ප්‍රවෘත්ති වලින් ඔබ දරුවාගේ ‘පුංචි හිත‘ අවුල් වෙන බව දන්නවාද ?

බය හිතෙන, ඔළුව අවුල් කරන ප්‍රවෘත්ති අද ටීවී එකෙන්, ෆෝන් එකෙන්, ටැබ් එකෙන් සහ කොම්පියුටර් එකෙන් ඕන වෙලාවක බලන්න පුළුවන්. හුඟක් වෙලාවට ඒ ප්‍රවෘත්තිවලට සංවේදී දර්ශනත් ඇතුළත් වෙලා තියෙනවා. දරුවනුත් ඒවා බලනවා. ඉතිං ප්‍රවෘත්තිවලින් පුංචි හිත් අවුල් කරගන්නේ නැතුව ඉන්න අපේ දරුවන්ට උදව් කරන්නේ කොහොමද?

ප්‍රවෘත්තියක් දරුවාට බලපාන්න පුළුවන් කොහොමද?

  • ප්‍රවෘත්තිවල පෙන්වන භයානක සිද්ධීන් දැකලා හුඟක් දරුවන් බය වෙනවා. ඒ වගේ ප්‍රවෘත්ති නිසා මනසට ලොකු බලපෑමක් වුණත් සමහර දරුවන් එයාලට හැඟෙන විදිහ කා එක්කවත් කියන්නේ නැහැ. * දෙමව්පියන් ඒවා බලලා බය වුණොත් දරුවන්ගේ බය තවත් වැඩි වෙන්න ඉඩ තියෙනවා.
  • ප්‍රවෘත්තිවල පෙන්වන දේවල් දරුවන් වැරදි විදිහට තේරුම්ගන්න ඉඩ තියෙනවා. උදාහරණයකට එයාලා දැක්ක දේ පවුලේ කෙනෙක්ටත් වෙයි කියලා සමහර දරුවන්ට හිතෙන්න පුළුවන්. ඒ වගේම යම් සිද්ධියක් ගැන තියෙන වීඩියෝ දර්ශනයක් ආයේ ආයේ බලද්දී දරුවන්ට හිතෙන්න පුළුවන් ඒක බලන හැම වතාවකම ඒ සිද්ධිය ඇත්තටම වෙනවා කියලා.
  • සමහර සිද්ධි ප්‍රවෘත්තිවල පෙන්වන තරම්ම බරපතළ නැහැ කියලා තේරුම්ගන්න දරුවන්ට අමාරු වෙන්න පුළුවන්. ප්‍රවෘත්ති ආයතනවලට ඕනෙ පුළුවන් තරම් සල්ලි හම්බ කරන්න. ප්‍රවෘත්තියක් වැඩිදෙනෙක් බලන තරමටයි එයාලට ලාභ. ඒ නිසා පුළුවන් තරම් දෙනෙක්ගේ අවධානය ඇදගන්න එයාලා වෙච්ච සිද්ධියක් දෙගුණ තෙගුණ කරලා පෙන්වනවා. ඒත් ඒක අපේ දරුවන්ට තේරෙන්නේ නැහැ.

 ප්‍රවෘත්තියක් බලලා දරුවා ඉන්නේ බයෙන් නම් . . .

  • බය හිතෙන ප්‍රවෘත්ති බලන්න දෙන එක සීමා කරන්න. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ දරුවා ළිදේ ඉන්න ගෙම්බෙක් වගේ වෙන්න ඕනෙ කියලා. රටේ ලෝකේ වෙන දේවල් දරුවෝ දැනගන්න ඕනේ. ඒත් බය හිතෙන ප්‍රවෘත්ති ආයේ ආයේ බලන්න දෙන එකෙන් දරුවාට කිසි හොඳක් වෙන්නේ නැහැ.“සමහර වෙලාවට මායි, මහත්තයායි බලපු ප්‍රවෘත්තියක් ගැන හුඟක් වෙලා කතා කරකර ඉන්නවා. ඒ වෙලාවට අපිට නිකමටවත් හිතන්නේ නෑ ඒක අහං ඉන්න අපේ දරුවන්ට ඒක කොහොම බලපායිද කියලා.”—මරියා .බයිබල් ප්‍රතිපත්තිය: “මිනිසෙකු තම සිතේ ඇති කනස්සල්ල නිසා මානසිකව වැටෙයි.”—හිතෝපදේශ 12:25.
  • ඉවසීමෙන් ඇහුම්කන් දීලා දරුවාව තේරුම්ගන්න. යම් සිද්ධියක් ගැන කියාගන්න දරුවාට අමාරුයි නම් පින්තූරයක් ඇඳලා පෙන්වන්න කියලා එයාට කියන්න. සිද්ධිය ගැන කතා කරද්දී දරුවා ඉන්න තත්වයට බහින්න. එයාව හොඳට තේරුම්ගන්න. ඊටපස්සේ කතා කරන්න. හැබැයි දරුවා දැනගන්න ඕනෙ නැති තොරතුරු එයාට කියන්න යන්න එපා.“දුවත් එක්ක ටිකක් නිවාඩු පාඩුවේ කතා කළාට පස්සේ එයාට ලොකු සහනයක් දැනුණා කියලා අපිට තේරුණා. හැබැයි ‘දැන් ලෝකේ හැටි ඔහොම තමයි. ඔයා ඕවාට හුරු වෙන්න ඕනේ’ කියලා අපි කිව්වා නම් එයාට ඒකෙන් කිසි ප්‍රයෝජනයක් ලැබෙන්නේ නෑ.”—සාරයි.බයිබල් ප්‍රතිපත්තිය: “ඇහුම්කන් දීමට ඉක්මන් විය යුතුයි. කතා කිරීමට ප්‍රමාද විය යුතුයි.”—යාකොබ් 1:19.
  • ප්‍රවෘත්තිවල පෙන්වන තරම් සමහර සිද්ධි බරපතළ නැහැ කියලා තේරුම්ගන්න දරුවාට උදව් කරන්න. උදාහරණයකට පැහැරගැනීමක් ඇත්තටම වුණාට වඩා හුඟක් දරුණු අපරාධයක් විදිහට ප්‍රවෘත්තිවල පෙන්වන්න පුළුවන්. යම් සිද්ධියක් ප්‍රවෘත්තිවල කියන්නේ ඒක නිතරම සිද්ධ වෙන්නේ නැති දෙයක් නිසයි කියලා තේරුම්ගන්න දරුවාට උදව් කරන්න. ඒ වගේම දරුවාව ආරක්ෂා කරන්න ඔයාලා දැනටමත් කරලා තියෙන දේවල් ගැන කියලා එයාගේ බය සැක දුරු කරන්න.“බයෙන්, කනස්සල්ලෙන් ගොඩ එන්න දරුවන්ට උදව් කරන්න. සාමාන්‍යයෙන් අපේ හැඟීම් තමයි අපි හිතන දේවල්වලට බලපාන්නේ. ඉතිං අපි එයාලට හොඳ දේවල් ගැන හිතන්න උදව් කළොත් එයාලගේ හිතට සහනයක් දැනෙයි.”—ලූඩ්ස්.බයිබල් ප්‍රතිපත්තිය: “ප්‍රඥාවන්තයා තම වචන හසුරුවන්නේ වටහාගැනීමේ හැකියාව යොදාගෙනයි. අන් අයගේ සිත් දිනාගැනීමටද එය උපකාරවත් වෙයි.”—හිතෝපදේශ 16:23.

 බය හිතෙන සිද්ධියකට දරුවා මුහුණ දීලා තියෙනවා නම්

ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ හයිලන්ඩ්ස් රෑන්ච්වල පාසලක වෙඩි තැබීමක් සිද්ධ වුණා. 2019 මැයි හත්වෙනිදා යෞවනයන් දෙන්නෙක් කරපු ඒ වෙඩි තැබීමෙන් එක දරුවෙක් මැරුණා. තව අටදෙනෙක්ට තුවාල වුණා. ඒ සිද්ධිය වුණ වෙලාවේ අවුරුදු නවයක් වයස ජැක් හිටියෙත් ඒ පාසලේමයි. ජැක්ට දැනුණ බයෙන් ගොඩ එන්න එයාගේ දෙමව්පියන් වන බෙන් සහ කේසි උදව් කරපු විදිහ ගැන අපි එයාලගෙන් අහලා බලමු.

බෙන් සහ කේසි.

ඉස්කෝලේ වෙච්ච සිද්ධිය පුතාට බලපෑවේ කොහොමද?

කේසි: මාස ගාණක් යන කල් ජැක් හරිම කනස්සල්ලෙන් හිටියේ. එයා පොඩි දේටත් බය වුණා.

බෙන්: ජැක් වෙලාවකට හොඳට ඉන්නවා. ඒත් එකපාරටම එයාට එදා වෙච්ච දේ මතක් වෙනවා. ඒ වෙලාවට එයා කොච්චර බය වෙනවාද කියනවා නං අපේ ළඟින් හෙල්ලෙන්නෙවත් නෑ. එයා හැම තිස්සේම හිතුවේ එදා වුණා වගේ දෙයක් ආයෙත් වෙයි කියලා.

ඒ සිද්ධිය ගැන පෙන්නපු ප්‍රවෘත්ති ඔයාලා බැලුවාද?

කේසි: ඔව්. සතියක් විතර යන කල් අපි තුන්දෙනා ඒ ගැන ගිය ප්‍රවෘත්ති බැලුවා. ඒත් මහත්තයාටයි, මටයි පස්සේ තේරුණා ඒ ප්‍රවෘත්තිය ආයේ ආයේ බලන එකෙන් ජැක්ටවත් අපිටවත් කිසි හොඳක් වෙන්නේ නෑ කියලා. ඇති වුණ බයෙන් ගොඩ එන්න දේවල් කරන්නේ නැතුව ප්‍රවෘත්ති බලබල හිටපු එකෙන් වුණේ අපේ බය තවත් වැඩි වුණ එක විතරයි.

ජැක්ට වැඩියෙන්ම උදව් වුණේ මොන දේවල්ද?

කේසි: ගේ ඇතුළටම වෙලා ඉන්නේ නැතුව ටිකක් එළියට බැහැලා සෙල්ලම් කරන එකෙන් ජැක්ගේ හිතේ තිබුණ කනස්සල්ල අඩු වුණා. ඒ නිසා හැමදාම අපි එයාට සෙල්ලම් කරන්න වෙලාවක් දුන්නා. හැබැයි වැදගත්ම දේ වුණේ ජැක් කතා කරද්දී හොඳට අහගෙන හිටපු එකයි. රෑට ඇඳට ගියාම ජැක් එයාගේ හිතේ තිබුණ දේවල් කියාගෙන කියාගෙන යනවා කියලා මට තේරුණා. මොකද ඒ වෙලාවට එළියේ කිසි සද්දයක් බද්දයක් නෑනේ. සමහර දවස්වලට අපි පැයක් විතර කතා කර කර හිටියා. ජැක්ට තේරුණා එයා තනි වෙලා නෑ, අපි එයාත් එක්ක ඉන්නවා කියලා.

බය හිතෙන දේකට මුහුණ දුන්න දරුවන් ඉන්න දෙමව්පියන්ට කියන්න තියෙන්නේ මොනවාද?

බෙන්: ඒ වගේ දේකට මුහුණ දෙන්න කලින් ඉඳන්ම දරුවන්ට දැනෙන්න ඕනෙ පවුල ඇතුලේ එයාලට ලොකු ආරක්ෂාවක් තියෙනවා කියලා. එතකොට කවදා හරි දවසක ඒ වගේ දෙයක් වුණොත් දරුවන්ට උදව් කරන්න ඔයාලට ලේසියි.

කේසි: හැම දරුවෙක්ම එක වගේ නෑ. සමහර දරුවෝ අනිත් දරුවන්ට වඩා සංවේදියි. ඔයාලා දරුවන්ව ඕනෑවට වඩා පරෙස්සම් කරනවා කියලා සමහර අය කියයි. එහෙම කිව්වා කියලා ඔයා දරුවෝ වෙනුවෙන් කරන දේවල් නවත්වන්න එපා. පවුලේ එකිනෙකා අතර තියෙන බැඳීම පුළුවන් තරම් ශක්තිමත් කරගන්න. එතකොට මේ ලෝකේ කොච්චර භයානක තැනක් වුණත් පවුල ඇතුලේ ආරක්ෂාව තියෙනවා කියලා දරුවන්ට දැනෙයි.

සාරාංශය: ප්‍රවෘත්ති බලලා පුංචි හිත අවුල් වෙලාද?

  • බය හිතෙන ප්‍රවෘත්ති බලන්න දෙන එක සීමා කරන්න.
  • ඉවසීමෙන් ඇහුම්කන් දීලා දරුවාව තේරුම්ගන්න.
  • ප්‍රවෘත්තිවල පෙන්වන තරම් සමහර සිද්ධි බරපතළ නැහැ කියලා තේරුම්ගන්න දරුවාට උදව් කරන්න.

jw.org ඇසුරින් කළ උපුටා ගැනීමකි

Recommended For You

About the Author: Thusal

Leave a Reply

Your email address will not be published. Required fields are marked *