පරිස්සමින් සැකසිය යුතු ශාකසාර කෘමිනාශක

කාබනික වගාවට අවශ්‍ය කෘමිනාශකවලින් වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරනුයේ ශාක කොටස්වලිනි. පරිසරයේ පවතින බොහෝ ශාකවල කෘමිනාශක ගුණය සහිත රසායනික ද්‍රව්‍ය එකක් හෝ වැඩි ප්‍රමාණයක් අඩංගු වන අතර පවතින රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය සහ එහි සාන්ද්‍රණය මත ශාක නිස්සාරක නිෂ්පාදනය සඳහා ඒවායේ ප්‍රයෝජනවත් බව තීරණය වේ. මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ සහ වෙනත් රටවල විශේෂයෙන් ඉන්දියාවේ සිදු කර ඇති පර්යේෂණවලට අනුව ශාක විශේෂ 2500 ක් පමණ ඊට සුදුසු බවට හඳුනාගෙන තිබේ.

වගා කරන භෝගවල ද කෘමිනාශක ගුණ සහිත රසායන ද්‍රව්‍ය අඩංගු වන බවට තොරතුරු ඇත. තක්කාලි ශාකවල පවතින ටොමැටීන් සහ අර්තාපල් ශාකවල ඇති සොලනීන් කෘමිනාශක ගුණය ඇති රසායන ද්‍රව්‍ය වුව ද ඒවා ඇත්තේ ඉතා අඩු සාන්ද්‍රණවලින් නිසා කෘමි හානි පාලනයට ප්‍රමාණවත් නොවේ. වෙළෙඳපොළෙහි ඇති කොළ පාට වූ අර්තාපල් අලවල වැඩිපුර අඩංගු වන සොලනින් ආහාරයට එකතු වුව හොත් කට කැසීම හා ආමාශයෙහි වේදනාවන් ඇති විය හැකිය. එහෙත් එය මාරානිත්ක වීමට නම් එබඳු අල කිලෝග්‍රෑම් 5ක් පමණ එක වර ආහාරයට ගත යුතුය. කරිවිල, වට්ටක්කා වැනි භෝග අයත් වන කුකර්බිටේසියේ කුලයේ ද මෙවැනි කෘමිනාශක ගුණ සහිත රසායන ද්‍රව්‍ය අඩංගු වේ. කුකර්බිටාසීන් ලෙස හඳුන්වන මෙම රසායන ද්‍රව්‍ය අධික ලෙස ආහාරයට එකතු වීම නිසා පාචනය, වමනය, ආමාශයේ හා අන්ත්‍රවල තුවාල ඇති වීම සිදු විය හැකිය. එහෙත් මෙම එළවළු ආාහාරයට ගැනීම ගැටලුසහගත නොවන්නේ ඉහත සඳහන් රසායනික ද්‍රව්‍ය ඉතා සුළු ප්‍රමාණවලින් අඩංගු වීම හා පිසීමේදී ඒ්වායේ ක්‍රියාකාරිත්වය තවදුරටත් අවම වීම සිදු වන හෙයිනි.

මෙලෙස හඳුනා ගත් ශාක වර්ග 120ක පමණ අඩංගු කෘමිනාශක ගුණ සහිත රසායන ද්‍රව්‍ය මිනිස් සිරුරට ද අහිතකර බවට තහවුරු කොට තිබේ. එම නිසා ශාකසාර නිෂ්පාදනයට අවශ්‍ය ශාක වර්ග තෝරා ගැනිමේදි බෙහෙවින් පරිස්සම් විය යුතුය. උදාහරණ ලෙස අතීතයේ සිට ලංකාවේ මසුන් මැරීම සඳහා යොදා ගත් කලවැල් නමැති ශාකයේ අඩංගු රෝටිනෝන් නම් රසායනික ද්‍රව්‍ය මිනිසුනට මෙන්ම ජලජ ජීවීන්ට අධික ලෙස විෂ වන හෙයින් කාබනික ගොවිතැනේදී වුව ද ජලාශ්‍රිත පරිසරවල යොදා ගැනීම නුසුදුසුය. දුම්කොළ සාරය ද එබඳුම හානිකර ශාක නිස්සාරකයකි. එහි අඩංගු නිකොටින් මිනිස් සිරුරට අතිශයිත් අහිතකර වන අතර පරිසරයේ සිටින හිතකර ජීවීන්ට ද හානිකර බලපෑම් ඇති කරයි.

ශාක නිස්සාකර සම්බන්ධයෙන් සලකා බැලිය යුතු තවත් වැදගත් කරුණු ගණනාවක් පවතී. ඉන් ප්‍රධානතම කාරණය නම් ශාකවල කෘමිනාශක ගුණය සහිත රසායන ද්‍රව්‍ය ඉතා අඩු සාන්ද්‍රණවලින් පැවතීමය. මෙම හේතුව නිසා නිස්සාරක සකස් කිරීමේදී වැඩි ශාක ද්‍රව්‍ය ප්‍රමාණයක් අඩු ජල ප්‍රමාණයක මිශ්‍ර කර පෙරා ගත යුතු වේ. එමෙන්ම මෙසේ නිස්සරණය කර ගන්නා රසායන ද්‍රව්‍ය සූර්යාලෝකයට නිරාවරණය වීමෙන් පහසුවෙන් විනාශ වන නිසාත් වර්ෂාව පවතින අවස්ථාවලදී සේදී යන නිසාත් ශාකවල රැඳී තිබෙන කාලය අඩුය. මෙම කෙටි කාලින ක්‍රියාකාරිත්වය නිසා නිතරම නැවත නැවතත් යෙදීම අවශ්‍ය වේ. සමහර ශාක නිස්සාරක වැඩි සාන්ද්‍රණයකින් යෙදීම නිසා ඒවා ශාකවලට විෂ වන අවස්ථා ද පවතී. හොඳම උදාහරණය නම් කොහොඹ නිස්සාරකයයි. කෘමි පාලනය සඳහා ලෝකය පුරා ජනප්‍රිය වී ඇති කොහොඹ ශාක නිස්සාරක යෙදීමේදී ඒ් සඳහා ඇති නිර්දේශය නිවැරදිව අනුගමනය කිරීමට ද සැලකිලිමත් විය යුතුය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙය නිර්දේශ කර ඇත්තේ ජලය ලීටර එකකට කොහොඹ ඇට කුඩු ග්‍රෑම් 35-50 දක්වාය. කෘමිනාශක ගුණය ඇති රසායන ද්‍රව්‍ය ශාකයක සෑම තැනම ඒකාකාරීව අඩංගු නොවන අතර ශාකය මෝරා ඇති ප්‍රමාණය හා ශාක කොටස අනුව වෙනස් වේ. කොහොඹ උදාහරණය ලෙස ගත හොත් එහි කෘමිනාශක ගුණය ඇති ප්‍රධානම සංයෝගය වන ඇසාඩිරැක්ටීන් වැඩිපුර අඩංගු වන්නේ කොහොඹ ඇටයේය. එමනිසා කොහොඹ කොළ කුඩු ඇට වෙනුවට භාවිත කිරීම ප්‍රයෝජනවත් නොවේ.

ඉහත සඳහන කරන ලද කරුණු නිසා ශාක නිස්සාරක නිපදවීමට නිශ්චිත වට්ටෝරු ලබා දීම අපසහුවන අතර ඒවා අත්හදා බැලීමෙන් තහවුරු කර ගත යුතුය. ශාක නිස්සාරන වැඩි ප්‍රමාණයක් සැබෑ කෘමි නාශකම නොවේ. කෘමියාගේ ආහාර අරුචිය ඇති කිරිම ඔස්සේ පාලනය කෙරේ. ක්‍රියාකාරිත්වය ද කෙටි කාලීනය. සූර්යාලෝකයේ පවතින පාරජම්බුල කිරණ හේතුවෙන් ශාකසාර ක්‍රියාකාරි ගුණය අඩංගු සංඝටක පහසුවෙන් නැති වී යයි. එනිසා විවෘත වගා භුමියේ යම් පසුබෑමක් නිතැතින්ම සිදු වේ.

මේ නිසා යම්තරමින් හෝ ශාකසාර නිස්සාරණයට අදාළ ශාක වර්ග අතරින් කිහිපයක් ගැන සාකච්ඡා කිරිම කාලෝචිත බව හැඟේ. මුලින්ම මිනිස් සිරුරට හිතකර ශාකසාර කිහිපයක් සලකා බැලීම වටී.

කොහොඹ (Aladirachta idica)

කෘමිනාශක ගුණය ඉහළින් පවතින ශාකයක් ලෙසට කොහොඹ ශාකය හැඳින්විය හැකිය. ඉන්දියාව මෙම ශාකය භාවිත කරමින් විශාල වශයෙන් පළිබෝධ නාශක ශාකසාර නිෂ්පාදනය කෙරේ. මෙම ශාකයේ පළිබෝධකයන් නසන ගුණය වැඩිපුර අඩංගු වී ඇත්තේ එහි බීජවලය. මෙයට අමතරව පොතු, මුල් හා පත්‍ර ද මේ සදහා යොදා ගත හැකිය. ඒ අනුව කෘමිනාශක ගුණය සහිත ප්‍රධාන රසායනිකය වන ඇසඩාඩිරික්ටින් (Azadirachtin) යොදා ගනිමින් වාණිජ මට්ටමින් කෘමිනාශක නිෂ්පාදනය කෙරේ. ගෘහ ආශ්‍රිත පළිබෝධකයන් මයිටාවන් සුදුමැස්සන් පත්‍ර හා කරල් කා දමන පණුවන් ආදි කෘමින් කොහොඹ සාරය ඔස්සේ පාලනය කළ හැකිය. කොහොඹ නිස්සාරණය ක්‍රම කිහිපයකටම සකසා ගන්නේ මෙසේය. ගෘහ ආශ්‍රිත වගා සඳහා පහසුවෙන් කොහොඹ නිස්සාරණය සකසා ගත හැකිය. කොහොඹ පත්‍ර කිලෝ ග්රෑම් 1-2 පමණ වංගෙඩියක දමා හෝ සුදුසු උපකරණයක් භාවිත කරමින් හොඳින් කොටා ගන්න. එසේ කොටා ගත් කොහොඹ කොළවලට ජලය ලීටර් 2-4 ප්‍රමාණයක් එක් කර හොඳින් මිශ්‍ර කරන්න. ඉන්පසු මිශ්‍රණය සැකසූ බඳුනේ කට රෙදි කඩකින් දින 03ක් පමණ හොඳින් වසා තබන්න. ඉන්පසු හොඳින් පෙරා දියර ලීටරයකට ජලය ලීටර් 9ක් හා සබන් දියරය මිලි ලීටර් 100ක් පමණ එක් කර හොඳින් මිශ්‍ර කර වගාවට යොදන්න. හොඳින් මේරූ කොහොඹ ඇට ග්රෑම් 500ක පොත්ත ඉවත් කරන්න. ඉන් පසු වංගෙඩියකට දමා ඇටවල තෙල් ඉවත් නොවන සේ තලන්න. එසේ කොටා ගත් කොහොඹ ඇට ලීටර් 10 ක පමණ ජලය සමඟ විනාඩි 10ක පමණ කාලයක් මිශ්‍ර කරන්න. ඉන් පසු එම මිශ්‍රණය පැය 06ක් පමණ කාලයක් තබන්න. නැවත විනාඩි 10ක් පමණ තලන්න. ඉන් පසු එම මිශ්‍රණය පෙරා ඊට සබන් දියරය මිලි ලීටර් 5ක් මිශ්‍ර කර වගාවට ඉසින්න. කොහොඹ ඇට කිලෝ ග්රෑම් 5ක් හොඳින් කුඩු කර ගන්න. මෙයට උණු දිය මිලි ලීටර් 500ක් පමණ දමා හොඳින් තලන්න. ඉන් පසු ඝනකම් රෙදි කැබැල්ලක ආධාරයෙන් හොඳින් මිරිකා ගන්න. මෙසේ ලැබෙන තෙල් ප්‍රමාණය මිලි ලීටර් 650-750ක් අතර වේ. තෙල් මිලිලිටර් 10 ක් පමණ ජලය ලීටර් 10 මිශ්‍ර කර සබන් දියර ස්වල්පයක් ද එක් කොට කෘමිනාශකයක් ලෙස භාවිත කළ හැකිය.

සිනි අනෝදා

(Annona Squamosa)

මෙය ඉතා මිහිරි රසැති පෝෂණ ගුණයෙන් යුතු පලතුරකි. මෙහි කාබෝහයිඩ්‍රේට් 23.9%, ග්ලුකෝස් සීනි 12.4% -16.6%, ප්‍රෝටීන් 0.04% අඩංගුය. නොමේරු ඵල, බීජ, පත්‍ර හා මුල් ආයුර්වේද හා යුනානි වෛද්‍ය ක්‍රමයේ ඖෂධයක් ලෙස ද භාවිත කෙරේ. වියළා කුඩු කර ගත් පත්‍ර ගවයන්ගේ ලේ උරා බොන කිනිතුල්ලන් ඉවත් කිරිමටත් වියළා කුඩු කර ගත් බීජ හිසේ උකුණන් හා ධාන්‍ය ගබඩාවල පළිබෝධකයන් පාලනයට භාවිත කළ හැකිය. කුඩාවට කැබලි කර ගත් ග්‍රෑම් 500 පමණ බරැති අනෝදා පත්‍ර ජලය ලීටර් 2 ක් මිශ්‍ර කර අඹරා ගන්න. ඉන් පසු මෙම මිශ්‍රණය ළිප තබා ලීටර් ½ පමණ වන තෙක් හිඳෙන තුරු උතුරුවා ගන්න. ඉන් පසු පෙරා ගත් දියරයට ජලය ලීටර් 10කට සබන් දියරය මිලිලිටර් 100ක් එක් කර වගාවට යොදන්න. එසේම වියළා කුඩු කර ගත් බීජ ඇට ග්රෑම් 500ක් ජල ලීටර් 20 ට මිශ්‍රකර දින 1-2 පමණ පෙඟෙන්න තබන්න. පෙරා ගත් මිශ්‍රණයට සබන් දියර මිලි ලීටර් 200ක් මිශ්‍ර කොට වගාවට ඉසින්න. මෙයින් පත්‍ර කණින කීඩෑවන්, කූඩිත්තන්, පත්‍ර මල් හා කරල් කා දමන පණුවන් ආදි කෘමීහු හොඳින් පාලනය වෙති.

යුකැලිප්ටස් (Eucalyptus Spp)

මේවා ශ්‍රී ලංකාවේ වන වගාව සඳහා භාවිතයට ගන්නා ප්‍රධාන ශාකයකි. මෙම යුකැලිප්ටස් කෘමි පාලනයට ද ඉහළ ගුණයක් පවතින බවට පර්යේෂණ අංශ පෙන්වා දෙයි. මෙම ශාක පත්‍රවල අඩංගු රසායන ද්‍රව්‍ය බොහොමයක් කූඩිත්තන්, කරල් හා ගෙඩි විදින පණුවන් පාලනය සදහා භාවිත කළ හැකිය. දිලීර නාශකයක් ලෙසත් භාවිත කළ හැකිය. යුකැලිප්ටස් පත්‍ර ග්රෑම් 200ක් පමණ කුඩාවට කැබලිවලට කපා ජලය මිලි ලීටර් 250ක් එක් කර හොඳින් අඹරා ගන්න. ඉන් පසු පෙරා ගත් ද්‍රාවණයට ජලය ලීටර් 10 ක් මිශ්‍ර කර සබන් දියර එක් කර වගාවට යොදන්න.

මෙයට අමතරව මිනිස් සිරුරට අහිතකර බලපෑම් සිදු වන ශාක සාරයන් කිහිපයක් ගැන ද සලකා බලමු. කනේරු ශාකයේ සියලු කොටස් විෂ සහිත වේ. අත්තන ශාකයේ බීජ විෂ සහිතය. දැවමය වටිනාකමක් ඇති ශාකයක් වන ලුණුමිදෙල්ල ශාකයේ බීජ ද විෂ සහිත වේ. ඉතා අලංකාර මල් ඇති නියඟලා අල අධික විෂ සහිතය. මෙයට අමතරව ගොවින් බහුලව භාවිතයට ගන්නා කලවැල් මසුන්ට ඉතාමත් විෂ සහිතය. එමඟින් මසුන් මිය යෑමට ද හැකියාවක් පවතී. එම නිසා මිනිස් සිරුරට අමතරව ජලජ ජීවීන්ටත් හානි ගෙන දෙන බව පැවසිය හැකිය. එමනිසා ශාකසාර නිපදවා ගැනීමට අමුද්‍රව්‍ය ලෙසට තෝරා ගැනීමේදී වඩාත් විමසිලිමත්වීම ඉතාමත් වැදගත් කරුණක් බව කිව යුතුය.

(විශේෂ ස්තුතිය-බණ්ඩාරවෙල කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක කේ. පී. සෝමචන්ද්‍ර මහතාට)

කේ.ආර්.ආර්. රාජමන්ත්‍රී – dinamina – jun 16

Recommended For You

About the Author: Thusal