සමාජය රැක ගනිමු !

“සමාජය රැක ගත යුතුය” මේ මිචෙල් ෆූකෝගේ සටන් පාඨයකි.

සමාජය රැක ගන්නේ කාගෙන්ද? ඔහුට අනුව, ආයතනවලිනි. නූතන ආයතන සිටින්නේ මුහුණු ආවරණ පැළඳගෙනය. ඒවා අපක්ෂපාතී බව අපට හඟවයි. සැමට සමානව සලකන බවක් හඟවයි. නමුත්, සැබවින්ම ඒවා සකස් වී ඇත්තේ යම් යම් බල අභිලාෂයන් අනුවය. ආයතන ක්‍රියාත්මක වන්නේ සැමට සමාන ආකාරයෙන් නොවේ. ආයතන අහිංසක නැත. ඒවා පිටුපස ඇත්තේ සැඟවුණු යුද්ධයකි.

ආයතන මගින් සම්මුතිගත කොට ඇත්තේ මිනිස් නිදහසයි. නිදහස යනු අප යමකින් ආරක්ෂා වී සිටීමේ නිදහස පමණක් නොවේ. යමක් කිරීමේ නිදහසද නිදහසකි. නූතන මිනිසාට මේ දෙවන නිදහස වඩ වඩාත් අහිමි වී ගොස් තිබේ. 

ෆූකෝ මේ දේවල් කීවේ 1970 දශකයේ අග භාගයේ ප්‍රංශයේ දීය. ඉන් දශක හතරකට පසුව ගෝලීය දකුණේ රටක සිට අප එය කියැවිය යුත්තේ කෙසේද? විශේෂයෙන්ම ගෝලීය වසංගතයක් තුළ?

අපේ පරිවාරයේ මේ මොහොත   මා සිතන්නේ එක් අතකින් අප නූතන ආයතන හරිහැටි ගොඩ නැගී නොතිබීමේ ගැටළුවකින්ද පීඩා විඳින බවයි. මේ දිනවල සෞඛ්‍ය සේවය ආශ්‍රිත ගැටළු දෙස බලමු. දැනටමත් මෙරට සෞඛ්‍ය සේවයේ ධාරිතාව ඉක්ම යමින් පවතින බව අපට අසන්නට ලැබේ. ආයතන එතරම්ම දුර්වලය. වසංගතයේ ප්‍රහාරය තවමත් ආරම්භ වූවා පමණය. 

ග්‍රාම්ස්චි පැවසූ ලෙස අපට දැන් සිංහයෙකු ලෙස එක් දිනක් ජීවත් වන්නේද, ඌරෙකු ලෙස වසර සියයක් ජීවත් වන්නේද යන්න තෝරා ගත නොහැකිය. ඇතැම් විට, ඌරන්ටත් වඩා අන්ත ලෙස අපට ජීවත් වන්නට සිදු වනු ඇත. නමුත්, ඒ කොතරම් කාලයකටද? එය කිසිවෙකුත් දන්නේ නැත. මා කතා කරන්නේ අපගේ සමාජ ජීවිතය ගැනයි. 

මීට අමතරව, දැන් ආයතන මිලිටරිකරණයට ලක් වෙමින්ද පවතී. දැන් හිංසනය ක්‍රියාත්මක වන්නේ මහ මග පිළිස්සෙන මළ සිරුරු ප්‍රදර්ශනය කිරීමෙන් නොවේ. ගිනි අවි වෙනුවට අප දෙසට එල්ල වන්නේ කැමරා ය. දැන් සමාජයේ බිය පහව ගොස් තිබේය යන්න විශාල බොරුවකි. බිය ගලා එන්නේ ඇතුළතිනි. මිනිසුන් හැසිරිය යුත්තේ කෙසේද, කතා කළ යුත්තේ කුමක්ද, ලිවිය යුත්තේ කුමක්ද (කවි පවා) යන්න සියුම්ව නිරීක්ෂණයට ලක් වෙමින් තිබේ. එම අප්‍රකාශිත නියාමන රාමුව තුළ වැඩ කිරීමට පමණක් නිදහස තිබේ. ඒ අනුව, ෆූකෝ කතා කළ ආයතන තුළ සැඟවුණු යුද්ධය දැන් එළිපිටම ක්‍රියාත්මක වේ.

අහිමි වී යන සමාජය

වසංගතය විසින් අපට අහිමි කොට තිබෙන එක් දෙයක් නම් සමාජය යි. සමාජ අවකාශය දැන් අන් කවර කලෙකවත් නොවූ විරූ පරිදි හැකිලී යමින් පවතී. මිනිස් මුණ ගැසීම්, කතා බහ, එක්ව කරන වැඩ, විනෝද වීම් යනාදී සියල්ල අහිමි වී යමින් තිබේ. නමුත්, රාජ්‍යය පවතී; වෙළඳපල පවතී; පවුල පවතී. රාජ්‍යය දැන් සියල්ල නියාමනය කරයි. වෙළඳපල අවකාශය මහා සමාගම්වල ආධිපත්‍යයට වඩ වඩාත් ලක්වෙමින් තිබේ. නිදසුනක් ලෙස, කුඩා තේ කඩ වැසී ගොස් තිබෙන අතර මහා වෙළඳ ජාලයන් ක්‍රියාත්මක වේ. 

වෙළඳපලට පිවිසීමට හැකියාවක් නොමැති දුගී ජනයා රාජ්‍යය විසින් රැක බලා ගන්නේද? ඔවුන් දේශපාලන අනුග්‍රාහක ජාලයන් හා සම්බන්ධ වී සිටින තාක් දුරට ඒ ගැන අපේක්ෂා රඳවාගත හැකිය. එසේ නොමැති නම්, ඔවුන් සිටින්නේ වසංගතයේ සහ සාගතයේ ගොදුරු බවට පත් වීමේ නිරන්තර අනතුරක් ඉදිරියේය. ඒ අතර හැකිලී යන සමාජයෙන් බැහැර වන මිනිසුන් පවුල් තුළ ගිලී යමින් පවතී.

වසංගතය සහ අධිකාරීත්වය 

අපට සමාජය අහිමි වී යමින් තිබෙන්නේ වසංගතයේ සොබාවික ප්‍රතිපලයක් ලෙසම නොවේ. වසංගතයට අප මුහුණ දෙන ප්‍රවේශයේද ප්‍රතිපලයක් ලෙසය. එම ප්‍රවේශය සකස්ව ඇත්තේ රාජ්‍යයේ ඉහළ සිට පහළට සියල්ල පාලනය කෙරෙන ආකාරයෙනි. එහිදී නොතකා හරිනු ලබන්නේ පොදු ජන සමාජයේ සහභාගීත්වයයි. දැන් වුවත් වසංගතය පාලනය කිරීම සඳහා ස්වේච්ජා සහභාගීත්වයක් ඉල්ලා සිටියහොත් ඒ සඳහා ඉදිරිපත් වන විශාල සක්‍රීය ජන සමූහයක් මෙරට සිටී. නමුත්, වත්මන් ප්‍රවේශය තුළ එවන් සිතීමකට ඉඩක් නොමැත. 

මෙසේ ඉහළ සිට පහළට ක්‍රියාත්මක වන අධිකාරීමය ප්‍රවේශයන් සෑම තැනකම සාර්ථක වී නොමැත. එම ප්‍රවේශයේදී අද්දරට තල්ලු කෙරෙන නැතිනම් සහමුළින්ම නොතකා හැරෙන සමාජ පන්තීන් අද ඇතැම් තැන්වල මහමගට බසින්නට පටන්ගෙන තිබේ. බ්‍රසීලයේ සිදුවෙමින් පවතින්නේ එයයි. ට්‍රම්ප්ගෙන් පසුව මෝඩි, බොල්සනාරෝ වැනි පුංචි ට්‍රම්ප්ලාගේද බහින කලාව ආරම්භ වී තිබේ. 

විකල්ප ප්‍රවේශයක්

දැන් ගැටළුව නම් සමාජය රැකගත හැක්කේ කා හටද යන්නයි. මගේ අදහස නම් වමට එය කළ හැකි බවයි. ඒ දැනට ක්‍රියාත්මක වන ඉහළ සිට පහළට සංවිධානය වූ අධිකාරීමය වසංගත මර්ධන ව්‍යාපාරයට වෙනස්ව ගම්, නගර හා අසල්වැසි සමූහයන්ගේ මට්ටමින් පහළ සිට ක්‍රියාත්මක වන ජන සහභාගී වැඩ පිළිවෙලක් වමේ නායකත්වයෙන් ආරම්භ කිරීමෙනි. 

දැනට මෙවන් ක්‍රියාරම්භකත්වයක් ගැන සුබවාදී සලකුණු දෙකක් නිරීක්ෂණය කළ හැකිය. එනම්, වසංගත මර්ධනය සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ඉදිරිපත් කොට තිබෙන යෝජනාවලිය සහ අධ්‍යාපනය නැවත සක්‍රීය කිරීම සඳහා අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඉදිරිපත් කොට තිබෙන යෝජනාවලිය යි. 

අන්තරේ යෝජනාවලිය පිළිබඳ සාකච්ජාවකදී සංජීව බණ්ඩාර ඉතා වැදගත් කාරණයක් අවධාරණය කළේය. එනම්, වසංගත සමයේ පාසැල් අධ්‍යාපනයේ අරමුණ විය යුත්තේ විෂය මාලාව ආවරණය කිරීම හෝ විභාග පැවැත්වීම නොව සියළුම සිසුන් අධ්‍යාපන ක්‍රියාවලියෙන් ගිලිහී යාමට නොදීම බවයි. අධ්‍යාපන උපාය මාර්ග සැකසිය යුත්තේ එම අරමුණ සඳහාය. එම අරමුණ තෝරා ගැනීමම නව උපාය මාර්ගික සිතීමක් යැයි කිව හැකිය.  

අන්තරේ යෝජනාවලියේ තිබෙන තවත් වැදගත් යෝජනාවක් නම් ගම් මට්ටමින් පන්සල්, පල්ලි, ප්‍රජා ශාලාවන් වැනි තැන්වල පාසැල් දරුවන්ට අධ්‍යාපනික පරිසරයක් නිර්මාණය කිරීමය (ඔවුන් දැනට ඉගෙන ගනිමින් සිටින පාසැල කුමක් වුවත්). ඒ සඳහා උපාධිධාරීන් වැනි අයගේ ස්වේච්ජා දායකත්වයක්ද එහිදී යෝජනා කෙරේ. මෙය මා ඉහත සාකච්ජා කළ සමාජය රැක ගැනීමේ සහ සමාජ අවකාශය යළි ගොඩ නැගීමේ පැත්තෙන්ද ඉතාම වැදගත් දායකත්වයක් වනු ඇතැයි සිතමි.

ඉදිරියෙන් වමට!  

සමාජය යළි ගොඩ නගන වමකට අද විශාල අවකාශයක් නිර්මාණය වී තිබේ. වසංගතයෙන් පසු ලෝකය තුළ වමේ තැන තීරණය වනු ඇත්තේ වසංගත සමය තුළ වම කරන දේ අනුවය. මගේ හැඟීම වන්නේ වත්මන් ව්‍යසනය තවත් බොහෝ දුර යනු ඇති බවයි. එයින් පසුව පවතිනු ඇත්තේ බොහෝ විට නව දේශපාලන පර්යායකි. එම නව පර්යාය කුමක්දැයි තීරණය කරන්නට දැනට ඉතාම කුඩාවට දිස් වන සංවිධානාත්මක වමේ පක්ෂ හා කණ්ඩායම්වලටද පිළිවන (ඔවුන් සංවිධානාත්මක වන තාක් කල්). 

මාරුතය වඩා වේගවත්ව හමන විට එතෙක් ශක්තිමත් යැයි පෙනුණු මහා වෘක්ෂයන් දුර්වල පිදුරු ගස් සේ ගසාගෙන යනු ඇත. අප පිවිසෙමින් සිටින අනාගත නිමේෂය එබඳුය.      

සුමිත් චාමින්ද

Recommended For You

About the Author: Thusal

Leave a Reply

Your email address will not be published. Required fields are marked *