වෙදකම ද ඉක්මවා ගොස් ‘ජීවන දර්ශනයක් වූ ආයුර්වේදය’

නියෝජ්‍ය ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය නිලධාරී – ආර්. ඩී. එම්. ගමගේ

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය රෝගීන්ගේ රෝග සුවපත් කිරීම පමණක් නොව ධාර්මිකවුත්, සදාචාර සම්පන්න වූත්, ජීවිතයක් ගත කිරීමට  උගන්වන ආචාරධර්ම හා උපදෙස් වලින් යුක්ත වු ජීවිත දර්ශනයක් ලෙස හැඳින්විය හැකිය. 

මෙම ජිවන දර්ශනයක් වු ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හුදෙක් මිනිස්සුන්ගේ රෝග නිවාරණයට මෙන්ම රෝග වැලක්වීමට පමනක් සීමා වූවක් නොවේ. එය සතුන්ගේ මෙන්ම වෘක්ෂලතාවන්ගේද රෝග වලක්වාලීමට සහ රෝගවලට ප්‍රතිකාර කරලීමටද මහෝපකාරී වූ දර්ශනයක් බව කිව යුතුය. පෘතුවියේ ජීවීන්ගේ පැවැත්ම සඳහා මනුෂ්‍ය ප්‍රජාව, සත්ව ප්‍රජාව හා ශාක ප්‍රජාව යන කොටස් තුනම සමබරව පැවතීම අවශ්‍යයයි සිතූ පුරාණ වෙදවරු ඒ අනුව ආයුර්වේද ශාස්ත්‍රය කොටස් තුනකට බෙදා වෙන් කරනු ලැබීය. ඒ නිසාම,\

  1. සත්වයන් හා බැඳුණු සත්වායුර්වේදය (අශ්වායුර්වේදය, ගජායුර්වේදය, ගවායුර්වේදය)
  2. වෘක්ෂලතා හා බැඳුණු වෘක්ෂායුර්වේදය
  3. මානවයා හා සම්බන්ධ මනවායුර්වේදයත 

වෘක්ෂායුර්වේදය. 

වෘක්ෂායුර්වේදය පිළිබඳව සළකා බලනකොට මනුෂ්‍යයන් හා සත්වයන් පමණක්ම ලෙඩ රෝග වලින් මුදා ගැනීම, ඔවුන්ගේ රෝ දුක් නසාලීම යන මේවාට පමණක් සීමා නොවී ආයුර්වේද වෛද්‍ය විද්‍යාව වෘක්ෂලතාවන්ටද පොදු වුවක්වේ. 

ආයුර්වේද විද්‍යාවේ ඉගැන්වෙන අන්දමටම මානව දේහය සත්ව ශරීරය පමණක්ම නොව වෘක්ෂලතා ද පංච භෞතික වේ. ඒසේම මිනිස්සුන්ට සතුන්ට මෙන්ම වෘක්ෂලතා වලට ද ජීවයක් හාපුනර්ජන්මයක්ද ඇතැයි භාරතීය දර්ශනවාදීහු ප්‍රකාශ කර ඇත. 

ආයුර්වේද වෛද්‍යවරුන් විසින් භාවිතා කරන ඖෂධ වර්ග වලින් සියයට අනූ නවයක්ම ශාක ඖෂධ වන නිසා ගස් වැල් යැවීමත්, වනාන්තර ආරක්ෂා කර ගැනීමත්, ආයුර්වේදයේ ඉතා වැදගත් ක්‍රියාමාර්ගයක් සේ සැලකේ. භූමි නිර්මාණය කිරීම, නිරූපණය, වෘක්ෂලතාවන්ගේ උප්පත්ති ක්‍රම, වෘක්ෂලතා ප්‍රභේද , තුරුලිය හදා වඩා ගැනිම සදහා තවන් කිරිම සදහා හෝ සිටුවීම පිණිස හෝ බීජ සකස් කර ගන්නා ආකාරය, බීජ තවාන් කිරිම හෝ පැල තවාන් කිරිමට සුදුසු සෘතු, මාස සහ දිනයන් හා නැකත් ආදිය පිළිබඳවත්, ගස්වැල් රෝපණයට යෝග්‍ය හා අයෝග්‍ය ස්ථාන පිළිබඳ, ගස් සිටුවීමේ දී ඒවා අතර පැවැතිය යුතු පරතරය පිලිබද, පැල සිටුවීම නොකළ යුතු අවස්ථා පිළිබඳව, සිටවූ ඇට වලට හා පැල වලට ජලය යෙදීම පිළිබඳව, සිටවූ ඇට හා පැළ වල පෝෂණ තත්ත්වය පිලිබද කරුණු අඩංගුවේ. 

ශාක බෝකර ගැනීමේ ක්‍රම එසේම ශාක වලට වැළඳෙන රෝග. ශාක ගොදුරු වන හදිසි අන්තරාදායක රෝග පිළිබඳවත් ඒවාට කලයුතු විවිධ වූ ප්‍රතිකර්ම පිළිබඳ විස්තර දක්වා ඇත. ප්‍රතිකර්ම පිළිබඳව සලකා බැලීමේදී වාත, පිත, කඵ, දෝෂය හා ත්‍රිදෝෂ සම්බන්ධ විවිධ ලක්ෂණත්, ඒවායේ නිරූපණය වන රෝග පිළිබඳවත්, වෘක්ෂායුර්වේදයේ සදහන්වේ. මෙම වෘක්ෂායුවේදයේ විශේෂයෙන් ම විචිත්‍රකරණය ලෙස කොටසක් විස්තරවේ.

වෘක්ෂලතා විචිත්‍රකරණය ලෙස අදහස් කරනු ලබන්නේ කිසියම් ඖෂධ වර්ග උපයෝගී කොට ගෙන සුවඳ නැති මල් පිපෙන ගසකක සුවඳ මල් ඇති කරවීම, ඇට ඇති ගෙඩි සෑදෙන පලතුරු ගසක ඇට නැති පළ හටගැන්වීම යන මේ ආදී වශයෙන් විශ්මිත ජනක ලෙස ගස් වැල් වල මල් ඵල හට ගැන්වීමේ ක්‍රමවේදයන් වේ.

වෘක්ෂායුර්වෙදයේ ආරම්භය පිළිබඳව ස්ථිර ප්‍රකාශයක් කළ නොහැකි නමුත් ප්‍රාග් ඓතිහාසික යුගයේදී පවා ආර්ය ජන සමාජයේද වෘක්ෂායුර්වේද ආයුර්වේද විද්‍යඥයින් වාසය කළ බව ඉතිහාසයපරිශීලනය කරනු ලබන්නන්ට දැනගත හැකිය. එසේම මේ සම්බන්ධ පොතපත පිළිබඳව සලකා බැලීමේදී ලංකාදීපයේ ජනතාවගේ බෞද්ධාගම, ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හා සම්බන්ධ ග්‍රන්ඨ නොයෙක් වර විවිධ ආක්‍රමණයන්ට මුහුණ දීම නිසා විනාශ වීම බොහෝ දුරට සිදුවී ඇතැයි විශ්වාස කළ හැකිය. 

මෙසේ ග්‍රන්ථ බොහොමයක් විවිධ වකවානුවලදී විනාශ වීම වර්තමානයේ බොහෝ අඩුපාඩුවක් ලෙස දැක්විය හැකිය. මෙම ග්‍රන්ථ ගත කරුණු රාශියක් සමග සමාජයට ලබා ගත හැකි දැනුම්සම්භාරය ද වියැකී ගොස් ඇති බව ආයුර්වේද ශාස්ත්‍රය පරිශීලනය කරන්නන්ට හොඳින් පැහැදිලිවේ.

මෑතකාලයේ, මනුෂ්‍ය ප්‍රජාවත්, සත්ව ප්‍රජාවත්, ශාක ප්‍රජාවත් ජීවත්වීම සඳහා ස්වභාවිකව නිර්මාණය වූ පරිසරය බුද්ධිමත් වූ චින්තන ශක්තිය ඇත්තා වූ මිනිසා විසින්ම විනාශ කිරීම ඛේදජනකය. ජීවත්වීම සඳහා අවශ්‍යය සම්පත් වලින් විශාල ප්‍රමාණයක් ස්වභාවධර්මයා විසින් නිර්මාණය කර දී තිබේ.

මෙම  සුවිශේෂ වූ සම්පත් නැතිව කිසිම ජීවියකුට මිහිතලය මත ජීවත් විය නොහැකිය. ගස් වැල්   නිර්මාණය වී ඇත්තේ පරිසරයේ සමබරතාව රැකීම සඳහාය.එසේ නොමැති වුවහොත් ඔක්සිජන් වායුව වාතයට නොලැබීමෙන් සත්ව ප්‍රජාව විනාශය කරා යෑම වැළැක්විය නොහැකිය. එමෙන්ම ආහාර නොමැතිවීම හේතුවෙන් සතුන් ද විනාශ වී යන අතර, අනෙක් අතට සතුන්, කෘමීන් වැනි ජීවින් නොමැති වූයේ නම් පරාග පෝෂණය නොවීමෙන් ගස්වැල් ද වඳ වී යාමට හැකිය. 

ස්වභාව ධර්මය විසින්ම ආරක්ෂා කරන පරිසරය මිනිසා විසින් විනාශ කර ඇත. මෙලෙස අසීමිතව වාතය ජලය අපිරිසිදු කළහොත්, අසීමිත ලෙස සත්ව ප්‍රජාවේ වාසස්ථානය විනාශ කළහොත්, අසීමිත ලෙස පරිසරය විනාශ වී යාමෙන් මනුෂ්‍ය ප්‍රජාවද අනිවාර්යෙන්ම නුදුරු අනාගතයේ දී විනාශ වී යනු ඇත. ඒ නිසා මනුෂ්‍යන් වන අප සත්ව හා ශාක ප්‍රජාව ආරක්ෂා කිරීමට ක්‍රියාමර්ග යුහුසුලුව ගත යුතු වේ. 

ආයුර්වේදය හඳුන්වා දෙන වෘක්ෂායුර්වේදය යළි ඉදිරියට ගෙන එමින් විශේෂයෙන් ශාක ප්‍රජාව ආරක්ෂා කරගැනීමට අවදි විය යුතු යුගයකට අප ප්‍රවිෂ්ට වී ඇත. ශාක ප්‍රජාව ආරක්ෂා කළ යුතු වන්නේ ඖෂධ පැළෑටි ලබා ගැනීම හා ආහාර ලබා ගැනීම සඳහා පමණක්ම නොවේ. රුක් රෝපණය මඟින් පස ආරක්ෂා කර ගැනීමෙන් විවිධ ප්‍රතිලාභ අපට ලබාගත හැකිය. 

කොළඹ වැනි අධික ජනතාවක් වෙසෙන පරිසර පද්ධතියක ඉදිරියේදී අභියෝගයක් විය හැකි ඔක්සිජන් ඌනතාවය සඳහා සාර්ථක පිළියමක් වශයෙන් කොළඹ නගර සීමාවේ ඉඩ ඇති ස්ථානයන්හි පැලයක්, ශාකයක් රෝපනය කිරීම් සදහා ගත හැකි ස්ථාන හඳුනාගෙන රුක් රෝපණය කිරීම අනාගත පරපුර සඳහා ඉටුකර දෙන මහඟු පුණ්‍යකර්මයක් ම වන්නේ ය. 

සමස්තයක් ලෙස ඉතා සරලව විග්‍රහ කළහොත් රුක් රෝපණය කිරීමෙන් පහත සඳහන් ප්‍රතිඵල අප වෙත ලැබෙන බව පෙන්වා දිය හැකිය.

  • පරිසරයේ සමබරතාවය රැකගැනීම හා පිරිසිදු වාතය ලබාගැනීම.
  • පරිසර උෂ්ණත්වය සමබර කර ගැනීම
  • ජල සම්පත ලබා ගැනීම ආහාර පාන වර්ග සකසා ගැනීමට
  • පස ආරක්ෂා කර ගැනීමට
  • වර්ෂාපතනය නිසි කලට ලබාගැනීමට
  • සත්ව සම්පත ආරක්ෂා කර ගැනීමට
  • ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීම
  • දැව සම්පත් ලබා ගැනීම
  • පරිසරයේ සුන්දරත්වය හා සුවඳවත් බව රැක ගැනීමෙන්මනුෂ්‍යයාට ඉතාමත් සුඛිත වූ පරිසර පද්ධතියක ජීවත්වීමට මඟසලසා දීම. 

වෘක්ෂායුර්වේදය හා ලියවුණු ග්‍රන්ථ රාශියක් තිබූ බව කීවත් ඒවා අතුරින් “ශ්‍රී ශිවතත්ව රත්නාකරය”, “වෘහත් සංහිතාව” හා “ශාර්ංගධර පද්ධතිය” යන මේවා ඉතා වැදගත් කෘතීන් හැටියට සලකනු ලැබේ. චරක සංහිතාව ආදී මුලික ආයුර්වේද සංහිතා ග්‍රන්ථයන් හි ද තැනින් තැන වෘක්ෂායුර්වේදය විෂයෙහි ලා ගැනෙන නොයෙක් කරුණු ඇතුළත්ව ඇති බව කිවහැකිය.

එයට නිදසුනක් ලෙස චරක සං හිතාවේ කල්ප ස්ථානයේ පස් වැනි අධ්‍යායයෙහි සඳහන් වන වෘක්ෂලතාවන්ගේ ස්ත්‍රි පුරුෂ භේදය විස්තර වන මෙහි පහත දැක්වෙන ශ්ලෝකය ඉදිරිපත් කළ හැකිය. 

අථ වත්සකනාමානී හෙදං ස්ත්‍රි පුංසයෝස්තථාකල්පං චාස්‍ය පුවක්ෂ්‍යාමී විස්තරේණ යථායථම්වත්සකඃ කුටජඃ ත්‍රාකා වෘක්ෂතෝ ගිරිමල්ලිකාබීජනීන්ද්‍රීය මාස්තස්‍ය තථෝව්‍යන්තේ කලිංගකාඃවෘගත්ඵලඃ ශ්වේත පුෂ්එං ස්නිග්ධ පත්‍රඃ පුමන්භවේත්ග්‍යාමාචාරුණ පුෂ්පාස්ත්‍රි ඵල්වෘන්තෛස්තථාණුහිඃ 

නියෝජ්‍ය ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය නිලධාරී – ආර්. ඩී. එම්. ගමගේ

Recommended For You

About the Author: Thusal

Leave a Reply

Your email address will not be published. Required fields are marked *