වසර බිලියන 4.5 ක් පැරණි ග්‍රහකයක ධූලි එකතු කරගත් යානය ආපසු ගමන අරඹයි

සෞරග්‍රහ මණ්ඩලය තරම් පැරණි වූ පාෂාණ හා දුහුවිලි සාම්පල රැගෙන ඈත අභ්‍යවකාශයේ සිට එන යානයක් 2023 වසරේ සැප්තැම්බර් මාසයේදී ඇමෙරිකාවේ යුටා කාන්තාරයට ගොඩ බැසීමට නියමිතය.

සඳුදා (මැයි 10), ඔසිරිස්-රෙක්ස් නම්වූ යානය පෘථිවිය කරා එන ගමන ඇරඹුවේ ඇමෙරිකාවේ නාසා හෙවත් ජාතික ගගන හා අභ්‍යවකාශ ඒජන්සියේ සැලසුමට අනුව ය.

පෘථිවියට ආසන්න ‘බෙන්නු’ ග්‍රහකයෙන් ලබාගත් ග්‍රෑම් 60ක බරින් යුතු ඉපැරණි සුන්බුන්, ඇපලෝ චන්ද්‍ර මෙහෙයුමෙන් පසු එසේ එක්රැස් කරගන්නා ලද විශාලතම නියැදිය වේ.

එමගින් සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණයවීම පිළිබඳ ඉඟි සපයනු ඇතැයි විද්‍යාඥයෝ විශ්වාසය පළකරති.

බෙන්නු ග්‍රහකයේ සිට ඊයේ පෘථිවිය කරා සිය ආපසු ගමන ඇරඹු නාසා හි ඔසිරිස්-රෙක්ස් යානයට ඒ සඳහා වසර දෙකහමාරක කාලයක් ගතවේ.

2016 වසරේ ඇමෙරිකාවේ ෆ්ලොරිඩා හි සිට අභ්‍යවකාශයට දියත් කෙරුණු එම යානයේ ගමනාන්තය වූයේ කිලෝමීටර මිලියන 297ක් එපිට පිහිටි ‘බෙන්නු’ නම් ග්‍රහකය ය.

එය වසර 2018 සිට බෙන්නු හි පෘෂ්ඨය සිතියම්ගත කිරීමේ යෙදිණි. ඒ සමගින් මෙතෙක් ග්‍රහ වස්තුවකට ආසන්නතම කක්ෂයක රැඳුණු අභ්‍යවකාශය යානය බවට ද එය වාර්තා බිඳ හෙලීය.

2020 වසරේ ඔක්තෝබර් මාසයේදී ඉපැරණි ග්‍රහකය මත ගොඩබට යානයට නියැදිය එකතු කරගැනීමට ගතවූයේ තත්පර කිහිපයක් වුවද එය විද්‍යාඥයින් ප්‍රමෝදයට පත්කරන්නක් විණි.

එම ප්‍රාථමික වස්තුවෙන් රැස්කරගත් සුන්බුන්, මින් වසර බිලියන 4.5 ට වැඩි කාලයකට ඉහතදී සූර්යයා සහ ග්‍රහලෝක බිහිවූ ආකාරය ගැන තවත් තොරතුරු පෙන්වාදෙනු ඇති බව ඔවුන්ගේ විශ්වාසය වී තිබේ.

බෙන්නු ග්‍රහකය මුලින් සොයාගනු ලැබුවේ 1999 වසරේදී ය. නාසා ආයතනය පවසන පරිදි එහි සමක ස්ථානය කිලෝමීටර බාගයක් පමණ පළලින් යුතු වේ. එසේම සෑම වසර හයකට වරක් එය පෘථිවියට සමීප වේ.

බෙනු ග්‍රහකයේ ප්‍රමාණය

යානය ආපසු එන ගමනේදී පෘථිවිය ග්‍රහණය කරගැනීම සඳහා ඊට සූර්යයා වටා දෙවතාවක් ගමනේ යාමට සිදුවනු ඇත. ඉන්පසු එය සුන්බුන් අඩංගු කෝෂය පෘථිවි වායුගෝලයට ඇතුළුවනු ඇත.

නාසා ආයතනය පවසන්නේ මෙම පිටවීමේ පිළිවෙළඑය ග්‍රහකයට පැමිණි දා සිට එහි “වඩාත්ම වැදගත් උපක්‍රමය” වනු ඇති බවයි.එසේ එන ගමනේදී කිලෝමීටර බිලියන 2.3 ක දුරක් ගෙවීමට යානයට සිදුවනු ඇති බව නාසා ආයතනය සඳහන් කළේ, “පෘථිවියට ආපසු එන ගමනේදී සෘජු මාර්ගයක් නැහැ” යනුවෙනි.

කැප්සියුලය බෙනු ග්‍රාහකය මත ගොඩ බසින අයුරු චිත්‍ර ශිල්පියෙකුගේ ඇසින්
ඡායාරූප ශීර්ෂ වැකිය,යානය බෙන්නු ග්‍රාහකය මත ගොඩ බසින අයුරු චිත්‍ර ශිල්පියෙකුගේ ඇසින්

පාෂාණ රැගත් කැප්සියුලය ගොඩ බෑමෙන් පසු එය වැඩිදුර අධ්‍යයනය සඳහා ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ හියුස්ටන් හි පිහිටි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගෙන යනු ඇත.

මෙම නියැදියෙන් 75% ක ප්‍රමාණයක් “මෙතෙක් නිර්මාණය නොවූ තාක්ෂණය” උපයෝගී කරගන්නා අනාගත පරම්පරාවල අධ්‍යයන කටයුතු සඳහා වෙන්කිරීම සිය සැලසුම බව නාසා ආයතනය පැවසීය.

text by bbc

Recommended For You

About the Author: Thusal