කොරෝනා ධනවාදය සහ වමේ උපායමාර්ග

“තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගන්න.” මේ ජේ.ආර්. ජයවර්ධනගේ කුප්‍රකට කියමනකි.

ජේ.ආර්ට සමකාලීන වූ බ්‍රිතාන්‍ය අගමැතිනී මාගරට් තැචර්ද ඒ කාලයේම මෙසේ පැවසීය; “සමාජය කියා දෙයක් නැත; ඇත්තේ පුද්ගලයන් පමණි.”

ඩේවිඩ් හාවී සිහිපත් කරන පරිදි තැචර් ඉක්මණින්ම තම ප්‍රකාශය සංශෝධනය කළාය. ඒ, තම ප්‍රකාශයේ අග කොටස “පුද්ගලයන් සහ ඔවුනගේ පවුල්” යනුවෙන් වෙනස් කරමිනි.

දැන් අප පිවිස සිටින්නේ ජේ.ආර්ගේ සහ තැචර්ගේ දැක්ම අතිශය කුරිරු ලෙස ක්‍රියාවට නැගෙන කාල පරිච්ජේදයකට නොවේද? එක් අතකින් පාලනාධිකාරය අපට පවසන්නේ කෙසේ හෝ තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගන්නා ලෙසයි. අනෙක් අතින්, තමන්ගේ සහ තම පවුලේ ආරක්ෂාව මුල් කොට සැලකිය යුතුය යන්න පොදු ජන අවබෝධයක් (common sense) බවටද පත්ව තිබේ.

මේ දිනවල වැක්සීනය ගසා ගැනීම අරභයා නිර්මාණය වෙමින් තිබෙන මහා සමාජ පොරය එයට එක් නිදසුනකි. එය අපට සිහිපත් කරන්නේ තෝමස් හොබ්ස් කතා කළ රාජ්‍යය බිහිවීමට පෙර පැවති තත්ත්වය යි. “සියල්ලන් සියල්ලන්ට එරෙහි යුද්ධයක්!”

නව-ලිබරල් දේශපාලන තර්කණය  තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගත යුතුය යන්නෙහි අරුත කුමක්ද? ඔබේ ආරක්ෂාව වෙනුවෙන් තවදුරටත් රාජ්‍යය පෙනී සිටින්නේ නැත යන්නයි. (ආරක්ෂාව යන්න පුළුල් අරුතින් ගත් කල ජීවනෝපාය, ආහාර, ඉඳුම් හිටුම්, අධ්‍යාපනය, සෞඛ්‍යය යනාදී සියල්ලයි). රාජ්‍යය පමණක් නොවේ. සමාජයද ඒ වෙනුවෙන් පෙනී සිටින්නේ නැත. තැචර්ගේ ප්‍රකාශයේ අරුත එයයි.

රාජ්‍යය සහ සමාජය නොමැති වුවත් පුද්ගලයන් පවතී. එසේම, වෙළඳපල පවතී. මේ නව ලිබරල් ලෝක දැක්මේ නග්න ප්‍රකාශමාන වීමකි. නව-ලිබරල්වාදය යනු හුදෙක් ආර්ථික මොඩලයක් පමණක් නොවේ. ෆූකෝ කදිමට පැහැදිලි කළ පරිදි එය දේශපාලන තර්කණයකි. අප ලෝකය දැකිය යුත්තේ කෙසේද යන්න උගන්වන ධර්මයකි; අප හැසිරිය යුත්තේ කෙසේදැයි නියාමනය කරන තාක්ෂණයකි.

නව-ලිබරල්වාදයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ ආර්ථිකමය නොවන දේ ආර්ථිකමය ලෙස අර්ථකථනය කිරීමයි. ආර්ථිකමය යන්න තව දුරටත් සමාජයේ සුවිශේෂී අංශයක් නොවේ. සමස්ත සමාජයමය. සෑම සමාජමය දෙයක්ම වෙළඳපළ මූලධර්ම අනුව ක්‍රියාත්මක වන්නට පටන් ගනී. ෆූකෝ ඔහුගේ ඇතැම් දේශනවලදී පුද්ගලිකත්වය සහ පවුල්මය සබඳතා ආර්ථික ගණුදෙණුවල ස්වරූපයෙන් අර්ථකථනය වන්නේ කෙසේදැයි පැහැදිලි කළේය. දැන් ජීවිතයේ සියල්ල ගණන් බැලීම්වලින්, කේවල් කිරීම්වලින් සහ හුවමාරු කිරීම්වලින් යුක්තය.

ඓතිහාසික ප්‍රාග්-අනුභූතීන්     නව-ලිබරල්වාදය මේ අරුතින් ඓතිහාසික ප්‍රාග්-අනුභූතීන් (historical a priories) සකසයි. ප්‍රාග්-අනුභූතියක් යනු අපගේ අනුභූතීන්ට පෙර පවත්නා “දැනුමකි.” එම්මානුවෙල් කාන්ට් පැහැදිලි කළ පරිදි, අප ලෝකය අත්දකින්නේ එම අත්දැකීම්වලට පෙරම අප තුළ පවත්නා ප්‍රාග් අනුභූතික රාමූන් තුළින් බැලීමෙනි.

නිදසුනක් ලෙස කාලය සහ අවකාශය ගත හැකිය. කාලය සහ අවකාශය යන රාමුවෙන් තොරව අපට ලෝකයේ කිසිවක් අත්දැකිය නොහැකිය. එනිසා අපට කවරක් වුව පෙනෙන්නේ, හැඟෙන්නේ කාලයෙන් සහ අවකාශයෙන් රාමුගත කළ දේ ලෙසය. 

කාන්ට්ගේ ගැටළුව වූයේ ඔහු ප්‍රාග්-අනුභූතීන් විශ්වීය වූ ඒවා ලෙස දැකීමයි. එනම්, ඒවා නොවෙනස් වන දේ ලෙස දැකීමයි. එබැවින් ඒවා පවතින්නේ ඉතිහාසයට පිටතිනි. (ඉතිහාසය යනු වෙනස්වීමයි). ඊට වෙනස්ව, මාක්ස්ට අනුව ඉතිහාසය ගොඩ නගන්නේ සහ වෙනස් කරන්නේ මිනිසාය. එසේම, මිනිසා යනු තමන්ම තැනූ ඉතිහාසයෙන් හැඩ ගැසුණු අයෙකි. වෙනත් වචනවලින් කිව හොත්, කිසියම් ඓතිහාසික තත්ත්වයක් තුළ වෙසෙන මිනිසෙකුට ලෝකය පෙනෙන්නේ එක්තරා ආකාරයකටය.

වෙනත් ඓතිහාසික තත්ත්වයක වෙසෙන මිනිසෙකුට ලෝකය පෙනෙනු ඇත්තේ වෙනස් ආකාරයකටය. මේ අරුතින්, අප ලෝකය දකින රාමූන් නොහොත් ප්‍රාග්-අනුභූතීන් ඓතිහාසිකව නිර්මාණය වූ දේය. එසේම, මාක්ස්වාදයට අනුව, මිනිසා මේ ඓතිහාසික රාමූන්ගේ යාන්ත්‍රික නිමැවුමක් වන්නේද නැත. මාක්ස්වාදය සේම හේගලියානු දර්ශනයද නියතිවාදයන් නොවේ. ඓතිහාසික තත්ත්වයන් වෙනස් කිරීමෙහිලා සක්‍රීය මිනිස් මැදිහත්වීමේ වැදගත්කම මාක්ස්වාදී දර්ශනය තුළ අන්තර්ගතය. අන්තෝනියෝ ග්‍රාම්ස්චි, අර්නෙස්ටෝ ලැක්ලාවූ සහ ශන්තාල් මූෆ් වැන්නන් වර්ධනය කළේ මාක්ස්වාදයේ මෙම මානව නිර්මාණශීලීත්වය පිළිබඳ පැතිමානයයි.

“මගේ ලෝකය” තුළින් “කොළපාට සමාජයට”  හොඳයි. මේ කතාව වත්මන් කොරෝනා අර්බුධය සමග සම්බන්ධ වන්නේ කෙසේද? ඒ, වත්මනෙහි නව ආකාරයකින් ප්‍රකාශ වෙමින් තිබෙන “තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගැනීම” යන්න නව-ලිබරල් ප්‍රාග්-අනුභූතියක් වන්නේය යන අරුතිනි. ලෝකය තනි පුද්ගලයන්ගෙන් (සහ ඔවුනගේ පවුල්වලින්) සැදුම් ලද්දක් ලෙස දැකීම නව-ලිබරල් තර්කණයේ හරයේම පවතින්නකි. 

මා මින් ඉහතදී පෙන්වා දී ඇති පරිදි, මෙම නව-ලිබරල් තර්කණය දක්ෂිණාංශික ජනතාවාදය සමග අතිනත ගෙන යයි. සී.ඒ. චන්ද්‍රප්‍රේමගේ “කොළපාට සමාජය” තුළ ප්‍රකාශයට පත් වන ලාංකීය පුද්ගල-කේන්ද්‍රීය වෙළඳපලවාදය නලින් ද සිල්වාගේ “මගේ ලෝකය” තුළ ප්‍රකාශයට පත් වන පුද්ගල-කේන්ද්‍රීය නව-ජාතිකවාදය සමග සමාන්තර වේ. මේ දෙකෙහි සහවාදය වත්මන් රාජපක්ෂ ව්‍යාපෘතියේ දේශපාලන දෘෂ්ටිවාදය සකසයි. එබැවින්, අද ජාතික චින්තනවාදීන් වෙළඳපලවාදී සංවර්ධන රාමුව පිළිගන්නවා නේදැයි ඔවුන්ව ප්‍රශ්න කිරීම නිෂ්පල කාර්යයකි. ජාතික චින්තනවාදය සහ නව-ලිබරල් වෙළඳපළවාදය අන්‍යෝනව බහීෂ්කාරක වේය යන පෙර සිතා ගැනීමම වැරදිය.

අනුග්‍රාහක ජනතාවාදය

කෙසේ වුවත්, වත්මන් කොරෝනා අර්බුධයට පාලනාධිකාරය විසින් ඉදිරිපත් කොට ඇති එකම විසඳුම් මාර්ගය වන්නේ “තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගැනීම” පමණක් නොවේ යැයි යමෙකු සාධාරණව පෙන්වා දිය හැකිය. එය සැබෑය. ඔවුන් තවත් බොහෝ දේ කරමින් සිටිනවා නොවේද? නමුත්, ඒ කරමින් සිටින බොහොමයක් දේ දේශපාලන අනුග්‍රාහක සබඳතාවලට අනුව හැඩ ගැසෙමින් පවතින බවද අපට ඒ අතරම පෙන්වා දිය හැකිය.

නිදසුනක් ලෙස, එන්නත්කරණ ව්‍යාපෘතිය ගන්න. දැන් සෑම ප්‍රදේශයකම එන්නත්කරණය නිරීක්ෂණය කිරීමට දේශපාලකයින් පැමිණීම ගැන පුවත් වාර්තා වන්නට පටන්ගෙන තිබේ. දේශපාලකයින් එන්නත්කරණය නිරීක්ෂණය කරන්නේ කුමකටද? මහජන සෞඛ්‍ය ගැන දැනුමක් සහ පුහුණුවක් ඇති අය මිසක් දේශපාලකයින් හට එතැන නිරීක්ෂණය කිරීමට කිසිවක් තිබේද? මෙහි රහස කුමක්දැයි අපි සැවොම දනිමු: අනුග්‍රාහක දේශපාලනය. එය පසුගිය දශක හතරක කාල පරිච්ජේදය තුළ අප සමාජයේ ඉහළ සිට පහළටම පැතිර ගොස් තිබේ. එය ආයතනගත කිරීම සඳහා ජේ.ආර්ද විශාල කාර්යභාරයක් ඉටු කොට තිබේ. 

අනුග්‍රාහක දේශපාලනයද නව-ලිබරල් දේශපාලන තර්කණය සමග සම්බන්ධය. මන්ද යත්, මෙහිදී සිදු වන්නේ නියෝජන ප්‍රජාතාන්ත්‍රික දේශපාලනය ගණුදෙනුවක් බවට පත් වීමය. “ඔබ මගේ දරුවාට උසස් පාසැලක් ලබා දෙන්නේ නම් මම ඔබට ජන්දය දෙමි..” යළිත් මෙහිදී පුද්ගලයා සහ පවුල මූලික වේ. අනුග්‍රහය ලබා දෙන්නේ පුද්ගලයාට සහ ඔහුගේ/ඇයගේ පවුලටය.

එසේම, වත්මනෙහි අනුග්‍රාහක දේශපාලකයින් ආදේශ වී සිටින්නේ කලින් සුභසාධක රාජ්‍යය පැවති ස්ථානයටය. ඉහත නිදසුන අනුව ගත්තද සුභසාධක ව්‍යුහයක් ලෙස අධ්‍යාපනය නිසි පරිදි ක්‍රියාත්මක වේ නම් දරුවා පාසැලට දමා ගැනීමට අනුග්‍රාහකයෙකු අවශ්‍ය වන්නේ නැත. වත්මනෙහි නව-ජාතිකවාදය ක්‍රියාත්මක වන්නේ ඉතාම සංකීර්ණ අනුග්‍රාහක දේශපාලන ජාලයක් ඔස්සේය.

ඉන්දියාවේ රාෂ්ට්‍රීය ස්වයං-සේවක් සංග් (RSS) වත්මන් භාරතීය ජනතා පක්ෂයේ කොඳු නාරටිය බව අමතක නොකළ යුතුය. ශ්‍රී ලංකාවේ රාජපක්ෂ ව්‍යාපෘතියේ කොඳු නාරටිය වන අනුග්‍රාහක සබඳතා ජාලය ගොඩ නගන ලද්දේ බැසිල් රාජපක්ෂගේ මූලිකත්වයෙනි.  යළිත් නව-ලිබරල් තර්කණය සහ නව-ජාතිකවාදී ජනතාවාදය එකට ගමන් කරයි. 

සමාප්ත කාලයක කොමියුනිස්ට් ඇරයුම   ශිෂෙක් තම “වසංගතය: කොවිඩ් 19 ලොව සසළ කරයි” (2020) කෘතියේදී පැවසූ පරිදි වත්මන් වසංගතය විසින් මෙතෙක් දෘෂ්ටිවාදී ආවරණ යට සැඟව සිටි ප්‍රතිවිරෝධතා මතුපිටට ඒමට පටන්ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ ඒ තත්ත්වය උදාවෙමින් තිබෙන්නේ දැන්ය. පන්ති විෂමතාව දැන් එළිපිටම අපට අභිමුඛ වීමට පටන්ගෙන තිබේ. පන්තිය යන්න යළිත් දේශපාලනයේ කේන්ද්‍රයට එමින් පවතී.

අනුග්‍රාහක දේශපාලනයේ නග්න ස්වභාවය අපට අභිමුඛ වෙමින් තිබෙන්නේ යම් යම් සමාජ කොටස්වලට වෙනස් කොට සැලකීමේ අමානුෂිකත්වය හෙළිදරව් කරමිනි. වසංගතය වැනි ප්‍රශ්නයක් විසඳීම සඳහා අධිකාරීවාදී පාලනයක් අවශ්‍ය වේය යන අදහස දැනටමත් බොරු වී අවසන්ය. රාජ්‍යය සහ වෙළඳපල විසින් අත හැර දමනු ලැබූ ජන කොටස් වසංගතයේත් ආර්ථික අර්බුධයේත් ගොදුරු බවට පත්වීමට හැර තිබේ.

සෞඛ්‍යයට වඩා ආර්ථිකය ප්‍රමුඛ කොට සැලකීමේ අදහස ක්‍රියාත්මක වන්නේ පන්තිමය තර්කණයක් අනුවය. වාණිජ සහ ආණ්ඩු මාධ්‍ය ක්‍රියාත්මක වන්නේ ජෝජ් ඕවල්ගේ “1984” නවකතාවේ “සත්‍යය පිළිබඳ දෙපාර්තමේන්තුව” සිහියට නංවමිනි.

අප දැන් ගමන් කරමින් සිටින්නේ ශිෂෙක් කතා කළ ආකාරයේ “සමාප්ත කාලයක්” වෙතය.  මේ මාවතින් ඉවතට යන මගක් විවෘත කරගත හැක්කේ වාමාංශයටය. මන්ද යත්, මේ විනාශකාරී මාවතේ පදනම වන නව-ලිබරල් දේශපාලන තර්කණය බිඳ හෙළිය හැක්කේ වමටය. සමාජය පුරා පැතිර පවතින නව-ලිබරල් ඓතිහාසික ප්‍රාග්-අනුභූතීන්ගේ රාමුවෙන් පිටතට ගමන් කළ හැක්කේ වාම දැක්මකට පමණි. ඒ සරලව පුද්ගලයා වෙනුවට සාමූහිකත්වය පිළිබඳ පරිකල්පනය වටා සමාජය සංවිධානය කිරීම මගිනි.

මේ ලොක්ඩවුන් සමය තුළ සමාජය පුරා පැතිර යන සාමූහිකත්වය පිළිබඳ ඇරයුම වනාහී කොමියුනිස්ට් ඇරයුමකි. එම කොමියුනිස්ට් ඇරයුම ප්‍රායෝගික යථාර්තයක් කිරීම සඳහා අවශ්‍ය වන්නේ වඩ වඩාත් සංවිධානය වන වමකි. ග්‍රාම්ස්චි කතා කළ ආකාරයෙන් පොදු ජන සමාජය සහ ව්‍යාපාරය අතර දයලෙක්තික සම්බන්ධයක් සහිත පුළුල් වමකි.

මේ යුගයේ සංවිධාන, පක්ෂ හෝ සාමූහික එකතූන් එතරම් වැදගත් නොවේය යන නව-ලිබරල් ප්‍රාග්-අනුභූතියට වමේ කොටස් ගොදුරු නොවිය යුතුය. මේ වසංගතයෙන් පසුව පැරණි ඊනියා සාමාන්‍ය තත්ත්වය කරා ආපසු යාමක්  නොමැත.නව තත්ත්වය කුමක්දැයි තීරණය කරන්නට දැන් පුළුල් අරුතින් වමට අවස්ථාවක් ලැබී තිබේ. ඒ සඳහා වන උපායමාර්ග ගැන අප දැන් අනලස්ව කල්පනා කළ යුතුව ඇත. උපායමාර්ග යනු එය කරන්නේ කෙසේද යන්නයි. 

මේ අරුතින්, මේ දිගු තීරණාත්මක නිමේෂයේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් වසංගතයට මුහුණ දීම සඳහා ඉදිරිපත් කොට තිබෙන යෝජනා මාලාව දැනට ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කොට තිබෙන විශිෂ්ටතම මැදිහත්වීම බව කිව යුතුව ඇත. එය වමේ ප්‍රතිජනනාත්මක දේශපාලනයක් පිළිබඳ සුබවාදී හැඟවුමකි. වම යනු දේවල් ගොඩ නගන්නෙකිය යන විශ්වාසය මහජනයාට ඒත්තු ගැන්විය හැකි ආකාරයේ යෝජනා මාලාවකි. රාජ්‍යය අසමත් වන තැන සමාජය ගොඩ නැගීමේ ප්‍රයත්නයකි. ප්‍රති-හෙජමොනික දේශපාලනය යනු එයයි.       

සුමිත් චාමින්ද

Recommended For You

About the Author: Thusal

Leave a Reply

Your email address will not be published. Required fields are marked *