අධි-සැකසූ ආහාරවලට මෙතරම් ලොල් ඇයි? ඒවා සිරුරට බලපාන්නේ කොහොමද?

මිනිස් වර්ගයා ගින්දර සහ කුළුබඩු වර්ග සොයාගනු ලැබීමෙන් අනතුරුව යළි අතීතය දෙසට බැල්මක් හෙලා නැත. මිනිසුන් වන අප විසින් දිගටම අවධානය යොමු කරන්නේ ආහාර ද්‍රව්‍ය වෙන්කරනු ලැබීම සහ ඒවා නැවත එකට සම්මිශ්‍රණය කිරීමේ අලුත් මාදිලි පිළිබඳවය.

ආහාර සම්මිශ්‍රණය සහ අලුත් රසයන් මැවීම අතින් මිනිසා ලබා ඇති ආහාරමය අත්දැකීම් සම්භාරය ඇදහිය නොහැකිතරම් නිර්මාණශීලී වූවකි.

එසේවී නමුත් අප අනුභවකරන ආහාර විශේෂයෙන්ම විශේෂ ක්‍රම අනුව සැකසූ ආහාරවර්ග අනුභව කිරීමේ දී එය වඩාත් සිත් ඇදගනු ලබයි.

අධි-සැකසූ ආහාර යනු කුමක්ද?

අච්චාරු දැමීම, ටින්වල ඇසිරීම, ආහාර පැසවීම, විෂබීජ නාශනය සහ යළි එකතුව යන සියලු ආකාරයේ ආහාර සැකසීම්වල අවසන් ප්‍රතිඵලය දිව පිනවන ප්‍රනීත ආහාරයක් සැකසීමය.

එහෙත් අධි-සැකසූ ආහාර (ultra-processed’ foods-UPFs) අප නිවසේ මුළුතැන්ගෙය තුළ සාමාන්‍යයෙන් පිළියෙළ කරගනු ලබන ආහාරවලින් වෙනස් වෙයි. ඒවා අපේ සුපුරුදු ආහාර වර්ගවලට වඩා වෙනස්ව යමින් හඳුනාගත නොහැකි මට්ටමින් රසායනික විපරිවර්තනයන් අනුව නව උපක්‍රම සහ ආහාර වට්ටෝරු අනුව සකසන ලද ආහාර විශේෂ වෙති.

Dr Chris Van Tulleken sitting amongst a mountain of highly processed foods
එක්සත් රාජධානියේ,ආහාර බල ශක්තියෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් අධි-සැකසූ ආහාර යයි විශ්වාස කෙරෙයි

ආචාර්ය ක්‍රිස් වැන් ටුලෙකන් (Dr Chris Van Tulleken) බීබීසිය වෙනුවෙන් පසුගියදා අත්හදා බැලීමක නිරතවිය. එම වෛද්‍යවරයා විසින් සිදුකරන ලද්දේ පුරා මාසයක් අධි-සැකසූ ආහාර අනුභව කිරීමය. ස්පොයිලර් අනතුරු ඇඟවීම: එය හොඳින් අවසන් වූයේ නැත. ලද ප්‍රතිඵලය වූයේඅනතුරු ඇඟවීමකි.

එම අත්හදා බැලීම ”අප අපේ දරුවන්ට කවන්නේ මොනවාද? (“What are we feeding our kids?”) යන වාර්තාමය චිත්‍රපටයේ එක කොටසක් විය. ඒ සඳහා වෛද්‍ය ටුලෙකන් තම සිරුරට ග්‍රහණය කෙරුණු කැලරි ප්‍රමාණයෙන් 80%ක් අන්තර්ගත අධි-සැකසූ ආහාරවේලක් අනුභව කළේය. එය ඉහළ ආදායම් සහිත එක්සත් රාජධානිය, කැනඩාව, ඔස්ට්‍රේලියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය වැනි රටවල ජනතාව පොදුවේ අත්කර ගනු ලබන ප්‍රමාණයයි.

අධි-සැකසූ ආහාර සිරුරට බලපාන්නේ කෙසේද?

පුරා මාසයක් අධි-සැකසූ ආහාර අනුභව කළ වෛද්‍ය ටුලෙකන් ලද ප්‍රතිලාභ මොනවාද? ඔහුට හරිහැටි නින්දගියේ නැත. හදවතේ දැවීමක් පටන් ගත්තේය. අලසභාවයක් ඇතිවිය. ඒ හැරුනවිට මලබද්ධයකි. අර්ශස් බලපෑවේය. තවද,සිරුරේ බර කිලෝග්‍රෑම් හතකින් වැඩිවිය.

”මට දැනුනේ මම අවුරුදු දහයකින් මහළු භාවයට පත්වුණා වගේ සංජානනයක්” වෛද්‍ය ටුලෙකන් පවසයි.

”එම ආහාරවේල නතරකරන තෙක් එම තත්ත්වය ඇතිවුණේ ආහාරවල බලපෑම කියල මට තේරුණේ නැහැ”

වෛද්‍ය ටුලෙකන්ගේ අත්හදා බැලීමට සමගාමීව කරන ලද තවත් අධ්‍යයනයකින් මේ සඳහා විද්‍යාත්මක හේතු කිහිපයක් ඉදිරිපත් විය.

Illustration showing a pair of feet on a set of bathroom scales
සිරුරේ බර වැඩිවීමට අමතරව ලිංගික අශක්නුතාව,දරුණු කාංසාව,සතුට නැතිවීම සහ නිදාගැනීමේ අපහසුතාවන්ට වෛද්‍ය ටුලෙකන් මුහුණ දුන්නේය.

ඉහත සඳහන් කරන ලද අත්හදා බැලීමේ පිරික්සුමට සහභාගීවූවන් අතරින් අධි-සැකසූ ආහාරඅඩුවෙන් පරිභෝජනය කරන ලද පුද්ගලයන් සමඟ බලනවිට අධි-සැකසූ ආහාරගත් පුද්ගලයන් දිනකට පන්සියකට අධික කැලරි ප්‍රමාණයක් ලබා තිබුණි.

එම පුද්ගලයන් කෙරෙහි බලපෑ තවත් කරුණක් වූයේ ඔවුන්ගේ සිරුරේ කුසගිනි වඩන හෝමෝනයේ ඉහළයාමක් සහ පූර්ණ තෘප්තිය ජනනය කරන හෝමෝනයේ අඩුවීමකි. බොහෝදෙනෙක් අධි සතුටක් ලබා තිබීම සහ සිරුරේ බර වැඩිවීමට බලපෑ හේතූන් එමගින් පැහැදිලි කළ හැකිය.

එහෙත් සිරුරේ බර වැඩිවීම යනු අධි-සැකසූ ආහාර වේලක් සමඟ බැඳුනු අසංඛ්‍යාත ගැටලු වලින් එකක් පමණි. මින්පෙර සිදුකරනු ලැබ ඇති අධ්‍යයන මගින් ද අධි-සැකසූ ආහාර දිගුකලක් අනුභවය නිසා මුහුණදීමට සිදුවන හෘද රෝග, ස්ථුලභාවය, දෙවෙනි ගනයේ දියවැඩියාව, ඇතැම් පිළිකා වර්ග සහ මානසික පීඩා ආදියට ගොදුරුවෙන බව පෙන්නුම් කරනු ලැබ ඇත.

අධි-සැකසූ ආහාර අප ආහාර අනුභව ආකාරය කෙරෙහි පවා බලපෑමක් කරන බව ඉහත කී අධ්‍යයනය මගින් පැහැදිලි විය. අධි-සැකසූ ආහාර අනුභව කරන්නෝ අවම මට්ටමේ සැකසූ ආහාර ගන්නා අයට වඩා ඉතා ඉක්මනින් අනුභව කළහ.

”ඒවා හැපීම සහ ගිලීම පහසුයි” වෛද්‍ය ටුලෙකන් පිළිගනී.

Profile picture of Dr Emma Beckett
‘සතුට සඳහා ආහාර අනුභවය අපරාධයක් නොවන’ බව මතක්කර දීමට ආචාර්ය බෙකට් මනාප වන්නීය

මෙම කාරණය සඳහා ආහාර සහ පෝෂණය පිළිබඳ විශේෂඥවරියක වන ආචාර්ය එමා බෙකට් ( Dr Emma Beckett) සහභාගී කරගත හැකිය.

”අධි-සැකසූ ආහාර රසවත්” ඇය පවසන්නීය.

මේද සහ කාබෝහයිඩ්රේට් සඳහා ඇති මිනිස් වර්ගයාගේ අභිරුචිය පරිණාමය මත රඳා පවතින බව ආචාර්ය එමා බෙකට් පවසයි.

”අපේ රස නහරවල ස්වාභාවික තෝරා ගැනීමේ දී මූලයන් වුනේ ලුණු සහ ශක්තියයි” ඇය පවසන්නීය.

අපේ මුතුන් මිත්තන්ට “පැණිරස හා ‘උමාමි’ රස මගින් බලශක්ති ප්‍රභවයන් වන කාබන් සහ ප්‍රෝටීන් ගැන සෘජුවම ඇඟවුම් කළා” යැයි ඇය පවසයි. (උමාමි යනු පැණිරස,ඇඹුල් රස,ලුණු,සහ තිත්ත රසවලින් වෙනස් රසයකි)

”ලුණු ආහාර රුචිය ඇතිකරන සුලුයි.එය අවශ්‍ය කරන්නේ කුඩා ප්‍රමාණයකින් නමුත් ඓතිහාසිකව ලුණු ලබාගැනීමට තිබුණේ නැහැ”

එහෙත් පරිණාමයට වඩා අඩු වැදගත්කමක් සහිත කරුණ වන්නේ සමහරවිට අධි-සැකසූ ආහාර පිටුපස ඇති නිෂ්පාදන ක්‍රියාවලියයි.

”මේ ආහාර නිමවා තිබෙන්නේ අපේ සිරුරේ ප්‍රමෝදජනක ස්ථාන ඉලක්ක කරගෙන” ආචාර්ය බෙකට් පැහැදිලි කරයි.

මෙය වෙනත් වචන වලින් කියන්නේ නම්,අධි-සැකසූ ආහාර අපගේ මනසත් අවුල් කරයි.

මොළයට කරන බලපෑම

Illustration of a human brain with items of processed foods

ආහාරයක් අධි-සැකසූ එකක්දැයි කීමට හොඳම ක්‍රමයක් වන්නේ ඔබ මේ ප්‍රශ්නය ඔබෙන්ම අසන්න; ”එම ආහාරය ගැන ප්‍රචාරක දැන්වීමක් ඔබ දැක තිබෙනවාද?”

”අධි-සැකසූ ආහාර බුදීම මට ආහාරයක් අනවශ්‍ය වෙලාවල්වල පවා එය බුදින ලෙස මගේ මොළය කියාසිටින තත්ත්වයක් උද්ගත වුණා” වෛද්‍ය ටුලෙකන් පාපොච්ඡාරණය කළේය.

ඇත්තෙන්ම,වෛද්‍ය ටුලෙකන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වය ස්කෑන් මගින් නිරීක්ෂණය කළවිට පෙනීගොස් තිබෙන්නේ මොළයේ විපාක සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන කලාප ක්‍රියාවක් නැවත නැවත සිදුකිරීමට පොළඹවනු ලබන කලාප සමඟ සම්බන්ධ වී තිබී ඇති බවය. මූලික වශයෙන් ඔහුගේ මොළය අධි-සැකසූ ආහාර කෙරෙහි ඇබ්බැහිවූ තත්ත්වයකට පත්ව තිබී ඇත.

‘ඉතා රසවත් ආහාරවල අතුරු ප්‍රතිවිපාකය වන්නේ එය නතර කිරීම දුෂ්කරවීම” වෛද්‍ය ටුලෙකන් පවසයි.

”ඒ නිසා ඒ පුරුද්දෙන් මිදීම දුෂ්කරයි”

තවත් මොනවද?’ අධි-සැකසූ ආහාරවලට ”ශුභවාදී අගතියකැයි” කිවහැකි යාන්ත්‍රණයක් ද අවුළුවාලිය හැකිය.

”ජන්ක් ෆුඩ් සම්බන්ධයෙන් ඇති ශුභවාදී හැඟීම් සැණෙකින් බල පැවැත්වෙනවා” ආචාර්ය බෙකට් පෙන්වා දෙයි.

”නමුත් අහිතකර බලපෑම දැනගැනීමට කලක් ගතවෙනවා.අපේ ආහාර පුරුදු වෙනස්කර ගැනීම පසුව සිදුකළ හැකියයි විශ්වාස කිරීම හෝ කෙසේවෙතත් ප්‍රතිඵලය නොවැලක්විය හැකිය අදහස ඇතිකර ගැනීම අපට පහසුයි”

මෙය සරලව සඳහන් කළොත්;”ඔබ දැන් ඊට ආශා කරනවා. නමුත් පසුව ඔබ ඒ ගැන පසුතැවිලි වෙනවා”

Illustration of a shop shelf filled with colourful products
සිල්ලර කඩයක් ගත්විට එහි විකිණීමට තබා ඇති අධි-සැකසූ ආහාර නිතරම මෙන් වර්ණවත් ඇසුරුම්වල ඇතුළත් වෙයි. එසේම ඒවා ඇස ගැටෙන මට්ටමින් රාක්කවල තබා තිබේ,එසේත් නැත්නම් ඒවා තබා ඇත්තේ අයකැමිට කිට්ටුවෙනි

එසේම, අප හසුකර ගැනීමට ඔවුන්ට අවශ්‍ය වූ පරිදි ආක්‍රමණශීලී අධි-සැකසූ ආහාර වෙළෙඳපොළ අපේ මනස තුළට ඒවා කා වැද්දීමට ආධාරවෙනවා” ආචාර්ය බෙකට් පෙන්වා දෙයි.

‘අපේ බොහෝ ආහාර තෝරාගැනීම් සිදු කෙරෙන්නේ අවිඥානික මට්ටමින්. අපි සෞඛ්‍ය ගැන ගැඹුරින් හිතන්නේ නැහැ. වෙළෙඳපොළේ, මාධ්‍ය ජාලවල සහ වෙළෙඳ දැන්වීම් ආදියේ අපි දකින දේවල් මිලට ගන්න අපි වැඩි වශයෙන් කැමතියි”

අධි-සැකසූ ආහාර බුදින්නේ ඇයි?

අධි-සැකසූ ආහාර ශරීර සෞඛ්‍යයට එතරම් හානිකර නම්,ඒවා පවතින්නේ කුමක් නිසාද? යන ගැටලුව මතුවෙයි.

”සෞඛ්‍යයට හිතකර මට්ටමින් ආහාර ගැනීම ගැන දැක්වෙන ඕස්ට්‍රේලියානු උපදෙස් පත්‍රිකාවක එම ආහාර හඳුන්වා දී තිබෙන්නේ ‘අභිමතය පරිදි’ තෝරාගන්නා ආහාර හැටියටයි. මොකද? එය තෝරා ගැනීමක් පමණයි. අවශ්‍යතාවක් නොවෙයි” ආචාර්ය බෙකට් පැහැදිලි කළාය.

එහෙත් සුඛෝපභෝගී වරණයක් සහිත පුද්ගලයන් මෙය මතක තබාගතයුතු බවත් ඇය සඳහන් කරයි.

”හැම කෙනෙක්ම සෞඛ්‍යයට හිතකර කෑම තෝරාගත හැකි මට්ටමක නැහැ. අධි-සැකසූ ආහාර දිගුකලක් තබාගන්න පුළුවන්. සංචාරයේ දී පහසුයි. කාලය සීමිත වෙලාවක,එහෙමත් නැත්නම්, මුදල් හිඟ වෙලාවක අධි-සැකසූ ආහාර පහසු තෝරාගැනීමක් -සමතුලිත දෙයක් හැටියට හැඟෙන්න පුළුවන්”

A young woman sitting at a table with a near-empty plate
ආහාරපාන සම්බන්ධයෙන් තීරණ ගැනීමේ දී නිතරම අප පොළඹවනු ලබන්නේ පෝෂණ අවශ්‍යතා නොව වෙනත් කරුණු විසිනි

සෞඛ්‍යයට හිතකර නිෂ්පාදන වෙනුවට අධි-සැකසූ ආහාර තෝරාගැනීමෙහිලා මිනිසුන් යොමුකරනු ලබන දේවල්

” සැබෑ නපුරු බලවේග” ලෙස ආචාර්ය බෙකට් හඳුන්වයි.

නිදසුනක් ලෙස ඇය දක්වන්නේ නිදන්ගත මානසික ආතතියයි.

”නිදන්ගත ආතතියට අපේ සිතේ පැණිරස,මේදය බහුල ආහාර සහ ලුණු බහුල ආහාර කෙරෙහි අපේ ලොල්බව වඩවන්න පුළුවන්. ඒවගේම සෞඛ්‍ය සම්පන්න ආහාරයක් තීන්දුකිරීමට අප තුළ පවතින අභිලාශය, ශක්තිය සහ කාලය කෙරෙහි ආතතිය බලපාන්න පුළුවන්”

මේ හැරුනුවිට තවත් කරුණක් ද ඇත. එනම්, අධි-සැකසූ සියලු ආහාර අනිවාර්යයෙන් ම ”අහිතකර” ආහාර නොවීමය.

”ඇත්තෙන්ම ඉතා වටිනා ආහාර වර්ග අධි-සැකසූ ආහාරවලට ඇතුළත් වෙනවා. ටින් කරන ලද එළවළු,පැස්ටා,සහල්,පාන් සහ හීලට ගනුලබන කෙඳි සහිත සීරියල් වර්ග වගේ ආහාර” ආචාර්ය බෙකට් උදාහරණ සපයයි.

නමුත් මේ සියල්ලට වඩා එක කරුණක් අපි අමතක නොකරමු. එනම්,මේ ආහාර එහි ඇතුළත් වට්ටෝරුවට වඩා බෙහෙවින් වැඩිදෙයක් වන බවය.

‘ආහාර කියන්නේ අවශ්‍යතාව විතරක් නොවෙයි. එය සතුට ලැබීමේ, සංස්කෘතියේ,සමාජගතවීමේ සහ තවත් බොහෝ දේවල්වලට සම්බන්ධ දෙයක්” ආචාර්ය බෙකට් පවසයි.

”අපට අවශ්‍ය කරන්නේ මහජනයාට සතුට සහ සෞඛ්‍යය යන දෙක සමතුලිත කරගන්න උදව්වීම විතරයි”

Text by – bbc sandesaya

Recommended For You

About the Author: Thusal