‘රසායනික පොහොර තහනම රටට කෙසේ බලපායිද ?’ – ප්‍රායෝගිකත්තවය පිළිබද විමසුමක්

වසර දහස් ගණනක ඈත අතීතයේ සිට පැරැන්නන් සම්ප්‍රදායික ගොවිතැන පවත්වාගෙන යනු ලැබුවේ පරිසරය සමග හිතකාමී ගනුදෙනුවක යෙදෙමිනි. පරිසරයේ සිටින ජීවින්ට අවම හානියක් වන පරිද්දෙන් එම ජීවින් රැකගෙන මිනිසුන් ද ජීවිකාව සරි කරගන්නා ක්‍රම වේදයක් ඔවුහු අනුගමනය කළහ.

ඔවුන් පලිබෝධකයින්ගෙන් බෝග ආරක්ෂා කරගැනීමට ස්වභාවික උපක්‍රම භාවිත කළ අතර කුඹුරේ සියලු අස්වනු ගෙට නොගෙන ‘කුරුළු පාළුව’ නමින් වූ කොටසක් පක්ෂීන් වෙනුවෙන් වෙන් කළේය.

නමුත් 1960 හරිත විප්ලවය ලෝකයට හඳුන්වාදිමත් සමග සම්ප්‍රදායික ගොවිතැන වාණිජ ගොවිතැනක් බවට පත්වුනු අතර කෙටි කලකින් වැඩි අස්වැන්නක් ලබා ගැනීම එහි මුලික අරමුණ බවට පත්විය. සියලු බෝග බාහිර සාධක මත වැඩෙන්නට ඉඩ සැලසීම මෙම ගොවිතැන් ක්‍රමය තුළ දක්නට ලැබුණු ස්වරූපය විය.

දෙමුහුන් බීජ හඳුන්වා දීම, රසායනික පොහොර හඳුන්වා දීම, කෘමි නාශක, වල් නාශක සහ දිලීර නාශක හඳුන්වා දීම ක්‍රියාවට නැගෙන්නේ ද මෙම ක්‍රමවේදය පවත්වාගෙන යෑමට අවශ්‍ය අවශේෂ කාරනයක් ලෙසිනි.

ඒ අනුව යමින් ශ්‍රී ලංකාවේ ගොවි ප්‍රජාව ද දශක ගණනාවක් කුඹුරු ගොවිතැනත්, තේ පොල් රබර් ආදී අනෙකුත් ගොඩ භෝග වගාව සහ එළවලු පලතුරු වගාවත් රසායනික පොහොර භාවිතය මෙන්ම රසායනික පලිබෝධ මර්දනය භාවිතයෙන් සිදුකරයි.

මේ අතර ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය සම්පුර්ණයෙන් කාබනික පොහොර භාවිතයට යොමු කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය දිනක ප්‍රකාශයක් කළ අතර රසායනික පොහොර ගෙන්වීම කෙටි කලක් තුළ සම්පුර්ණයෙන්ම නතර කරන බවත් ඒ වෙනුවට කාබනික පොහොර ගොවීන්ට හඳුන්වා දෙන බවත් ඔහු පැවසීය.

චීනයෙන් ආනයනය කරන ලද වී සහ එළවළු බෝග වගාවන් සඳහා වු පොහොර මෙට්‍රික් ටොන් 18000 ක් රැගෙන ආ නෞකාව හරවා යැවු බවත්, සියලුම බැංකු වලට පොහොර සහ රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ණයවර ලිපි (LETTER OF CREDIT) විවෘත නොකරන ලෙසත් රජයෙන් උපදෙස් දී ඇති බව මාධ්‍ය පසුගියදා වාර්තා කළහ.

මේ සමගම පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය තොග සහ සිල්ලර වෙළෙඳුන් ඔවුන් සන්තකයේ තිබු තොග සඟවා ඇති බව පෙන්වා දෙන ගොවි සංවිධාන, ගොවියාට ලැබෙන සියලුම වට්ටම් මේ වන විට නතර කර ලකුණු කර ඇති මිලටම කෘෂි රසායනික ද්‍රව්‍ය අලෙවි කරන බවට චෝදනා නගති.

කාබනික පොහොර සම්පූර්ණයෙන් විෂ රහිත ද?

ජනාධිපතිවරයාගේ ප්‍රකාශයත් සමග මේ පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ තොරතුරු සන්නිවේදනය වෙමින් පවතින අතර කෘෂිකර්මාන්තය පිළිබඳ විද්වතකු වන සබරගමුව විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ මහලියනාරච්චි සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් පැවසුවේ රසායනික පොහොර විෂ සහිත වන අතර කාබනික පොහොර එසේ නොවේ යැයි මතයක් පවතින නමුත් එය නිවැරදි නොවන බවකි. ගුණාත්මක බවින් අඩු රසායනික පොහොර මෙන්ම ගුණාත්මක බවින් අඩු කාබනික පොහොර ද එකසේ විෂ සහිත යැයි ඔහු සඳහන් කර තිබිණි.

”නිවැරදි කාඛනික කෘෂිකර්මය හොඳ දෙයකි. එහෙත් ඉන් වැඩිවන විශාල ජනගහනයකට ආහාර සැපයිම කළ හැකි ද. ගසක වර්ධනයට සහ පලදාව ලබා දීමට අවශ්‍ය ප්‍රධාන මූලද්‍රව්‍ය වන නයිට්‍රජන්, පොටෑසියම් සහ පොස්පරස් ද, වෙනත් මූලද්‍රව්‍ය වන මැග්නීසියම්, කැල්සියම්, සින්ක්, මැංගනීස්, කොබෝල්ට් ද ආදී මේවා රසායනික පොහොර හෝ කොම්පෝස්ට් වැනි කාබනික පොහොර ලෙස ශාකවලට ලබා දිය හැකි ය,” යනුවෙන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ මහලියනාරච්චි පැවසීය.

ජේෂ්ඨ මහාචාර්ය රෝහණ මහලියනාරච්චි
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ මහලියනාරච්චි

“රසායනික පොහොර ලෙස ලබාදීමේදී ශාකයකට අවශ්‍ය මූල ද්‍රව්‍ය ප්‍රමාණය රසායනික පොහොර සුලු ප්‍රමාණයක් මගින් ලබා දිය හැකි අතර, ඒවායින් මූලද්‍රව්‍ය ශාකයට අවශෝෂණය කර ගැනීම වේගවත් ය. එම ප්‍රමාණය ම මූලද්‍රව්‍ය ලබාදීම ට නම් විශාල ප්‍රමාණයක් කාබනික පොහොර ලබා දිය යුතු අතර මූලද්‍රව්‍ය ශාකයට අවශෝෂණය කර ගැනීමට වඩා වැඩි වේලාවක් ගනී,” යනුවෙන් ඔහු සඳහන් කර ඇත.

ඔහු තවදුරත් පවසන්නේ නගර සභා බල ප්‍රදේශවල ඉවතලන කසලවල බොහෝ විට heavy metals (බැර ලෝහ) ඇති බැවින් ඒවා කොම්පෝස්ට් ලෙස පසට එකතු වුවහොත් සිදු වන හානිය ඉතා විශාල බවය. එම නිසා පිලිපීනය වැනි රටවල කාබනික පොහොර ලෙස යොදන්නේ ගැඩවිලුන් මගින් නිපදවන vermy compost යන වර්ගය බව කියා සිටී.

“නිවැරදි මාත්‍රාව ට හොඳ ගුණාත්මක රසායනික පොහොර භාවිතා කරන්නේ නම් කිසි දු හානියක් නැත. ලංකාවේ ආනයනික බාල වර්ගයේ රසායනික පොහොර අධි ප්‍රමාණ වලින් දැමීමෙන් විශාල හානියක් වී ඇති බව සත්‍යයකි. එසේ ම ලංකාවේ වෙළද පොළේ ඇති කාබනික පොහොර අන්තිම සවුත්තු ඒවාය. ඒවා භාවිතා කිරීමෙන් අනාගතයේදී විශාල විනාශයක් සිදු විය හැක.”

වඩාත් ම විෂ සහිත සහ බැහැර කළ යුතු වන්නේ කෘමි නාශක, වල් නාශක සහ දිලීරනාශක වැනි කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතය බවට ඔහු පෙන්වා දෙයි.

“විකල්ප අවශ්‍ය මේවාටය. එහෙත් කණගාටුවට කරුණ මෙවැනි පර්යේෂණ සඳහා ලැබෙන සහයෝගය අවම වීමයි. මා දන්නා දක්ෂ මහාචාර්යවරියක් organic pesticides නිපදවීම සඳහා පර්යේෂණ යෝජනාවක් world Bank ආධාර යටතේ ක්‍රියාත්මක AHEAD project එකට ඉදිරිපත් කළාය. එහෙත් desk review කර එය ප්‍රතික්ෂේප කරන ලදී. එය පැහැදිලි කිරීමට කරන ලද ඉල්ලීමත් ඉවත් ලන ලදී.”

“ලංකාවේ අද ප්‍රමුඛත්වය දිය යුතු වන්නේ කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතය නැති කිරීමට ය. රසායනික පොහොර භාවිතයේදී ගුණාත්මක බවින් ඉහළ පොහොර නියමිත ප්‍රමාණයට යෙදීමෙන් හානිය ක් සිදු වන්නේ නැත,” ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ මහලියනාරච්චි පැවසීය.

අස්වැන්න “සියයට 20 දක්වා පහත වැටෙයි”

දශක පහකට වැඩි කාලයක් කුඹුරු ගොවිතැනේ යෙදෙන නෙල්සන් ආරියවංශ බීබීසී සිංහල සේවයට පැවසුවේ දින 45 කින් අස්වනු ගෙටගැනීමට හුරු කළ කුඹුරු ගොවිතැන් ක්‍රමය කෙටි කලකින් කාබනික පොහොර මත යැපෙන්නට සැලසුවහොත් අස්වැන්න 20% දක්වා පහත වැටෙනු ඇති බවය.

අස්වනු වැපිරීමට පෙර හීය හානවිට මඩ පොහොර ඉසින බවත් ඇතැමුන් වපුරනවිටදී මඩ පොහොර ඉසින අතර, ඉන් පසු වපුරා දින තුනකින් යුරියා යොදයි. ඉන් පසු බන්ඩි ගොයමට දවස් 15 කින් බන්ඩි පොහොර යෙදිය යුතු බව පවසන නෙල්සන් ආරියවංශ පැවසුවේ පොහොර කලට වෙලාවට ඉසගැනීමට නොහැකිවුවහොත් අස්වනු අඩුවන බවය.

නෙල්සන් ආරියවංශ
නෙල්සන් ආරියවංශ

“ගිය කන්නයේ රජය පොහොර නොමිලේ දුන්න. දැන් යල පටන් අරං තියෙනවා රජයෙන් පොහොර තවම නෑ. පුද්ගලිකව ගන්නත් නැහැ. කාබනික පොහොර කොහොමද හදන්නේ අද අඩුම තරමින් හරකෙක් වත් කුඹුරක නැතිකොට ගොම පොහොර ටිකක්වත් ගන්න. කාබනික පොහොර පමණක් අනිවාර්ය කළොත් වී ගොවියා කුඹුරෙන් සම්පුර්ණයෙන් ඈත් වෙන්න දිගු කලක් යන්නේ නැහැ.” ඔහු පැවසීය.

කුකුල් පොහොර ටිකක් හොයාගැනීමත් දුෂ්කරයි

දශක හතරකට වැඩි කලක් පොල් වගාවේ නිරත එම්එස් උපතිස්ස පවසන්නේ දිගු කාලීන බෝග වගාවක් වන පොල් වගාවට කාබනික පොහොර වඩා සුදුසු වන නමුත් ඒවා සොයා ගැනීම දුෂ්කර බවය.

”අක්කර 10 කට වැඩිය මං පොල් වවනවා. අඩුම තරමින් කුකුල් පොහොර ටිකක් හොයාගැනීම පවා දුෂ්කරයි. කුකුල් කොටුවක් කඩනකන් බලා ඉඳල කියන ගානක් දීලා පොහොර ගන්න වෙලා තියෙන්නේ. කිලෝ 50 උර දෙකක් අවම වශයෙන් එක ගහකට ඕනේ අවරුද්දකට, ඊට පස්සේ පස පෙරලලා කිලෝ 2ක් ඩොලමයිට් දානවා කිලෝ එකක් එම් ඕ පී දානවා. රජයෙන් වැඩ පිළිවෙලක් හදන්න ඕනේ නව ක්‍රමය ක්‍රියාත්මක කරන්න කලින් කාබනික පොහොර පහසුවෙන් ගොවියට ලබා ගන්න පුළුවන් ක්‍රමයක්.”

මේ අතර පාරම්පරික කෘෂිකර්මාන්තය ප්‍රචලිත කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන මොන්ලා ආයතනය (movement for land and agriculture reform – ඉඩම් හා කෘෂි ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය) පවසන්නේ රසායනික පොහොර භාවිතය කෙටි කලකින් නතර කිරීම ප්‍රයෝගික නොවන බවය.

එම ආයතනයේ පාරිසරික කෘෂිකර්ම අංශ ප්‍රධානී ලෙස වසර 30 කට වැඩි කලක් සේවය කල ඩී ආර් ජයතිලක බීබීසී සිංහල සේවයට පැවසුවේ නියම කාබනික පොහොර නිෂ්පාදනය පවතින පරිසරය තුළ සිදු කළ යුතු ස්වභාවික ක්‍රියාවක් මිස කෘත්‍රිම ක්‍රියාවලියකින් ප්‍රතිඵල ගතහැකි ක්‍රමවේදය නොවන බවය. ඊට අවම වශයෙන් වසර පහක් හෝ හයක කාලයක් අවශ්‍ය බව ඔහු සඳහන් කළේය.

ඩී ආර් ජයතිලක
ඩී ආර් ජයතිලක

”කාබනික පොහොර කියන්නේ අනුරාධපුරේ හදලා කළුතර අරං ගිහින් පසට දාන්න පුළුවන් එකක් නෙමෙයි. නුවරඑළියේ හදලා කල්පිටියේ රතු ලූණු වගාවට දාන්න පුළුවන් එකකුත් නෙමෙයි. අපි කියන්නේ පස තුලින්ම ස්වභාවික ප්‍රති උත්පාදන ක්‍රියාවලිය සක්‍රීය වෙන්න ඉඩ දෙන්න කාබනික පසක් නිර්මාණය වෙන්න. ගහ කොළ, සතා සිව්පාවුන්ගේ ජීවී හා අජීවී කොටස් පසට වැටිලා ඒ කොටස් ක්ෂ්ද්‍ර ජීවින් විසින් ස්වභාවිකව ජීර්ණයට ලක්කරලා ජීවින් බහුල පසක් නිර්මාණය වනතුරු කාබනික පොහොර නිෂ්පාදනයක් බලාපොරොත්තු වෙන්න බැහැ.”

ඩී ආර් ජයතිලක පැවසුවේ පෙර ගොවියා හේනට යනවිට තම මල්ලේ බෝග වර්ග 15 – 20 ක බීජ රැගෙන යන අතර ඔවුන් කිසිවිටක හේනට යුරියා රැගෙන නොගිය බවය.

“ගොවියට එක බෝගයක් විනාශ වුණා කියල වහ බොන්න සිද්ධ වුණේ නැහැ. සත්තු කෑවා කියල වහ බිව්වේ නැහැ. මේ භෝගය නැත්නම් අනික් බෝගය තිබුණා. ගොවියා වස විස කෑවේ නැහැ වගේම ඔහුගේ අහාර සවෛරිත්වය ඉහළින් ම තිබුණා. සුරක්ෂිත බව තිබුණා,”

වාණිජ මට්ටමේ බෝග වගාවට වුවත් මෙය අනුගත කළ හැකි බව ද ඔහු කියා සිටී.

“දැන් ගොවියා යොමු කරලා තියෙන්නේ ඒක බෝග වගාවකට. හරියට බූරු ගහනවා වගේ වින් නම් වින් ප්ලේස් නම් ප්ලේස්. දිනුවොත් හරි පැරදුනොත් බිංදුවටම වැටෙනවා. දැන් තියෙන්නේ මහ පොළොවත් මැරෙන ගොවියාත් මැරෙන කෘෂි ක්‍රමයක්. කාබනික පොහොරත් රසායනික පොහොර වගේම කොම්පැනි වලින් හදලා දෙන්න ගියොත් ඒක තවත් ව්‍යාපාරයක් පමණක් බවට පත්වෙන එක වලක්වන්න බැහැ. එහෙම වුනොත් දැන් රසායනික පොහොර නතර කරන්න හදනවා වගේම තව අවුරුදු කීපයකින් කාබනික පොහොරත් නතර කරනවා කියල කියන්නත් වෙයි.”

“අනික මේ පොහොර හදන ක්‍රමවේදයවත් තවම රටට කියල නැහැ. කසල බැහැර කිරීමට නිසි ක්‍රමවේදයක් නැති රටක ඉවතලන කැලි කසල වලින් කාබනික පොහොර හැදුවොත් ඒවා රසායනික පොහොර වලට වඩා නරක වෙන්න පුළුවන්. මොකද සායනික අපද්‍රව්‍ය, ඉලෙක්ට්‍රොනික උපකරණ ආදිය පවා මේ කැලිකසල වල තියෙනවා. බැර ලෝහ පසට එකතු වෙන්නේ මේවගෙන්,” ඩී ආර් ජයතිලක පැවසීය.

අම්පාරේ ගොවීන්

අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන් පිරිසක් බීබීසී සිංහල සේවය සමග පැවසිවේ මෙවර යල කන්නයේ කුඹුරු වැපිරීම් කටයුතු සඳහා ජලය නිකුත් කිරීම මාර්තු 20 වන දින සිට අප්‍රේල් 10 දක්වා සිදු කළ අතර එම කාලය තුළ වැපිරීම් කටයුතු අවසාන කළ යුතුව තිබුණු බවය.

වැපිරීම් ආරම්භ කිරීමට පෙර මඩ පොහොර යෙදිය යුතු අතර බොහෝ ගොවීන්ට එම මඩ පොහොර නොලැබීමේ හේතුවෙන් වැපිරීමට සිදුවූයේ පොහොර භාවිතයෙන් තොරව ය.

වපුරා දින දහහතරක් ගතවූ පසුව පළමු යූරියා පොහොර මුරය යෙදිය යුතු වූවත් සියයට පනහකටත් වඩා වැඩි පිරිසකට එය කළ නොහැකි වූ බවත් බොහෝ ගොවීන් මඩ පොහොර නොමැතිව වගා කළා සේම දින දහහතරකට පසුව යූරියා යෙදීමට ද හැකියාවක් නොලැබුණු බව එම ගොවීන් පිරිස පැවසූහ.

අම්පාර දිස්ත්‍රික්කයේ පොහොර බෙදාහැරීම් කටයුතු කඩින් කඩ සිදුවීමෙන් ගොවීන් මහත් පීඩාවට පත්වූ අතර ප්‍රමාණවත් තරම් පොහොර නොලැබුණු ගොවීන් රැසක් දිස්ත්‍රික්කය පුරා විසිර සිටින බවට අම්පාර දිස්ත්‍රික් ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති චන්ද්‍රසේන හේමකුමාර බීබීසී සිංහල සේවය සමග පැවසිය.

“අනිත් එක තමයි දැන් කෘෂි රසායන ගෙන්වන එක නවත්තලා කියලා දැනගත්තහම කෘෂි රසායන ද්‍රව්‍ය ගණන් ගිහිල්ල තියෙන්නේ. එකකට එකක් ගණන් ගිහිල්ලා. පෞද්ගලික වෙළෙන්දෝ කරන්නේ ඒවා ඔක්කොම හංගලා සාමාන්‍යයෙන් ලේබල් එකේ ගහලා තියෙන මිලට තමයි බෙහෙත් දැන් විකුණන්නේ. එතකොට වල්නාශක එහෙම එකකට එකක් ගණන් ගිහිල්ලා තියෙන්නේ. ලේබල් එකේ ගහල තියෙන ගනේනේ රුපියල් දාහක් හමාරක් අඩුවෙන් තමයි වෙනද වික්කේ. දැන් ඒ ඔක්කොම අල්ලලා තමයි විකුණන්නේ.”

“මේ සැරේ ඔහොම ගියාට ලබන සැරේ පොහොර දෙන්නෙම නෑ කියලනේ කියන්නේ. ලබන සැරේ පොහොර දෙන්න නෑ වල් නාශක දෙන්නේ නෑ කියන්නේ දැනට සාමාන්‍යයෙන් එක කන්නයකදී දෙපාරක් වල් බෙහෙත් ගහලත් වල් මර්දනය කරගන්න බෑ ගොවියන්ට. එහෙම තියාගෙන වල් බෙහෙත් නැවැත්තුවොත් ලබන සැරේ වී නෙමෙයි වගා කරනන් වෙන්නේ වල්,” චන්ද්‍රසේන හේමකුමාර වැඩිදුරටත් පැවසීය.

වසර හැටක් පොළව මෙන්ම ගොවීන් ද හුරු කර, ඊට අවශ්‍ය දෙමුහුන් බීජ වර්ග හදුන්වා දී එකවරම පොහොර නැවැත්වීමෙන් ගොවිතැන් කළ නොහැකි බව ද ඔහු කියා සිටියේය.

එවැනි පියවරකට යාම සඳහා ප්‍රථමයෙන් කළ යුතුවන්නේ බීජ වර්ග වෙනස් කර ගොවින්ට අවශ්‍ය පරිසරය සැකසීම වන අතර එසේ නොවන්නේ නම් ශ්‍රී ලංකාවේ වී නිෂ්පාදනය සියයට 25 දක්වා බසිනු ඇති බව ද හෙමකුමාර පැවසීය.

“දැන් මේ ටික නිෂ්පාදනය කරලත් රටින් ගෙනවා නේ. දැන් මේක නැවැත්තුවහම මොකද වෙන්නේ එක්කෝ කන්න නැතිව හාමතේ මැරෙන්න වෙනවා නැත්නම් රටින් හාල් ගෙන්න වෙනවා. රටින් හාල් ගේනකොට එකේ තියෙන කෘෂි රසායන පරීක්ෂණය කවුද කරලා එවන්නේ? එහෙම එකක් නෑ.”

ඔහු තවදුරත් පවසන්නේ රජය මෙම පියවරයන් ගැනීමට පෙර ගොවින් දැනුවත් නොකළ බවය.

ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය

මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කළ යුතු බව “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සඳහන් බවත් එලෙස ජනතාවට දුන් පොරොන්දු ඉටු කරමින් ක්‍රියාත්මක වීම රජයක වගකීමක් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසීය. දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයන් සමග පසුගිය අඟහරුවාදා (මැයි 11) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ඔහු ඒ බව සඳහන් කළේ යැයි ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්විණි.

“කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීමට මීට පෙර පැවති රජයන් උත්සහ කළ ද එය අඛණ්ඩව පවත්වාගෙන යාමට නොහැකි විය. මෙය අභියෝගාත්මක ක්‍රියාවකි; අපහසුය, එනමුත් නිවැරදි ක්‍රමෝපාය හඳුනාගෙන රට වෙනුවෙන් කළ යුතු කාර්යයක්” යැයි ජනාධිපති වරයා පැවසූ බවට නිවේදනයේ දැක්වේ.

කාබනික පොහොර භාවිතයේ දී අස්වැන්න අඩුවී ආදායමේ වෙනසක් වුවහොත් සහතික මිල ඉක්මවා වී මිලදී ගැනීමට රජය සූදානම් අතර ගොවියා ඒ සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් පාරිභෝගිකයාට පවතින මිලට සහල් ලබාගත හැකි පරිදි වැය බර දැරීමට රජය සූදානම් බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

“රසායනික පොහොර ආනයනය කළ සමාගම් කාබනික පොහොර නිෂ්පාදනය ආරම්භ කරන්නේ නම් ඊට අවශ්‍ය පහසුකම් සැලසීමට රජය සූදානම්,” යැයි ද ජනාධිපතිවරයා පවසා ඇත.

මහබැංකු වාර්තාවලට අනුව 2020 වර්ෂයේදී ශ්‍රී ලංකාවට පොහොර ආනයනය සඳහා ඩොලර් මිලියන 259ක් ද ආහාර ද්‍රව්‍ය ආනයනය සඳහා ඩොලර් බිලියන 1.5ක් වැයවී තිබේ. තේ රබර් පොල් හා එළවළු වැනි කෘෂි නිශ්පාදන අපනයනය කිරීමෙන් ඩොලර් බිලියන 2.34ක් 2020 වසරේදී උපයා ඇත.

කල්පිටියේ ගොවින්ගේ අර්බූදය

කල්පිටියේ ගොවින් මේ වන විට විශාල අසීරුතාවයන්ට මුහුණ දෙමින් සිටින බවත් කල්පිටියේ ගොවින් මුහුණ දෙන ගැටලු අතරට රසායනික පොහොර හා කෘෂි රසායනික ද්‍රව්‍ය හිඟය තදින්ම බලපා තිබෙන බවත් කල්පිටියේ ගොවි සංවිධාන පෙන්වා දෙති.

මේ හේතුවෙන් අක්කර දහස් ගණනක් වගා නොකර අත්හැර ඇති බවත් තවත් අක්කර සිය ගණනක වගාවන් පොහොර හා කෘෂි රසායනික ද්‍රව්‍ය නොමැති කම හේතුවෙන් විනාශ වී ඇති බවත් කල්පිටිය දළුව ගොවි සංවිධානයේ සභාපති කැමිලස් සිල්වා බීබීසී සිංහල සේවය සමග පැවසීය.

”පිපිඤ්ඤා රුපියල් දහයයි, ගර්කින් දහයයි, කැකිරි දහයයි ඒ මුදලටවත් විකුණ ගන්න බැහැ. අඩු තරමේ මේ එළවලු විසිකරන්න හරි අපිට තැනක් නැහැ.” කල්පිටිය අර්ධද්වීපයේ එළවලු ගොවින් හා වෙළෙඳුන් මුහුණ දී සිටින ප්‍රධාන අර්බුදය පිළිබඳ විස්තර කරමින් නොරොච්චෝලේ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ ප්‍රධාන ලේකම් හාජා මොහිදීන් යාසිම් බීබීසී සිංහල සේවය සමග පැවසීය.

හාජා මොහිදීන් යාසිම්
හාජා මොහිදීන් යාසිම්

”අද මෙහෙම වුනාට තව මාස කීපයකින් පිපිඤ්ඤා ගෙඩියක් රුපියල් දෙසියටවත් ගන්න නැතිවෙයි. අමුමිරිස් කිලෝවක් රුපියල් තුන් හාර දාහට යයි. මම මෙහෙම කියන්නේ අද වන විට ගොවීනට වගා කරන්න පොහොර නැහැ. රසායනික ද්‍රව්‍ය නැහැ.

“මගේ පුද්ගලික මතය වෙන්නෙත් රසායනික පොහොර, කෘෂි රසායනික මේවා සියල්ල අත් අරින්න ඕනෑ කියල තමයි. හැබැයි මෙහෙම එක පාර මේ සියල්ල නතර කලාම ගොවියෝ මොකද කරන්නේ. කල්පිටිය රටේ අනෙක් ප්‍රදේශ වල වගේ නොවෙයි. කල්පිටියේ වගාවට වතුර පොහොර දෙකම ඕනෑ. රසායනික පොහොර නැත්නම් කාබනික පොහොර දෙන්න ඕනෑ. මේ දෙකම නැති වුණාම ගොවියෝ වගා කරන්නේ කොහොමද,” යනුවෙන් කල්පිටිය සර්ව ආගමික එකමුතුවේ සභාපති කල්පිටිය කන්දකුලිය ශ්‍රී සමුද්‍රාසන්න විහාරස්ථානාධිපති පුජ්‍ය බැඳිවැව දියසේන හිමියන් බීබීසී සිංහල සේවය සමග පැවසීය.

පුජ්‍ය බැදිවැව දියසේන හිමියන්
බැඳිවැව දියසේන හිමි

සර්ව ආගමික එකමුතුවේ ආගමික නායකයන් කල්පිටිය ගොවීන්ගේ ඉල්ලීම මත පැනනැගී ඇති තත්ත්වය පිළිබඳව සොයා බැලීමට ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර ඔවුන් වගකිවයුත්තන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කර ඇත.

තිල්අඩිය මුත්තු මාරි අම්මාන් කෝවිලේ ප්‍රධාන පුජක බ්‍රම්ම ශ්‍රී සිවා කුරුක්කල් පැවසුවේ වර්තමානයේ ඇති කෝවිඩ් ප්‍රශ්නයට වඩා පොහොර නොමැති වීම විශාල ප්‍රශ්නයක් බවයි.

“මේක පොහොර නැතිවීම නෙමෙයි නැති කිරීමක්. මේ වන විට කල්පිටියේ විශාල ප්‍රදේශයක වගා විනාශ වෙලා. මෙහෙම ගියොත් වගාව වගේම මේ ප්‍රදේශවල ජිවත් වන ජනතාවගේත් ජිවිත විනාශ වෙයි. ඒ නිසා අපි ආගමික නායකයන් ලෙස රජයෙන් ඉල්ලා සිටින්නේ මේ ජනතාවට කාබනික පොහොර භාවිතය සඳහා යොමු වෙන්න ටික කාලයක් දෙන්න කියලයි.”

ගොවියන් පවසන්නේ පවතින තත්ත්වය හමුවේ තමන්ට බැංකු ණයක් හෝ ලබාගත නොහැගි බවය.

“අපි ණය වෙලා තමයි ගොවිතැන කලේ. දැන් බැංකු වලින් ණය දෙන්නේ නැහැ මොකද බැංකු වලටත් අවබෝධ වෙලා තියනවා ගොවීන්ගෙන් ණය අය කර ගන්න බැහැ කියලා. ඒ නිසා කොහොමත් අපිට වගාවකට යන්න හැකියාවක් නැහැ.” යනුවෙන් ගෙවිලියක වන වි.ජේ. මල්ලිකා බීබීසී සිංහල සේවය සමග පැවසුවාය.

විජේ මල්ලිකා
වි ජේ මල්ලිකා

බලධාරීන්ගේ ප්‍රතිචාර

පොහොර හිඟවීම කල්පිටියේ ගොවීනට බලපා ඇති බව පුත්තලම දිස්තික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර ද පිළිගනී. මේ පිළිබඳ අදාළ වගකිවයුතු අංශ දැනුවත් කර ඇති බව ඔහු පැවසිය.

“කල්පිටියේ පොහොර හිඟයක් තිබුණට එළවලු මිළ අඩු වෙන්න බැහැ. මොකද අපි මේ වන විට රටේ ඕනෑම තැනකට යන්න මේ ව්‍යාපාරිකයන්ට අවසර දීලා තියනවා. රටේ ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතිනවා. මොනවා හරි ගැටලුවක් තියනවා නම් අපිත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕනෑ දේ තමයි පොහොර ගැටලුව කල්පිටියට පමණක් තියෙන ගැටලුවක් නෙමෙයි කියන එක,” දිස්ත්‍රික් ලේකම්වරයා පැවසිය.

බී.බී.සී සන්දේශය වෙබ් අඩවියේ පසුගිය මැයි 14 වැනිදා පළ වූ මෙම වාර්තාව කාලීනභාවය සහ ජාතික වැදගත්කම මත සම්පූර්ණයෙන් උපුටා ගන්නා ලදි – ප්‍රධාන සංස්කාරක

Recommended For You

About the Author: Thusal