යල කන්නයේ සිට ‘පොහොර ගන්න පස පරීක්ෂා කිරීමේ වාර්තාව’ අනිවාර්යයි – කෘෂිකර්ම ඇමති මහින්දානන්ද

  • 50% පොහොර ආනයනය අඩු කිරීමේ ඉලක්කයක්
  • අවුරුදු 05 ක් යහ පාලන ආණ්ඩුව ගොවියාට වස කවලා
  • ප්‍රමිතියට පොහොර ආනයනය කිරීමට වත්වන් රජයෙන් පියවර
  • ප්‍රමිතියට පොහොර ගෙන ඒමේ කිසි ටෙන්ඩරයකට ආනයනයකරුවෙක් ඉල්ලුම් කර නෑ
  • අවුරුදු 05 ක් බැර ලෝහ වැඩි පොහොර ගෙනල්ලා

එළඹෙන යල කන්නයේ සිට පොහොර ලබා දීමට පස පරීක්ෂා කිරීමෙන් පසු වාර්තාව අනිවාර්ය බව ද ඉතිහාසයේ පළමු වතාවට දිවයින පුරා සියලු දිස්ත්‍රික්ක තුළ ඉඩම්වල පස පරීක්ෂා කිරීමෙන් පසුව පොහොර ලබා දීමේ ජාතික වැඩපිළිවෙළක් ආරම්භ කොට ඇති බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කරයි.

සියලු ගොවිජන සේවා මධ්‍යස්ථානවලට පස පරීක්ෂා කිරීමේ කට්ටල ලබා දෙමින් ගොවියාට පහසුවෙන් පස පරීක්ෂා කිරීමේ වාර්තාව ලබා ගැනීමේ අවස්ථාව ලැබෙන බව ද මෙහිදී කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.

සියලු ගොවිජන සේවා මධ්‍යස්ථානවලට පස පරීක්ෂා කිරීමේ කට්ටල ලබාජාතික වැඩසටහනේ සමාරම්භය අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මහනුවර දිස්ත්‍රික් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේදී අද (20) දින මෙම වැඩසටහන පැවැත්විණි.

මෙහිදී කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්  සහ කෘෂි උපදේශකවරුන්ට පස පරීක්ෂා කරන්නේ කෙසේද, එම කට්ටල භාවිතා කරන්නේ කෙසේද ගොවි ජනතාව ඒ සම්බන්ධයෙන් තාක්ෂණයෙන් සන්නද්ධ කරන්නේ කෙසේද  යන්න පිළිබඳව දැනුම ලබා දීම සිදුවිය. මහනුවර දිස්ත්‍රික්කයේ  ජාතික  වැඩසටහන ආරම්භ වු අතර ඉදිරියේදි දිස්ත්‍රික්ක විසිපහම ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ කෘෂිකර්ම අමාත්‍යවරයා,

‘‘අපේ රටේ කෘෂිකර්මයට වසර 2500ක ඉතිහාසයක් තියනවා. එදා මෙදාතුර ඉතිහාසයේ තවත් සුවිශේෂී දවසක් අද. අපේ රටේ ගොවියා හිතුවේ වැඩියෙන් පොහොර දැම්මොත් වැඩියෙන් අස්වැන්න ලැබෙනවා කියලා මනසේ ඇදිලා තිබුණේ. එහෙම පස පරීක්ෂා කරලා පොහොර භාවිතය පිළිබඳව ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න මෙතෙක් බැරි වුණා. මේක ක්‍රියාත්මක කරන්න වෙහෙසුනත්  විශාල ධනස්කන්ධයක් මේ වෙනුවෙන් වැය වුණත් කිසි කෙනෙක්ට මෙය කරන්න බැරි වුණා. මොකද පොහොර ආනයනකරුවන් ඒ වැඩපිලිවලට වඩා ඉදිරියෙන් හිටියා. රටට පොහොර ගේන්න උවමනා වුණා මිසක් රටට වෙන හානිය,ගොවියට වෙන හානිය, පොළොවට වෙන හානිය කවුරුවත් සැළකුවේ නෑ.

පස පරීක්ෂා කිරීමේ මධ්‍යස්ථාන රටපුරා මිලියන ගණන් වැය කර ඉදිකර තිබුණත් දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛන උපදෙස් දීලා තිබුණත් එය මහ පොළොවේ යථාර්තයක් වෙලා තිබුණේ නෑ, දවසින් දවස පොහොර ඉල්ලුම වැඩිවුණා මිසක්. ජනාධිපතිතුමා එතුමාගේ සෞභාග්‍යයේ දැක්මේ පැහැදිලිව කියලා තියනවා රසායනික පොහොර වෙනුවට කාබනික පොහොරවලට යොමු වන බවත් වස විසෙන් තොර ආහාර ජනතාවට ලබාදීමට පියවර ගන්නා බවත්. ඒ අනුව ඊළග කන්නයේ සිට පොහොර ලබා දෙන්නේ ගොවි හැදුනුම්පත මගින් පස පරීක්ෂා කිරීමෙනුයි. ගොවි හැදුනුම්පත වගේම සියලු විස්තර ජායාරූප සහිතව සකස් කර ඉඩමේ පස් පරීක්ෂා කිරීමේ වාර්ථාව අපි ගොවියා අතට දෙනවා. ඒ කාඩ්පත අනුවයි ඊළග සිට කන්නයේ පොහොර නිකුත් කරන්නේලබා දෙන්නේ. පස පරික්ෂාව ගොවි හැදුනුම්පත සමාන සියලු විස්තර ජායාරූප සහිතවසකස් කර ඉඩමේ පස පරීක්ෂා කිරීමේ වාර්තාව අපි ගොවියා අතට දෙනවා. අපි කවුරුත් මේ ගැන කතා කරන්නේ නෑ. අන්ධ ළමයි උපදිනවා, වකුගඩු රෝගීන්, පිළිකා රෝගීන් රටේ වැඩි වෙනවා රසායනික පොහොර භාවිතය නිසා.

මේ වැඩසටහන මීට පෙර පටන් ගත්තා නම් අද මේ රෝගීන් නෑ.මේ රෝග නිවාරණයට මිලියන ගණන් වියදම් කරනවා. නියමිත විදියට පොහොර භාවිතා කළා නම් අද අපේ රටේ තත්ත්වය ගොඩක් වෙනස්. පහුගිය අවුරුදු පහේම පොහොර නෙවෙයි ගොවියට දීලා තියෙන්නේ වස. පරික්ෂණාගාර වාර්ථා වෙනස් කරලා පොහොර සංඝටක වෙනස් කරලා ටී.එස්.පී. පොහොර ගෙන්නලා තියෙන්නේ.

විගණන වාර්ථාව මේ පිළිබඳ සියලු විස්තර නිකුත් කරලා තියනවා. පොහොර ආනයනකරුවන් කලේ සාම්පල් ටික ප්‍රමිතියට දීලා බාල පොහොරගෙන්නුවා. රාජ්‍ය නිලධාරීන්, මැති ඇමතිවරු ඔක්කොම අල්ල ගෙන පරීක්ෂණ වාර්ථා වෙනස් කරලා,වස ගෙනල්ලා ගොවියට කවලා. 2019 විතරක් බිලියන 1.5ක පොහොර මෙට්‍රික් ටොන් අසූ එක් දාහක් ගෙන්නලා තියනවා. ඒ ටිකට විතරක් රසායනාගාර වාර්ථා 55ක් වෙනස් කරලා තියනවා. ඒ අවුරුදු පහේම මඩ පොහොර කියලා දීලා තියෙන්නේ වස.

පසුගියදා අපි මේ ප්‍රමිතීන් වෙනස් කරලා ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව ටෙන්ඩර් කළා.කිසිම ආනයනකරුවෙක් ඉල්ලලා නෑ. මොකද අපේ ප්‍රමිතියට පොහොර ගෙන්වන්න එයාලට බෑ.බැර ලෝහ ප්‍රමාණය වැඩීපොහොර ඒ අය ගේන්නේ..පහුගිය රජය මේ විදියට පොහොර ගෙන්නලා තියෙන්නේ කියලා විගණන  වාර්ථාවේ පැහැදිලිව කියලා තියනවා. මේ වැඩසටහන  ප්‍රතිපාදන නොමැතිව යම් යම් තරමක් පරක්කු වුණත් ලෝක ආහර සංවිධානය හා අනෙකුත් අමාත්‍යාංශවල සහයත් ඇතිව අපට මෙම වැඩසටහන පළමු වතාවට ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණා. මින් ඉදිරියට පොහොර නිකුත් කරන්නේ පස පරික්ෂණ වාර්ථාවේ නිර්දේශවලට පමණයි. මොනම හේතුවක් නිසාවත් මේක වෙනස් කරන්නේ නෑ.

පොහොර ආනයනය 50% කින් අඩුවේ යැයි අපි බලාපොරොත්තු වෙනවා.සමහර තැන්වලට පොහොර අවශ්‍ය නෑ.නිකන් දෙන නිසා පොහොර දානවා.පොහොර භාවිතයෙන් මිනිස්සුන්ට වෙච්ච හානිය කොතෙක්දැයි කියා ගණන් කරන්න බෑ. ඕස්ටේලියාවේ හෙක්ටයාරයකට කිලෝග්‍රැම් 50ක් පමණ යොදන්නේ. ඒත් ලංකාවේ කිලෝග්‍රෑම් 300ක් හෙක්ටයාරයකට යොදනවා. මෙලෙස අධික ලෙස රසායනික පොහොර භාවිතා කරනවා. පස විනාශ වෙලා තියෙන්නේ රසායනික පොහොර නිසා.අතිගරු ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව මේ රටේ කෘෂිකර්මයෙන් නිෂ්පාදනය කළ හැකි සියලු දේ මෙරට තුළම නිෂ්පාදනය කිරීමටයි.70% ක් රසායනික පොහොර වලටත් 30%ක් කාබනික පොහොර වලටහ් පළවෙනි අදියරේදී ගොවියන් යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා.

එක පාරටම මේක වෙනස් කරන්න බෑ. ඒක නිසා අපි ක්‍රමක්‍රමයෙන් වෙනස් කරලා 100%ක් කාබනික පොහොරවලට යොමු කිරීමට කටයුතු කරනවා. එම නිසා පස පරීක්ෂා කිරීමේ කට්ටල ලබා දීලා මේ විදියට ජාතික වැඩසටහනක් ආරම්භ කරන්නේ. ගොඩක් අය අහනවා මේ ආණ්ඩුව මොකද්ද කළේ ලියලා. ඩීසල් බලාගාර වෙනුවට අද පුනර්ජනනීය බලශක්තිය භාවිතයට රජය යොමු වෙමින් සිටිනවා.අද ඉතිහාසයේ වැඩිම විදියට පරිසරයට ගැන හිතන ආණ්ඩුවක් විදියට අපි කටයුතු කරන්නේ. අපි දන්නවා ඩීසල් බලාගාර වලින් කොච්චර විස වායු ප්‍රමාණයක් නිකුත් වෙනවද කියලා.ඒ නිසා මධ්‍යම ආණ්ඩුව පළාත් සභා සියල්ල එකට එක් වෙලා අපේ රට ගොඩ නගන්න ඕන. ඒ නිසා පස පරීක්ෂා කිරීමේ වැඩසටහනක් සියලු සංවිධාන එකට එකතු වෙලා මහ පොළොවේ යතාර්තයක් කරන්න ඕනි.

කාර්යාලයේ ඉඳලා වාර්තා පුරවලා දෙන්න බෑ. ගොවියා ළගට ගිහිල්ලා සෑම ඉඩමකම වාර්ථාව හරියට දෙන්න ඕනි. හරියට ගමේ තොරතුරු ගන්න ඕනි. කෘෂි උපදේශ මහත්වරු කෘ.ප.නි.ස. මහත්වරු පෞද්ගලිකව මේ  ගැන අධීක්ෂණය කරන්න ඕනි.

මේ වැඩපිළිවෙල නිවැරදිව කරනවද කියලා සෘජුවම අපි අධීක්ෂණය කරනවා. පසුගිය කාලයේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් කරලා තියෙන්නේ කුඹුරු පුරවපු එක. මෙම දෙපාර්තමේන්තුව තියෙන්නේ කුඹුරු වගා කරන්න මිසක් පුරවන්න නෙවෙයි. මහනුවර වටේම කඹුරු පුරවලා තියෙන්නේ. මිලියන ගානක් ඒ මතින් හොරා කලා තියෙනවා. නීතිය කැඩු සියළු දෙනාට නීතිය ක්‍රියාත්මක කරනවා .  ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ සම්බන්ධව අපි පැමිණිලි කරලත් තියෙනවා.

අපි යැපුම් ආනයනික ආර්ථිකයක ඉන්නේ. ඒක නිෂ්පාදන ආර්ථිකයක් කරන්න අපි කටයුතු කරනවා. මේ යන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ගමනක්. කෘෂිකර්ම අමාත්‍යාංශය නැමති එන්ජීම ගඩ ගඩ ගලා දුවන්නේ. එන්ජීම බොයිල් වෙලා තියෙන්නේ. දැන් තමයි තෙල් ටික දාලා, වතුර ටික දාලා හරි විදියට ස්ටාර්ට් කරලා දුවන්න පටන් ගෙන තියෙන්නේ. පසුගිය කාලයේ නිලධාරීන්ට වැඩ පවරා තිබුණේ නෑ. පසුවිපරම් කරලා තිබුණේ නෑ.  ඒ නිසා අපි කොළඹ ඉදලා වැඩක් නෑ. කාර්යාලයේ ඉදලා වැඩක් නෑ. හෑම කෙනෙක් ම ගොවියා ළඟට යන්න ඕනේ. ගමට යන්න ඕනේ. ප්‍රශ්න හොයලා බලන්න ඕනේ. ගොවියත් එක්ක බද්ඳ වෙලා ඉන්න ඕනේ. නිකන් ඉන්න බෑ කාර්යාලවල එහෙම අයට විරුද්ධව නීතිය තදින් ක්‍රියාත්මක කරනවා.

මඩකලපුවේ අක්කර 1200 ක මිරිස් වගාවක් පසුගිය සතියේ මං බලන්න ගියා. නිලධාරීන් කිසි කෙනෙක් ඇවිල්ලා නෑ. කිසි ම සහයෝගයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේන් හෝ කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ලබා දීලා නෑ. කෘෂිකර්ම අමාත්‍යාංශයට වඩා ඉදිරියෙන් පෞද්ගලික අංශය ඉන්නේ. කිසි ම උදව්වක් නැතිව තරුණ ව්‍යවසායකයෝ තනියම වවලා දියුණුම තත්ත්වයට ඇවිල්ලා ඉන්නවා. ඔවුන් තනියම මේ ගමන ගිහිල්ලා රජයට අභියෝග කරමින් ඉන්නවා වවන විදිය ගැන. මෙහෙම ගියොත් එහෙම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වහන්න වෙන්නේ. ඒ නිසා වැඩ කරන්න. නිකන් ඉන්න එපා. සියළු දෙනා ම  ක්ෂේත්‍රයට යන්න‘‘

මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, කෘෂිකර්ම පළාත් නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටි අතර. මහනුවර දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන්, කෘෂිකර්ම උපදේශයකවරුවන්, පොහොර රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ද මෙම අවස්ථාවට එක් වූහ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය ඇසුරිණි

Recommended For You

About the Author: Thusal