිරිපත් වෙනකොට ඒ ගැටලුව ගැන සභාපතිට හොද දැනුමක් තියෙනවා කියන එක. ඔබතුමන්ලා එකතු වෙලා පරිසර විනාශයක් සිද්ධ වෙන තැන් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් අපිව දැනුවත් කරන්න. ඒ දේවල් වළක්වන්න අවශ්‍ය පියවර ගන්න” යිද ජනාධිපතිවරයා පැවසීය.

යම් යම් ආයතනවල සභාපතිවරු මගින් වැඩ කරවා ගැනීමේ අපහසුතාවය සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන නියෝජිතයින් වැඩි වශයෙන් කරුණු දක්වන්නට වූ අතර ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ “ අපි ආරක්ෂා කරන්න ඕනේ පුද්ගලයින් නෙවෙයි. පක්ෂයේ ප්‍රතිපත්ති මාලාව.බොරු ප්‍රචාරවලින් සිද්ධ වෙන්නේත්, ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකිරීමෙනුත් නැවත සිද්ධ වෙන්නේ පසුගිය වසර 5 සිදුවුන දේමයි. බොරු ප්‍රචාර නිසා ජනතාවට ආණ්ඩුව ගැන කළකිරෙනවා නම් ඒවා නිවැරදි කරන්න ඔබට පුලුවන් ” බවයි.

ගම්පහ දිස්ත්‍රික් කමිටු රැස්වීම පසුගිය අගහරුවාදා පැවැත්විනි. මීගමුව කලපුවේ ධීවරයින්ගේ කැටළු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව සාකච්ඡා විනි. මේ වන විට මීගමුව කලපුවේ කඩොලාන සම්බන්ධයෙන් ධීවරයින් හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අතර නඩුවක්පවතියි. නඩුවට නිමිත්ත වූ ඇති කොටස හැර ඉතිරි කොටස ධිවරයින්ගේ ධීවර කටයුතු සඳහා පිරිසිදු කර දෙන ලෙස ධීවර ජනතාවගෙන් සෑහෙන කාලයක සිට ඉල්ලිමක් ඉදිරිපත් වෙයි.

ධීවර ජනතාවගේ යෝජනාව සම්බන්ධයෙන් දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී කතා කළ නිමල් ලංසා ඇමැතිවරයා “නඩුවට හේතු වෙලා තියෙන කොටස අත හැරලා ඉතිරි කොටස ධිවර ජනතාව වෙනුවෙන පිරිසිදු කරලා දෙන්න”යි කීවේය.

දිසා වන අඩවි නිලධාරි දේවානි ජයතිලක මහත්මිය ඊට පිළිතුරු දෙමින් “ වන හානි කරන කෙනෙක්ට උදව් කරන්න මට බැහැ. පස් ගේන එක කරන්නේ වනයට හානි කරන කෙනෙක්.” යි කීවාය.

මේ අවස්ථාවේදී දිස්ත්‍රික් ලේකම්වරයා “

 “ ඔබතුමිය කියන විදියේ වන හානියක් සිදුවෙන්නේ රජයේ ව්‍යාපෘතියකින්ද.තත්ත්ව වාර්තා හැම දෙයක්ම අරන්නේ රජයේ ව්‍යාපෘති කරන්නේ. එහෙම වෙන්න බැහැ” කීවේය.

“ ධීවර ජනතාවගේ අවශ්‍යතාවයයි ඉටු වෙන්න ඕනේ. ඒ නිසා නඩුවට සම්බන්ධ කොටස අත් හැරලා ධීවර ජනතාවගේ ආදායම් උපයා ගැනීමේ අවස්ථාව හදා දෙන එක අපේ යුතුකමක්. අපිත් කැමැති නැහැ පරිසරය විනාශ වෙනවා දකින්න. පරිසරය ආරක්ෂ කර ගන්න අතරේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසදෙන්නත් ඕනේ.”  නිමල් ලංසා ඇමැතිවරයාද පෙරලා පැවසීය. නමුත් මෙම කතාබහ දිගින් දිගටම ඇදී ගියේ විසදුමකින් තොරවයි.

වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සහ සංචාරක අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් 01 වැනිදා අමාත්‍යංශයේදී පැවැත්විනි. ගුවන් තොටුපොළ පර්යේෂණාගාරය සම්බන්ධයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී කොරෝනා වෛරසය ලොව පුරා ව්‍යාප්තවීම සම්බන්ධයෙන්ද ඇමැතිවරයා හා රවී කුමුදේස් අතර සාකච්ඡා විනි.

“ චීනයේ මේ වගේ වෛරසයක් පැතිරයන නිසා සෞඛ්‍ය අපදෙස් අනුගමනය කරන්නයි කියලා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දෙන්නත් කළින් එයාර් පෝට් එක වෛරසයට සූදානම් කරලයි අපි තිබුනේ ” අමාත්‍යවරයා පැවසීය.

රසායනාගර විද්‍යාඥ සංගමයේ සභාපතිවරයා ඒ සම්බන්ධයෙන් දැන ගැනීමට උනන්දු බවක් පෙන්වීමත් සමඟ “අපේ උප සභාපති රජීව් සූරියආරච්චියි මමයි ගිය අවුරුද්දේ ජනවාරි 26 වැනිදා තලතුගොඩ ජොගින් කර ඉන්න කොටයි මම කිව්වේ චිනයේ අලුත් වෛරසයක් පැතිරෙනවා කියලා. මට දිනයත් හොදටම මතකයි. ඒ වෙලාවේ මම රජිව්ට කිව්වා සාර්ස් වෙලාවේ ගෙනාපු මැෂින් ටික එයාර්පෝට් එකේ හයි කරලා ඔය කියන වෛරසය තියෙන රෝගීන් එයාර්පෝට් එකෙන් එයිද කියන එක චෙක් වෙන්න වැඩපිළිවෙලක් හදන්නයි කියලා. එතකොට රජිව් කිව්වා ඒ මැෂින් අලුත් වැඩියා කරන්න ඕනේ කියලා. එදා කතා කරපු විදියට මැෂින් අලුත් වැඩියා කරලා හයිකරලා සතියකට පස්සේ තමයි අමාත්‍යංශයෙන් එයාර් පෝට් එකට එන්නේ.” ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා සාකච්ඡාව අතරමගදී අතීත කතාවද ගෙන හැර පෑවේය.

මිලාන් ජයතිලක, නිමල් ලන්සා, සිසිර ජයකොඩි මැති ඇමැතිවරු ඉකුත් සතියේ දිනෙක සංචාරක අමාත්‍යංශයේදී හමුවිණි. බොහෝ කාලයකට පසුව කළඑළි බැස්ස මංගල සමරවිර ඇමැතිවරයා සම්බන්ධයෙන් එහිදී පිරිස අතර සාකච්ඡාවක් ඇතිවිය.

“මංගල මහත්තයාත් කාලයක් නිශ්ශබ්දව ඉදලා එළියට බැහැලා තියෙනවා” නිමල් ලංසා ඇමැතිවරයා සිනහමුසුව පැවසීය.

 “ආණ්ඩුව වට්ටන්න ප්ලෑනක් ගහන්නෙ. හින් නූලේ මිනිහානේ” සිසිර ජයකොඩි රාජ්‍ය ඇමැතිවරයාද ඊට පිළිතුරු දුන්නේය.

“මංගල සමරවීර කියන දේවල් කතා කරලා තේරුමක් නැහැ. එයා දැන් අවලංගු කාසියක්. මිනිස්සු ඉස්සරහට යන්න ශක්තියක් නැති නිසානේ ඡන්දෙටවත් ඉදිරිපත් වුනේ නැත්තේ.” යි ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා එහිදී පිළිතුරු දුන්නේය.

සටහන – ගජබා නාගහවත්ත

Recommended For You

About the Author: Thusal