ගෙදරදීම සුදෝසුදු දත් දෙපෙලක්: දත් සුදුකරන අධි රසායන “දත් මරණවා”

දන්ත සායනයකට නොගොස් ගෙදරදීම සුදෝසුදු දත් දෙපෙලක් සකස්කර ගැනීමට උපයෝගී කරගත හැකි උපාංග කට්ටල විකිණීමේ ජාවාරමකට අදාළ වෙළෙඳ දැන්වීමක් අන්තර්ජාලයේ පළකරනු ලැබ ඇත. එහෙත් එම උපාංග කට්ටලයට ඇතුළත් දත් සුදුකෙරෙන රසායනය නිසා විදුරුමස පිළිස්සී දත් අහිමිවීමේ අවදානමක් ඇති බව පරීක්‍ෂණයක් මගින් හෙළිදරව් කරනු ලැබ තිබේ.

දත් සුදු කිරීම සඳහා පිළියෙළ කරනු ලැබ ඇති එම රසායනයෙහි අන්තර්ගත හයිඩ්‍රජන් පැරොක්සයිඩ් ප්‍රමාණය නියමිත මට්ටමට වඩා තුන්සිය ගුණයකටත් වඩා වැඩිබව ‘ පාරිභෝගික සංවිධානයක් පවසයි.

‘විච්’ (Which) පාරිභෝගික සංවිධානය විසින් පරීක්‍ෂණයට ලක්කරනු ලැබ ඇති නිෂ්පාදන තිස් හයකින් තවත් විස්සක නීතියට පටහැනි පිරිසිදු කිරීම් සඳහා යොදාගනු ලබන ‘බ්ලීච්’ රසායනය ඇතුළත් බව අනාවරණය විය.

ඒ අනුව එම නිෂ්පාදන සියල්ල ‘අලිඑක්ස්ප්‍රස්'(AliExpress) ‘ඇමසන්'(Amazon) සහ ‘ඊබේ'(eBay) ඇතුළු අන්තර්ජාල අලෙවිකරණ අඩවි මගින් ඉවත් කරනු ලැබ ඇත.

‘හයිඩ්‍රජන් පැරොක්සයිඩ්’ අන්තර්ගතය 30.7%ක් වැනි අධි මට්ටමක් සහිත ඉහත කී භාණ්ඩ නිෂ්පාදනය කරන ලද ‘ඕරල් ඔර්තොඩොන්ටික් (Oral Orthodontic Materials Store) සමාගමේ ප්‍රතිචාරය කුමක්ද? ”තමන් අතින් සිදුවූ වැරැද්ද හෙළිවූ වහාම එය නිවැරැදි කරන ලද බව එම සමාගම පවසයි.

”එකී සියලු නිෂ්පාදන අලෙවියෙන් ඉවත්කර ගත්” බව සමාගම විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙයි.

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවියේ නිරත ‘අලිඑක්ස්ප්‍රස්'(AliExpress) ව්‍යාපාරය මෙසේ පවසයි.

”නිෂ්පාදන භාණ්ඩවල සුරක්‍ෂිතභාවය අපි බලවත් ලෙස සැලකිල්ලට ගන්නවා. අපගේ ලැයිස්තුගත කිරීම්වලට අදාළ ප්‍රමිතීන් උල්ලංඝනය කරනු ලබන භාණ්ඩ වහාම අලෙවියෙන් ඉවත් කිරීමට පියවර ගත්තා”

”අප අන්තර්ජාලයේ සිදුකෙරෙන භාණ්ඩ අලෙවියට වේදිකාවක් හදන එම ගනුදෙනුවේ දී ඊට පහසුකම් සලසනු ලබන වෙළෙඳපොළ කාර්යය ඉටුකරන පාර්ශවයක්..’අලිඑක්ස්ප්‍රස්'(AliExpress) ඔස්සේ භාණ්ඩ විකුණන වෙළෙන්දන් අපේ ප්‍රතිපත්ති සහ නීති රෙගුලාසි ආදියට අනුගතව ඔවුන්ගේ වෙළෙඳාම සිදුකළ යුතුයි. අපේ කොන්දේසි කඩකරන වෙළෙන්දන් හසුවුනොත් ඔවුන්ට එරෙහිව අපි පියවර ගන්නවා” ‘අලිඑක්ස්ප්‍රස්'(AliExpress) ව්‍යාපාරය කියා සිටියි.

රසායනික පිළිස්සීම්

එක්සත් රාජධානියේ භාණ්ඩ අලෙවියේ දී භාණ්ඩයක අන්තර්ගත ‘හයිඩ්‍රජන් පැරොක්සයිඩ්’ ප්‍රමාණය 0.1% කට වැඩි නොවිය යුතුය. වෘත්තීය දන්ත වෛද්‍යවරුන්ට අයැදුම් කළහැකි නෛතික මට්ටම 6%කි.

‘විච්'(Which) පාරිභෝගික සංවිධානය විසින් පරීක්ෂණයට ලක්කරන ලද නිෂ්පාදන හයක අන්තර්ගත ‘හයිඩ්‍රජන් පැරොක්සයිඩ්’ ප්‍රමාණය 10% කටත් වඩා වැඩි මට්ටමක විය.

දත්
‘හයිඩ්‍රජන් පැරොක්සයිඩ්’ අධි ප්‍රමාණයක් සහිත එක් නිෂ්පාදනයක් මස් කැබැල්ලක ආලේපනය කරනු ලැබීමෙන් මිනිත්තු තිහකට පසු දක්නට ලැබෙන ආකාරය

පාරිභෝගිකයන්ට සුදෝසුදු දත් දෙපෙලක් අවශ්‍ය කරන්නේ නම්, ඒ සඳහා වෘත්තීය දන්ත වෛද්‍යවරයකුගේ පිහිට ලබාගන්නා ලෙස ‘විච්’ පාරිභෝගික සංවිධානය උපදෙස් දෙයි. එවැනි පියවරක් නොගෙන වැරදි ක්‍රියාමාර්ග අනුගමනය කළහොත් තිබෙන දත්වලටත් හානි සිදුවීමේ අනතුරක් පවතී.

බ්‍රිතාන්‍ය දන්ත වෛද්‍යවරුන්ගේ සම්මේලනයේ අධ්‍යක්‍ෂවරයකු වන වෛද්‍ය පෝල් වුඩ්හවුස් (Dr Paul Woodhouse) මෙවැනි අනතුරු ඇඟවීමක් කරයි.

”හයිඩ්‍රජන් පැරොක්සයිඩ්’ ඉතාම ප්‍රබල රසායනයක්. එය වැරදි ආකාරයට පාවිච්චි නොකළ යුතුයි. එම රසායනය පාවිච්චියට ගතයුතු ආකාරය සම්බන්ධයෙන් දන්ත වෛද්‍යවරුන්ට පුහුණුවක් ලබා දෙනවා. ඒ අනුව දන්ත වෛද්‍යවරු දන්නවා- දත් සුදුකෙරෙන නිෂ්පාදන ගැන. දත්වලට සහ විදුරුමසට හානියක් නොවී ඒවා පාවිච්චි කරන්නේ කොහොමද කියල ඔවුන් දන්නවා”

දන්ත වෛද්‍ය පෝල් වුඩ්හවුස් (Dr Paul Woodhouse) වැඩිදුරටත් මෙසේ දැනුවත් කිරීමක් සිදුකරයි.

”ඔබගේ විදුරුමස විනාශ කර ගත්තොත් ඔබට එය කවදාවත් නැවත ලබාගන්න බැහැ.ඒ සමඟ ඔබට ඔබේ දත්ටිකත් අහිමි වෙනවා. රසායන වැරදි ආකාරයට පාවිච්චි කළොත් ඒවා දත් විනිවිද ගිහින් දතේ මරණය උදා කරනවා”

දත්

දත් සුදුකර ගැනීම-කරුණු සහ උපදෙස්

  • දත් සුදුකර ගත්තත් එය ස්ථිරසාර නැත. එම සුද පවතින්නේ මාස කීපයක් හෝ අවුරුදු කීපයක් පමණි.
  • සාධාරණ වූ වෛද්‍යමය උපදෙස් ඇත්නම්, එය පිළිගත් දන්ත වෛද්‍යවරයකුගේ සායනයකදී සිදුකරගත හැකිය.
  • දන්ත සායන පිළිබඳව අතිරේක කුසලතා සහිත මහජන ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් කටයුතු කරන්නන්ට සහ චිකිත්සකයන්ට දන්ත වෛද්‍යවරයකුගේ උපදෙස් සහිත වට්ටෝරුවක් යටතේ දත් සුදුකරනු ලැබීම සිදුකළ හැකිය.
  • ඇතැම් රූපලාවන්‍ය ආයතනවලට දත් සුදුකිරීමට අවස්ථාව ලැබෙයි. එහෙත් දන්ත කටයුතු පිළිබඳ පුහුණුව සහිත වෘත්තිකයකු නොමැතිව එය සිදුකිරීමට අවසර නොලැබෙයි.

‘විච්'(Which) පාරිභෝගික අධීක්ෂණ ආයතනය මෙවැනි උපදේශයක් සපයයි.

” ඔබට ඔබගේ දත් ඔබ විසින්ම ඔපකර ගැනීමට අවශ්‍යනම්,භාණ්ඩ වෙළෙඳාම සම්බන්ධයෙන් කීර්තියක් සහිත සාප්පුවකින් අවශ්‍ය දේවල් මිලට ගන්න. හේතුව එම නිෂ්පාදනවල සුරක්‍ෂිතභාවය සම්බන්ධයෙන් නෛතික සහතික කිරීමක් අවශ්‍යකරන හෙයිනි. අන්තර්ජාල වෙළෙඳුන්ගෙන් මිලට ගැනීමට වඩා එමගින් ආරක්ෂාව සහතික කෙරෙයි”

‘විච්'(Which) ආයතනයේ පාරිභෝගික සුරක්ෂිතතාව පිළිබඳ අංශයේ ප්‍රධානී සූ ඩේවිස් (Sue Davies) මෙසේ සඳහන් කළාය.

”මහජනයා අනාරක්‍ෂිත අන්තර්ජාල වෙළෙඳ ප්‍රවාහයකට ගොදුරුවීමට ඉඩ හරිමින් ඔවුන්ගේ ආරක්‍ෂාවට අදාළ රෙගුලාසි ක්‍රියාත්මක වෙන්නේ නැතිබව පැහැදිලියි”

”ඔවුන්ගේ වෙබ් අඩවිවල විකුණන නිෂ්පාදනවල ගුණාත්මකභාවය සඳහා අන්තර්ජාලයේ වෙළෙඳපොළවල් පවත්වාගෙන යනු ලබන සමාගම්වලට ඉහළ මට්ටමේ නෛතික වගකීමක් පවරනු ලැබීම ඇත්තවශයෙන්ම ඉතාම වැදගත්. අන්තරායකාරී සහ නීතියට පටහැනි නිෂ්පාදන පරිභෝජනය කිරීමෙන් වැලකීමට අවශ්‍ය වඩාත් යහපත් රැකවරණයක් එමගින් පාරිභෝගිකයන්ට සැලසෙනවා” සූ ඩේවිස් (Sue Davies) වැඩිදුරටත් පෙන්වා දෙන්නීය.

දත්
දත් කිරිසුදු කර ගැනීමට ගොස් සංකූලතාවලට ගොදුරුවූවන් ප්‍රතිකාර සඳහා තම සායනයට පැමිණෙන බව දන්ත වෛද්‍ය ජස්පාල් පූර්බා පවසයි

(සෞඛ්‍ය තොරතුරු පිළිබඳ BBC අංශයේ කතෘ මිෂෙල් රොබට්ස්ගේ ලිපියක් ඇසුරිනි)

Recommended For You

About the Author: Thusal

Leave a Reply

Your email address will not be published. Required fields are marked *