කාබනික පොහොර නිෂ්පාදනය කරන අයට ‘ණය දෙන්න‘ NSB සූදානම්

  • කාබනික පොහොර නිෂ්පාදනයේදී රැකියා විරහිත තරුණ තරුණියන් යොදා ගත හැකියි
  • ව්‍යවසායකයන් පුහුණු කිරීමට රටේ විද්‍යාත්මක දැනුමක් ඇති උගතුන් හා කෘෂි විද්‍යාඥයන් ඕනෑ තරම්
  • ගොවි සංවිධාන හරහා ගොවීන් දැනුම්වත් කිරීමේ පුළුල් වැඩසටහනක් දියත් කළ යුතුයි
  • වගකිව යුතු පුරවැසියකු ලෙස නිහඬව සිටීමට මට බැහැ

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිනි කේෂිලා ජයවර්ධන

අපේ රටේ උපනූපන් දරු පරම්පරාවල යහපත සඳහා ජනපති ගත් අභීත තීරණයක්, වැරදි ආකාරයට ගොවි ජනතාවගේ සිත්වලට ඇතුළු කර ඒ උදාර ජාතික වැඩපිළිවෙළ කඩා කප්පල් කිරීමේ කූට කුමන්ත්‍රණයක් මේ වන විට ක්‍රියාත්මක වන බව පෙනෙන්නට ඇතැයි ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිනි කේෂිලා ජයවර්ධන මහත්මියගේ අදහසය. රටේ කෘෂිකර්මාන්තයේ සහ සමස්ත ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව, වස විසෙන් තොර වූ ආහාර රටාවක් යළි ඇති කිරීම උදෙසා ගනු ලැබූ ඒ අභීත තීරණය එලෙසින්ම ක්‍රියාත්මක කිරීමට ශක්තිය, ධෛර්යය දීම සැමගේ යුතුකමක් බවත් ඇය සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිනිය ලෙස පමණක් නොව, දේශීය සාම්ප්‍රදායික ගොවිතැන හා බැඳුණු ගැමිකම හඳුනන පවුලක උපත ලද දිරිමත් කාන්තාවක ලෙසත් කේෂිලා ජයවර්ධන මහත්මිය සමඟ කරන ලද සාකච්ඡාවකි.

ඔබ මේ වන විට බැංකුකරුවකු ලෙසයි කටයුතු කරන්නේ. ගොවිතැන හෝ එහි ක්‍රියාදාමයන් පිළිබඳව ඔබේ මතය එළිදැක්වීම රටට එතරම් දුරට අගයක් ඇතැයි කියා ඔබ සිතනවා ද?

මේ අවස්ථාවේ මම අපේ රටේ සියයට සියයක්ම රාජ්‍ය සුරක්ෂිතභාවය ඇති ප්‍රබලතම රාජ්‍ය බැංකුවක, සභාපතිනිය ලෙස කටයුතු කරන බව ඇත්ත. එහෙත්, එසේ කියා ජාතික අවශ්‍යතා ඉටු කිරීමට කවරෙකු විසින් හෝ ගනු ලබන ඕනෑම ක්ෂේත්‍රයක වැදගත් තීරණයකට හොඳ හෝ නරක හෝ කියා පෙන්වාදීමට එය බාධාවක් නොවිය යුතුයි. ජනාධිපතිතුමා ගත් අභීත තීරණයක් ක්‍රියාත්මක නොවන තැනට ජන සමාජයේ යම් මතයක් නිර්මාණය වෙමින් පවතිනවා. ඒ අවස්ථාවේ වගකිව යුතු පුරවැසියකු ලෙස නිහඬව සිටීමට මට බැහැ. ඒ නිසයි මේ ක්ෂේත්‍රය ගැන කථා කරන්න සිතුවේ.

එසේ නම් ඔබේ සාම්ප්‍රදායික ගොවිතැන හා බැඳුණු අතීතය දැන ගැනීමට අපි කැමැතියි.

අප කුඩා කල යල මහා කන්න දෙකම වී වැපිරිය හැකි අපේ කුඹුරු මී ගොන්බානක් හෝ දෙබානක් ලවා සී සෑමෙන් මඩ කළ පසු පොහොර කිරීම සඳහා කැලෑ සූරියා, එරමුදු, ගිනි සිරියා යන කොළ අතු වර්ග මඩේ යට කිරීම අපේ සීයාගේ සිරිත. වැඩිහිටියන් විසින් කුඹුරට ගෙනැවිත් ලියැදි පුරා අතුරන ලද කොළ අතු පාගා යට කිරීම අපේ අයියාටත්, අක්කලාටත් මටත් ඉමහත් ආශීර්වාදයක් ගෙන දුන්නා. ඊට පසුව මනාව දිරාපත් වුණු ගව පොහොර හා කොළ රොඩු මිශ්‍රණය ලියැදි මත අතුරා ගොයම් පැළ සිටුවනවා. ගොයම් කපා කොළය මඩවා කමත මැද ගොඩ ගැසූ සරුසාර අස්වැන්න අපේ වී අටුවා පුරවා ගෙන තවත් ප්‍රමාණයක් අලෙවි කරන්නත් හැකි වුණා. මේ සඳහා වෙනත් රසායනික පොහොරක් යෙදුවේ නැහැ.

රසායනික පොහොර භාවිතය නතර කිරීමට ජනපති ගත් තීරණය පිළිබඳව විවිධ මත පළවෙනවා. ඒ ගැන ඔබේ මතය කුමක් ද?

දුර දක්නා නුවණින් ජනාධිපතිතුමා විසින් ගනු ලැබූ මෙම තීරණය හේතු කරගෙන අරමුණු ගණනාවක් ඉටු කර ගත හැකියි. මෙම තීරණය ක්‍රියාත්මක කිරීම කෘෂිකාර්මික නිෂ්පාදනයන්ගේ වර්ධනයක් ඇති කිරීම හා පාරිභෝගිකයාට සෞඛ්‍ය සම්පන්න ආහාර දීම යන කරුණු දෙකම එකවිට සිදු කිරීමට සමත් සුසංයෝගයක් වශයෙන් හඳුන්වන්න පුළුවනි.

අපේ රටේ සාම්ප්‍රදායික කාබනික පොහොර යොදා ගනිමින් කෘෂිකර්මාන්තය දියුණු කළ යුතුයි කියා කියනවා. මේ සම්බන්ධයෙන් ලෝකයේ මේ වන විට මතු වී තිබෙන්නේ කුමනාකාර ප්‍රවණතාවක් ද?

යුරෝපයේ බොහො රටවල ස්වාභාවික පරිසර පද්ධතියට හානි නොවන පරිසර හිතකාමී ජලය, සතුන්, ඵල වර්ගවලට හානියක් නොවන පරිදි වගා කරන පෝෂණ ගුණයෙන් හා ගුණාත්මක භාවයෙන් මිනිස් සිරුරට හා සෞඛ්‍ය ආරක්ෂාවට ගැළපෙන පරිදි ඉහළ ප්‍රමිතියකින් යුක්තව නිෂ්පාදනය කරන භාණ්ඩ හැරුණු කොට, වෙනත් භාණ්ඩ අලෙවිය සඳහා අන්තර්ජාතික වෙළෙඳපොළ සහ දේශීය වෙළෙඳපොළ තුළ පවත්නා ඉල්ලුම ශීඝ්‍රයෙන් අඩු විය හැකියි.

අද අපේ රටේ ඇතැමකු රසායනික පොහොර භාවිතයෙන් ගොවිතැන කළ යුතුයි කියනවා. තව අය කාබනික පොහොර ගැන පමණක් විශ්වාසයෙන් ගොවිතැන කළ යුතුයි කියනවා. මේ දෙක අතර ඇත්තටම යම් මැද තැනකට අප ආ යුතුයි නේ ද?

මෙම පොහොර වර්ග දෙක නිෂ්පාදනය කිරීමට ගන්නා අමුද්‍රව්‍යවලින් පසට, භෝගවලට, පරිසරයට මෙන්ම මිනිසාට ඇති වන බලපෑම පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. ස්වාභාවික ක්‍රියාවලියක් අනුව නිපදවන කාබනික පොහොරවලින් ලැබෙන පෝෂ්‍ය පදාර්ථවලට අමතරව පැළෑටිවලට ආරක්ෂාව සලසන වෙනත් පදාර්ථයන් අවශ්‍ය සිලිකොන් මේ සඳහා දිය හැකි උදාහරණයක්. මේ මඟින් අධික උණුසුම් හා වියළි කාලගුණයකදී ආරක්ෂාව සපයනවා මෙන්ම කෘමීන්ගෙන් හා දිලීර මඟින් ශාකවලට ඇතිවන රෝගවලින් මුදා ගැනීමේ ශක්තියක් සිලිකොන්වල තිබෙනවා. කෘෂිකර්ම විද්‍යාවට අනුව ශාකයක වර්ධනයට මූලික වශයෙන් සය වැදෑරුම් පෝෂණයක් කාබන්ඩයොක්සයිඩ් මඟින් ලබා ගන්නවා. හයිඩ්‍රජන් ජලයෙන් ලබා ගන්නවා. ඔක්සිජන් ජලය හා වාතය යන ප්‍රභවයන් දෙකෙන්ම ලබා ගන්නවා. ඒ වගේම ශාකයෙහි අලුතින් පටක ඇති වීමට අවශ්‍ය ප්‍රෝටීන් ලබා දෙන්නේ නයිට්‍රජන් මාර්ගයෙන්. එහෙත් අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් නයිට්‍රජන් ලබා දුන හොත් ශාක පත්‍ර වැඩි විය හැකි මුත් පලතුරු හෝ මල් හට ගන්නේ නැහැ. ඒ වගේම කැල්සියම්, මැග්නීසියම්, සල්ෆර් භෝගයේ වර්ධනයට අවශ්‍ය අනෙකුත් පදාර්ථ. පසෙහි ඇති ක්ෂුද්‍ර ජීවීන් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. එමගින් කාබනික පොහොරවල ඇති පෝෂ්‍ය පදාර්ථ ශාකයට උරා ගැනීමට හැකි වන පරිදි සකස් කර දෙමින් පසෙහි ව්‍යුහය ද සකස් කර දෙනවා.

රසායනික පොහොර ඉතා ලෙහෙසියෙන් ජලය සමඟ මුසු වීමෙන් පැළෑටි මඟින් එහි අඩංගු පෝෂ්‍ය පදාර්ථ ක්ෂණිකව උරා ගන්නවා. සැබවින්ම රසායනික පොහොර මාත්‍රාව වැඩි වශයෙන් යොදාගත හොත් එමඟින් ශාකවලට හානි පමුණුවන්නට ද ඉඩ කඩ තිබෙනවා. ඒ වගේම රසායනික පොහොරවලට පස සකස් කිරීම සඳහා සහාය විය හැක්කේත් මඳ වශයෙන්. පසෙහි ජිව ගුණය හෝ සාරවත් බව දිගු කාලීනව රඳවා ගත නොහැකියි. එමෙන්ම රසායනික පොහොර ඉතා පහසුවෙන් ජලය සමඟ මුසු වීමෙන් ඉක්මනින් දිය වන බැවින් ඒ අසල පිහිටි ගංගා, ඇළ, දොළ, පොකුණු හා ජලාශවල ඇති ජලය අපවිත්‍ර වීම හා දූෂණය වීමත් සිදු වෙනවා. මෙය සතුන්ට පමණක් නොවෙයි මිනිසාටත් අහිතකරයි.

කාබනික පොහොර පමණක් භාවිත කොට කෘෂිකර්මාන්තයේ යෙදීමට ගත් තීරණය ගැන කිව හැක්කේ කුමක් ද?

මෙම තීරණය ජනාධිපතිතුමා ගත් ක්ෂණික තීරණයක් බව බොහෝ දෙනෙක් පවසනවා. එහෙත් එවැනි තීරණයක් ගැනීමේ වැදගත්කම පිළිබඳව ඔවුන් පවසන්නේ නැහැ. කාබනික ආහාර නිෂ්පාදනයේ වැදගත්කම පිළිබඳව සමාජයේ නිරන්තර කතාබහට ලක් වුවත්, ඒ සඳහා ගොවීන් අනුගත වූයේ නැහැ. රසායනික පොහොර ආනයනය කරන තාක් කල් සමාජය තුළ කතාබහ නොනැවතී පැවතුණත්, රසායනික පොහොර භාවිතයේ අඩුවක් සිදු නොවන බව ස්ථිර වශයෙන්ම පුරෝකථනය කළ හැකියි. එම නිසා විරෝධාකල්ප කොතෙක් පවතියත් මෙවැනි තීරණයක් ගැනීම ගොවි ජනතාවගේ වාසනාවක්.

මෙයට දිය හැකි ඉතා හොඳ උදාහරණයක් .මයි ගොවීන් විසින් පිදුරු පුලුස්සා දැමීම. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වියතුන් උගතුන් හා කෘෂි විද්‍යාඥයින් විසින් පිදුරු පුලුස්සා දැමීමෙන් වළකින ලෙස කොතරම් කරුණු දැක්වුවත් එයට බොහෝ විට සවන්දිමක් සිදු වුණේ නැහැ. පිදුරු පිළිබඳව සිදු කරන ලද විවිධ ක්ෂේත්‍ර පරීක්ෂණයක්ම අනුව කාබනික පොහොර නිෂ්පාදනයක් සඳහා පිදුරු භෝග අපද්‍රව්‍යයක් වශයෙන් යොදා ගැනීම ඉතාම ප්‍රයෝජනවත්. එහෙත් වී වගාව සඳහා පොහොර වශයෙන් පිදුරු, සත්ත්ව අපද්‍රව්‍ය යොදා ගන්නේ ඉතාම කලාතුරකින්. කෘෂි විද්‍යාඥයින් පවසන ආකාරයට පිදුරුවල කාබන්, පොටෑසියම්, සිලිකොන් හා පෝෂණ පදාර්ථ අඩංගුයි. එම නිසා කාබනික පොහොර නිපදවීම සඳහා පිදුරු යොදා ගැනීම, ඒවා කඳු ගසා පුලුස්සා දැමීමට වඩා ප්‍රයෝජනවත්.

රටට, ජනතාවට ඉතා වැදගත් තීරණයක් ගත් මේවාගේ අවස්ථාවක, අපේ රටේ ගොවි ජනතාවට ඒ ගැන වැරදි අවබෝධයක් දී ඔවුන් උසිගන්වා, පාරට බස්සන තැනට යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. මෙය නරක තත්ත්වයක් නේ ද?

කෙසේ වෙතත් මේ වන විට ශ්‍රව්‍ය දෘශ්‍ය ජනමාධ්‍ය ඔස්සේ රසායනික පො‍හොර ආනයනය කිරීම සම්බන්ධයෙන් ගොවි ජනතාවගේ මනස අවුල් කරන තරමේ විරෝධාකල්ප ගොඩනැඟීම සඳහා විවිධ පාර්ශ්ව කටයුතු කරමින් සිටිනවා. ඔවුන්ගේ ප්‍රයත්නයන් රසායනික පොහොර භාවිතය දිරිමත් කරන සුළුයි. එබැවින් ශ්‍රී ලංකාවේ සියලු ගොවි සංවිධාන හරහා ගොවීන් දැනුවත් කිරීමේ පුළුල් වැඩසටහනක් දියත් කළ යුතුයි.

එම දැනුවත් කිරීමේ වැඩසටහන් මඟින් තම භෝග වගාවන්ට කාබනික පොහොර වඩාත් සුදුසු බව, කාබනික පොහොර භාවිතයෙන් පසට සහ භෝගවලට ඇතිවන බලපෑම කාර්යක්ෂම ලෙස කාබනික පොහොර නිෂ්පාදනය කිරීම නිවැරදි ලෙස තාක්ෂණය භාවිත කිරීම, ප්‍රමිතියෙන් හා ඉහළ ගුණාත්මක භාවයෙන් යුක්ත වූ පොහොර නිෂ්පාදනය යනාදී කරුණු පිළිබඳව දැනුවත් කළ යුතුයි.

අපේ රටේ පො‍හොර බෙදාහැරීමේ ක්‍රියාවලිය පිළිබඳව ඔබගේ අදහස් මොනවා ද?

මේ වන විට ගොවීන් අතර පොහොර බෙදා හැරීම සිදු කරන්නේ ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය ගොවි ජන සේවා නිලධාරීවරයා විසින්. තම බල ප්‍රදේශයට අවශ්‍ය පොහොර ප්‍රමාණය හා එකී පො‍හොර බෙදා හැරීම සඳහා ඉතා සාර්ථක පො‍හොරර බෙදා හැරීමේ යන්ත්‍රණයක් ඔවුන් සතුව තිබෙනවා. ඒ වගේම සෑම ගොවි ජන සේවා මධ්‍යස්ථානයක් සතුව ගබඩා පහසුකම් ද, තම බල ප්‍ර‍දේයේ කුඹුරු නාම ලේඛනයක් ද පවත්වා ගෙන යනවා. ඒ අනුව යල මහට තම ප්‍රදේශයේ වගා කරන වපසරිය කොපමණ ද, අවශ්‍ය පොහොර ප්‍රමාණය කොතරම් ද යන්න ඔවුන් දන්නවා. මෙම ප්‍රදේශවල සේවය කරන ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරීන් හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සමඟ ගොවිජනතාව තුළ ඇත්තේ ඉතා මිත්‍රශීලී සම්බන්ධතාවක්. එම නිසා දේශීය වශයෙන් කාබනික පොහොර නිෂ්පාදන වැඩපිළිවෙළක් ගොවි සංවිධාන හරහා ද සිදු කළ හැකියි.

ජනාධිපතිවරණය සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සෞභාග්‍යය දැක්ම, ප්‍රතිපත්ති මාලාවේ රටේ කෘෂිකර්මාන්තයේ දියුණුවට දක්වා තිබෙන්නේ විශාල අගයක්. ඉහළ ප්‍රමුඛස්ථානයක් නමුත්, අද ක්‍රියාත්මක වන්නේ ඊට වෙනස් දෙයක් බව ඇතැමුන් රජයට චෝදනා කරනවා නේ ද?

අවසාන වශයෙන් තවත් එක කරුණක් සඳහන් කළ යුතුයි. 2018 ජනාධිපතිවරණයේදී මෙරට ජනතාව වෙත ඉදිරිපත් කරන ලද “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ශ්‍රී ලංකාව තුළ ඉදිරි වසර තුළ, ඉදිරි වසර දහයක් තුළ කෘෂිකාර්මික භාණ්ඩ නිෂ්පාදනයන් කිරීමේදී කාබනික පොහොර ප්‍රවර්ධනය කිරීමට හා එය ජනතාව අතර ප්‍රචලිත කිරීමට පියවර ගන්නා බවයි. එමඟින් මෙරට ජනතාවගේ සෞඛ්‍ය සම්පන්නබව ආරක්ෂා කිරීමටත්, සාම්ප්‍රදායික කෘෂිකාර්මික භාවිතයන්ට අනුව රසායනික පොහොර හා කෘමිනාශක පාවිච්චිය මඟින් ඇති වූ හානිය යළි ගොඩනැඟෙනවා. ඒ අනුව රසායනික පොහොර යොදා ගනිමින් පසෙහි හීන වූ සාරවත් බව යළි ඇති කිරීමත් පසෙහි සිදු වී ඇති විෂ සහිත බව තුරන් කිරීමටත් ජෛව විවිධත්වය සුරැකීමත් අපේක්ෂාවයි. රසායනික පොහොර භාවිතයෙන් කෘෂි නිෂ්පාදනවල ගුණාත්මක භාවය වර්ධනය වී නොමැති බවත්, රසායනික පො‍හොර භාවිතයෙන් ජලය දූෂිත වීම හා පාරිභෝගික ආහාරවලට විෂ ද්‍රව්‍ය එකතුවීම හේතු කොටගෙන එමඟින් පිළිකාකාරක හා වකුගඩු රෝගවලට ජනතාව පාත්‍ර වීමත් රසායනික පොහොර ආනයනය නවතා දැමීමට හේතු වෙනවා. ඒ අනුව මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම මඟින් ජනාධිපතිතුමා ඇතුළු රජය විසින් ඉලක්කගත කරන පරිදි අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීමට ජනතා සහය අත්‍යවශ්‍ය කරුණක්.

කාබනින පොහොර භාවිත කරන්න ගොවි ජනතාව පෙළඹවීමට කටයුතු කළත්, ඒවා අවශ්‍ය තරම් වෙළෙඳපොළේ නැහැ. මේ තත්ත්වය සමනය කරන්න ගන්නා නව ක්‍රියාමාර්ග මොනවා ද?

ඒ සඳහා නව වැඩපිළිවෙළක් යෝජනා වී තිබෙනවා. ඒ තමයි කාබනික පොහොර නිෂ්පදනය කරන ව්‍යවසායක පරපුරක් ඇති කිරීම.

ඒ සඳහා ඔබගේ බැංකුවේ දායකත්වය ලබා දෙන්නේ කොහොම ද?

අපි අපේ රටේ රැකියා නොමැතිව සිටින තරුණ තරුණියන්ට ආරාධනා කරනවා කාබනික පොහොර නිෂ්පාදනය පටන් ගන්න කියා. ඒ අලුත් ව්‍යවසාය ආරම්භ කරන අයට සරල කොන්දේසි යටතේ බැංකු ණය ලබා දීමට අපි සූදානම්.

මේ අයව නිවැරදිව හඳුනාගන්නේ කොහොම ද?

ඒ සඳහා අපි ජාතික පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වී සිටීම සලකා බලනවා. ඊට අමතරව තරුණ පිරිසගේ උනන්දුව, කැපවීම ගැන අපේ බැංකු නිලධාරීන්ට වැටහීමක් ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. මේ ණය යෝජනා ක්‍රමය සාර්ථක එකක් වෙන බවට මට විශාල විශ්වාසයක් තිබෙනවා.

ජූනි 24 වැනි දින දිනමිණ පුවත්පතේ පළවූ ලිපියකි. කාබනික ගොවිතැන ප්‍රවර්ධනයට රජය ගෙන යන වැඩපිළිවෙළට අතදීමක් ලෙස සම්පූර්ණයෙන් උපුටා ගෙන පළ කරන ලදි – ප්‍රධාන සංස්කාරක

මෙම ලිපියේ ඉහළ ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගත් ඡායාරූපයක් වන අතර ලිපියේ අන්තර්ගතය සමග සම්බන්ධයන් නැත

Recommended For You

About the Author: Thusal