අප්‍රේල් කැරැල්ලේ තවත් පැත්තක්: ‘ලංකාවේ කර්නල්වරුන්ගේ අති සුන්දර යුද්ධය’

මැෂින්තුවක්කු, බර කාලතුවක්කු, සැහැල්ලු  කාලතුවක්කු, සන්නද්ධ රථ සහ හෙලිකොප්ටර් වලින් සමන්විත රජයේ හමුදාවක්  ෂොට්ගන්, අත්බෝම්බ සහ මැෂින් තුවක්කු කිහිපයකින් පමණක්  සන්නද්ධ වූ කැරලිකරුවන් සමග ‘යුද්ධ’ කල හැටි

ජානක පෙරේරා විසිනි

අප්‍රේල් පස්වැනි දාට පනස් වසරක් සපිරුනු ජනතා විමුක්ති පෙරමුණේ පළමු කැරැල්ල පිළිබඳව ගිය සතියේ සිළුමිණේ පළවූ ලිපියට අමතරව කැරැල්ලේ සිද්ධීන් වාර්තා කල වාර්තාකරුවෙකු එය දුටු අන්දම පෙන්වීම මෙම ලිපියේ අරමුණයි.

කැරැල්ලෙන් ඇතිවූ එක්  ප්‍රධාන බලපෑමක් නම් මෙරට ආරක්ෂක අංශ වල ඇතිවූ වෙනසය.  ඒ වසර 1848 මාතලේ අධිරාජ්‍ය-විරෝධී සටනින් පසු  වසර එකසිය විසිතුනකට පසු මෙරට රජයකට විරුද්ධව පැනනැගුනු පළමු සන්නද්ධ අභියෝගය අප්‍රේල් කැරැල්ල  වීමයි.    

ලංකාවේ බ්‍රිතාන්‍ය පාලනය අවසන් වීමෙන් පසු මෙරට අලුතෙන් ස්ථාපිත වූ ත්‍රිවිධ හමුදාවන් සහ පොලිසිය 1971 වන තෙක් කිසිම සන්නද්ධ සටන් අත්දැකීමක් ලබා තිබුනේ නැත. ඒ වන තෙක් වසර  1953 හර්තාලය සහ උතුරේ සත්‍යග්‍රහ වැනි විරෝධතාවලට මුහුණ දීම හැර ඔවුන්ගේ අනෙක් කටයුතු බෙහෙවින්ම සීමා වුයේ නිදහස් දින හමුදා පෙළපාලි වැනි උත්සවවල සම්ප්‍රදායික රාජකාරි ඉටුකිරීමට පමණි. සාමාන්‍ය දිනවල මුර සංචාරයේ යෙදුනු පොලිස් භටයා රැගෙන ගියේ බැටන් පොල්ලකි. සුළු කලබල වලදීද පොලිසිය පාවිච්චි කලේ පොලු සහ කුලුය  (riot shield).  රයිෆල් වැනි ගිනි අවි භාවිත කලේ රටපුරා හදිසි තත්වයක් පැනවූ අවස්ථාවකදී පමණය.    යුද අත්දැකීම් ලබා තිබුනේ නම් ඒ දෙවන ලෝක යුද්ධයේදී බ්‍රිතාන්‍ය හමුදාවන්ට බැඳී පිටරට සේවය කල රිචඩ් උඩුගම (හිටපු යුද හමුදාපති) රොහාන්  අමරසේකර (හිටපු ගුවන් හමුදාපති) සහ සෙනරත් කඩිගාව (පොලිස් ප්‍රවාහන අංශයේ හිටපු අධිකාරි) වැනි අතලොස්සකි.  

කැරැල්ල පටන්ගන්නා විට මා ලේක්හවුස් ඔබ්සව කර්තෘ මණ්ඩලයට සම්බන්ධ වී යන්තම් දෙවසරකි. ඒ අතරතුර ජ.වි. පෙ. ප්‍රචාරක රැස්වීම්, කැරැල්ලට සූදානමින්  ඔවුන් කල අවි ආයුධ රැස්කිරීම් පිලිබඳව පොලිසියෙන් ලැබුනු තොරතුරු යනාදිය අපි වාර්තා කෙරුවෙමු .  මීට අමතරව සෑම මසකම උසස් පොලිස් නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පුවත්පත් සාකච්ඡාවක් කොළඹ පොලිස් මූලස්ථානයේ පැවැත්වින. එකල පැවති ප්‍රධාන පුවත්පත් සමාගම් තුනේ – ලේක් හවුස්, ටයිම්ස් (ලංකාදීප, Daily Mirror සහ Times of Ceylon)  –  සහ ස්වාධීන පුවත්පත් (දවස /Sun) ආයතනවලද ඇත්ත පුවත්පතේ සහ ලංකා ගුවන් විදුලි සංස්ථාවේද ( Ceylon Broadcasting Corporation) වාර්තාකරුවෝ ඊට සහභාගී වුහ.  

1971 කැරැල්ල කාලේ තරුණ අප  සමහර දෙනෙකුටත් ඒ ගැන තිබුන ‘රොමැන්ටික්’ (Romantic) චිත්‍රයකි.

 කැරැල්ලට පෙර ජ.වි. පෙ. සාමාජිකයන්  ගේ එක් සටන් පාඨයක් වුයේ:

“චේ ගුවේරා ගිය පාරේ අපි යන්නේ ඒ පාරේ හෝ චි මිං ගිය පාරේ අපි යන්නේ ඒ පාරේ” යන්නයි.

එදා ජ.වි. පෙ. කැරලිකරුවන්ට ‘චේ ගුවේරා කල්ලිය’ යන නම පට බැඳුනේ ඒ අයුරින්ය.

ඔවුන්ගේ  මෙම මානසිකත්වය පිළිබිඹු වුයේ අප්‍රේල් කැරැල්ලේ හතරවැනි වැනි සැකකාර අනුර රංජිත් කුරුකුලසූරිය මහනුවර පොලිසියට 1971 මැයි 20දා කරනලද  දීර්ඝ පාපොච්චාරණයෙනි.  එය එවකට පිහිටුවා තිබූ අපරාධ යුක්ති කොමිසම  මගින් සම්පූර්ණයෙන්ම පුවත්පත් වල පලකිරීම සඳහා අවසර දෙන ලදී.

රෝහණ විජේවීර,  කෙලී සේනානායක, නිශ්ශංක  ප්රේමරත්න, ලාල් සෝමසිරි සහ ඒ.ප්රේමතිලක  1971 මාර්තුවේදී පොලිස්  අත්අඩංගුවට ගන්නා ලද අතර කැරැල්ල පටන්ගන්නා විටත්  විජේවීර සිටියේ යාපන සිරගෙදර බැවින් පාපොච්චාරණයෙන් හෙළි වන්නේ ඊට පෙර විජේවීර පක්ෂ සාමාජිකයන්ට දී කැරැල්ල දියත් කිරීම සඳහා දී තිබූ උපදෙස්ය. 

Comrade Bala Tampoe, The Legend Is No More! - Colombo Telegraph

ඒ වසර 1970 දෙසැම්බරයේදී විජේවීර,  ලක්ෂමන් මාදුවගේ  නිවසේදී කුරුකුලසූරිය,සුනන්ද දේශප්‍රිය, සෝමසිරි කුමානායක, ජේමිස් උයන්ගොඩ, ටී ඩී. සිල්වා. සිසිල් ප්‍රනාන්දු, ජේ.පී.ජී. ධනපාල ආදීන්ට පැවැතු පළමු දේශනයේ දීය. මෙහි පලවන්නේ ඉන් උපුටා ගත් කොටස්ය.

“….මෙහිදී කතාකල විජේවීර පවතින රජය  පෙරලා දමා විප්ලවීය රජයක් ගොඩ නගන හැටි විස්තර කලා. ලංකාවේ හැම පළාතකම බලය එක විට ඇල්ලිය යුතුයැයි. ඔහු කීවා. යුද හමුදාවල සහ පොලිසිවල සම්පූර්ණ පාලනය තමන් අතට ගතයුතු බවත් ඔහු කීවා. විප්ලවයේ සාර්ථක හෝ අසාර්ථක බව රඳා පවතින්නේ මියයන පුද්ගලයන්ගේ ගණන අනුව නොවෙයි. විප්ලවය සාර්ථක අන්දමින් ජයගැනීමට නම් සතුරා නිරායුධ කල යුතුයි. ආයුධ සන්නද්ධ හමුදාවලට විරුද්ධව සටන් කොටයි අපි බල ලබා ගන්නට සූදානම් වන්නේ. මේ සටනින් දෙපක්ෂයේම ය මිය යන්නට පුලුවන්. ඒ  මළ  සිරුරු සාමාන්‍ය මහජනයා දකින්නට පෙර විනාශ කර දැමිය යූතුයි. පොලිස් නිලධාරීන් නිරායුධ කල යුතුයි.  ඔවුන් සතු සියලුම අවි පැහැරගත යුතුයි. මේ කටයුතු කොහොම  කළයුතුදැයි  මා කියන්නේ නැහැ.  ඒවා තම තමන්ගේ සාමාන්‍ය බුද්ධිය මෙහෙයවා කල යුතුයි.  ගරිල්ලා සංවිධානවලට නිතරම අවශ්‍ය තරම් අවි ආයුධ ලැබෙන්නේ නැහැ. ඒ සඳහා ඔවුන් නිතරම තමන්ගේ සතුරාගේ ආයුධ පැහැරගන්නවා. පොලිස් සතුරා නිරායුධ කිරීමෙන් පසු ඔවුන් සියලුම දෙනා සිරභාරයට ගතයුතුයි.

ඔවුන්ගේ  දරුමල්ලන් ඇතුළු පවුල් සියල්ලම නිවාස අඩස්සියේ තැබිය යුතුයි. පොලිසියකට පහර දී එය අල්ලාගත් පසුව ජනතා විමුක්ති පෙරමුණේ රතු ධජය එහි එසවිය යුතුයි (කහපාට සිංහයා සහිත රතු ධජය) අල්ලාගත් පොලිස් ස්ථානයකක් අපේ මධ්‍යස්ථානයක් කරගන්නට එපා. එය වෙනත් තැනකට ගෙනයා යුතුයි. අල්ලාගත් පොලිසීයක අපේ ය නැවතී සිටිනවිට එය තවමත්  අයත්  පොලිසියක්යයි වරදවා සිතන අපේ අයම සමහරට විට එයට පහර දෙන්නට පුළුවන්.

අත්අඩංගුවේ සිටින පොලිස් නිලධාරීන්ට අපේ දේශපාලන දර්ශනය පිළබඳ අදහස් කවා ඔවුන් අපේ පක්ෂයට නතුකරගත යුතුයි. පොලිසියකට පහර දී එය අල්ලාගත් විගසම ඒ පළාතේ ආණ්ඩුවේ එජන්ත තැන, පොලිස් අධිකාරි. ඇමතිවරු සහ  ඇමතිවරු සියල්ලන්ම අත්අඩංගුවට ගත යුතුයි. අපගේ ප්‍රතිපත්ති  ඔවුන් අනුමත කරනවා නම් ඔවුන්ටත් ව්‍යාපාරයේ දර්ශනය ඉගැන්විය යුතුයි.  එසේ නැතිනම්  ඔවුන් සියල්ලන්ම රටින් පිටුවහල් කල යුතුයි…”

“මේ කාලයට රටේ මහා වැඩවර්ජනයක් මා බලාපොරොත්තු වෙනවා. ඒ වැඩ වර්ජනය නොසිදුවුවත් එසේ වැඩවර්ජයනයක් පවතින සමයක වැනි තත්වයක් ඇතිකළ යුතුයි. රටපුරා විදුලි පණිවුඩ ක්‍රමය අඩපණ කොට විදුලිය කඩාකප්පල් කොට රට අඳුරේ තාබා රට අඳුරේ තබා රටටේ පරිපලන තත්වය සම්පූර්ණයෙන්ම ඇන සිටවිය යුතුයි.

පොලිස්වලට පහර දිය යුත්තේ එක පිළිවෙලකටයි.  ඈත පළාත්වල කුඩා පොලිසිවලට පළමුව පහර දිය යුතුයි. ඉන්පසු ඒ  පොලිසිවල අවි ආයුධ රැගෙන ඒවා යොදා විශාල පොලිසිවලට පහර දිය යුතුයි.

ගරු අගමැතිනිය, ආචාර්ය එන්. එම්.  පෙරේරා සහ පීට කෙනමන් යන අය බලහත්කාරයෙන් හැරගෙන යා යුතුයි. ඔවුන්ට බලකොට ජනතාව අමතා කරන කතාවක් කරගත යුතුයි.  මේ කතා පටිගතකල යුතුයි. සැහෙන මහජන සහයෝගයක් තිබෙන නායකයන්ට කිසිම හිංසාවක් නොකළ යුතුයි. එසේ කළහොත් රටේ මහජනතාව අප ගැන කලකිරීමට පුළුවන්.

පොලිසි අල්ලාගැනීමෙන් පසුව මහජනතාව අතරේ තිබෙන අවි ආයුධ වෙඩි බෙහෙත් ද ලබාගත යුතුයි. ඉන්පසුව රටේ සියලුම පෙට්‍රල් ගබඩා, ආහාර ගබඩා සහ මුද්‍ ණාලයන් සියල්ලම සීල්තබා වස තැබිය යුතුයි. අපේ පාලනය යටතේ පවතින ප්‍රදේශවල ඇඳිරි නීතිය පැනවිය යුතුයි. මේ ගැන ගුවන් විදුලියෙන් ප්‍රචාරය කිරීමට මා කටයුතු යොදනවා. මේ රැස්වීමේදී විජේවීර අතුල අමතා ට්‍රාන්ස්මීටර්ස් (ගුවන්විදුලි සම්ප්‍රේෂණ යන්ත්‍ර) සුදානම් කර තබන ලෙසත් කිව්වා. අපේ පාලනයට නතුව ඇති ප්‍රදේශවල තබෙන කඩසාප්පු වල ද්‍රව්‍ය පාලන මිලට විකිණීමට සැලසිය යුතුය…”

“අප පක්ෂයේ  සාමාජිකයෙකු විසින් හෝ මැරවරයෙකු විසින් හෝ සිදුකරන ස්ත්‍රී දූෂණයක්, මං කොල්ලකෑමක් වෙතොත් පුද්ගලයා ගැන නොසලකා ඔහුට වෙඩි තබා මරා දැමිය යුතුය….”

ගුවන් තොටුපල වලින් කිසිම ගුවන් යානයකට පිටවීමට ඉඩ නොදිය යුතුය. ඇමෙරිකානු, බ්‍රිතාන්‍ය වැනි අධිරාජ්‍යවාදී රටවල තානාපති කාර්යාල වසා දමා එහි නිලධාරීන්ට තානාපති කාර්යාලත් සමග රටින් පිටව යන ලෙසට අණ කල යුතුය. 

මෙම රැස්වීමේදී විජේවීර මට කීවා නකල්ස් කඳු වටයේ කැලයෙන් ස්ථානයක් සොයාගන්නා ලෙස. එදා මුළු දවසම මේ රැස්වීම  පැවැත්වුවා. මේ රැස්වීමේදී විජේවීර තවත් දෙයක් සඳහන් කලා. මේ සටනින් පරාජයට පත්වුවොත් කලයට පසුබසින් ලෙස ඔහු අපට උපදෙස් දුන් අතර භය භූමි ප්‍රදේශ මේ සඳහා උචිත බවත්  පැවසුවා.යුධ ශිල්ප ක්‍රම සහ උපක්‍රම ගැනත් ඔහු කතා කලා. පොලිසියක් තිබෙන හැම පළාතක හැම සංවිධායෙකුම හිස් ටින් සහ  බෝතල දහසක් බැගින් බෝම්බ සෑදීමට එකතු කලයුතු  බව  පැවසුවා…බෝම්බ හදන හැටිත් ඔහු කියා දුන්නා.අතුල මට කීවා ඔහු දැනට අත් බෝම්බ පන්දහසක් පමණ නිපදවා ඇති බව. මේ බෝම්බ කොළඹ, බදුල්ල, අම්පාර සහ අනුරාධපුරය යන ප්‍රදේශවලට යැවූ බවත් ඔහු කිව්වා.”  (උපුටාගැනීම් නිමි)

කැරැල්ල ඇරඹීමට පෙර වසරේ, එනම් 1970 කොළඹ හයිඩ් පිටියේ පැවති ජ.වි පෙ. රැස්වීම ඔබ්සව පුවත්පත වෙනුවෙන් මමත් ජ්‍යෙෂ්ට මාධ්‍යවේදී (එවකට ඔබ්සව පුවත් සංස්කාරක)  එච්. එල්.ඩී මහින්දපාලත් වාර්තා කලෙමු.    එම රැස්වීමේ වේදිකාව මත රතුපාටින්  වර්ණවත් කල, ලී හෝ හාඩ් බෝඩ් වැනි යමකින් තැනු ලංකා සිතුවමක් සිටුවා තිබුනි. එතැනට රැස්වූ සෙනග අතර සිටි තරුණියන් පිරිසක් සිය වටිනා කනකර ගලවා ජ.වි පෙ. පක්ෂ අරමුදලට පරිත්‍යාග කලහ. විජේවීරට අමතරව එහිදී කතා කල අය අතර එවකට සරසවි සිසු නායකයෙකුව සිටි මහින්ද විජේසේකරද විය.  රැස්වීම ඇමතු ඔහු “අපේ සටන පළමුව,  ඉගෙනුම දෙවනුව” යනුවෙන් පවසනවා මට අද මෙන් මතකය. ඒ  කාලයේ ඔහු ඔබ්සව කර්තෘ මණ්ඩලයට දුන් සම්මුඛ සාකච්චාවක් ඉරිදා ඔබ්සව පුවත්පතේ  විශේෂාංග ලිපියක් ලෙස පලවිය.      

කැරැල්ල පටන් ගැනීමට පෙරාතුව කෑගල්ලේ ජ.වි පෙ. දිස්ත්‍රික් නායකයා වූ සරත් විජේසිංහ ගැටියමුල්ලෙදී කැරලි කරුවන් පිරිසකට ගිනි අවි පුහුණුවක් ලබා දීමේදී අත් වැරදීමකින් වෙඩි වැදී මියගියේය. (එහෙත් මෙය වැරදීමකින් සිදුවුවක්ද නැතිනම් අභ්‍යන්තර කුමන්ත්‍රණයක් නිසා සිදුවුවක්ද යන සැකය ඔහුගේ සමහර ඥාතින් අතර අදටත් පවතී) 

 ‘ත්‍රස්තවාදී’ යන වචනය මුලින්ම භාවිතයට ආවේද ජ.වි. පෙ. පළමු කැරැල්ලත් සමග බව බොහෝ දෙනෙකුට අමතකය. (එහෙත්  ජ.වි. පෙ.  නිරායුධ වැසියන් බොහෝ දෙනෙකු ඝාතනය කරමින්,  පොදු දේපළ වනසමින්  බරපතල ලෙස  ත්‍රස්තවාදී ක්‍රියාවල නියැලුනේ දෙවැනි කැරැල්ලේදීය).

පළමු කැරැල්ලේදී  ජ.වි.පෙ. පරාජයට හේතු වූ ප්‍රධාන වැරදි මෙසේය 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමු රජය වැඩි චන්ද විශාල ගණනකින් 1970 පාර්ලිමේන්තු මැතිවරණය ජයගැනීමෙන් වසරක් ගතවන්නටත් පෙර රජයට විරද්ධව කැරැල්ලක් දියත් කිරීම. ඒ නිසාම ඔවුන්ට පොදු ජන සහයක් නොලැබුනා පමණක් නොව වෙනත් වමේ කිසිදු පක්ෂයකින් වලින්ද ඔවුන්ට ලැබුනු සහයක් නැත. 

ඔවුන්ට කිසිදු සමාජවාදී රටකින් සහයක් ලබාගන්නට බැරිවූ  වුවා පමණක් නොව සෝවියට් දේශය සහ චීනයද සහය දුන්නේ  ලංකා රජයටය. (උතුරු කොරියාව අනියම් ලෙස යම් සහයක් දෙන්නට තැත් කල බව ඔප්පු වූ බැවින් රජය එරට සමග තානාපති සම්බනද්ධතා අත්හිටුවීය).  

පළමු කැරැල්ල  ඇරඹෙන විට මෙරට සන්නද්ධ හමුදාවල සහ පොලිසියේ තත්වය අද ඒවායේ පිරිස් බලය සහ අවි ශක්තිය හා සසඳන කල අහසට පොළොව මෙනි.  එහෙත් අඥාන ලෙස ලංකාවේ දේශපාලන සමාජ පසුබිම කොමියුනිස්ට් විප්ලව ජයගත් කියුබාව සහ වියට්නාමය වැනි සමාජවාදී රටවල් සමග න්‍යායිකව ගලපා හිස් කිරි ටින් වල වෙඩි බෙහෙත් පුරවා අඩමානයට සැදු අත්බෝම්බ, ගල්කටස්,  සොරාගත් ෂොට්ගන් වර්ගයේ තුවක්කු සහ රයිෆල් වැනි අවි වලින් තරුණ පිරිසක් රටක රාජ්‍ය බලය අල්ලන්ට තැත් කිරීමේ බොළඳ  උත්සාහයක් මැඩලීම ශක්තියෙන් හීන රජයේ හමුදාවකට වුවද එතරම් අභියෝගයක් නොවේ.  කැරැල්ල පටන්ගෙන සති කිහිපයකින් දෙපැත්තේම ජීවිත හානි මැද්දේ වුවද එය මැඩලන්නට එක්සත් පෙරමුණු රජයට හැකි වුයේ ඒ නිසාය.

කැරැල්ල මැඩලීම සඳහා සෝවියට් දේශයෙන් මිග් 17 (MIG 17) වර්ගයේ ගුවන් ප්‍රහාරක යානාද ලබා දෙන ලදී.  කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ආරක්ෂාව සඳහා ඉන්දියාව ගුර්කා භට කණ්ඩයමක් එවීය. ඒ අතර ඉන්දියානු යුද නෞකා ලංකා වෙරළට ඔබ්බෙන් මුර සංචාර කලහ. 

රජයේ හමුදා සහ කැරලිකරුවන් අතර සන්නද්ධ බලයේ පරතරය ඇතැම් විදෙස් මාධ්ය වාර්තා කලේ හාස්‍ය ජනක ලෙසය. ලන්ඩන් ඔබ්සව පුවත්පත (London Observer) ඒ ගැන 1971 මැයි දෙවනදා පලකල වාර්තාවක සිරස් තලය වුයේ “ලංකාවේ කර්නල් වරුන්ගේ අති සුන්දර යුද්ධය” (OH, WHAT A LOVELY WAR FOR THE COLONELS OF CEYLON)

එය ලියු කොලින් ස්මිත් නම් මාධ්‍යවේදියා  කැරැල්ල මැඩලීමේ මෙහෙයුම  හැඳින්වුයේ මෙසේය:

“මැෂින්තුවක්කු, බර කාලතුවක්කු, සැහැල්ලු  කාලතුවක්කු, සන්නද්ධ රථ සහ හෙලිකොප්ටර් වලින් සමන්විත රජයේ හමුදාවක්  ෂොට්ගන්, අත්බෝම්බ සහ මැෂින් තුවක්කු කිහිපයකින් පමණක්  සන්නද්ධ වූ කැරලිකරුවන් සමග ‘යුද්ධ’ කල හැටි…. ”     

Recommended For You

About the Author: Thusal