රතු චීනය ගැන තිත්ත ඇත්ත 02- ‘මාවෝගේ ගෝලයා’

අද චීනය නම් සමාජවාදී රටෙහි ප්‍රකෝටිපතියන්  626 දෙනෙකු සිටී. ප්‍රකෝටිපතියන් සංඛ්‍යාව අතින්  චීනය දෙවෙනි වන්නේ ඇමරිකාවට පමණි. චීනවාදීන්ට අනුව ඇමරිකානුවන් පොහොසත් වන්නේ සුරා කෑමෙනි. එසේනම් චීනුන් අතලොස්සක් මෙතරම් ධනයක් එකතු කරගත්තේ කෙසේද?  සමාජවාදී රටක ප්‍රකෝටිපතියන් සිටින්නේ කෙසේද? චීනය සැබෑ සමාජවාදී රටක් නම් රාජ්‍යය මැදිහත්වී මේ 626 දෙනාගේ ධනයෙන් කොටසක් හෝ මිලියන 1400 වන ජනතාව අතර බෙදා දිය යුතුය.

ඔහු මට හමුවුයේ පොත් ප්‍රදර්ශනයකදීය. වයස හැත්තෑ පහක් පමණයැයි මම අනුමාණ කලෙමි. ඔහු මාවෝ සේතුං ගැන ලියැවුණු පොතක් අතගාමින් සිටියේය. මිත්‍රශීලී පෙනුමක් ඇති නිසා මට ඔහු සමඟ කථා කිරීමට සිතුණි.

“මමත්  හරියට අගය කරණ කෙනෙක් මාවෝ” මම ඔහුට පැවසීමි.

තිගැස්සී මා දෙස බලු ඔහු කලකිරුණු මුහුණක් ඇතිකොට ගෙන “ඒක නේන්නම් අද ඉන්න කොල්ලෝ මාවෝ සහෝදරයා ගැන දන්නේ නැහැනේ. අඩුම ගානේ මෙච්චර චීනය දියුණු වෙලත්, මේ දියුණුව ඇතිකරපු මාවෝ සහෝදරයා නමවත් මේ ගොල්ලෝ දන්නේ නැහැනේ”.

ඉන්පසුව මා සමඟ කථාබහට  වැටුණු ඔහු තමන් හැටේ දශකයේ ශන්මුගදාසන් සහෝදරයාගේ කොමියුනිස්ට් පක්ෂයේ චීන පිලෙහි සාමාජිකයෙකුව සිටි බවද, හැත්තෑ එකේ කැරැල්ලේ දී සැකපිට අත්අඩංගුවට පත්වූ බවද , විදුහල්පතිවරයෙකු  ලෙස විශ්‍රාම ලද බවද, පවසන ලදී.

මාවෝගේ දර්ශනය තුලින් අද චීනය ඇමෙරිකානු අධිරාජ්‍යවාදයට එරෙහිව බලවත් ලෙස නැගී සිටීම ගැන ඔහු මහත් උද්දාමයෙන් කථා කළේය.

සුන්දර සිතිවිලි 

මෙවන් අය රැසක් මට හමුවී ඇත. මෙයින් බොහෝ දෙනෙකු සුන්දර සමාජවාදීන්ය. ඇතැමුන් ඇමෙරිකානු විරෝධීන්ය. ඇතැමුන් දේශප්‍රේමීන්ය. ඇතැමුන් බටහිර විරෝධීන්ය. ඇතැමුන් දේශීය චින්තකයන්ය. මොවුන් සැමගේ සිතෙහි ඇඳී  සුන්දර රාජ්‍යය චීනයයි. ඔවුන් සිතන පරිදි චීනය රතු තොප්පි ඇඳ , රතු කොඩි අත දරා සිටින රතු හමුදාවක් විසින් ප්‍රතිගාමී බලවේග සුණුවිසුණු කර දමන සමාජවාදී, අධිරාජ්‍ය විරෝධී, බටහිරට විරුද්ධ, සමාජ සමානාත්මතාවය රජයන රටකි. මෙම සුන්දර දේශය විසින් අන් කිසිදු රටකට හානි ගෙන දෙන කිසිවක් සිදු නොකරණ බව නියතය. එම නිසා මෙම සාමකාමී, පරහිතකාමී රට සමඟ අත්වැල් බැඳගෙන අප රට දියුණුවට ගමන් කරනු නියතය. අප හට හැමවිට වින කරන ඉන්දියාවට හා බටහිර ධනවාදී රටවලට එරෙහිව අපහට නැගී සිටිය හැක්කේ  මේ මහා බලසම්පන්න චීනය සමඟ පමණි.

මෙම සිතිවිලි සැබෑද?  සමාජවාදී සමාජය මුලික මිනිස් සංකල්පයකි. එය ඇත්තන් සහ නැත්තන් අතර වෙනසක් නැති, සැමටම එක හා සමාණ අයිතීන් ඇති, සැවොම එක්ව වැඩකර, එකිනෙකා රැකබලා ගනු ලබන දේශයකි. මෙහි ප්‍රබේදයක් කාල් මාක්ස් මාක්ස්ගේ කොමියුනිස්ට් වාදය ලෙස විස්තර කරණ ලදුව, ලෙනින් විසින් එවන් සමාජයක් 1918 දී රුසියාවේ ස්ථාපිත කරණ ලදී. ඉන්පසුව රුසියාවේද උපකාර ඇතිව 1949 දී එවන් රටක්, මාවෝ සේතුං විසින් චීනයේද ස්ථාපිත කළේය. රුසියානු කොමියුනිස්ට් පක්ෂය සැදූ එම රට බිඳවැටුණු බව කුඩා ළමයෙකු පවා දනියි.

චීනයට වුයේ කුමක්ද? එහි තවම බලයේ සිටින්නේ කොමියුනිස්ට් පක්ෂයයි. කොඩිය කම්කරුවාගේ පැහැය වන රතු පැහැය වන අතර එහි දෑකැත්ත සහ මිටිය තැනින් තැනින් පෙනේ. ශ්‍රී ලංකාව ප්‍රබල වාමාංශික ඉතිහාසයක් ඇති රටකි. පැරණි වමේ පක්ෂ වලට අද කිසිදු බලයක් නොමැති වුවත් ඔවුන් විසින් ජන මනස තුල පැලපදියම් කරන ලද සුන්දර සමාජවාදී සිහිනය, අධිරාජ්‍ය  වීරෝධී, බටහිර විරෝධී ආකල්ප, අපගේ පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරයි.

චීනය ඇති ඇලීම අප තුල ඇතිවන්නේ, අප ජන මනසේ යටි සිතෙහි ඇති මෙම සංකල්ප නිසාය. යම් දිනක චීනය සමාජවාදී, අධිරාජ්‍ය විරෝධී, බටහිරට විරුද්ධ, සමාජ සමානාත්මතාවය රජයන රටක් නොවන බව වැටහුණු විට මෙම සිහිනය බිඳවැටෙනු ඇත. එම දිනය වැඩි ඈතක නොවේ.      

අද චීනය අද චීනයේ ජනගහනය මිලියන 1400 කි. එය ලංකාවේ ජනගහණය මෙන් හැටතුන් ගුණයකි. මුළු ලොවෙහි ජනගහනයෙන් පහෙන් පංගුවක් වාසය කරන්නේ චීනයේය. මේ අති විශාල චීනයේ මාවෝ සේතුං චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයෙන් මහජන චීන සමුහාණ්ඩුව පිහිටවුයේ 1949 වසරේය. ඔහුගේ සිත තුල තිබෙන්නට ඇත්තේ පරමාදර්ශී සමාජවාදී රටක් බිහිකිරීම වන්නට ඇත. අද සිදුව ඇත්තේ කුමක්ද? රතු තොප්පි පැළඳගත් රතු හමුදාවත්, රතු කොඩියත් හැරුණු කල අන් සියලු අයුරින් ධනවාදී රටක් එහි බිහිවීමයි. කම්හලේ, ගොවිබිමේ, සිප්හළේ වැඩකරන, දහදිය හෙලන අයගේ ශ්‍රමය සූරාකන අති ධනවත් පැලැන්තියක් බිහිවීමයි. 

එයට අමතරව මෙම සූරාකන්නන් අතරට චීන රජයද ඇතුළුවී ඇත. චීන රජය ඇත්ත වශයෙන්ම ධනවාදී රටවල ඇති බහු විධ (conglomerate) සමාගමක් මෙනි. එයට තනි අයිති කරුවෙක් නැත. ඇත්තේ සමාගමක අධ්‍යක්ෂක මණ්ඩලයක් වැනි, චීන කොමියුනිට් පක්ෂයේ උත්තරීතර සභාවයි. රජයට අයිති විවිධ ව්‍යාපාර තිබේ. රට තුලද, රටින් පිටද මෙම බහුවිධ සමාගම ආයෝජනයන් කරයි. එයින් ලැබෙන ප්‍රතිලාබ එකතු වන්නේ සමාගමේ, එනම් චීන රජයේ ගිනුමටයි. චීන රජය නම් සමාගම මෙම ධනය නැවත ආයෝජනය කරයි. මෙම ආයෝජනයෙන් කොටසක් සමාගම වෙනුවෙන් දුක් මහන්සි වෙන සේවකයන්ගේ එනම් චීන පුරවැසියන්ගේ සුබ සාධනය සඳහාද යෙදවේ. මෙම සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය විටින් විට වෙනස්වේ. අධ්‍යක්ෂක මණ්ඩලයේ ඇතැමුන්ද, කළමනාකාරීත්වයේ ඇතැමුන්ද සොරකමෙහි යෙදයි. සොරකම් කොට අසුවුවහොත් ඇතැම්විට දඬුවම්ද ලැබේ. 

සමාගමෙහි සේවකයන් වන පුරවැසියන්ගේ මනස සමාගමට පක්ෂපාති ලෙස සකසා ඇත. පක්ෂපාතී නොවන්නන් දේශද්‍රෝහීන් වේ. ඒ අතින් ධනවාදී රටවල බහුවිධ සමාගම් වලට නැති වාසියක් චීන රජයට ඇත. එනම් රාජ්‍යයත්, සමාගමත් එකක් වීමයි. සමාගමකට එරෙහි වන්නන් දේශද්‍රෝහීන් නොවිය හැකි මුත්, රටකට එරෙහි වන්නන් දේශද්‍රෝහීන්ය. චීන රජය නම් මෙම බහුවිධ සමාගමේ වත්කම් ගණනය කල නොහැක. ඒ එය සමාගමක් ලෙස හඳුනා ගෙන නොමැති හෙයිනි. ගණනය කල හැක්කකි චීනයේ අද බිහිවී ඇති තනි ධනවතුන්ගේ වත්කම් පමණි. 

වැඩිපුර කථා කිරීමට සැරසුණු අලිබබා අයිතිකරු ගේ කට චීන රජය මාස කිහිපයකට වසන ලදී. 

ඇත්තන් සහ නැත්තන් 

අද චීනය නම් සමාජවාදී රටෙහි ප්‍රකෝටිපතියන්  626 දෙනෙකු සිටී. ප්‍රකෝටිපතියන් සංඛ්‍යාව අතින්  චීනය දෙවෙනි වන්නේ ඇමරිකාවට පමණි. චීනවාදීන්ට අනුව ඇමරිකානුවන් පොහොසත් වන්නේ සුරා කෑමෙනි. එසේනම් චීනුන් අතලොස්සක් මෙතරම් ධනයක් එකතු කරගත්තේ කෙසේද?  සමාජවාදී රටක ප්‍රකෝටිපතියන් සිටින්නේ කෙසේද? චීනය සැබෑ සමාජවාදී රටක් නම් රාජ්‍යය මැදිහත්වී මේ 626 දෙනාගේ ධනයෙන් කොටසක් හෝ මිලියන 1400 වන ජනතාව අතර බෙදා දිය යුතුය. ඒ වෙනුවට චීන රජය කරන්නේ ධනය එකතු කරන්නන් ගොඩට පැන, ධනය එකතු කරමින්, ප්‍රකොටිපතියන්ට තවත් ධනය එකතු කිරීමට අනුබල දීමයි. ඒ චීන රජය නම් සමාගමෙහි මුලික අරමුණු වලට එරෙහි  නොවන තාක් කල් පමණි. වැඩිපුර කථා කිරීමට සැරසුණු අලිබබා අයිතිකරු ගේ කට චීන රජය මාස කිහිපයකට වසන ලදී. 

චීනය විසින් කරන නිෂ්පාදනයන් හා වෙළඳාම් නිසා චීනයේ ඒක පුද්ගල ආදායම ඉහළ ගොස් තිබුණත් ඇති නැති පරතරය අතිශයෙන් වැඩිවී ඇත. 1978 දී චීන ජනගහනයෙන් ඉහළම ආදායම ලබන 10% ක පිරිස ජාතික ආදායමෙන් 27% ක් භුක්ති විඳි අතර අද ඔවුන් 47% ක් භුක්ති විඳී. මෙයිනුත් ඉහළම ආදායම ලබන 1% ක පිරිස ජාතික ආදායමෙන් 14% ක් භුක්ති විඳියි. අනෙක් අතට චීනයේ අඩු ආදායම් ලබන 50% ජනතාව 1978 දී ජාතික ආදායමෙන් 27% ක් භුක්ති විඳි අතර අද එය 15% දක්වා අඩුවී ඇත. චීනයේ ඇති නැති පරතරය ඇමරිකාවට ඉතා ආසන්න වෙයි.

ලොවේ ඇති නැති පරතරය අඩුම රටවල් අද ඇත්තේ අප ධනවාදී යැයි සිතා සිටින මුත්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී , උතුරු යුරෝපීය රටවලය. කරුණු මෙසේ වුවත්, මට පොත් ප්‍රදර්ශනයේදී හමුවූ මාවෝගේ ගෝලයා වැනි සොඳුරු මිනිසුන් තවමත් සිතා සිටින්නේ, චීනය සමාජවාදී රටක් බවය.

වික්ටර් වීරසිංහ

Recommended For You

About the Author: Thusal