කෘෂි නවෝදයට මං කියන ‘කාබනික පොහොර විප්ලවය‘

මේ රට අලුත් ගමනකට සුදානම් වෙමින් පවතී. ඒ ගොවියාත් රටත් දිනවන කාබනික වගා සංග්‍රාමයයි. එම වැඩසටහන ගැන විවිධ අදහස් ද මතු වෙමින් පවතී. ඕනෑම ගමනක් සුබ වන්නේ ඇත්ත ඇති සැටියෙන් දකින තරමට ය. කාබනික වගාව අපට අලුත් අත්දැකීමක් නොවේ. එය පාරම්පරික ඥානය යාවත්කාලීන කරමින් ක්‍රියාත්මක කළයුතු අදට ගැළපෙන හොඳම විසැඳුමකි . මේ කාබනික පොහොර විප්ලවය සම්බන්ධයෙන් දේශීය බීජ රැක ගැනීමේ සංවිධානයේ සභාපති ඇලෙක්ස් තන්ත්‍රිආරච්චි මහතා සමඟ කළ කතාබහක් ඇසුරින් සකසන ලද ලිපියකි.

දේශීය ආර්ථිකයේ හදවත නමින් හඳුන්වන කෘෂිකර්මාන්තය නඟා සිටුවිම සදහා එදා මෙදා තුර ගන්නා ලද විවිධ ක්‍රමෝපායන් අතර අද ලංකාවේ ගොවිතැන විෂයෙහි ගත් අති සුවිශේෂි තීරණය කාබනික කෘෂිකර්මාන්තයක් සදහා රට පෙළගැස්වීමයි. මෙම තීරණය රසායනික කෘෂිකර්මාන්තයෙන් ඔද්දල් වුණු පාරිසරික විනාශයත්, රටේ පුරවැසියන්ගේ සෞඛ්‍යයටත් එල්ල කරන ලද මරු පහරට ප්‍රමාද වී හෝ ගත් එඩිතරම තීන්දුව ලෙස අපි දකිමු.

1974 පමණ වන විට හරිත විප්ලවය නමින් ගොවි ජනතාව මුලා කරමින් පැමිණි රසායනික විප්ලවය රටට කාන්දු වන විට ප්‍රගතිශීලි ගොවි පරපුර එයට විරුද්ධව මතවාදාත්මක පෙළගැස්මකින් පෙරට ආවත් ඒ සඳහා නිසි රාජ්‍ය අනුග්‍රහය නොලැබිණි. මේ නිසා රසායනික කෘෂිකර්මාන්තයට එරෙහිව නැඟී සිටි පිරිස් මහ පොළොව සුවපත් කරමු යන මැයෙන් අලුත් සටන් පාඨයක් ඔස්සේ පෙරට එන විට එය ක්‍රම ක්‍රමයෙන් පසු කාලීනව සමාජගත වු අතර එදා සිට මේ දක්වා විවිධ සංවාදයන් ට ලක් වෙමින් ඉදිරියට ආවේය. එහි උච්චතම අවස්ථාව වත්මන් රජය දේශීය කෘෂිකර්මාන්තය කාබනික වගාවට මාරු කරවීමට ගත් දැවැන්ත තීරණයයි.

මේ වන විටත් කාබනික වගාවට රජය අවතීර්ණ වෙමින් සිටිය ද ඒ පිළිබදව සැක සංකා එමටය. කාලයක් තිස්සේ රසායානික යෙදවුම්වලින් ගොවිතැන ගොඩදා ගත් අපේ ගොවීන් දැන් එම ක්‍රමයට හුරුව තිබීම නිසා විවිධ අදහස් ඉදිරිපත් කරමින් කාබනික වගාව ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් නැත්තේ ද නොවේ. මේ තාක් අප විසින් සිදු කරන ලද්දේ අපට හෝ රටට වුවමනා කරන ගොවිතැනක් නොවේ. එය රසායනික නිෂ්පාදන සිදු කරමින් කෘෂිකාර්මික රටවල් තවත් එක් වහල් දේශයක් කිරීමට බහු ජාතික සමාගම් අටවන ලද උගුලකි.එහි පැටලි සිටි අපි අදටත් එහි යටත්කරණයට හසුව මුලා වී ඇත. දේශීය කෘෂිකර්මාන්තය ලෙස කාලයක් තිස්සේ කාබනික වගාවත් සමඟ හැඩ ගැසුණු සංස්කෘතික හර පද්ධතින් පවා උඩු යටිකුරු කළ මෙම රසායනික විප්ලවයේ යටත්විජිතවාදයෙන් අදටත් අප ට ලෙහෙසියෙන් ගැලවීමට හැකි නොවේ.අපේ පාරම්පරික බීජ සහ දැනුම සොරා ගත් මේ රසායනික විප්ලවය විසින් ගොවියා අතට පත් කළ හයිබ්‍රිඩ් බීජ සංස්කෘතියත් රසායනික පොහොර පැකේජයත් සමග සත්‍ය වශයෙන් අප පරාදින ජාතියක් බවට පත් කළ බව අමතක නොකළ යුතුය. 1948 නිදහස ලබා ගත්ත ද දේශීය ගොවිතැනේ හදවත බඳු බීජ සම්පත සහ ඥානය උදුරා ගෙන අප මත පටවන ලද අපේ නොවන කෘෂි කර්මාන්තය එදා මෙදා තුර සිදු කළ විනාශය මෙතෙකැයි කිව නොහැකිය. කෙසේ වෙතත් ඊට එරෙහිව නොබියව නොපසුබටව වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් මේ පෙරළිකාර තින්දුව වඩාත් එඩිතර තිරණයක් බව අපි සඳහන් කරමු.

හැත්තෑ හතට පසු

ශ්‍රී ලංකාවේ ගොවිතැන තුළ ද යම් දේශපාලනයක් කාලාන්තරයක් තිස්සේ පැළපදියම් වී තිබිණි. 1977 විවෘත ආර්ථිකයත් සමග අපේ ආහාර පරිභෝජන රටාව පවා උඩු යටිකුරු කරන ලදී. ඇල් හාලේ බත වෙනුවට තිරිඟු පිටි ආහාර ගිලින සමාජයක් නිර්මාණය විය. එතැනින් නොනැවති ගොවියාට ගොවිතැන එපා කරවන කෘෂිකර්මාන්තයක් සදහා භාවිත කරන සියලු යෙදවුම්වල අහස උසට පැවති මිල ගණන් නිසා ගොවියාට ගොවිතැන යා නොදෙන තැනට පත්ව තිබිණි. මෙහි අවසන් ප්‍රතිඵලය වුණේ ගොවිතැනින් රට ගොඩ ගැනීමට සිටි ගොවියා ණය උගුලෙන් ගොඩ ඒමට නොහැකිව වහ බොන තත්ත්වයට පත් කිරිමය. ගොවිතැනින් රට ගොඩ ගත් පොළොන්නරුවෙන් එදා එවැනි පුවත් කරළියට ආව ද රසායනික යෙදවුම් උගුලෙන් මිදෙන මානසිකත්වයක් ගොවියා තුළ ද පාලක පැලැන්තිය තුළ ද නොවිණි. මේ තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් උත්සන්න වෙමින් විශේෂයෙන් වී ගොවිතැනින් ගොවියා ක්‍රමයෙන් ඈත් වන තත්ත්වයක් උදා විය. යල මහ අස්වද්දන කුඹුරු පුරන් විය. ඇතැම් කුඹුරු යායවල් සල්ලි පමණක් අතට එන දුම්කොළ වැනි වගාවන්ට වෙන් කෙරිණි. ගොවිතැන ඉබාගාතේ යන තත්ත්වයක් උදා විය. මේ ඉතිහාසය වෙනස් කළේ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා එදා ජනපතිව පොහොර සහනාධාරය ලබා දී ආහාර සුරක්ෂිතභාවය ට ගත් පියවරත් සමඟය. වැටී පැවති කෘෂිකර්මාන්තය ගොඩ ගැනීමට එදා ගත යුතුව තිබු හොඳම තීරණය මහින්ද රාජපක්ෂ මහතා විසින් ගනු ලැබුව ද රසායනික පොහොර උගුලේ පැටලි සිටි ගොවියාම රසායනික යෙදවුම් අවභාවිත කරන තත්ත්වයක් එනයින් ඇති කර ගත්තේය. ගොවියා විසින් ම පොට වරද්දා ගත් කළ ඒ මාවත නිවැරැදි කිරීමට වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් කාබනික වගා සංග්‍රාමය මෙරට කෘෂි ඉතිහාසයේ හැරවුම් පක්ෂයක් බවට අද පත් වී ඇත.

වැරැදි මතවාද

මේ වන විට මුළු රටම කාබනික වගාවට සුදානමින් සිටී. නමුත් ඊට විරුද්ධ මතවාද ද එමටය. තවමත් අපේ ගොවි ප්‍රජාව තුළ මේ පිළිබඳව විශ්වාසයක් ගොඩනැගි නැත. මෙය ගොවියා මත බලෙන් පටවන ලද පීඩනයක් ලෙස සිතන පිරිස් ද ඇත. ඔවුන්ගේ තර්කය වන්නේ දැනට ගොවියා විසින් ගන්නා හයිබ්‍රිඩ් හෝ වැඩි දියුණු කළ බිජ කාබනික යෙදවුම්වලට ප්‍රතිචාර නොදක්වන බවය. අපේක්ෂිත අස්වනු ඉලක්කයන් සපුරා ගැනීමට නොහැකි ව රට ආහාර හිඟයකට මුහුණපෑම නොවැලැක්විය හැකි කාරණයක් වන බවය.මේ නිසා රජය ගත් මේ අභියෝගාත්මක වෙනස ගොවියා අතට පත් කිරීමට පළමුව ගොවියා තුළ විශ්වාසය තහවුරු කළ යුතුය. ඒ සඳහා හොඳම අවිය කාබනික වගාවෙන් ගොවිතැන ජයගත් ගොවි කණ්ඩායම් හඳුනාගෙන පෙරටු බල ඇණියක් නිර්මාණය කිරිම බැව් අපි රජයට යොජනා කරමු. මේ කාර්ය පළමුවත් නොපමාවත් සිදු කිරීමේන් ගොවි ප්‍රජාව අතර පවතින සැක සංකා සහ ඝෘනාත්මක ආකල්ප දුරු කළ හැකිය.

දෙවනුව කළ යුත්තේ කාබනික වගාවෙන් උපරිම ප්‍රතිඵල ළඟා කර ගත හැකි උපාය මාර්ග විවර කර ගැනිමයි. ඒ සඳහා මෙරටේ සෑම ක්ෂේත්‍රයකම විසිරි සිටින විද්‍යාඥයින් ට විශාල වගකීමක් කාර්යභාරයක් පැවරී ඇත. ඒ සඳහා සිය සහාය ලබා දිය හැකිය. ඔවුන් විසින් පළමුව කළ යුත්තේ කාලයක් තිස්සේ භාවිතයට ගත් රසායනික යෙදවුම් නිසා අද පවතින පසේ ස්වභාවය හරිහැටි හදුනා ගැනීමයි. ඉන් පසු පස සුවපත් කිරීම සදහා කාබනික වගාව ඔස්සේ ගත යුතු උපාය මාර්ග ඉදිරිපත් කිරීමයි.මේ සඳහා රජය පුර්ණ සහාය ලබා දෙමින් කාබනික කෘෂිකර්මාන්තය සඳහා ප්‍රායෝගික ඥානය ඒකරාශි කළ යුතුය.

ළිඳට වැටි ඇති මිනිහා ළිං කටෙන් ම ගොඩ ගත යුතු යැයි කියමනක් තිබේ. මිනිහා ළිඳට වැටුණේ කෙසේ දැයි තවදුරටත් සොයා බැලීමෙන් ඵලක් නැත. අප මුලින් සඳහන් කළ පරිදි කාබනික වගාවෙන් ගොවිතැන ජයගත් කෘෂි කර්මානත්යේ පෙරළියක් ඇති කළ ගොවීහු රට තුළ ඕනෑතරම් සිටිති. සෑම පරිසර හා පාංශු කලාපයකට ම ඔබින කාබනික යෙදවුම් සකසා ගත් පිරිස් ද මේ අතර වෙති. ඔවුන්ගේ ශිල්පිය දැනුම හා ඥානය ද මේ ගමනට ශක්තියකි. එමෙන්ම කාබනික පොහොර සහ වෙනත් යෙදවුම් නිපදවන ව්‍යාපාරික මට්ටමේ පිරිස් ද සිටිති. මේ සියලු දෙනා ම සතුව පවතින දැනුම මේ ව්‍යායාමයට වත්කමකි.

නිවැරැදි ආකල්ප

අක්කර දහයක් පහළොවක් වගා කරන ගොවියා එපමණකට සෑහෙන කාබනික පෙහොර සපයා ගන්නේ කෙසේ දැයි යන පැනය ද අතැම්හු අසති. විමසති. දේශීය කෘෂිකර්මාන්තයේ වත්මන් අවශ්‍යතාව සඳහා කාබනික පොහොර ටොන් ගණනින් වුවමනා කරන්නේ නැත. ඇතැම් ප්‍රදේශවල පසේ අයනතාව වැඩී නම් ඊට දිය යුතු පිළියම් මොනවාද පොස්පරස් ප්‍රමාණය ඔඩු දුවා ඇත්නම් පාංශු ප්‍රතිකාරය කුමක් විය යුතුද යන ප්‍රායෝගික පිළියම් සොයා ගත යුතුය. නමුත් අපට අමුතුවෙන් මහ විශාල හරඹයක් කිරිමට අවශ්‍යතාවක් නැත. ඒ සියල්ල අපට සම්පුර්ණ කර දෙන්නේ මහ පොළොවේ සිටින බැක්ටීරියා සහ ක්ෂුද්‍ර ජීවින් ය. මෙතෙක් ගොවියා විසින් සිදු කළ වැරැදි ප්‍රතිපත්තිවලින් ඔවුන් මුදා ගැනීමෙන් ම ගොවිතැන කාබනික වගාවට ඉබේම හැඩ ගැසෙනු ඇත . සැම කන්නයකම දහයියා ටොන් දස ලක්ෂයක් පමණ අප විසින් විනාශ කරනු ලබයි. පසට එකතු කළ හැකි පිදුරු ටොන් ගණනින් ගිනි තබයි. මේ ක්‍රියාවලින් ට තිත තැබිමෙන් ම කාබනික වගාවට අප අවතීර්ණ වී හමාරය . කාබනික පොහොර අතර ඉස්තරම්ම යෙදවුම ගිනිසීරියා කොළය. හැකිනම් මේ ගිනිසීරියා නැවත වගා කර කාබනික පොහොර නිෂ්පාදනයට යොදා ගත හැකිය. නයිට්‍රජන් පසට එක්කරන හොඳම යෙදවුම ද ගිනිසිරියා කොළයි. එමෙන්ම වල් සුරියකාන්ත යනු ශාකයක වර්ධනය ට අවශ්‍ය සියලු පෝෂක කොටස් අන්තර්ගත කාබනික යෙදවුමකි. මෙය පසට උරා ගැනිමේ වේගය උපරිම දින හතකි. එමෙන්ම ගව පොහොර රට තුළ ඕනෑවටත් වඩා සුලභය. ඒ අනුව කාබනික වගාව යනු කරදරකාරි දෙයක්ය යන මානසිකත්වය සහ විචිකිච්චාව දුරු කරමින් මේ දැනුම ද ගොවීන් අතට පත් කරමින් නව ගමනට රට පෙළ ගැස්විය යුතුය.

ලෝකයේ රසායනික කෘෂිකර්මාන්තය නැමති උගුලෙන් නිදහස් වු රටවල් ඕනෑතරම්ය. ඇතැමුන් තර්ක කරන්නේ කාබනික වගාව යල් පැන ගිය ඉබි ගමනේ යන ගොවි ශිල්ප ක්‍රමයක් බවය. නමුත් ඉන්දියාව ද අද මේ සඳහා හැඩ ගැසෙමින් සිටින්නේ රසායනිතක තෙල් පොහොර නහවන රටක් ලෙස ඉන්දියාව ට ඇති කළු පැල්ලමෙන් මිදෙනු වස්ය. ඉන්දියාව එසේ කරද්දි කියුබාව කාබනික කෘෂිකර්මාන්තයෙන් ලොව ආදර්ශමත්ව රටවල් අතරට එක් වෙමින් ආහාර නිෂ්පාදන සංග්‍රාමය දිනු රටකි. ලොව බලවතුන් එක්ව කියුබාවට ආර්ථික සම්බාධක පැනවු අවස්ථාවේ සිය ආර්ථිකය පණ ගැන්වීමට අඩු වියදමකින් කළ හැකි කාබනික වගාවට ඔවුහු අවතීර්ණ වුහ. එමෙන්ම ඉතියෝපියාව හරිත විප්ලවයේ වහලෙක් කර ගැනීමට බහු ජාතික සමාගම් උත්සාහ දරන විට ඔවුන් ඊට සපුරා විරුද්ධත්වය ප්‍රකාශ කරමින් කාබනික වගාවෙන් විශාල පෙරළියක් රට තුළ සිදු කර ගන්නා ලදී.

රසායනික උගුලට තිත

කාබනික වගා සංග්‍රාමයක් අභිමුව සිටින අප ට මේ අයුරින් ආදර්ශයක් ගත හැකි උදාහරණ එමටය. රසායනික උගුලෙන් ගැලවීමට නම් ඒ සඳහා වු මානසික වහල් භාවයෙන් මිදිය යුතුය. සිරිලක දේ සිරිසැප දේ යන පාඨය නැවත සමාජගත කළ යුතුය. ගොවිතැන යනු බෝධි ධර්මයකි. එය ස්වයංජාත ගොවිතැනකි. එය කිසිවෙක් නිර්මාණය කළ දෙයක් නොවේ. ස්වභාවධර්මය ට අනුගතය ස්වයංව වැඩී පෝෂණය විය. මේ කාර්යයේ උර දී කටයුතු කළේ සත්ව සංහතියේ ම සාමාජිකයින් වන ගැඩවිලා හා වෙනත් ක්ෂුද්‍ර ජීවින් සහ මී මැස්සාය. නමුත් රසායනික ගොවිතැනින් සොබා දහමේ මෙම නිපැයුම්කරුවන් සමූල ඝාතනයට පරිසරයක් නිර්මාණය කළේය. නමුත් එය පෙරළා මිනිසාගේ ම විනාශය මූල බීජය සපයන බව එහි සැඟව ඇති රහසයි. ලොව පෙරළිකාර විද්‍යාඥයා වන ඇල්බට් අයින්ස්ටයින් පැවසුවේ මී මැස්සා යම් දිනක පරිසරයෙන් සහ මුලින් ම වඳ වි යන්නේ ද එදින මිනිසාගේ ද අවසානය නියත වශයෙන්ම සිද්ධ වන බවය. එමෙන්ම හරිත විප්ලයවත් සමග වැඩි වැඩියෙන් ආහාර උත්පාදනය කර ගැනීමේ සටන මහත්මා ගාන්ධි සිය වචනයෙන් විග්‍රහ කළේ උපහාසාත්මක ය. ඔහු පැවසුවේ ලෝකයේ ආහාර ඕනෑතරම් ඇති මුත් මිනිසාගේ කෑදරකමට එය ට ප්‍රමාණවත් නොවන බවය. එමෙන්ම තුන් වේලම බත් කෑ යුතුය යන නියමයක් ද නැත. කුස පිරෙන පෝෂ්‍යදායි ඕනෑම දෙයක් අපට අපේ ගොවි බිමෙන් ම නිපදවා ගත හැකිය. කාබනික වගා සංග්‍රාමය ඔස්සේ විකෘති වුණු ආහාර සංස්කෘතිය ද ප්‍රකෘතිමක් කළ හැකිය.

කෙසේ වෙතත් රසායනික කෘෂිකර්මාන්තයෙන් කාබනික වගාවට මාරු වීමේ වත්මන් ගොවි සංග්‍රාමය ගොවිතැනේ උන්නතියටත්, සොබා දහමේ පැවැත්මටත් කාලෝචිත අවශ්‍යතාවකි. මෙහිදි මුල් කන්නය හෝ දෙක තුළ යම් යම් අභියෝග මතු වීමට බැරිකමක් නැත.මේ වන විට ගොවින් අතර පවතින දේශීය වැඩි දියුණු කළ වී ප්‍රභේද වල සාමාන්‍ය අස්වැන්න අක්කරයකට බුසල් 80කි. එය ප්‍රශස්ථ අස්වනු ධාරිතාවක් වන අතර එම ප්‍රමාණය ඉක්මවා අස්වැන්න ලැබෙන අවස්ථා ද ඕනෑතරම්ය. දැනට කාබනික යෙදවුම් සමඟ මෙම වි ප්‍රභේද පිළිබඳ කර ඇති පර්යේෂණ අනුව ද එය බුසල් 80 ඉලක්කය ට පහසුවෙන් යා හැකි බව සනාථ වි ඇත. එය බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන අයාතනය ද තහවුරු කර ඇත. එමෙන්ම සිය අභිමතය පරිදි කැමැති ගොවීන්ට දේශිය පාරම්පරික වී ප්‍රභේද ද පවුලේ ආහාරය සදහා වගා කර ගත හැකිය. එවැනි පැරැණි වී වර්ග 200ක් පමණ අදටත් සුරක්ෂිතව ඇත. කාබනික වගාවෙන් වී ගොවිතැන කඩා වැටෙනු ඇතැයි පවතින මිත්‍යාවෙන් මිදීම ම ජාතියක් වශයෙන් අපිට තවත් පියවරක් ඉදිරියට යා හැකි මාර්ගයක් විවර කර දීමට ඉවහල් වනු නොඅනුමාන ය.

සකුන්තලා ජයසිංහ විසින් ජූනි 09 වැනි දින දිනමිණ පුවත්පතට සම්පාදිත ලිපියකි.

(රසායනික පොහොර භාවිතයෙන් ඉවත් වී කාබනික ගොවිතැනට රට ගෙන යාමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන ඇති තීරණයේදී ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම අප මෙහෙවරක් ලෙස අප සලකමු. එනිසා කාබනික ගොවිතැන හා සම්බන්ධ ලිපි අදාළ මූලාශ්‍ර සදහන් කරමින්, කර්තෘ හිමිකම සුරැකෙන සේ අප වෙබ් අඩවියේ පළ කිරීමට අප පියවර ගන්නෙමු. මෙහිදී ලිපියේ අන්තර්ගතයේ හෝ ශීර්ෂපාඨයේ කිසිදු සංස්කරණයක් නොකිරීමට අප පියවර ගන්නා අතර මෙම උපුටා ගැනීම ජාතික වගකීමක් ඉටුකිරීමට ලබා දෙන්නා වූ සහායක් ලෙස අප සලකමු – ප්‍රධාන සංස්කාරක)

Recommended For You

About the Author: Thusal

Leave a Reply

Your email address will not be published. Required fields are marked *