ආදරණීයයන් දැවීමට මුදල් නැහැ : කොවිඩ් මළ සිරුරු වලින් ‘ගංගා නදිය’ වැනසෙයි !

ඉන්දියාවේ ගංගා නදියේ ඉවුරු දිගේ මළසිරුරු ගොඩ ගැසෙන අයුරු දැක්වෙන තැතිගන්වන සුලු ඡායාරූප ඉන්දියාව පුරා සංසරණය වෙමින් පවතී. එම දර්ශන ඡායාරූපයට නගා තිබුණේ නැගෙනහිර ඉන්දීය බිහාර් ප්‍රාන්තයේ බොක්සාර් දිස්ත්‍රික්කයට අයත් චෝසා ප්‍රදේශයේ දී ය.

සඳුදා (මැයි 10) වාර්තා වූ එම සිදුවීම ප්‍රාදේශීය ආණ්ඩුව විසින්ද තහවුරු කරනු ලැබුවද ඔවුන් කියා සිටියේ අසල්වැසි උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ සිට එම මළ සිරුරු පාවී එන්නට ඇති බවකි. “ගංගා නදියේ තිබූ මළ සිරුරු 30 ත් – 40 ත් අතර ප්‍රමාණයක් හමුවුණා,” යැයි ප්‍රාදේශීය නිලධාරියකු වන අශෝක් කුමාර් පැවසීය.

“උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සිට මෙම මළ සිරුරු පහළට පාවෙලා එන්නට ඇති. ප්‍රදේශවාසීන් කිහිපදෙනෙක් සමග මා කතා කළා. ඔවුන්ට අනුව මේ මළ සිරුරු එම ප්‍රදේශයේ අයගේ නොවෙයි.”

කිලෝමීටර 2,500 ට වැඩි දුරක් ගෙවමින් ඉන්දියාවේ බටහිර දෙස හිමාලයේ සිට නැගෙනහිර පිහිටි බෙංගාල බොක්ක කරා උතුරු ඉන්දියාව හරහා ගලා යන ගංගා නදිය සැලකෙනුයේ ඉන්දියාව තුළ වඩා පූජනීයත්වයට පාත්‍රවූ ද වඩාත් අපවිත්‍ර වූ ද ගංගා අතරින් එකක් ලෙසිනි.

ගං දෑලේ මිලියන ගණනක ජනතාවක් වෙසෙන අතර එහි ජලය බීමට හා ස්නානයට ගන්නා බොහෝ ඉන්දියානුවන්ට ජීවනෝපාය වන්නේ ද එම ගංගාව ය.

චෝසා ගම්මානය අසබඩ ගංගාවේ ඉවුරුවල සියයකට ආසන්න මළ සිරුරු ප්‍රමාණයක් පාවෙමින් හෝ ගොඩ ගැසෙමින් ඇති බව තමන් දුටුවේ යැයි ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් පිරිසක් පැවසූහ.

මෙම මළ සිරුරු ප්‍රාන්තයට බැහැරින් පාවී එන්නට ඇතැයි පරිපාලනය කරන ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු වන සත්‍යප්‍රකාශ් ට ඇත්තේ සැකයකි. “දැනට තිබෙන තත්ත්වය නිසා මෙයින් කිලෝමීටර 8 ක් පමණ දුරින් ඇති ගං ඉවුරේ ඉඩ අහිරීලා. නෑදෑයන් මළ සිරුරු මෙහි ගෙනෙනවා. ඒත් දර හිඟය නිසා ආදාහනය කරන්න හැකියාවක් නැහැ.” ඔහු පැවසීය.

‘කොරෝනා වෛරසයේ වින්දිතයන්’

“මීට කළින් දවසකට මළ සිරුරු දෙකක් හෝ තුනක් පමණ මෙහි ගෙන ආවා. නමුත් පහුගිය දවස් 15 ඇතුළත දවසකට ගෙන එන මළ සිරුරු ගණන ආසන්න වශයෙන් 20 දක්වා ඉහළ ගිහින්.” යැයි එම ස්ථානයේ සිටින පූජකවරයෙකු වන දීන් දයාල් පාන්ඩේ ප්‍රාදේශීය මාධ්‍යවේදියකුට පැවසීය.

“ඒ හැමදෙනාම කොරෝනාවෛරසයේ වින්දිතයන්”

මළ සිරුරු ගංගාවේ අතහැර යාමෙන් වැළක්වීම සඳහා උත්සාහ දරන බව පූජකවරයා පැවසූ අතර බලධාරීන් ආරක්ෂක නිලධාරියකු ද යෙදවූ බව ඔහු කීය. එනමුත් මිනිසුන් ඊට කන් නොදේ.

මේ අනුව ප්‍රදේශය තුළ විශාල වලවල් කැණ මළ සිරුරු භූමදාන කිරීමට බලධාරීහු ක්‍රියා කරති.

Blurred image of bodies floating in the Ganges and piling up on the river bank
ආදාහනය සඳහා අධික වියදම් දැරීමට සිදුවීම හේතුවෙන් සිරුරු ගංගාවේ අතහැර යන බව ඇතැම් ප්‍රදේශවාසීහු පවසති

උත්තර් ප්‍රදේශ් හි යමුනා ගංගාවේ මළ සිරුරු පාවීමේ සිදුවීමක් පිළිබඳ සති අන්තයේදී ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා පළවිණි. වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයින් ආදාහනය කරනු ඇතැයි පළවන බිය හේතුවෙන් ඇතැමුන් එම මළ සිරුරු ගංගාවල අත හැර යන්නේ යැයි ඇතැම් ප්‍රදේශවාසීන් පැවසූ බව NDTV රූපවාහිනිය වාර්තා කළේය.

අගමැති නරේන්ද්‍ර මෝඩි ප්‍රධාන මධ්‍යම ආණ්ඩුව කොවිඩ් දෙවෙනි රැල්ලේ බලපෑම අඩු කිරීම සඳහා ප්‍රමාණවත් පියවර නොගත්තේයැයි නැගෙන විවේචනයට මුහුණ දී සිටී.

ඉන්දියාවේ මහජන සෞඛ්‍ය පද්ධතිය නොසලකා හැරීම සහ ඊට ප්‍රමාණවත් අරමුදල් නොදීම පිළිබඳ කරුණ මෙම විනාශයෙන් හෙළිදරව් කෙරුණා පමණක් නොව, ප්‍රතිකාර නොලබමින් මිනිසුන් රෝහල්වලින් පිටත මියයන ආකාර දැක්වෙන දර්ශන බොහෝ ඉන්දියානුවන් මුහුණ දෙන බියකරු යථාර්ථය නිරාවරණය කරයි.

පසුගිය වසර හය පුරා ඉන්දියාවේ පුද්ගලික හා රජයේ සෞඛ්‍ය පහසුකම් සඳහා කරන ලද වැය දැක්වුණේ එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.6% තරම් වන ලෙසය. එය BRICS සන්ධානයට අයත් රටවල් අතරින් අඩු ම ප්‍රතිශතය විණි. 2018 වසරේ දී ඉහළින් ම සිටි බ්‍රසීලය 9.2% ලෙස දැක්වෙද්දී ඊට පසුපසින් දකුණු අප්‍රිකාව 8.1% ක්, රුසියාව 5.3% ක් සහ චීනය 5% ක ප්‍රතිශතයක් සටහන් කළහ.

සංවර්ධිත රටවල් සිය දළ දේශීය නිෂ්පාදිතයේ වඩාත් ඉහළ පංගුවක් සෞඛ්‍යය වෙනුවෙන් වෙන් කරති. උදාහරණයක් ලෙස, 2018 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ 16.9% ක් සහ ජර්මනියේ 11.2% ක් විණි. කුඩා රටවල් වන ශ්‍රී ලංකාව (3.75%) සහ තායිලන්තය (3.79%) ද ඉන්දියාවට වඩා වැඩි ප්‍රමාණයක් සෞඛ්‍ය වෙනුවෙන් වැය කරති.

ඉන්දියාවේ පුද්ගලයින් 10,000 ට සිටිනුයේ වෛද්‍යවරුන් 10 දෙනෙකුට වඩා අඩු පිරිසක් වන අතර ඇතැම් ප්‍රාන්තවල එම ප්‍රමාණය පහටත් අඩුවේ.

‘ආදරණීයයන් දැවීමට මුදල් නැහැ’

ඉන්දියාවේ ලොක්ඩවුන් කෙරුණු විශාල නගරවල සිට ග්‍රාමීය ප්‍රදේශ කරා පුද්ගලයින් යද්දී වෛරසය තවදුරටත් පැතිරේ.

නමුත් ප්‍රාදේශීය රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථානවලට මෙම තත්ත්වය දරාගත නොහැක.

රෝගීවුවන්ගේ ජීවිත ගලවා ගැනීම සඳහා අවශ්‍ය කෙරෙන ප්‍රතිකාර සම්පාදනයට සරිලන මුදල් යෙදවීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීහු අරගලයක යෙදී සිටිති. “පුද්ගලික රෝහල් ප්‍රමාණයට වඩා අය කිරීමක් කරනවා” යැයි බක්සාර් දිස්ත්‍රික්කයේ පදිංචිකරුවකු වන චන්ද්‍රමෝහන් පැවසීය.

“මිනිසුන්ට තමන්ගේ ආදරණීයයන් ආදාහනය කරන්නට තරම් වත්කමක් ඉතිරිවී නැහැ. සිරුරක් ගෙනයාමට (ආදාහනයට) ගිලන් රථයක් ඉන්දියානු රුපියල් දෙදහසක පමණ මුදලක් අයකරනවා. ඉහළ යන මේ වියදම් නිසා මිනිසුන්ට සිරුරු ගංගා නදියේ අතහැර යාමට සිදුවෙලා.”

පුද්ගලික පරීක්ෂණාගාරයක කෙරෙන සීටී ස්කෑන් පරීක්ෂණයකට නියම කළ හැකි උපරිම මිල ප්‍රාන්ත ආණ්ඩුව විසින් පනවනු ලැබ ඇති අතර ගිලන් රථ සඳහා ද ස්ථාවර අයකිරීමක් සකස් කර තිබේ.

බිහාර් ප්‍රාන්තයෙන් වාර්තා වන දෛනික කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 10,000 ට ආසන්න වන අතර විශේෂයෙන්ම ප්‍රාන්ත අගනුවර වන පැට්නා දරුණු බලපෑමකට ලක්ව ඇත.

Text by – bbc sandesaya

Recommended For You

About the Author: Thusal