මානව පරිණාමය පිළිබඳ කතාව අලුතින් ලියන්න වේවිද ?

ඊශ්‍රායලයේ කැනීම්වල නිරත පර්යේෂකයන් කණ්ඩායමක් විසින් අපගේ මානව වර්ගයා සමඟ ජීවත්වූ මෙතෙක් කරුණු නොදත් වෙනත් ඓතිහාසික මිනිස් විශේෂයක් හඳුනාගනු ලැබ ඇත.

එම මිනිස් විශේෂය හඳුනාගනු ලැබ තිබෙන්නේ ‘රම්ලා'(Ramla) නම් නගරය අසල ස්ථානයකිනි. ‘රම්ලා’ නගරය අසල කරන ලද කැනීම්වලදී හමුවූ මිනිස් ඇටකැබලි මෙයින් අවුරුදු ලක්ෂයකටත් ඈත අතීතයක ජීවත්වූ ඉතා පැරැණි මානව කණ්ඩායමකට අයත් අන්තිම පරපුරේ සාමාජිකයන් අතරින් එක් තැනැත්තකුගේ විය හැකියයි එම පර්යේෂකයෝ විශ්වාස කරති.

මිනිස් හිස්කබලක කොටසක් සහ හකු අස්ථි ඇතුළත් නව සොයාගැනීම් මෙයින් අවුරුදු 120,000ත් 140,000ත් අතර වාසය කළ මිනිස් විශේෂයකට අයත් පුද්ගලයකුගේ විය හැකැයි හනුනාගනු ලැබ ඇත.

මෙම නව සොයාගැනීමට අදාළ තොරතුරු ‘Science’ විද්‍යා සඟරාවේ පළකරනු ලැබ තිබේ.

ඉහත කී අස්ථි කොටස් අයත් මානවයා මෙයින් අවුරුදු ලක්ෂ ගණනකට පෙර කලාපයෙන් ව්‍යාප්ත වූ යුරෝපයේ ‘නියැන්ඩර්තාල්’ ( Neanderthals) සහ ආසියාවේ වූ ඔවුන්ට සමාන මානව වර්ගයකින් පැවැත එන්නකු වන්නට ඇතැයි පර්යේෂකයෝ අදහස් කරති.

විද්‍යාඥයන් විසින් එම මානවයන් නම්කරනු ලැබ තිබෙන්නේ “නේෂර් රම්ලා හෝමෝ වර්ගයා”(“Nesher Ramla Homo type”) යනුවෙනි.

මෙම නව සොයාගැනීමත් සමඟ මානව වර්ගයාගේ පරිණාමය පිළිබඳ අප මෙතෙක් දැනසිටි කතන්දරයේ විශේෂයෙන්ම ‘නියැන්ඩර්තාල්’ මානවයා මිහිතලයේ මතුවීම දැක්වෙන චිත්‍රයේ අළුත් හැඩගැස්මක් ඇතිකෙරෙන බව ‘ටෙල් අවිව්’ සරසවියේ ආචාර්ය හිලා මේ (Dr Hila May) පවසයි.

‘නියැන්ඩර්තාල්’ මානවයාගේ පරිනාමයට අදාළ චිත්‍රය මෙතෙක් සම්බන්ධව තිබුණේ යුරෝපයත් සමඟ ඇති සම්බන්ධතාවක් සමගිනි.

”මේ සියල්ල ආරම්භ වුණේ ඊශ්‍රායලයෙන්. ජනගහන ප්‍රභවය ප්‍රාදේශීය කණ්ඩායමක් යයි අපි අදහස් කරනවා”ආචාර්ය හිලා මේ, බීබීසිය සමඟ සාකච්ඡාවකදී සඳහන් කළාය.

”හිම යුග අතර අන්තර් කාලවලදී “නේෂර් රම්ලා හෝමෝ”(“Nesher Ramla Homo type”) මානවයන් මිනිස් රැළි වශයෙන් මැදපෙරදිග සිට යුරෝපයට සංක්‍රමණය වී තිබෙනවා” ඇය වැඩිදුරටත් පවසන්නීය.

ඊශ්‍රායලයේ පුරාතන මානවයා

“නේෂර් රම්ලා හෝමෝ” මානවයාගේ ආදිතමයන් ඉරානය සහ මධ්‍යධරණී මුහුද අතර බටහිර ආසියානු කලාපයේ (Near East) මෙයින් අවුරුදු හාරලක්ෂයකට පෙර ජීවත්වන්නට ඇතැයි ඊශ්‍රායලයේ කරන ලද කැනීම්වලට සම්බන්ධ විද්‍යාඥයෝ අදහස් කරති.

ඉහත කී අලුතින් අනාවරණය වූ මානව කොටස සහ පෞරාණික ‘පූර්ව-නියැන්ඩර්තාල්’ ආදි මිනිසා අතර සමානත්වයක් පර්යේෂකයන් විසින් හඳුනාගනු ලැබ ඇත.

”නැගෙනහිර මධ්‍යධරණී කලාපය සහ බටහිර ආසියාවට අයත් ‘ලෙවන්ට්’ ( Levant) නම් විශාල භූමි ප්‍රදේශයෙන් හමුවූ විවිධ මානව කොටස් අතර සම්බන්ධයක් පළමුවරට හඳුනා ගැනීමට මෙම අලුත් සොයාගැනීමත් සමඟ හැකිවෙනවා” ටෙල් අවිව් සරසවියේ ආචාර්ය රේචල් සරිග් (Dr Rachel Sarig) පවසයි.

”ක්විසෙම්(Qesem), ‘ෂුටියෙහ්'(Zuttiyeh) සහ ‘ටබුන්'(Tabun) යන ගුහාවලින් හමුවී ඇති එම යුගයට අයත් දැනට හඳුනාගනු ලැබ තිබෙන කිසිදු මානව පොසිලකට සම තත්ත්වයේ සලකන්න බැහැ. නමුත් එම හැඩරුව අලුතින් සොයාගන්නා ලද ‘නේෂර් රම්ලා’ නිදර්ශක සමඟ සසඳන විට ඒවා වෙනත් මානව කොටසකට ඇතුළත්කරනු ලැබීම යුක්ති සහගතයි”

මෙම නව මානව කොටස ‘නියැන්ඩර්තාල්’ මානවයාගේ මුතුන් මිත්තන් විය හැකි යැයි ආචාර්ය මේ යෝජනා කරයි.

”යුරෝපීය ‘නියැන්ඩර්තාල්’ මානවයා සැබැවින්ම ප්‍රභවය ලැබ තිබෙන්නේ නැගෙනහිර මධ්‍යධරණී කලාපය සහ බටහිර ආසියාවට අයත් ‘ලෙවන්ට්’ (Levant) කලාපයේ. ඔවුන් වෙනත් මානව කොටස් සමඟ සම්මිශ්‍රණය වෙන අතරවාරයේ යුරෝපයට සංක්‍රමණය වුණා.”

”අනිත් කොටස නැගෙනහිර දෙසට යොමුවෙමින් ඉන්දියාව සහ චීනය දෙසට සංක්‍රමණය වී තිබෙනවා” මහාචාර්ය ඊශ්‍රායල් හර්ෂ්කොවිට්ස් ( Prof Israel Hershkovitz) පවසයි. නැගෙනහිර ආසියාවේ පෞරාණික මානව වර්ගයා සහ යුරෝපයේ ‘නියැන්ඩර්තාල්’ මානවයා අතර සහ සම්බන්ධතාවක් මහාචාර්යවරයා දකියි.

”නැගෙනහිර ආසියාවේ ඇතැම් මානව පොසිලවල අන්තර්ගත ‘නියැන්ඩර්තාල්’ ලක්‍ෂණ ‘නේෂර් රම්ලා හෝමෝ ‘ මානව ලක්‍ෂණ සමඟ සමාන වෙනවා ” මහාචාර්ය ඊශ්‍රායල් හර්ෂ්කොවිට්ස් ( Prof Israel Hershkovitz) පෙන්වා දෙයි.

ඊශ්‍රායලයේ පුරාතන මානවයා

මුලින් සඳහන් කරන ලද පර්යේෂණ කණ්ඩායම් ඔවුන්ගේ නිගමන සඳහා පදනම් කරගනු ලබන්නේ ඊශ්‍රායල් භූමියෙන් සොයාගන්නා ලද පොසිල සහ යුරෝපයෙන් සහ ආසියාවෙන් සොයාගෙන ඇති පොසිල අතර දක්නට ලැබෙන සමානකම් වන නමුත් එම නිගමන විවාදාත්මක යයි චීනයේ මානව අස්ථි කොටස් ගැන මෑතදී අධ්‍යනයෙහි නිරතවෙමින් සිටි ලන්ඩන් ස්වභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයේ මහාචාර්ය ක්‍රිස් ස්ට්‍රිංගර් (Prof Chris Stringer) පවසයි.

”එම පෞරාණික අවධියේ මැදපෙරදිග කලාපයේ විවිධ මානව කොටස් සහජීවනයෙන් පැවතුන බව වැඩිදුරටත් සනාථ කිරීම සඳහා නේෂර් රම්ලා මානව වර්ගයා ඉතා වැදගත්”මහාචාර්ය ක්‍රිස් ස්ට්‍රිංගර් (Prof Chris Stringer) සඳහන් කළේය.

”කෙසේවෙතත්,ඊශ්‍රායලයෙන් හමුවූ පැරණි පොසිල සහ යුරෝපියානු ‘නියැන්ඩර්තාල්’ මානවයා අතර සම්බන්ධයක් දැකීම මේ මොහොතේ පමණ ඉක්මවා පෙරට යාමක් කියල මම හිතනවා. ඒ වගේම නේෂර් රම්ලා ද්‍රව්‍ය සහ චීන පොසිල අතර කිසිදු ආකාරයක විශේෂ සම්බන්ධතාවක් දැකීමත් මට ප්‍රහේලිකාවක්” මහාචාර්යවරයා තර්ක කරයි.

නේෂර් රම්ලා මානව කොටස් සොයාගනු ලැබ තිබෙන්නේ පොළොවේ ගිලාබසින ලද ස්ථානයකිනි. එය පිහිටා තිබෙන්නේ පූර්ව ඓතිහාසික යුගයේ මානවයන් ගැවසුන කලපයකය. එම භූමියේ දහස් ගණනක් පාෂාණමය අවි ආයුධ සහ දඩයම් කරන ලද සතුන්ගේ ඇටකටු ආදිය හමුවීමෙන් ඇඟවෙන්නේ එය ආදී මානවයා වල් ගවයන්, අශ්වයන් සහ මුවන් දඩයම් කරන ලද කලාපයක් වියහැකි බවය.

ජෙරුසලමේ හීබෘ සරසවියේ ආචාර්ය යොසි ෂයිඩ්නර් (Dr Yossi Zaidner) විසින් විශ්ලේෂණය කරන පරිදි, එම අතීත මානවයා එම අවි ආයුධ නිපදවන්නට ඇත්තේ නූතන මිනිසා තමන්ට අවශ්‍ය උපකරණ නිපදවාගනු ලබන ආකාරයෙනි.

“මේ පුරාතන මානවයා හෝමෝ සේපියන් මානවයාට සාමාන්‍යයෙන් සම්බන්ධ උපකරණ පාවිච්චිකර තිබීම විශ්මයට කරුණක්. එයින් පෙනීයන්නේ එම මානව කණ්ඩායම් දෙක අතර අන්තර් සම්බන්ධයක් පැවතුන බවයි” ආචාර්ය යොසි ෂයිඩ්නර් (Dr Yossi Zaidner) උපකල්පනය කරයි.

”අවි ආයුධ තනාගැනීම උගත හැක්කේ එක්කෝ දර්ශනය තුළින් එසේත් නැත්නම්,වාචිකව ලබන දැනුම තුළින් පමණක් යයි අපි හිතනවා. අපේ සොයාගැනීම් මගින් පෙන්නුම් කෙරෙන්නේ මානව පරිණාමය සරල විෂයයක් නොවන බව. එම පරිණාමය විවිධ මානව වර්ග අතර පැවතුණු විසිරුන බොහෝ සම්බන්ධතා සහ අන්තර් ක්‍රියාකාරිත්වය සහිත ස්වාභාවික ක්‍රියාවලියක්’

Text by – bbc sandesaya

Recommended For You

About the Author: Thusal