කොවිඩ් වසංගතය ‘ළමුන්ට කර ඇති බලපෑම ගැන‘ බොහෝ දෙනා නිහඩ ඇයි ?

කෝවිඩ් වසංගතය පැතිර යෑමත් සමඟ ලොවෙහි විවිධ ක්ෂේත්‍ර වලට එය ඇති කළ බලපෑම පිළිබඳ විශාල කතිකාවතක් ඇතිවී තිබේ . එය එසේ වුවද කෝවිඩ් වසංගතය ළමුන්ට බලපා ඇති අයුරු පිළිබඳ ව එවැනි සංවාදයක් ගොඩනැගී නැත.

මෙයට ප්‍රධාන හේතුවක් වන්නේ ළමුන් පිළිබඳව කතා කිරීමට තිබෙන ආයතන හා පුද්ගලයන් ඇත්තේ ඉතාම සුළුතරයක් වන නිසාය. එසේම ළමුන්ට ඡන්ද බලයද නොමැත. මැතිවරණ හා ඡන්ද ක්‍රමය ප්‍රධාන කොට ඇති රටක ඉතා පහසුවෙන් ළමුන්ව සියලු දෙනාට අමතක වීම ස්වභාවයකි.

2020 මාර්තු මස සිට 2021 ජුනි මාසය දක්වා අවුරුදු 1 මාස 3 ක පමණ කාලයක් තුළ මෙරට පාසල් විවෘත ව තිබුණේ මාස දෙකකටත් වඩා අඩු කාලයකි. මෙම වසර ළමුන් අධ්‍යාපනය අතින් අඳුරේ සිටි වර්ෂයක් ලෙස හැඳින්වීම නිවැරදිය.

කෝවිඩ් වසංගතය පැතිර යාම වැළැක්වීම සඳහා පාසල් වසා තැබීමට සිදුවීම ස්වභාවිකය. මෙයට විකල්ප ඉගෙනුම් මාර්ගයක් ලෙස ඔන්ලයින් අධ්‍යාපනය හඳුන්වා දී ඇත. නමුත් මෙම ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයේ ඇති අඩු පාඩු අද විශාල වශයෙන් සාකච්ඡාවට භාජනය වී ඇති කරුණක් වී තිබේ.

ඔන්ලයින් අධ්‍යාපනය ලබා ගැනීමට අවශ්‍ය දුරකථන හෝ ටැබ් යන්ත්‍ර ලබා ගැනීමට මුදල් නොමැති ව ළතැවෙන දරුවනුත්, සංඥා නොලැබෙන ස්ථානවල ජීවත් වන දරුවනුත්, ඒ සඳහා වැය කළ යුතු සංඛ්‍යාතයන් ලබා ගැනීමට මුදල් නොමැති දරුවනුත් මෙම ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය නිසා විශාල වශයෙන් පසුපසට යාම ස්වභාවික ය . මේ නිසා නිදහස් අධ්‍යාපනයේ මූලික සංකල්පයක් වන ” සැමට සමාන අධ්‍යාපනයක් ” ලබාදීම යන්න ඉබේම උල්ලංඝනය වී යයි .

එසේම ඔන්ලයින් පාඩම් සඳහා ළමයාගේ අවධානය රඳවා ගැනීම අපහසු වීම ද ගැටලුවකි. මෙම ඔන්ලයින් අධ්‍යාපනය ලබාදෙන කාලය තුළ දෙමව්පියන්ට ද දරුවා අසල සිටීමට සිදුවේ. ළමයාගේ දැනුමේ ඇති අඩුපාඩු පරික්ෂා කිරීමේ ක්‍රමයක්ද නොමැත. එනිසා ඔන්ලයින් අධ්‍යාපනය කිසිසේත්ම පාසල් අධ්‍යාපනය හා සැසඳිය හැකි නොවේ.

මෙයට විකල්පයක් ලෙස රූපවාහිනි මාධ්‍ය තුළින් අධ්‍යාපන පාඩම් ලබාදීම සිදුකළ යුතු බවට යෝජනාවක් පැමිණ ඇත. එම යෝජනාව ඔන්ලයින් අධ්‍යාපනයට වඩා කාලෝචිත වන අතර පාඩම් දිනය පුරාම බෙදී යන පරිදි විවිධ රූපවාහිනී නාලිකා ඔස්සේ සංවිධානාත්මකව සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයට සිදුවනු ඇත. මෙය ඉතා කෙටි කාලයක් තුළ සිදුකළ හැකි කාරණයකි. අවශ්‍ය වන්නේ පාඩම් හඳුනා ගැනීමත් , ඒ ඒ පාඩම් සඳහා අවශ්‍ය ක්‍රම හඳුනා ගැනීමත් පමණි. ඉන්පසු සෑම ළමයකුටම දැකිය හැකි වන පරිදි කාල සටහනක් සකස් කොට විවිධ දරුවන්ට මෙම අධ්‍යාපනය ලබා දිය යුතුය.

මේ සියල්ලන් විසින් අමතක කරනු ලබන කරුණක් වන්නේ පාසල යනු දැනුම ලබා දෙන ස්ථානයක් පමණක් නොව අධ්‍යාපනයද ලබා දෙන ආයතනයක් යන්න යි. මෙම අධ්‍යාපනය ශාස්ත්‍රීය දැනුමෙන් පමණක් නොනැවතී ශාරීරික අධ්‍යාපනය, සමාජීය අධ්‍යාපනය, සෞන්දර්ය අධ්‍යාපනය හා ආධ්‍යාත්මික අධ්‍යාපනය ලබා දෙන ආයතනයක් ලෙස පාසල හඳුන්වා හඳුන්වා දිය හැකිය. ඔන්ලයින් හෝ රූපවාහිනිය මගින් ලබාදිය හැක්කේ ශාස්ත්‍රීය අධ්‍යාපනය පමණි. අන් සියලු අංශ ළමයාගෙන් ගිලිහී යාම මෙවන් ක්‍රමවලදී සිදු වනු ඇත.

කෝවිඩ් වසංගතය ආරම්භ වූ කාලයට වඩා අද පවතින තත්වය වෙනස්ය. මේ වන විට ලොවෙ හි විවිධ එන්නත් මේ සඳහා හඳුන්වා දී තිබේ. කෝවිඩ් මර්දනය හෝ කෝවිඩ් රෝගයේ බරපතළ සංකූලතාවයන් අවම කිරීම මෙම එන්නත් මගින් සිදු වෙයි. තවමත් වයස අවුරුදු 18න් පහළ දරුවන්ට කෝවිඩ් එන්නත ලබාදෙන්නේ රටවල් කීපයක පමණි.

පාසල් නැවත විවෘත කරන්නේ නම් ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග කිහිපයක් තිබේ. පාසල් විවෘත කිරීමේ ගැටලුව වන්නේ එසේ පාසල් විවෘත වූ පසු එයට පැමිණෙන දරුවන්ට කෝවිඩ් ආසාදනය වීමට ඇති අවදානම ය. එසේ වුව ද ලෝකයේ විවිධ රටවල ඇති අත්දැකීම් මගින් සොයාගෙන තිබෙන කරුණක් වන්නේ දරුවන්ට වැළඳෙන කෝවිඩ් රෝගය ඉතා සුළු සංකූලතා සහිත තත්ත්වයක් පමණක් බව ය. බරපතළ රෝගාතුර බවට පත්වන දරුවන් ඉතා අඩු ය.

මෙසේ බරපතළ රෝගාතුර තත්ත්වයකට පත් දරුවන් කිහිප දෙනෙකු ගේ කරුණු පැවසීම නිසා සමාජය මහත් භීතියට පත්ව ඇත. එසේ නමුත් මෙම මරණ සංඛ්‍යාව ඉතාමත්ම සුළු ය. එදිනෙදා පාසලට යන ළමුන් අතරින් රිය අනතුරුවලින් මිය යන දරුවන්ගේ සංඛ්‍යාව ඊට වඩා බෙහෙවින්ම වැඩි ය. එනිසා මෙවන් ඉතාම සුළු මරණ සංඛ්‍යාවක් සිදු වීම පාසල් විවෘත නොකර තැබීමට හේතුවක් විය යුතු නැත.

පාසල් විවෘත කරන්නේ නම් පාසලේ පන්ති කාමර වල ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කළ යුතු ය. රෝගය පැතිරී යාම වැළැක්වීම සඳහා මේස අතර පරතරය වැඩි කළ යුතුය. දරුවන් අතර රෝගය පැතිරී පැතිරී යාම වැළැක්වීමට කළ යුතු මුඛ ආවරණ පැළඳීම, අත් සේදීම, දුරස්ථභාවය ආරක්ෂා කිරීම වැනි දේවල් දරුවන්ට පුහුණු කළ යුතුය. මෙසේ කිරීමේ දී පාසල දෙකට කඩා වරු දෙකකට පැවැත්වීම ද සිදු කළ හැකි දෙයකි. විවිධ අර්බුදකාරී අවස්ථාවල ලංකාවේ පවා මෙසේ වරු දෙකකට පාසල් පැවැත්වීම සිදු කර ඇත. එම නිසා මෙය අමුතු ක්‍රියා මාර්ගයක් නොවේ. ඇතැම් විට පැය හයක ඉගෙනුම් කාලය පැය පහකට අඩු කිරීමට සිදුවිය හැකිය . අධ්‍යාපනය නොලැබීමට වඩා එය වැදගත් වේ.

එසේම පාසල් විවෘත කරන්නේ නම් පාසල් ගුරුවරුන්ට රෝගය ආසාදනය විය හැකි නිසා ගුරුවරුන්ට එන්නත් ලබාදීම අතිශයින් වැදගත් වේ. ලංකාවේ අද වන විට සේවය කරන්නේ පාසල් ගුරුවරුන් දෙලක්ෂ විසිපන් දහසක් පමණි. අමතර සුළු සේවකයන් සමග සියලු පිරිස දෙලක්ෂ හැත්තෑ පන්දහසක් පමණ වන බවට අධ්‍යාපන අමාත්‍යාංශය නිර්ණය කොට තිබේ. ශ්‍රේණි වශයෙන් ගත් කල ලංකාවේ පාසල්වල 1 – 5 ශ්‍රේණිය දක්වා දාසයලක්ෂයක් ශිෂ්‍යයන්ද, 5 – 10 ශ්‍රේණිය දක්වා දහතුන් ලක්ෂයක් ශිෂ්‍යයන්ද , 10 – 11 ශ්‍රේණි වල හය ලක්ෂයක් ශිෂ්‍යයන්ද , 12 – 13 ශ්‍රේණි දක්වා හාරලක්ෂයක් ශිෂ්‍යයන්ද ඉගෙනුම ලබයි. මෙය සමස්ත ජනගහනයෙන් 30% ක පමණ ප්‍රමාණයකි.

එසේම දරුවන් පාසල්වලට යන විට එම දරුවන්ගේ නිවෙස්වල අයට රෝගය බෝ වන්නට ඉඩ තිබේ. එම නිසා රෝගය ඉතා ඉක්මනින් හඳුනා ගැනීමේ ලක්ෂණ පිළිබඳව සමාජය පුහුණු කිරීම අතිශයින් වැදගත්ය. එමෙන් ම නිවෙස් වල වාසය කරන, දරුවන්ගේ සීයලා සහ ආච්චිලා, එනම් වයස 60ට වැඩි අය එන්නත් කිරීම වැදගත් වේ.

එසේ වන්නේ රෝගයෙන් වැඩිපුරම සංකූලතාවයන් ඇති වීමට සහ මියයාමට ඉඩක් තිබෙන්නේ ඒ අය නිසාය.
වසරකට ආසන්න කාලයක් දරුවන් පාසල් නොයාම නිසා ඇතිවී ඇති කායික සහ මානසික ගැටලු අතිමහත් ය. ළමයි නිවෙස් තුළ කිසිම ව්‍යායාමයක් නැතිව සිටීම නිසා ඇතැම් විට ස්ථුල භාවයට පත්ව හිඳිති. එසේම පාසල් යන දරුවකුට වඩා නිවසේ සිටින දරුවකු හට ක්‍රීඩා කිරීමේ අවස්ථා, අන්‍යෝන්‍ය සම්බන්ධතාවයන් ඇති කර ගැනීමේ අවස්ථා අතිශයින්ම අඩු ය. මේ නිසා ළමයින්ගේ හැසිරීම් රටාවල විශේෂ වෙනස්කම් ඇතිවී තිබේ. ඔවුන්ගේ දඟකාර බව ද මුරණ්ඩු බව ද වැඩි වී ඇත.

ඇතැමුන් මානසික රෝගවල ප්‍රකාශනයක් ලෙස එළි දකින කායික රෝගයන් සහිතව අපට හමුවේ. හිස කැක්කුම, බඩ රිදීම වැනි දෑ මේ අතරින් ප්‍රධාන ය. එපමණක් නොව කෝවිඩ් රෝගය නිසා අතිශය භීතියට පත්වූ දරුවන් හුස්ම ගැනීමට අපහසු වීම වැනි දේවල් සමඟ වෛද්‍යවරුන්ට හමුවෙයි. පාසැල් විවෘත කිරීම වැදගත් වන්නේ පාසලකට යන දරුවා සමාජය සමඟ ආශ්‍රය කරන නිසාය.

ශාස්ත්‍රීය දැනුමට අමතරව ළමුන් සමඟ සෙල්ලම් කිරීම හැසිරීම තුළින් සාමූහික ක්‍රියාවන් කිරීමෙන් සමාජීය අධ්‍යාපනයත්, එසේම සෞන්දර්ය අධ්‍යාපනයත් දරුවකු පාසල තුළින් ලැබිය යුතුය. එසේ ම ආධ්‍යාත්මික ගුණ ධර්ම වර්ධනය කරගැනීමටද පාසැල ඉතා වැදගත් වේ. එම නිසා මෙහි සඳහන් අවශ්‍ය පියවර ගෙන පාසැල් විවෘත කිරීම අතිශයින්ම වැදගත්ය.

වෛද්‍ය අජිත් අමරසිංහ

Recommended For You

About the Author: Thusal

Leave a Reply

Your email address will not be published. Required fields are marked *