‘ප්‍රවීන් ජයවික්‍රම’ ටෙස්ට් කණ්ඩායමට කැඳවයි

සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 2 කින සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුතුව නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමට, කොදෙව් තරග සංචාරය අතරතුරදී ඉවත්ව ගිය ඇන්ජලෝ මැතිව්ස් සහ එම සංචාරයට නම් කර සිටියදී කොවිඩ් වෛරසය ආසාධනය වුණු වේග පන්දු යවන ළහිරු කුමාරද ඇතුළත්ව සිටිති.

ඔවුන් දෙදෙනාට අමතරව සංචිතයේ සිටින එකම ආගන්තුක ක්‍රීඩකයා වන්නේ වමතින් දඟ පන්දු යවන ප්‍රවීන් ජයවික්‍රම වේ. කොදෙව් තරග සංචාරය අතරතුරදී ආබාධයකට ලක්වීම නිසා බංග්ලාදේශ තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිව තිබෙන ලසිත් ඇඹුල්දෙණිය වෙනුවෙන් ජයවික්‍රමව සංචිතයට එක් කිරීමට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ප්‍රවීන් මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලින් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණව සිටියි.

දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය යටතේ තවමත් තරග 10 කට පමණක් ක්‍රීඩා කර ඇති 22 හැවිරිදි ජයවික්‍රම එම තරගාවලියේදී කඩුලු 40 ක් දවා ගැනීමට සමත්ව සිටින්නේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 24.57 ක් ලෙස රඳවා ගනිමිනි. ඉන් නොනැවතුණු ඔහු ඉකුත්දා නිමාවට පත් වුණු අන්තර් සමාජ ප්‍රධානතම පන්දුවාර ක්‍රිකට් තරගාවලියේදී තරග 7 ක් තුළ කඩුලු 15 ක් දවා ගනිමින් තේරීම් කමිටුවේ අවධානය තමන් වෙත නතු කර ගැනීමට සමත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායම – දිමුත් කරුණාරත්න (නායක), ළහිරු තිරිමාන්න, ඕෂද ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල්, දසුන් ශානක, ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා, සුරංග ලක්මාල්, වනිඳු හසරංග, විශ්ව ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු, ළහිරු කුමාර, පැතුම් නිස්සංක, ඩිල්ෂාන් මදුශංක, ප්‍රවීන් ජයවික්‍රම.

Recommended For You

About the Author: Thusal