‘කොවිඩ් සීමා මඟ හරින්න’ අහසේ විවාහ වූ යුවළක්

ඉහළ ඡායාරූපය – සමාජ මාධ්‍යවල පළ කරන ලද වීඩියෝ දර්ශන මගින් පෙනෙන්නේ අදාළ යුවළ සහ ඔවුන්ගේ අමුත්තන් කුලී පදනම මත ලබා ගත් ජෙට් යානය තුළ තෙරපෙමින් සිටින බවය.

කොරෝනාවෛරසය හේතුවෙන් පනවා ඇති සීමා කිරීම්වලින් ගැලවීම සඳහා ඉන්දියානු යුවළක් ගුවන් යානයකට නැගී තවත් අමුත්තන් 160කට වැඩි පිරිසක් සමඟ විවාහ උත්සවයක් පැවැත්වූ බව වාර්තා වේ.

සමාජ මාධ්‍යවල පළ කරන ලද වීඩියෝ දර්ශන මගින් පෙනෙන්නේ අදාළ යුවළ සහ ඔවුන්ගේ අමුත්තන් කුලී පදනම මත ලබා ගත් ජෙට් යානය තුළ තෙරපෙමින් සිටින බවය.

යානය ගුවන් ගත වූ බව කියන තමිල්නාඩු ප්‍රාන්තයේ මෑතකදී දැඩි සීමාවන් පැනවූ අතර විවාහ මංගල්‍යයන් අමුත්තන් පනස් දෙනෙකුට සීමා කළේය.

ඉන්දියානු ගුවන් සේවා අධිකාරිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජෙනරාල් කාර්යාල නිලධාරියෙකු ‘ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’ පුවත් සේවය වෙත පැවසුවේ ගුවන් යානයේ සිටි ‘ස්පයිස් ජෙට් (SpiceJet)’ කාර්ය මණ්ඩලය එදින රාජකාරියෙන් ඉවත් කර ඇති බවය.

ස්පයිස් ජෙට් ආයතනයේ ප්‍රකාශකයෙකු ‘ඉන්දියන් එක්ස්ප්‍රස්’ පුවත් සේවය වෙත පැවසුවේ විවාහයෙන් පසු සංචාරයක් සඳහා යැයි පවසමින් බෝයිං 737 යානය මදුරෙයි සිට බැංගලෝරය දක්වා වෙන් කරවා ගැනීමට සංචාරක නියෝජිතයෙකු ක්‍රියා කළ බවය.

“අනුගමනය කළ යුතු කොවිඩ් මාර්ගෝපදේශ පිළිබඳ සිය සේවාදායකයාට පැහැදිලිව විස්තර කර යානයේ කිසිදු ක්‍රියාකාරකමක් කිරීමට අවසර දීම ප්‍රතික්ෂේප කළ බව” ප්‍රකාශකයා පැවසීය.

ඉන්දියාව විනාශකාරී දෙවෙනි කොරෝනාවෛරස රැල්ලෙන් පීඩා විඳින අතර, නිල සංඛ්‍යාලේඛනවලට අනුව අවම වශයෙන් 300,000 ක් පමණ මිය ගොස් තිබේ. විශේෂඥයන් ගණන් බලා ඇති පරිදි සැබෑ මරණ සංඛ්‍යාව මීට බෙහෙවින් වැඩි විය හැකිය.

ඔක්සිජන් හිඟය මෙන්ම පැය 24 පුරාම සිරුරු පුළුස්සා දැමීමට සිදු වීමත් සමග, මෑත සතිවල දී එරට රෝහල් සහ ආදාහනාගාර තුළ දැඩි තදබදයක් තිබිණි.

ආදාහනය කිරීම සඳහා වැයවන පිරිවැය දරාගත නොහැකි බොහෝ පවුල් තම ආදරණීයයන් ‘ගංගා’ ගං ඉවුරේ නීතිවිරෝධී ලෙස වළලා දමා හෝ ඔවුන්ගේ සිරුරු ගංගාවට තල්ලු කර දමා ඇත. මේ හේතුවෙන් නිල මරණ සංඛ්‍යාවට සැලකිය යුතු මරණ ගණනක් ඇතුළත් වී නොමැති යැයි බිය මතු වී තිබේ.

Text by – bbc

Recommended For You

About the Author: Thusal

Leave a Reply

Your email address will not be published. Required fields are marked *