අලි-මිනිස් ගැටුමට පහසු විසඳුම්: ඔබ නොදැන සිටි අපූරු තොරතුරු එකතුවක්

මීට වසර සියයකට පෙර ශ්‍රී ලංකාවේ වන අලි 20,000 කට වැඩි ගණනක් වාසය කර ඇති බවට දත්ත සොයා ගැනීමට තොරතුරු මුලාශ්‍ර පවතී. එම වන අලි ගහණය අද වන විට 6,000 කට පමණ අඩු වී ඇත.

ග්‍රාමීය ප්‍රදේශවල ජනගහනය අඛණ්ඩව වර්ධනය වන අතර මේ නිසාම  වනජීවී වාසස්ථාන තවදුරටත් ආක්‍රමණය වෙමින් පවතියි. ඒ හේතුවෙන් වන සතුන් සහ මිනිසුන් අතර ඇතිවන ගැටුම්කාරී තත්ත්වය ද වැඩිවෙමින් නොනවතින අරගලයක් බවට පත් වී ඇත. කෘෂිකර්මාන්තය, සංවර්ධන කටයුතු සහ වෙනත් මානව සංවර්ධන කටයුතු සඳහා ප්‍රමාණවත් ඉඩක් ලබා ගැනීමට වන අලි සමඟ සටන් කිරීමට මිනිස්සු පෙළඹී සිටිති.  ඒ නිසාම අලි ඇතුන්ටද මාරාන්තික සටනක යෙදෙන්නට  සිදු වී තිබේ.

මෙහි ප්‍රතිඵලය වී ඇත්තේ මේ වන විට වාර්ෂිකව මිනිසුන් 80 ක් පමණ ද අලි ඇතුන් 250 ක් පමණ ද සිය ජීවිතයෙන් සමුගැනීමයි.  2019 වර්ෂයේදී අලි ඇතුන් 361 ක් ද මිනිසුන් 100 ට ආසන්න ගණනක්ද අලි මිනිස් ගැටුම හේතුවෙන් මියගොස් ඇති බව සඳහන් වෙයි. මිනිසා සිය අභිමතාර්ථ ඉෂ්ටසිද්ධ කරගැනීම සඳහා ඉතා වේගයෙන් වනාන්තර එළිපෙහෙළි කිරීමත් වගා කටයුතු සඳහා භූමිය ආක්‍රමණය කිරීමත් හේතුවෙන් වන අලින්ට නිදහසේ ජීවත්වීමට ඇති අවකාශය ටිකෙන් ටික අඩු වෙමින් පවතී.

ඕනෑම රටක පාරිසරික සමතුලිතභාවය පවත්වාගෙන යාම සඳහා සියයට35 ක අවම වන වැස්මක් තිබිය යුතු වුවත් අවාසනාවකට ශ්‍රී ලංකාවේ වර්තමානය වන විට එය සියයට 18ත් සියයට 20 ත් අතර ප්‍රමාණයකට අඩුවී ඇත. 1800 මුල්භාගයේ දී ශ්‍රී ලංකාවේ වනාන්තර ප්‍රතිශතය සියයට 70 පමණ වූ අතර 2015 වන විට එය සියයට 29 ක් දක්වා ප්‍රමාණයකට අඩු වී ඇති බව සඳහන් වෙයි.

මේ හේතුව මත වන අලි සිය වාසස්ථාන  අහිමිවීමේ දැඩි තර්ජනයකට මුහුණපා සිටිති. ඒ නිසාම ඔවුහු සිය නිජබිමේ අයිතිය තහවුරු කර ගැනීමට නිරන්තර අරගලයක යෙදෙති. එහි ප්‍රතිඵලය වන්නේ නිරපරාදයේ මිනිස්සුන්ගේ ජීවිත මෙන්ම අලි ඇතුන් ගේ ජීවිත ද විනාශ වීමයි.

මිනිස් ක්‍රියාකාරකම්

• ඉවක් බවක් නැතිව කරන වන විනාශය
• වගා කටයුතු මුවාවෙන් භූමිය එළිපෙහෙළි කිරීම
• අනවසර හේන් ගොවිතැන (මහා පරිමාණයෙන් සිදුකරන)
• වගා කටයුතු සඳහා අලිමංකඩවල් යොදා ගැනීම
• අධ්‍යනයකින් තොරව වගා කටයුතු කිරීම – අලි ප්‍රහාරවලට ලක්වන පරිදි නිසි අධ්‍යනයකින් තොරව වගා කටයුතු කිරීම.
උදා : කොමඩු, බඩඉරිඟු‍, උක් වැනි බෝග අලි ඇත්තු ඉතාමත් ප්‍රිය කරති. ඒ නිසා ඔවුහු ඉක්මනින් ඒ භෝග අනුභව කිරීමට පැමිණෙති. ඒවා වගා කර තිබෙන්නේ අලි ඇතුන්ට විනාශ කිරීමට හැකිවන පරිදිය. නිසි ක්‍රමවේදයකට අනුව නොවේ.

• වගා කටයුතු ආරක්ෂා කර ගැනීම සඳහා හිංසාකාරී ලෙස අලි ඇතුන්ට උගුල් ඇටවීම
 උදා:  හක්කපටස් යොදාගෙන අලි විනාශ කිරීම, විදුලිය යොදාගෙන අලි මරණයට පත්කිරීම, තුවක්කු බැඳීම,  අලින්ට වෙඩි තැබීම ඇතුළු නොයෙකුත් හිංසාකාරී ක්‍රම යොදාගෙන අලි පළවා හැරීම හෝ මරණයට පත්කිරීම. මේ නිසා වන අලි ඉතා දරුණු ලෙස කෝපයටත් හිංසාකාරී ලෙස හැසිරීමටත් පෙළඹී සිටිති.

අලි ඇතුන් සහ මිනිසා

අතීතයේ සිටම මිනිසුන් සහ අලි ඇතුන් අතර ඉතා සුහදශීලී අන්‍යොන්‍ය සම්බන්ධයක් තිබූ බව අපි දනිමු. විශේෂයෙන්ම පෙරහැරවලට අලි ඇතුන් විශාල ලෙස යොදාගෙන තිබේ.  සංස්කෘතිකමය පැත්තෙන් බැලු‍වත් යම් යම් ආගමික සංකල්ප අනුව බැලු‍වත් අලි ඇතුන්ට ඉතා පූජනීයත්වයෙන් සැලකූ බව දැකගන්නට හැකිය.  ඒ වගේම විවිධ සංවර්ධන කටයුතු සඳහා මෙන්ම ඉදිකිරීම් කටයුතු සඳහාද අතීතයේ අලින්ගෙන් වැඩ ගෙන තිබේ.

අලි-මිනිස් ගැටුම ආරම්භ වන්නේ මිනිසුන්ගේම යම් යම් ආත්මාර්ථකාමී කටයුතු නිසා බව මිනිසා විසින්ම අවබෝධ කරගත යුතු කාලය දැන් එළඹී ඇත.  කවදාවත් අලි ඇතුන් මිනිසුන්ගේ භූමි ආක්‍රමණය කිරීමට පැමිණියේ නැත.  මිනිස්සු අලි ඇතුන්ගේ භූමි ආක්‍රමණය කර ඔවුන්ට තිබෙන භූමි ප්‍රමාණය ටිකෙන් ටික අල්ලා ගත්හ.  සංවර්ධනය මුවාවෙන් ගස්වැල් කපාදමා  වනාන්තර විනාශ කිරීමෙන් නොනැවතුණු මිනිසුන් වනජීවින් ද අමු අමුවේ විනාශ කරන තත්ත්වයකට පත්වෙමින් තිබේ.

ඒ නිසා මිනිසා ඇති කරගන්නා ලද මේ මහ ප්‍රශ්නකාරී තත්ත්වයට විසඳුම්  මිනිසා විසින්ම හිතකර ආකාරයෙන් සොයා ගත යුතුව ඇත. එම විසඳුම් දෙපාර්ශවයටම සාධාරණ විසඳුම් විය යුතුය.

විසඳුම් සහ මඟපෙන්වීම්

අලි  ඇතුන් ඉතා බුද්ධිමත් ජීවීන් කොට්ඨාසයක් වන බැවින්, මෙම සමහර ක්‍රමෝපය තමන්ට හානියක් නොවන බව ඔවුන්ට ඉක්මනින් ඉගෙන ගත හැකිය. එබැවින් ගොවීන් මෙම උපක්‍රම, විසඳුම් ක්‍රම වරින් වර වෙනස් කරමින් භාවිත කිරීම ඉතා වැදගත්ය.  මෙවැනි විවිධ ක්‍රමෝපාය භාවිත කිරීමෙන් අලි ඇතුන් ගම් වැදීම පාලනය කර ඔවුන් කැලෑව තුළම රඳවා තබා ගැනීම කළ හැකිය. එහිදී අලි ඇතුන්ට ප්‍රමාණවත් තරම් කෑම බීම කැලෑ තුළ තිබීම ඉතා වැදගත්ය. තිබෙන වන ගහණය අප ආරක්ෂා කරගැනීම වැදගත් වන්නේ ඒ නිසාය. මීට අමතරව අලු‍තින් ගස් වැවීමද වැඩි වශයෙන් කළ යුතුව ඇත.

ප්‍රජා සහභාගිත්ව / ප්‍රජා මූලික සංරක්ෂණ ක්‍රම

මෙමගින් වඩා ඉහළ ගැටුම් සහිත ප්‍රදේශවල ග්‍රාමීය ගොවීන්ට අලි ඇතුන් සමග සුහදව, එකඟව ජීවත් විය හැකි පරිසරයක් ක්‍රමයෙන් ගොඩනගා ගත හැකිය.

1. මී මැසි වැට (Beehive Fences)

අලි ඇතුන් ගම්මානවලට කඩා වැදීම හෝ බවභෝග විනාශ කිරීම පාලනය කරගැනීම/ පැමිණීම සීමා කර ගැනීම සඳහා මී මැසි වැට යොදා ගත හැකිය. මෙය අලියාටත් හානි නොවන ගමේ ගොවියාටත් අමතර වාසි සලසන පරිසර හිතකාමී තිරසාර ආදායමක් ලබාගත හැකි ක්‍රමයකි.

අලි ඇතුන් මී මැස්සන්ගේ පැමිණීමට හා ශබ්දයට බියක් දක්වන බැවින් මෙම මී මැසි වැට අලි ඇතුන් ගම් වැදීම පාලනය කිරීමට සහ ඔවුන්ගෙන් වගාව ආරක්ෂා කර ගැනීමට යොදා ගත හැකි ස්වාභාවික ක්‍රමවේදයකි.

මී මැසි වැට සාදාගැනීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

• මී මැසි පෙට්ටි
• ලී කණු
• අවශ්‍ය ප්‍රමාණයට කම්බි
• අවශ්‍යතාව අනුව පිදුරු සහිත වහලයක්

අක්කරයක වගා භූමියක් වට කිරීම සඳහා අවශ්‍ය වන්නේ මී මැසි පෙට්ටි ජනපද 12 ක් හා ‌බොරු මී මැසි පෙට්ටි (Dummies)  12 ක්  පමණය.

මී මැසි පෙට්ටි සවිකරන ආකාරය. – අලි ඇතුන්ගේ පැමිණීම වැළැක්වීමට වැටක් ලෙස මී මැසි පෙට්ටි කම්බියක් ආධාරයෙන්  එකිනෙකට සම්බන්ධ කරමින් ගොඩනැගීම ඡායාරූපය 1 න් දැක්වෙන ආකාරයට කළ හැකිය.

2. බුද්ධිමය ගොවිපොළ සංකල්පය

(InteIIigent Farms) මෙහිදී තමන් වගාවට යොදාගන්නා භූමිය නිසි පරිදි තෝරා ගැනීම කළ යුතුය. තමුන් වගා කරන්නේ කුමක්ද යන්න පළමුවෙන්ම තීරණය කළ යුතුය.

එහි දී පහත කරුණු කෙරෙහි සැලකිලිමත් වන්න.

• අලිමංකඩවල සහ ඒ ආශ්‍රිතව වගා කටයුතු , ඉදිකිරීම් කටයුතු කිරීමට යාමෙන් වළකින්න. ඒ වගේම අලි ඇතුන් ජලය පානය කිරීමට යන මාර්ගයේ වගා කටයුතු  නොකළ යුතුයි.

• අලි ඇතුන් වගාබිම්වලට හානි කරන්නට පෙළඹෙන්නේ  ඔවුන්ට ජීවත්වීමට පැවැත්මට අවශ්‍ය  තරම් භූමිය, ආහාර වගේම ඔවුනට හිමි පාරිසරික තත්ත්වය අහිමිවීම නිසාය.

• ගොවිබිම් ආරක්ෂාව සඳහා අලි හානි අවමකර ගැනීම/වැළැක්වීමේ ක්‍රම ඒකාබද්ධ කිරීම පිළිබඳව අවධානය යොමු කිරීම ඉතා වැදගත්ය.

ස්වාභාවික වෘක්ෂලතා කලාප පවත්වාගෙන යාම ඉතාමත් ප්‍රතිඵලදායකය. ප්‍රදේශයට ගැළපෙන මල් වර්ග, ගස් වර්ග වැවීම මඟින් පරාගනය නිසා බෝග අස්වැන්න ඉහළ නැංවීමට උපකාරී වේ.

සූරියකාන්ත මල්, ඉඟු‍රු, මිරිස්, දෙහි දොඩම් වැනි බෝග වලට අලි ඇතුන් එතරම් කැමැත්තක් දක්වන්නෙ නැත.  ඔවුන් බලන්නේ හැකි  තරම් ඒවා මඟ හැරීමටය. ඒ නිසා ඔබ වගා කිරීමට තෝරා ගන්නා භූමිය මායිමේ මෙම ශාක වැවීමෙන් අලි ඇතුන්ගෙන් වගා භූමියට සිදුවීමට හැකි හානිය අවම කර ගැනීමටත් අලි ඇතුන් පැමිණීම වළක්වා ගැනීමටත් හැකිවේ.

අලි ඇත්තු බඩඉරිඟු‍, මඤ්ඤොක්කා, බෝංචි, මුං ඇට, කොමඩු, උක්  වැනි බෝග අනුභව කිරීමට වඩා ප්‍රියතාවක් දක්වති.  ඔබ මෙවැනි බෝග වගා කිරීමට බලාපොරොත්තු වෙනවා නම්  ඔබ තෝරා ගන්නා භූමියේ හෝ ඔබ නිවස ආශ්‍රිතව වගා කරනවා නම් ඒවා හැකි තරම් ඔබ නිවස ආසන්නයේ හෝ ඔබ තෝරාගන්නා වගා භූමියේ මධ්‍යයට වන්නට වගා කිරීම සුදුසුය.

ඒ නිසා පෙරකී දොඩම්, දෙහි, ඉඟු‍රු, මිරිස් වැනි බෝග ඔබ තෝරාගන්නා භූමියේ මායිම වටේට වගා කිරීමට වග බලා ගත යුතුය. එවිට අලි ඇතුන් ගේ පැමිණීම සීමා වන අතර ඔබගේ වගාවට සිදුවිය හැකි හානිය ද වළක්වා ගත හැකිය. මෙවැනි බහුවිධ බෝග වර්ග වගා කිරීම හේතුවෙන් ඔබට අතිරේක ආදායමක් ද මෙමගින් ලබා ගත හැකි අතර අස්වැන්නද වැඩිකර ගැනීමට පුළුවන.මෙම ක්‍රමය ගොවීන්ට මෙන්ම අලි ඇතුන්ගේ පැවැත්මට ද වඩා හිතකරය.

3 ජෛව වැට ( Bio-Fences)

අලි ඇතුන්ගෙන් තම වගාව ආරක්ෂා කර ගැනීමට ජෛව වැටක් නිර්මාණය කිරීම දිගුකාලීන විසඳුම් ලැබෙන පිරිවැය අඩු විකල්ප ක්‍රමයකි. මෙම ජෛව වැට ඉදිකිරීමෙන් අලි ඇතුන් ගේ ආක්‍රමණවලින් මිනිස් ජීවිත බේරාගැනීමට මෙන්ම ඔවුන්ගේ වගා භූමි ද ආරක්ෂා කර ගැනීමට  අවස්ථාව සැලසේ.

ජෛව වැට සඳහා යොදා ගැනීමට,
• තල් ගස්
• දෙහි පඳුරු
• දොඩම් ගස්  යොදා ගත හැකිය.

ජෛව වැට ඉදිකර නිසි ප්‍රතිඵලයක් ගැනීමට අවුරුදු කිහිපයක් ගත වේ. නිසි පරිදි ස්ථාපිත ජෛව වැටකින් අලින්ගෙන් සිදුවන හානිය වළක්වා ගැනීමට හැකිය.  ඒ වගේම මෙවැනි ජෛව වැටක් නඩත්තු කිරීමට විශාල ප්‍රයත්නයක් දැරීමට අවශ්‍ය නොවේ. මෙම ජෛව වැට අතරින් පතර තවත් අවශේෂ බෝග අවශ්‍ය නම් වගා කළ හැකිය. නිසි පරිදි ස්ථාපිත වූ ජෛව වැටක් අලි ඇතුන්ට ලෙහෙසියෙන් කඩා බිඳ දැමීමට නොහැකි නිසා මෙය දිගුකාලීන තිරසාර විසඳුමක් ලෙස යොදාගත හැකිය.

තල් වැට වැවීම – (Palmyra Palm Tree Fence)- තල් වැටක් ඉදිකිරීම අලි ඇතුන්ගෙන් තම වගා ආරක්ෂා කර ගැනීමට පමණක් නොව අමතර ආදායමක් ලැබීමට ද ගොවියන්ට ලැබෙන හොඳ අවස්ථාවකි. මෙහිදී ගොවියාත් දිනන අතර අලි ඇතුන් ද ආරක්ෂා වෙයි. මෙය දෙපාර්ශවයටම වාසිදායක ක්‍රමයකි.

තල් වැට වැවිමෙන් (ඉදිකිරීමෙන්) ලැබෙන ප්‍රතිලාභ

• පරිසර හිතකාමී වීම
• කිලෝමීටර් එකක තල් වැටකින් තල්ගෙඩි ටොන්  270 ලබාගැනීමේ හැකියාව ලැබේ.
• තල් ගස ආශ්‍රිත  විවිධ  නිශ්පාදන රාශියක් කළ හැකි වීම (තල් හකුරු, පැණි, තල් රා, විවිධ අත්කම් නිෂ්පාදන)
• ගොවියන්ට අමතර ආදායමක් ලබාගත හැකිවීම.
• සුළං මුවාවක් විදියට භාවිත කළ හැකිවීම
• පාංශු ඛාදනය වළක්වා ගත හැකිවීම
• තල්වැට වඩා ඉහළ උෂ්ණත්වයකට ඔරොත්තු දෙන නිසා දිගුකාලීනව භාවිත කිරීම වඩා සුදුසු ක්‍රමයකි.

අලි ඇතුන් පලවා හැරීමට හා වගාභූමි හානි වළක්වා ගැනීමට භාවිත කළ හැකි වෙනත් සම්ප්‍රදායික හා නවීන ක්‍රමවේද – අලි ඇතුන්ට හානිකර නොවන.

සම්ප්‍රදායික උගුල්

• වගා භූමිය ආසන්නයට පැමිණීමට පෙර පලවා හැරීම
බොරු මදු
අලි පහන්
අලි පහන් පෙට්ටි
දිය වෙඩිල්ල / දිය හොල්මන
  • වගා භූමිය ආසන්නයට පැමිණි පසු පලවා හැරීම
අලි උගුල / ගෝනි උගුල
මිණිගෙඩි බැඳීම
වගා භූමියට ඇතුළු වූ පසු
තහඩු උගුල
චීනපටස් උගුල

ටයර් අලි වැට- මහව, වතුපලගම තිස්ස බණ්ඩාර මහතා නිර්මාණය කරන ලද ටයර් අලි වැට අලීන්ගෙන් තම වගාභූමි ආරක්ෂා කර ගැනීම සඳහා යොදාගත හැකි තවත් හිතකර විසඳුමකි. ඉවතලන ද්‍රව්‍ය යොදාගෙන පරිසරයටත් හානි නොවන පරිදි අඩු වියදමකින් මෙම වැට නිර්මාණය කළ හැකිය.

අවශ්‍ය ද්‍රව්‍ය:
• පරණ ටයර් (අක්කරයක ප්‍රමාණයකට ටයර් වැටක් ඉදිකිරීම සඳහා පරණ ටයර් 105 ක් පමණ අවශ්‍ය වේ)
• හිස් වීදුරු බෝතල්
• අවශ්‍ය ප්‍රමාණයට කම්බි
• අවශ්‍යතාව අනුව විදුලි බුබුලු‍ / විදුලිය ( රථවාහන බැටරියක්).

අරුණ ඉන්ද්‍රජිත් කුඩලිගම
උතුරු වේල්ස්, මහා බ්‍රිතාන්‍යය
තොරතුරු මුලාශ්‍ර :
1-https//elephantsandbees.com/research-projects
2.https//elephantsandbees.com/sri-lanka
3.https//www.slwcs.org/elephaants-and-bees
අලින්ගෙන් සිදුවන වගා හානි අවම කර ගැනීමට සාම්ප්‍රදායික උගුල් භාවිතය – මහාචාර්ය ගාමිණී රණසිංහ
ටයර් අලි වැට – තිස්ස බණ්ඩාර අබේසිංහ ගොවි මහතා (වතුපලගම, මහව)
ඡායාරූපවල කතෘ හිමිකම මුල් අයිතිකරුවන් සතුයි.
සිතුවම් – සනුක කුඩලිගම

Text copied by – lankadeepa e paper

Recommended For You

About the Author: Thusal