Covid-19: උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ‘බලන බලන අත පෙනෙන්නේ මළ සිරුරු සහ ගිලන් රථ’

මම දැක්ක මිනිස්සු ගොඩක් ගිලන් රථ තුළ මැරෙනවා. ඇඳන් නැහැ කියල රෝහල්වලින් භාර නොගෙන ඔවුන්ව හරවල යවනවා. ඖෂධ වෙළෙඳසල් තුළ අවශ්‍ය බෙහෙත් ඉවරයි. ඔක්සිජන් සිලින්ඩර් හොයා ගන්න නැහැ

සුෂිල් කුමාර් ස්රිවාස්තාවා, මෝටර් රථයක් තුළ හිඳගෙන ඔක්සිජන් සිලින්ඩරයක ආධාරයෙන් හුස්ම ගන්නා ආකාරය ඡායාරූපයකට හසු විය
– සුෂිල් කුමාර් ශ්‍රීවාස්තාවා, මෝටර් රථයක් තුළ හිඳගෙන ඔක්සිජන් සිලින්ඩරයක ආධාරයෙන් හුස්ම ගන්නා ආකාරය ඡායාරූපයකට හසු විය

කොවිඩ් දෙවැනි රැල්ලෙන් මුළු ඉන්දියාවම වසාගෙන සිටී. ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවලට මෙය දරා ගත නොහැකි තත්ත්වයක් බවට පත්වී තිබේ. ඉන්දියාවේ වැඩිම ජනගහනයක් සහිත ප්‍රාන්තය ද දැඩිම පීඩාවකට ලක්වී ඇති ප්‍රාන්ත අතර වේ. ඒ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයයි.

සියල්ල නිසි පාලනයේ පවතින බව ඉන්දීය බලධාරීන් අවධාරණය කරන නමුත් ජනතාව කොවිඩ් 19 දෙවැනි රැල්ලට හසුවී අතිශය දුෂ්කර තත්ත්වයකට පත්වී සිටින බව බීබීසී වර්තාකාරිනි ගීතා පාන්ඩේ පවසන්නීය.

කන්වාල් ජීත් ගේ පියාට කොවිඩ් 19 වැළඳුනි. ඔහු 58 හැවිරිදි නිරන්ජන් පාල් සිං ය. ඔහු රෝහලකට ගෙනයාම සඳහා ගිලන් රථයක ආධාරය ලැබිණ. ළඟම ඇති රෝහලට ගෙන ගිය විට එහි එහි ඇඳන් නොමැති බව පැවසීය. එබැවින් තවත් රෝහලක් බලා ගිලන් රථය ධාවනය විය. මෙසේ රෝහල් හතරකට ගිය නමුත් ඒ එකම රෝහලකවත් ඔහුට ඉඩක් නොමැති විය. අවාසනාවක මහත; කන්වාල් ජීත් ගේ පියා ගිලන් රථය තුළම මිය ගියේය.

ඔහු ගේ නිවස පිහිටියේ කාන්පූර් නගරයේ ය. නිවසේ සිට දුරකතනයෙන් කතා කරමින් ඔහු කියා සිටියේ එය තම “හදවත කඩා හැලුණු දිනයක්” වූ බවය.

“වෙලාවට ප්‍රතිකාර ලැබුණානම් තාත්තා අදත් ජීවත් වෙනවා. ඒත් අපට පිහිට වන්න කවුරුවත් හිටියේ නැහැ. සෞඛ්‍ය බලධාරීන්, පොලිසිය, ආණ්ඩුව… මේ කිසි කෙනෙකුගෙන් පිහිට ලැබුණේ නැහැ.” ඔහු පැවසීය.

SUMIT KUMAR
ආදාහනාගාර තුළ දිවා රාත්‍රී නොකඩවා මළසිරුරු දැවෙති.

කොරෝනා පළමු රැල්ලේදී බොහෝ ප්‍රාන්ත දැඩි පීඩාවකට ලක්වෙමින් තිබියදී උත්තර් ප්‍රදේශ් හි තත්ත්වය එතරම් ම අයහපත් නොවීය. එවක ආසාදිතයන් 851,620ක් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වුව ද මරණයට පත්වූයේ 9830 දෙනෙකු පමණි. නමුත් දෙවැනි රැල්ල මෙම ප්‍රාන්තය යටකරගෙන ගලා ගියේය.

බලධාරීන් පවසන්නේ තත්ත්වය පාලනයේ පවතින බවකි. නමුත් බොහෝ තැන්වල දක්නට ලැබෙන්නේ හද සසල කරවන දසුන් ය. කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථාන ජනයාගෙන් උතුරා ගොස් ය. රෝහල් කරා පැමිණෙන රෝගීන් අතෝරක් නොමැතිව ආපසු හරවා යවති. ආදාහනාගාර තුළ දිවා රාත්‍රී නොකඩවා මළසිරුරු දැවෙති. ජාතික පුවත්වලට ශීර්ෂ පාඨ සැපයෙන්නේ මෙම ප්‍රාන්තයේ ප්‍රධාන නගර වන ලක්නව්, වරනාසි (පුරාණ බරණැස), කාන්පූර් සහ අලහබාද් යන නගරවල පවතින මෙම තත්ත්වය යි.

උත්තර් ප්‍රදේශ්, ඉන්දියාවේ වැඩිම ජනගහනයක් සිටින ප්‍රාන්තය යි. එහි මිනිසුන් මිලියන 240ක් වසති. එය ඉන්දීය සමස්ත ජනගහනයෙන් හයෙන් පංගුවකි. මෙම ප්‍රාන්තය වෙනම රාජ්‍යයක් වූවානම්, ලෝකයේ වැඩිම ජනගහනයක් සහිත පස්වැනි රට බවට ලැයිස්තුගත වනු ඇත. මෙය දෙවැනි වන්නේ චීනය, ඉන්දියාව, එක්සත් ජනපදය සහ ඉන්දුනීසියාවට පමණි. කෙසේ නමුත් මෙය පකිස්තානයට සහ බ්‍රසීලයට වඩා විශාල ය.

ඉන්දීය දේශපාලනය පැත්තෙන් ගත්තත් මෙම ප්‍රාන්තය ඉතා වැදගත් ය. ඉන්දීය පාර්ලිමේන්තුවට වැඩිම මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් යැවෙන්නේ මෙම උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙනි. එම මන්ත්‍රී සංඛ්‍යාව 80කි. අගමැති නරේන්ද්‍ර මෝදි ද තරග වැදුනේ මෙම ප්‍රාන්තයෙනි. මෙම දේශපාලන ශක්තියෙන් ප්‍රාන්තයට ලැබී ඇත්තේ අල්ප සංවර්ධනයකි.

BBC

මේ වන විට මෙම ප්‍රාන්තයේ කොවිඩ් ආසාදිතයන් 191,000ක් සිටිති. ඊට අමතරව දහස් ගණනක් අලුත් ආසාදිතයන් දිනපතා වාර්තා වෙමින් පවතී. නමුත් සත්‍ය ගණන් මිනුම් මීට වඩා ඉතා ඉහළ බව විශ්වාස කෙරේ. මෙවැනි තත්ත්වයක් යටතේ කඩා වැටීමට ආසන්න වෙමින් පවතින ප්‍රාන්තය සතු සෞඛ්‍ය සේවය කාගේත් අවධානයට ලක්වී තිබේ.

රෝගාතුර වූවන් අතර ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ද සිටී. එපමණක් නොව, ඔහුගේ කැබිනට් ඇමතිවරුන් කීපදෙනෙකු, රජයේ නිලධාරීන් විශාල පිරිසක් මෙන්ම සිය ගණනක් වෛද්‍යවරුන් සහ හෙද සේවක සේවිකාවන් මේ වන විට රෝගාතුර ය.

පසුගිය දින කීපය තුළ ජනතාවගෙන් අසන්නට ලැබුනේ ඉතා සංවේදී කතාන්තර ය.

උත්තර් ප්‍රදේශ් හි මාධ්‍යවේදියෙකු හුවමාරුකරගෙන තිබූ වීඩියෝවක දැක්වෙන්නේ රජයේ රෝහලක රථගාල මත වැතිරී සිටින මිනිසෙකි. ඊට අඩි කීපයක් ඔබ්බෙන් මහළු මිනිසෙකු බැංකුවක වාඩි ලා සිටින ආකාරය දැක්වේ. මේ දෙදෙනාටම කොවිඩ් වැළඳී තිබේ. නමුත් රෝහල තුළ ඔවුනට ඉඩක් නොමැත.

තවත් රජයේ රෝහලක් ඉදිරිපිට කාන්තාවක් වැලපෙමින් සිටින්නීය. ඇයගේ මව රෝගාතුර ය. රෝහල් දෙකකින් ඇය ප්‍රතික්ෂේප වී තිබේ.

“ඒගොල්ලෝ කියන්නේ ඉස්පිරිතාලේ ඇඳන් නැහැ කියල. ඇඳක් නැත්නම් බිම හරි තියාගන්න බැරිද? මොකක් හරි බෙහෙතක් දෙන්න බැරිද? මගේ අම්මව විතරක් නෙවෙයි, තව ගොඩාක් අයව මේ විදියට හරවල යවනව මම දැක්ක.” ඇය හැඬු කඳුලින් පැවසුවාය.

“මහ ඇමති කියනවා ඇති වෙන්න ඇඳන් තියෙනව කියල. කරුණාකරලා මට පෙන්වන්න ඒ ඇඳන් කොහෙද තියෙන්නේ කියල. කරුණාකරලා මගේ අම්මට ප්‍රතිකාරයක් දෙන්න.” ඇය ඉකි ගසමින් තෙපලන්නීය.

‘කවුරුවත් ආවෙ නැහැ’

ලක්නව්, ප්‍රාන්තයේ අග නුවරයි. එහි තත්ත්වය ද ඉතා දරුණුය.

සුෂිල් කුමාර් ශ්‍රීවාස්තාවා, මෝටර් රථයක් තුළ හිඳගෙන ඔක්සිජන් සිලින්ඩරයක ආධාරයෙන් හුස්ම ගන්නා ආකාරය ඡායාරූපයකට හසු විය. ඔහුගේ පවුලේ ඥාතින් රෝහලෙන් රෝහලට මෝටර් රථය ධාවනය කරමින් සිටියේ ප්‍රතිකාරයක් බලාපොරොත්තුවෙනි. රෝහලක ඉඩක් ලැබෙන විට ප්‍රමාද වී වැඩිය.

සුෂිල් ගේ පුත්‍රයා වන අශිෂ් දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට හැකිවිය. ඔහු පැවසුවේ තමන් දැඩි හිතේ වේදනාවකින් පසුවන බවය.

“ඔබ දන්නවනේ මොනවද වෙලා තියෙන්නේ කියල. මට මේ වෙලාවේ කතා කරගන්නවත් බැහැ.” ඔහුගේ හඬ බිඳෙන්නට විය.

මේ තවත් සිද්ධියකි. රමේෂ් චන්ද්‍රා විශ්‍රාමික අධිකරණ විනිසුරුවරයෙකි. ඔහුගේ අත්අකුරින් ලියැවුණු කුඩා සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. එම සටහනෙන් ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මිය ගිය තම බිරිඳගේ දේහය නිවසින් පිටතට රැගෙන යාමට තමන්ට උදව් කරන ලෙසය.

“මටයි මගේ බිරිඳටයි කොරෝනා වැළඳුනා. ඊයේ උදේ ඉඳල මම රජයේ සහන අංකයට පනස් වතාවක් විතර කතා කරලා කිව්වත් බෙහෙත් ටිකක් දෙන්න කවුරුවත් ආවේ නැහැ. රෝහලකට ගෙනියන්න ආවෙත් නැහැ.”

“පරිපාලනයේ දුර්වලතා හේතුවෙන් මගේ බිරිඳ අද උදේ මිය ගියාය.” ඔහුගේ අත් අකුරින් ලියවුණු කෙටි සටහනේ කුරුටු ගා තිබුණි.

වරනාසි නුවර වෙසෙන විමල් කපූර් ගේ මව නිර්මලා රෝගාතුර වුවාය. ඇයට රෝහලක ඉඩ ලැබුණු නමුත් 70 හැවිරිදි නිර්මලා පසුගියදා රෝහලේ දී මිය ගියාය.

රෝහලේ තත්ත්වය ගැන නිර්මලාගේ පුත් විමල් විස්තර කළේ මෙසේය.

“මම දැක්ක මිනිස්සු ගොඩක් ගිලන් රථ තුළ මැරෙනවා. ඇඳන් නැහැ කියල රෝහල්වලින් භාර නොගෙන ඔවුන්ව හරවල යවනවා. ඖෂධ වෙළෙඳසල් තුළ අවශ්‍ය බෙහෙත් ඉවරයි. ඔක්සිජන් සිලින්ඩර් හොයා ගන්න නැහැ .”

තමන්ගේ මවගේ දේහය ආදාහනාගාරයට රැගෙන ගිය විට එහි “මළ සිරුරු කන්දක්” තිබෙන අයුරු දුටු බව විමල් පැවසීය. සෑයට අවැසි දර මිටියක මිල තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බවත් ආදාහනය සඳහා පැය පහක් හයක් පමණ පෝලිමේ බලා සිටිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.

“මම මේ වගේ දෙයක් කවදාවත් දැකල නැහැ. බලන බලන අත පේන්නේ මල සිරුරු සහ ගිලන් රථ.”

Text by – bbc

Recommended For You

About the Author: Thusal