ඊශ්‍රායල – ගාසා ගැටුම යුද්ධයක් දක්වා දුර යන ලකුණු !

පලස්තීන සටන්කරුවන් පස්වන දිනටත් ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර එල්ල කරමින් සිටින අතරේ ඊශ්‍රායලය ගාසා තීරය වෙත එල්ල කරනු ලබන ප්‍රහාර දැඩි කොට තිබේ.

සිකුරාදා (මැයි 14) ප්‍රහාර සඳහා ගුවන් සහ පාබල හමුදා සම්බන්ධ වී ඇතත් ඔවුන් ගාසා තීරයට ඇතුළු වී නොතිබුණු බව ඊශ්‍රායල හමුදාව පැවසීය.

ඊශ්‍රායල කාලතුවක්කු සහ ගුවන් ප්‍රහාරවල පිපිරුම්වලින් රාත්‍රී අහස ආලෝකමත්ව තිබෙන අයුරු ගාසා නගරය වෙතින් ලැබුණු වීඩියෝවක දැක්විණි.

සඳුදා (මැයි 10) ගැටුම් ආරම්භ වූ දින පටන් ගාසා හි 119 දෙනෙකු පමණ මරණයට පත්ව ඇති අතර ඊශ්‍රායලයේ මරණයට පත් සංඛ්‍යාව 08 කි.

මේ අතරවාරයේ ඊශ්‍රායලය තුළ වෙසෙන යුදෙව් සහ ඊශ්‍රායල අරාබි ජාතිකයන් අතර ද කලහකාරී සිදුවීම් වාර්තා වේ.

අභ්‍යන්තර නොසන්සුන්තාව මැඩපැවැත්වීම සඳහා හමුදා ආරක්ෂාව විශාල වශයෙන් තර කිරීමට ආරක්ෂක අමාත්‍ය බෙනී ගාන්ට්ස් නියෝග ලබා දී තිබේ. කලහකාරී සිදුවීම්වලට සම්බන්ධ යැයි සැකපිට 400 කට අධික පිරිසක් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

බොහෝ කලහකාරී සිදුවීම්වලට ඊශ්‍රායල අරාබි ජාතිකයන් වගකිවයුතු බව පොලිසිය පවසයි. කලහකාරී යුදෙව් ජාතික තරුණ පිරිස් අරාබි ජාතිකයන්ට අයත් නිවෙස්වලට පහර දෙන අවස්ථාවේ කිසිත් නොකර බලා සිටි බවට එල්ල වන චෝදනා පොලිසිය ප්‍රතික්ෂේප කරයි.

ගාසා තීරයේ වෙසෙන පලස්තීනුවන් ඊශ්‍රායල හමුදා ආක්‍රමණයක් සිදුවෙතැයි බියෙන් ඊශ්‍රායල දේශසීමාවට සමීප ප්‍රදේශ වෙත පළා ගොස් තිබේ. ගාසා නගරයේ ෂෙජයියා ප්‍රදේශය අතහැර ගිය පදිංචිකරුවන් කියා සිටියේ සිය නිවෙස් මතට ෂෙල් ප්‍රහාර පතිත වූ බවය.

“විශාල වශයෙන් ෂෙල් ප්‍රහාර එල්ල වෙනවා. ළමයි සියලු දෙනා බයෙන් ඉන්නේ. අපි වැඩිහිටියනුත් අපේ ළමා කාලේ ඉඳන්ම යුද්ධයක ජීවත් වෙන්නේ. අපිට බයයි, තවදුරටත් මේක දරා ගන්න හැකියාවක් නැහැ,” යනුවෙන් එක් වැසියෙකු ඒඑෆ්පී පුවත් සේවයට පැවසීය.

හමාස් සංවිධානයේ උමං ජාලයක් විනාශ කිරීමට රාත්‍රියේ මෙහෙයුමක් ක්‍රියාත්මක කළ ද සිය හමුදා ගාසා වෙත ඇතුළු නොවූ බව ඊශ්‍රායල හමුදාව පැවසීය. බ්‍රහස්පතින්දා සවස සහ සිකුරාදා උදෑසන අතර කාලයේ මිසයිල 220 කට අධික ප්‍රමාණයක් ගාසා තීරය වෙතින් එල්ල වූ බව ද ඊශ්‍රායල හමුදාව සඳහන් කළේය.

Text by bbc

Recommended For You

About the Author: Thusal