සියවස් සපිරි ‘චීන කොමියුනිස්ට් පක්ෂය’ සහ අනාගතය ගොඩ නගන අයුරු !

ශ්‍රී ලංකා – චීන මිත්‍ර සංගමයේ ප්‍රධාන ලේකම් රතින්ද්‍ර කුරුවිට විසිනි

1970 දශකයේ  අග භාගයේදී චීනය ගෝලීය ප්‍රාග්ධනයට සිය රට විවෘත කළ විට, බොහෝ අය විශ්වාස කළේ චීන කොමියුනිස්ට් පක්ෂය  ඇතුලතින්ම බිඳ වැටෙනු ඇති බවයි.

1980 ගණන්වල මුල් භාගයේ සිට මේ වෙන තෙක්ම බටහිර රටවල සහ බටහිර රටවලට හිතවාදී බුද්ධිමතුන් සහ බුද්ධි මණ්ඩල විටින් විට, චීනය තුළ, සෝවියට් දේශය සිදු කළාක් මෙන්, වඩා ලිබරල්වාදී දේශපාලන ප්‍රරතිසංස්කරණ කිරීම අත්‍යව්‍යශ වන බව, සහ එතුළින් චීන කොමියුනිස්ට් පක්ෂය අභාවයට යනු ඇති බව වරින් වර අදහස් පළ  කරනු දක්නට ලැබිණි. එහෙත්  2021 වන විටද අපට දක්නට ලැබෙන්නේ මෙම අනාවැකි කිසිවක් සැබෑ නොවුනු බව සහ චීනය සීඝ්‍ර දියුණුවක්, සමාජ සංගත භාවයක් මෙන්ම චීන සමාජ ආර්ථික යථාර්තය , ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී  ධනවාදයට වඩා උසස් සමාජ  ක්‍රමයක් බව භාවිතයෙන් ම ඔප්පුවන බව  ස්වභාවයකි.

2020 දෙසැම්බර් මාසයේදී පලවූ ජපන් වාර්තාවක් පවසන්නේ චීනය 2028 වනවිට ඇමරිකා එක්සත් ජනපදය අභිභවා ලෝකයේ ප්‍රධාන ආර්ථික බලවතා වන බවය. මෙම තත්වයට ප්‍රධාන හේතුවක් ලෙස ඔවුන් දක්වන්නේ කෝවිඩ් – 19 වෛරසය පාලනය කිරීමට චීනය දැක්වූ හැකියාවයි. ඇත්තෙන්ම කෙටි කාලයකින්  කෝවිඩ් – 19 වෛරසය පාලනය කිරීමට චීනයට හැකිවූයේ  චීන කොමියුනිස්ට් පක්ෂය  සහ  චීන ජනාධිපති ෂී ජින්පින්  මෑත වසරවල හඳුන්වාදුන් පිළිවෙත් සහ ක්‍රමවේදයන් නිසාය.  චීන කොමියුනිස්ට් පක්ෂය  ක්‍රියාත්මක  කළ  කෝවිඩ් – 19 වෛරසය පාලනය කිරීම සහ ආර්ථික ක්‍රියාමාර්ග චීන ජනතාව විසින් දිගින් දිගටම අනුමත කරන  බව සමීක්ශන වලින් දිගින් දිගටම පෙනීයන්නේය . 

මිලියන 90න සාමාජිකත්වයක් සහිත චීන කොමියුනිස්ට් පක්ෂය ලෝකයේ විශාලතම දේශපාලන පක්ෂය වන අතර පක්ෂ සාමාජිකයන් බහුතරයක්  ගොවියන් සහ කම්කරුවන් වේ. මෙයින් අදහස් වන්නේ චීනය තුළ  කොමියුනිස්ට් පක්ෂයට විශාල ජන පදනමක් ඇති බවය. එහෙයින් , පක්ෂය, චීනය තුළ  මෙතරම් ජනප්‍රිය ඇයි දැයි යන්න අප වටහා ගත යුතුය. මෙම තත්වය අවබෝධ කර ගැනීමට අප චීන කොමියුනිස්ට් පක්ෂ ඉතිහාසය අධ්‍යයනය කළ  යුතුය; විශේෂයෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂය බලයට පත්වූ 1949 පසු ඉත්හාසය ද  අප අධ්‍යයනය කල යුතුය.

චීන කොමියුනිස්ට් පක්ෂ ඉතිහාසය

‌දොස්තර සුන් යැට් සෙන් නායකත්වය දුන් 1911 විප්ලවයේ දී  චින් රජ පරම්පරාව පෙරළා දැමීමෙන් පසුව වසර 2,000 පැරණි චීන වැඩවසම් රාජ්‍යපාලන ක්‍රමය නිමා වී “චීන සමුහාණ්ඩුව’’ පිහිටුවාලන ලදී . එහෙත් එයින් චීන සමාජයේ පැවති, වැඩවසම් සහ පසුගාමී ස්වභාවයේ විශාල වෙනසක් නොවීය. ඉන් පසුව බලයට පැමිණි  කුඔමින්තාන්  (Kuomintang) පක්ෂය සහ  ධනේශ්වර හා සුළු ධනේශ්වර කණ්ඩායම්වලට මෙම තත්වය වෙනස් කිරීමට හැකියාවක් හෝ අවශ්‍යතාවයක් නොවීය. අදට වසර සියයකට පෙර 1921  ජුලි මස  චීන කොමියුනිස්ට් පක්ෂය ආර්ම්භ කරන ලද්දේ , චීන සමාජයේ පැවති වැඩවසම් සහ පසුගාමී ස්වභාවය වෙනස් කර, අධිරාජ්‍යවාදය පරාජය කර, චීනය සමාජවාදය කරා රැගෙන යාමටය. ආර්ම්භයේදී පක්ෂයට  සිටියේ සාමාජිකයන් හැටකටත් අඩු ගණනක්  වුවත්, කෙටි කලකින් චීන කොමියුනිස්ට් පක්ෂය, ශක්තිමත් කම්කරු ව්‍යාපාරයක් නිර්මාණය කර  ජනතාවගේ අධිරාජ්‍ය විරෝධී හා වැඩවසම් විරෝධී අරගලයට මීට පෙර නොවූ නායකත්වයක් ලබා දෙන ලදී.  

චීන විප්ලවය ජය ගන්නා මොහොත තෙක් පක්ෂය අවධි හතරක් පසු කල බව චීන කොමියුනිස්ට් පක්ෂය සඳහන් කරයි. මෙම අවධි හතර වන්නේ, 1924 සහ 1927 අතර  කුඔමින්තාන්  පක්ෂය සමඟ සිදු කළ උතුරු යුද ගමන

1927 සහ 1937 අතර ඉඩම් ලබා ගැනීමේ  විප්ලවීය යුද්ධය, 1937 සහ 1945 ජපානයට විරුද්ධව සිදුකල දේශප්‍රේමී යුද්ධය  සහ 1946 සහ 1949 අතර සිදුකල දේශ ව්‍යාප්ති විමුක්ති යුද්ධය යි. මේ අතර යම් අවධිවල සැලකිය යුතු පසු බැසීම්ද දක්නට ලැබුණි. උදාහරණයක් ලෙස 1927 දී චියන්ග් කායි- ෂේක්  සහ  වාන් ජින්ග්වෙයි ගේ නායකත්වයෙන් යුතු කුඔමින්තාන්  පක්ෂය, දෙපාර්ශවය අතර තිබූ ගිවිසුම හදිසියේ අවලංගු කර කොම්යුනිස්ට්වාදීන් සහ අනෙකුත් විප්ලවවාදීන් විසින් ඝාතනය කරන ලදී. පක්ෂය අරඹා ටික කලකට පසුව එල්ල කළ මෙම ප්‍රහාරයෙන් පක්ෂය විශාල පසුබැසීමකට ලක්වූ අතර, 60,000 ව තිබූ පක්ෂ සාමාජිකත්වය 10,000 දක්වා අඩු විය.

1927 අගෝස්තු 07 දින රැස්වූ පක්ෂ මධ්‍යම කාරක සභාව  ගොවිජනයා පදනම් කරගෙන විප්ලවකාරී කටයුතු කල බව සහ ආයුධ සන්නද්ධ අරගල දිගින් දිගටම සංවිධානය කිරීමේ  තීරණය ගත් අතර  සරත් ඍතු අස්වැනු නැගිටීම (Autumn Harvest,)   ගුවං ජෞ  නැගිටීම (Guangzhou Uprisings) සහ වෙනත් අරගල රාශියක් අරඹන ලදී.   සභාපති  මාඕ  සේතුං  ගේ නායකත්වයෙන් ඇරඹූ “සරත් ඍතු   අස්වැනු නැගිටීම”,  ගොවියන්ගේ සහ කම්කරුවන්ගේ  විප්ලවකාරී හමුදාවේ පළමු සේනාංකය ඇති වීමට සහ   “ජිං ගං ශන් “      Jinggang කඳු  ප්‍රදේශයේදී මුදවාගත් පළමුවෙනි විප්ලවවාදී ප්‍රදේශය ඇති කිරීමටද හේතු විය.  ටික කලකින් පක්ෂය   “ජියං ෂි මධ්‍යම විප්ලවවාදී කදවුරු ප්‍රදේශයත්” (Jiangxi central revolutionary base area),  බටහිර හූ නන් – හූ බෙයි – හයි ෆං – ලූ ෆං  කදවුරු ප්‍රදේශය (Western Hunan-Hubei, Haifeng – Lufeng,),     හූ බෙයි – හ නන් – අන් හුයි – චියොං යා  (Hubei-Henan-Anhui, the Qiongya,),  ෆු ජියැන් – ජ ජියං – ජියං ෂි- ( Fujian-Zhejiang-Jiangxi), “හූ නන්- හූ බෙයි – ජියං ෂි” – ( Hunan-Hubei-Jiangxi,)  හූ නන්-  ජියං ෂි “ ( Hunan-Jiangxi),   සුවො ජියං –  යෝ ජීයං”, (Zuojiang-Youjiang),  ස චුවාන් – ශාන් ෂි”  (Sichuan-Shaanxi,),  ශාන් ෂි – ගන් සු”    (Shaanxi-Gansu), සහ “හූ නන්- හූ බෙයි- ස චුවාන් – ගුයි ජෞ”  (Hunan-Hubei-Sichuan-Guizhou ) සහ වෙනත් විප්ලවකාරී බල කදවුරු  ප්‍රදේශ පිහිටුවා ලන  ලදී.

තවද ගොවියන්ගේ සහ කම්කරුවන්ගේ  පළමුවන , දෙවන සහ හතරවන පෙරමුණු  හමුදාවන්  ද  ඇතුලු තවත් රතු හමුදා කණ්ඩායම් ඇති කරන ලදී.  කුඔමින්තාන් හමුදා එල්ල කල වැටයීමේ ප්‍රහාරමාලා හතරක් ව්‍යවර්ථ කිරීමටද රතු හමුදා වලට හැකිවිය. එහෙත් වං මිං (Wang Ming) ගේ අතිධාවනකාරි වාම ක්‍රියාකාරකම් නිසා කුඔමින්තාන්   හමුදා එල්ල කල පස්වැනි වැටලීමේ ප්‍රහාරය හමුවේ කොමියුනිස්ට් හමුදා පරාජය විය. රතු හමුදා වලට දීර්ඝ පසුබැසීමක් කිරීමට සිදු වූ අතර, 300,000ක් වූ රතු හමුදාව 30,000 දක්වාත්, 300,000 ව තිබූ පක්ෂ සාමාජිකත්වය 40,000 දක්වා අඩු විය.

මෙම සියලු දුෂ්කරතා මධ්‍යයේ පක්ෂ මධ්‍යම කාරක සභාව  මහා පා ගමන” මැද,   සූන්යී (Zunyi)  නුවරෙහිදී  මුණ ගැසුණු අතර, ඒ අවස්ථාවේදී මධ්‍යම කාරක සභාව තුළ ද  රතු හමුදාව තුළ ද  සභාපති මාඕ  සේතුං (Mao Zedong)ගේ නායකත්වය පිළිගන්නා ලදී. මෙම පියවර, මධ්‍යම කාරක සභාව තුළ  සහ රතු හමුදාව මුහුණ පා සිටි අර්බුධයෙන් ගැලවීමට ඉවහල් වූ අතර, සභාපති මාඕ  සේතුංගේ නායකත්වය හරහා මහා පා ගමන සාර්ථකව අවසාන කර, චීන විප්ලවයේ නව මානයන් විවෘත කිරීමට හේතු විය.

මේ වනවිට ජපන් අධිරාජ්‍යවාදීන් චීනය ආක්‍රමණය ආරම්භ කර තීරණාත්මක අවධියකට පමිණ සිටි කාලයයි. සභාපති මාඕ  සේතුංගේ  නායකත්වයෙන් වූ පක්ෂයේ  මධ්‍යම කාරක සභාව, මෙම තත්වයට මුහුණ දීමට ජපන්  විරෝධී ජාතික එත්සත් පෙරමුණක් සෑදීමට පියවර ලන්නා ලදී. 1935 දෙසැම්බර් 9 වන දින, පක්ෂයේ  ශිෂ්‍ය ව්‍යාපාරය, අධිරාජ්‍යවාදී ආක්‍රමණයෙන්  ජාතිය බේරා ගැනීම සඳහා සිවිල් යුද්ධය  අවසන් කර, ජපන් විරෝධී පුලුල් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ඉල්ලා ප්‍රබල මහජන අරගලයක් දියත් කළේය. චියැන් කායි – ශෙක් (Chiang

Kai-shek) කොමියුනිස්ට්වාදීන් සමඟ එකට වැඩ කිරීම ප්‍රතික්ෂේප කළ  අතර, මහජන අප්‍රසාදය මධ්‍යයේ ද ඔහු කොමියුනිස්ට්වාදීන්ට එරෙහිව සිය  ප්‍රහාර දිගටම සිදු කරන ලදී.

එහෙත්  ජාන් සුවෙලියාන්ග්   (Zhang Xueliang) සහ   යාං හුචේන්ග්   (Yang Hucheng) යන ජෙනරල්වරු  1936 දෙසැම්බර් 12 දින සංවිධානය කරන ලද ෂියෑන් (Xi’an) සිදුවීමෙන් පසු (ෂියෑන් (Xi’an) නගරයේ දී ඒ ජෙනරාල් වරුන් විසින් චියන් කායි ෂේක් අත්අඩංගුවට ගැනීමට පසු ,   චියැන් කායි – ශෙක්   Chiang Kai-shek කොමියුනිස්ට්වාදීන් සමඟ එකට වැඩ කිරීමට ඒකඟ විය. එසේ නමුඳු    කුඔමින්තාන්  පක්ෂයේ බොහෝ නායකයන් දිගින් දිගටම කොමියුනිස්ට් පක්ෂ විරෝධී ස්ථාවරයේ සිටි අතර, එම නිසා ජපන් අධිරාජ්‍යවාදීන්ට එරෙහි සටනේදී  කුඔමින්තාන්  පක්ෂයේ   හමුදාවලට දිගින් දිගටම පරාජයන් අත්විය. ජපන් අධිරාජ්‍යවාදීන්ගෙන් චීනය ගලවාගත යුතුය යන ස්ථාවරයේ සිටි කොමියුනිස්ට්වාදීන්, ගරිල්ලා සටන් හරහාද, ජනතාව සමඟ වැඩ කිරීමෙන්ද,  ජපන් අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව දිගින් දිගටම ජයග්‍රහණ අත් කර ගන්නා ලදී. කොමියුනිස්ට් පක්ෂය, ජපානය යටතේ  පැවති ප්‍රදේශවල මෙන්ම කුඔමින්තාන්  පක්ෂය යටතේ තිබූ පුදේශවලද,  චීන ජනතාව අධිරාජ්‍යවාදයට එරෙහි යුද්ධය ජය ගැනීමට අවශ්‍ය කැපකිරීම්  සඳහා සූදානම් කරන ලදී. මෙම ක්‍රියාකාරකම් නිසා චීන ජනතාව වසර අටක් තිස්සේ ජපානයට එ‌රෙහි අරගලයක යෙදීමටත්, සෝවියට් රුසියාව ආදී රටවල සහයෝගයෙන් ජපන් ෆැසිස්ට්වාදය පරාජය කිරීමටද හැකියාව ලැබූහ.

මාඕ සේතුං විසින් 1940 ජනවාරියේ  දී ඉදිරිපත් කළ , ‘’ නව ප්‍රජතන්තරවාදය ගැන’’ නම් න්‍යායික කෘතිය පක්ෂයේ නව ගමන් මග එළි කරන ලදී .  ජපාන විරෝධී යුද්ධය අතරතුර,  පක්ෂය විසින් තම මාවත  නිවැරදි කිරීමේ අරමුණින් යුතුව මාක්ස් ලෙනින්වාදී අධ්‍යාපනය ව්‍යාපාරයක් පැවැත්වීය.  1942 දී ආරම්භ කරන ලද එය අතිවිශාල සාර්ථකත්වයක් ලැබීය.1945 දී පක්ෂයේ හයවන මධ්‍යම කාරක සභාවේ හත්වන සම්මන්ත්‍රණ සැසිවාරය අතරතුර පක්ෂ ඉතිහාසයේ ඇතැම් ප්‍රශ්න පිළිබඳ අධ්‍යයනය කර, එම ගැටලු පිළිබඳ  ස්ථාවරයන්ට පැමිණෙන ලදී . පක්ෂයේ හත්වන ජාතික සම්මේලනය කැඳවනු ලැබුවේ මෙම පදනම මත ය. මෙම රැස්වීම්, පක්ෂයේ ඓතිහාසික අත්දැකීම් සාරාංශ කොට,  නව ප්‍රජාතන්ත්‍රවාදී වූ   “නව චීනය”ක් ගොඩනැගීම සඳහා, පක්ෂය ගත යුතු නිවැරදි මාවත සකස් කරමින් පක්ෂයට පෙර නොවූ විරූ දෘෂ්ටිමය , දේශපාලන හා සංවිධානාත්මක සමගියක් හා සහයෝගීතාවක් ලබා දුන්නේය.

ජපාන අධිරාජ්‍යවාදයට එරෙහි සටන අවසානයේදී  චියැන් කායි – ශෙක්  විසින් ඇමරිකන් ආධාර සහිතව, චීන කොමියුනිස්ට් පක්ෂයට එරෙහි යුද්ධය නැවත ආරම්භ කළේය. මේ වන විට ඉතා ශක්තිමත්ව පැවති පක්ෂය, චීන ජනතාවගේ සහ පක්ෂ ආශ්‍රිත සංවිධානවල සහය මත වසර තුනකින් මිලියන අටකට  වැඩි චියැන් කායි – ශෙක්   ගේ හමුදාවන් පරාජය කර,  සභාපති මාඕ සෙතුං ගේ නායකත්වයෙන් විමුක්ති යුද්ධය ජයග්‍රාහීව නිම කර 1949 ඔක්තෝබර් 01 දින බෙයිජිං අගනුවර කොට “චීන මහජන සමුහාණ්ඩුව’’ පිහිටුවා ස්ථාපිත කරන ලදී .  

එලෙස බලයට පත්  චීන කොමියුනිස්ට් පක්ෂය අද වෙනතෙක් අඛණ්ඩව බලයේ සිටින අතර, චීනයද, සෝවියට් රුසියන් කොමියුනිස්ට් පක්ෂය මෙන් නිලධාරීන් මඟින් හසුරවන ලද රාජ්‍යයක් පමණක් වීම වලක්වාගෙන ඇත.චීන මහජන සමුහාණ්ඩුව පිහිටුවාලීමෙන්  පසුව ඇතිවූ “මහා ඉදිරි  පිම්ම” සහ “සංස්කෘත්ක විප්ලවය” වැනි මතභේදකාරී ව්‍යාපාරවලින් සිදුවූ දැවැන්ත පසුබැසීම් වලින්  හානි වුවා මෙන්ම ඩෙන්ග් ෂියාඕපිංග් ආරම්භ කළ  ආර්ථික ප්‍රතිසංස්කරණ වලින් පක්ෂය වඩාත් ශක්තිමත් වූයේ  කෙසේද?  ඒ ජයග්‍රහණයේ මාවත වූයේ චීන කොමියුනිස්ට් පක්ෂය බලයට පැමිණි පසු ඇතිවූ ගැටලුවලට ප්‍රතිචාර දැක්වූ ආකාරයයි. වඩා සැකවින් කියතොත්  චීන කොමියුනිස්ට් පක්ෂය විසින්,  චීන සමාජය, චීන රාජ්‍ය තන්ත්‍රය සහ පක්ෂය අතර සහ-සම්භන්ධතාවයනට

මැදිහත් වනු ලබන  ආකාරයයි. චීන කොමියුනිස්ට් පක්ෂය මේ සඳහා භාවිතා කරන ප්‍රධාන උපාය මාර්ගය නම්  “මාවත් දෙකක් අතර අරගලය”  නම් ද්වන්ධාත්මක ක්‍රමවේදයේ  භාවිතයයි.

ඕනෑම කොමියුනිස්ට් පක්ෂයක අවසාන අරමුණ රාජ්‍ය බලය අක්තර ගැනීමයි. කොමියුනිස්ට්වාදීන්, අවසානයේදී රාජ්‍යයේ අවසානය අපේකෂා කරන නමුත්, අරාජිකවාදීන් විශ්වාස කරන ලෙස  රාජ්‍යය යනු එක රැයකින් අවසන් කළ හැකි දෙයක් බව ඔවුන් විශ්වාස නොකරති . එසේ කිරීමට උත්සහ ගැනීම ප්‍රතිවිප්ලවවාදීන්ට නැවත රාජ්‍ය බලය උදුරාගැනීමට අත වැනීමක් වෙන බවට සැකයක් නැත. එම නිසා, සමාජවාදය දෙසට සමාජය රැගෙන යාමේ අරමුණ වෙනුවෙන් රාජ්‍ය යාන්ත්‍රණයක් ඇති කළ  යුතු වන අතර, මෙම යාන්ත්‍රණය නිලධාරින්ගෙන් සමන්වනු ඇත. අලුතින් ඇතිවන සමාජවාදී රාජ්‍යයේ නිලධාරි තන්ත්‍රය සහ ජනතාව අතර යම් ප්‍රතිවරෝධයක් පවතින අතර, නිසි පිලියම් නොයෙදුවහොත් නිලධාරි තන්ත්‍රය, සෝවියට් රුසියාවේදී සිදු වුනා මෙන් ජනතාව සමාජවාදයෙන් දුරස්ථ කරනු ඇත.  සභාපති මාඕ  සේතුංට අනුව මෙයට යෙදිය හැකි පිළියමක් වන්නේ රාජ්‍ය සහ සමාජය අතර ඇති ප්‍රතිවිරෝධයන් සමනය කිරීමේ මාධ්‍යයක් ලෙස පක්ෂය භාවිතා කිරීමයි. මෙමඟින් රාජ්‍ය ප්‍රතිපත්ති හරහා ඉහළ  සිට පහළට, රට සහ සමාජය පාලනය කිරීම වෙනුවට, පක්ෂය සමාජය වෙත මැදිහත්වී ජනතාවගේ ශක්තියෙන් ප්‍රයෝජන ගනී. මෙවිට ආර්ථික සහ සමාජ සංවර්ධනය  සඳහා නිල රාජ්‍ය බලය  යොදා ගත යුතු අවස්ථා අවම වේ.

1945 දී  චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයන් ගණන මිලියන 1.2 වූ අතර ඔවුන් විප්ලවවාදී සටන් වල දී  සහ සභාපති මාඕ  සේතුං ගේ නායකත්වයෙන් යුතුව සිදුකල මහා ප්‍රතිශෝධනය ව්‍යාපාරයේ දී ( Great Rectification Movement) හි ආභාශය ලැබූ අය වුහ . එහෙත්  1949 සැප්තැම්බර් වන විට පක්ෂ සාමාජිකයන් ගණන මිලියන 4.5 දක්වා ඉහළ  ගොස් තිබුණි. එය 1950 ජූනි වෙද්දී පක්ෂ සාමාජිකයන් ගණන මිලියන 5.8 දක්වා ඉහළ  ගියේය . මේ නව සාමාජිකයන් බොහෝ දෙනෙකුට පක්ෂ ඉතිහාසය හෝ මාක්ස් ලෙනින්වාදය පිළිබඳ අවබෝධයක් නොවීය. මේ වන විට චීන රාජ්‍ය තන්ත්‍රය හැසිරවීමට මිලියන ගණනක පිරිසක්ද අවශ්‍ය විය. මෙම කාර්යයන් කිරීමට කොමියුනිස්ට්වාදීන් නොවන බොහෝ දෙනෙක් රාජ්‍ය සේවයට බැඳුනි. සමාජවාදය කරා චීනය රැගෙන යාමට ආරම්භ කළ  රජයේ බොහෝ තනතුරු කොමියුනිස්ට්වාදීන් නොවන, පරණ ඉඩම්හිමි සහ නාගරික සුලු ධනේශ්වර පන්ති සාමාජිකයන්ගේ අතට පත්වීම, චීන කොමියුනිස්ට් පක්ෂයට විශාල ගැටලුවක් විය.

සභාපති මාඕ  සේතුං  සහෝදරයාට  සහ අනෙක් මාක්ස් ලෙනින් වාදීන්ට  පැහැදිලිව පෙනුන කාරණාවක් නම්, පරණ ඉඩම්හිමි සහ නාගරික සුලු ධනේශ්වර පන්ති සාමාජිකයන්ගේ අතට චීන කොමියුනිස්ට් පක්ෂය පත් වුවහොත් විප්ලවය පරාජය  වන බවය.  මෙලෙස සිදුවිය හැකි බව ලෙනින් සහෝදරයා 1920 ගණන්වල පැවසූ අතර, ළඳරු අවදියේ තිබුණු චීන විප්ලවයටද මෙම ඉරණම අත්විය හැකි බව,  සභාපති මාඕ  සේතුං    ගේ    අදහස විය. ආරම්භක අවධියේදී සමාජවාදී සමාජයක පන්ති අතර අරගලය අවසන් වන්නෙ නැත. මෙම අරගලය පක්ෂය තුළ දී ද නිරූපණය වන අතර; මෙය පක්ෂය තුළ දේශලපාලන මාවත් දෙකක් ලෙස නිරූපණය වේ. එම නිසා පක්ෂය තුළ  විවෘතව සහ අවිවෘතව මෙම දේශලපාලන මාවත් දෙකේ අරගලය දිගින් දිගටම පවතියි.

සභාපති මාඕ  සේතුං   ගේ අදහස  වූයේ මෙම මාවත් දෙක අතර ඇති “අනිවාර්ය සහ මඟහැරිය නොහැකි” අරගලය, පක්ෂය එක තැන පල්වීම නවත්වාලන බවයි. පක්ෂයේ ඇතිවන අළුත් තත්වයන්ට වහා මුහුණ දීමේ හැකියාව (dynamism) පවතින්නේ අරගලය නිසා බවත්, ප්‍රගතියක් ඇති විය හැක්කේ විසඳිය යුතු ප්‍රතිවිරෝධතා (contradictions) තුළ  බවත් ඔහුගේ අදහස වූ අතර, චීන කොමියුනිස්ට් පක්ෂය දිගින් දිගටම ඉදිරියට ගියේ ‘’සමගිය , විවේචනය, ස්වයං විවේචනය, සහ නැවත සමගිය’’ , (“unity, criticism, self-criticism, unity again” ) යන  සභාපති මාඕ  සේතුං  ගේ අදහස ඔස්සේය.

මාවත් දෙකක්  අතර අරගලයේ ඇරඹුම අපට   සභාපති මාඕ  සේතුං   සහ සාම්ප්‍රදායික මාක්ස්වාදීන් අතර, චීන කොමියුනිස්ට් පක්ෂය බලයට ඒමෙන් පසුව ඇතිවූ මතවාදී වෙනස ලෙස සැලකිය හැක. සාම්ප්‍රදායික මාක්ස්වාදීන්ගේ අදහස වූයේ සමූහ ගොවිපොලවල් ඇති කිරීමට පෙර යාන්ත්‍රිකකරණය ඇති විය යුතු  බවත්, සමාජවාදය ඇති වීමට ධනපති පන්තියයේ සූරා කෑම මඟින් කම්කරු පන්තියක් ඇති විය යුතු බවත්ය. ඒ අදහස  අනුව විප්ලවවාදී වෙනසක් ඇති කරන්නේ ජනතාව කරන පන්ති අරගලය  නොව, නිෂ්පාදනය සහ ආර්ථික බලවේගයි. එම නිසා ඔවුනට  අවශ්‍ය වූයේ සොවියට් රුසියාවේ කළාක් මෙන් ඉහළ  සිට පහළට ගලායන මධ්‍යගත ආර්ථික සැලසුම් හරහා චීනය දියුණු කිරීමටය. එහෙත්  සොවියට් රුසියානු නිලධාරීවාදී ක්‍රමයේ ප්‍රතිවිපාක බොහෝ  අයට කලින් අවබෝධ කරගත්  සභාපති මාඕ  සේතුං  ගේ අදහස වූයේ චීන ආර්ථික ද්‍රව්‍යමය වෛෂයික පදනමේ (base) ඉදිරි ගමන වලකන්නේ පරණ අදහස්, හැසිරීම්, සම්ප්‍රදායන්, චාරිත්‍ර සහ ආකල්පය වලින් පාරගමනය වූ උපරිව්‍යූහය (superstructure) බවයි. තවද සම්ප්‍රදායික  අදහස වූයේ නගරය කේන්ද්‍ර කරගත් ආර්ථික වර්ධනයක් ඇති කිරීම සහ ඒ සඳහා ග්‍රාමීය ප්‍රදේශ යම් සූරා කෑමකට ලක් කිරීමයි. සභාපති මාඕ  සේතුං ගේ අදහස වූයේ ආර්ථික සැලසුම් සහ කලමණාකරණය, වෘත්තීමය සහ තාක්ෂණික නිලධාරීන් කිහිප දෙනෙකු අතර පැවතීම නොව, සමස්ත චීන ජනතාව නිෂ්පාදන ක්‍රියාවලිය සැකසීමේ පෙරමුණ ගත යුතු බවය; පක්ෂයේ සහ රාජ්‍යතන්ත්‍රයේ කාර්යධරයන්  එක ම විට “රතු සහ විශේෂඥ” ( “Be red and expert”)    විය යුතු බවය.

කලින් සඳහන් කළාක් මෙන්  සභාපති මාඕ  සේතුං   ඉහළ  සිට පහළ ට නියෝග ලබාදෙන සොවියට් රුසියානු ක්‍රමය පිළිගත්තේ නැති අතර, “මහා ඉදිරි පිම්ම” (Great Leap Forward) වූකලි ප්‍රාදේශිව සැලසුම් සකස් කිරීමට හැකියාව ඇත්දැයි බැලීමට ගත් උත්සාහයකි. සභාපති මාඕ  සේතුං  ට අවශ්‍ය වූයේ විවිධ මට්ටම්වල නායකයන් මෙන්ම, මහජනයාද සෘජුවම ආර්ථිකය ගොඩනැගීමේ සැලසුම් වල සාමාජිකයන් කර ගැනීමටයි. තවමත් පැවතුන වැඩවසම් සමාජ නෂ්ඨාවශේස, තාක්ෂණය නොමැතිකම, චීන – රුසියන් බෙදීම, සහ ස්වභාවික විපත් නිසා  මහා ඉදිරි පිම්මට විවිධ ගැටලු මතු වුවත් , ග්‍රාමීය ප්‍රදේශවල ඇති කළ  වානේ උදුන් (backyard furnaces) වැනි ක්‍රියා නිසා නගර සහ ග්‍රාමීය ප්‍රදේශ අතර තිබූ පරතරය අඩුවූ අතර,   ග්‍රාමීය ප්‍රජාවන් වානේ වැනි දේවල් වැදගත් දේ නිෂ්පාදනය පිළිබඳ ඇත්දැකීම් ලැබූහ. එහෙත්  “මහා ඉදිරි පිම්ම”   ලත්  පසුබැසීම් සම්ප්‍රදයිකයන්  ශක්තිමත් කළ  අතර,” මහා ඉදිරි පිම්ම”ට පෙර තිබූ ආර්ථික ප්‍රතිපත්ති නැවත ක්‍රියාවට නැඟුනි. චීනයේ පරණ පාලක පැලැන්තිය සහ ධනේශ්වර හිතකාමී පිරිස් චීන කොමියුනිස්ට් පක්ෂය තුළ පැලපදියම් වූ අතර,  මාවත් දෙක අතර එම අරගලය මෙයින් විද්‍යමාන විය .

1978  තෙන් ශියාඕ පිං  (Deng Xiaoping )  චීන ආර්ථිකය විවෘත කළ  අතර , ගෝලීය ප්‍රාග්ධනය චීනය වෙත ආකර්ශනය කර ගැනීමට විශේෂ ආර්ථික කලාප බිහි කරන ලදී. පසුව ජියෑං සෙමින් (Jiang Zemin)  සහ               හු ජින්ටාඕ ( Hu Jintao) යන නායකයන් යටතේ චීනය වඩාත්  විවෘත කෙරිණි.

මෙම වර්ධනයන් ගැන අදහස් පළ  කළ  විවිධ බටහිර  බුද්ධිමතුන් ප්‍රකාශ කළේ  පක්ෂය සහ ප්‍රාග්ධනය දැන් එකට වෙලී ඇති බවත්, පක්ෂයට නැවත ජනතාවගේ පක්ෂයක් වීම අපහසු වන බවත්ය. මෙම බටහිර  බුද්ධිමතුන් අනාවැකි පළ  කළේ තව කෙටි කාලයකින් දේශපාලන ප්‍රතිසංස්කරණ කරා චීනයට යාමට සිදුවන බවය.

එහෙත්  චීන කොමියුනිස්ට් පක්ෂය ක්‍රියා කරන ආකාරය හොඳින් විමර්ශනය කළහොත් සභාපති මාඕ  සේතුං        විසින් ක්‍රියාත්මක කළ ,  රාජ්‍ය තන්ත්‍රය සහ නිලධාරීවාදය   මඟහැර, පක්ෂය කෙළින්ම මහජනයා වෙත ගොස් ඔවුන්ගේ අදහස් සහ ශක්තීන් ප්‍රයෝජනයට ගන්නා විවිධ අවස්ථා අපට දක්නට පුලුවන. එමෙන්ම පක්ෂය නිරන්තරයෙන් සජීවී කරන මාවත් දෙක අතර අරගලය, 1976 සභාපති මාඕ  සේතුං ගේ මරණයයේන් අවසාන නොවීය. චීන කොමියුනිස්ට් පක්ෂය තුළ  විවිධ අදහස් නියෝජනය කරන පිරිස් සිටින අතර මාවත් දෙක අතර අරගලය දිගින් දිගටම පවතියි.

චීන කොමියුනිස්ට් පක්ෂය සහ වෙළඳපළ   ආර්ථික මොඩලය හමුවේ කඩා වැටුනු සෝවියට් කොමියුනිස්ට් පක්ෂ අතර ඇති ප්‍රධාන වෙනස නම් පවතින තත්වයන්ට මුහුණ දීමට සහ අතීතයෙන් පාඩම් ඉගෙන ගැනීමට චීන කොමියුනිස්ට් පක්ෂයට ඇති  හැකියාවයි. තවද පක්ෂය නිරන්තරයෙන් ම  මාවත් දෙක අතර අරගලයට සංවේදී බවය. ජනාධපති ෂී ජිංපින් ගේ සම්ප්‍රාප්තිය සහ සමාජ මාධ්‍ය භාවිතා කරමින් ජනතාවගේ අදහස් සෘජුව දැන ගැනීමේ සිට  ධනපති පන්තියට චීන රාජ්‍ය තන්ත්‍රය හැසිරවීමට ඇති අවස්ථා නැති කිරීම දක්වා  පසුගිය වසරවල චීනය ගමන් ගත් මාර්ගය දෙස බලන කළ , අපට පෙනේනනේ   චීන කොමියුනිස්ට් පක්ෂය මාඕ සේතුං  චින්තනය  සහ සමාජවාදය චීන කොමියුනිස්ට් පක්ෂය මඟින් අත හැර නැති බව සහ මාවත් දෙක අතර ඇති අරගලයට තවමත් පක්ෂය සංවේදී බවය. මෙම ක්‍රියා මාර්ගය පක්ෂය විසින් න්‍යායාත්මකව නම් කරනුයේ “ චීන ගතිලක්ෂණ සමාජවාදය” වශයෙනි.

1921  චීන කොමියුනිස්ට් පක්ෂය    ආරම්භ කළ යුගයේ සිට මේ දක්වා පක්ෂයට සුවිශේෂී මාක්ස් ලෙනින්වාදී න්‍යායික මාර්ගෝපදේශකත්වය ලබාදුන් නායකයන් තිදෙනකු ඒ ඒ යුග අනුව පක්ෂ ඉතිහාසය තුළ පක්ෂයේ හරය ( Core of the Party) වශයෙන් හදුන්වා දී ඇත . ඉන් පළමුවන නායකයා වන්නේ 1921 ආරම්භක සම්මේලනයට සහභාගී නියෝජිතයන් 13 දෙනා අතුරෙන් හූනාන් ප්‍රාන්තය නියෝජනය කළ මාඕ සේතුං සහෝදරයා වන්නේය .

1976 සැප්තැම්බර් 9 දින සිදුවූ සභාපති මාඕ සේතුං ගේ අභාවයෙන් වසර හතරහමාරකට පසුව 1981 ජුනි 27 දින චීන කොමියුනිස්ට් පක්ෂය විසින්  තෙන් ශියාඕ පිං ගේ මාර්ගෝපදේශකත්වය යටතේ  පැවැත්වූ මධ්‍යම කාරක සභාවේ පූර්ණ රැස්විමේ සම්මත කළ , ‘’ පක්ෂ ඉතිහාසයේ ඇතැම් ප්‍රශ්නගැන යෝජනව” මාඕ සේතුං චින්තනය ගැන මෙසේ ප්‍රකාශ කරයි.

“මාඕ සේතුං චින්තනය අප පක්ෂයේ අගනා අධ්‍යාත්මික වත්කම වන්නේය . එය මතුවට එන බොහෝ කාලයකට අපේ ක්‍රියාවට මර්ගදේශකයා වෙනවා ඇත . මාක්ස් ලේනින්වාදයෙන් සහ මාඕ සේතුං චින්තනයෙන් රක්ෂිතව ගෝපිත වූ පක්ෂ නායකයෝත් කාඩර්වරු මහත් සමුහයත් අපේ ව්‍යායාමය සදහා ජය දිනා ගැනීමෙහි ලා කොඳුඇට බලවේගයෝ වූහ. ඔවුහු සමාජවාදී නවීකරණය පිළිබද ව්‍යායාමයේදීඅපේ මහගු බලකනු වෙති; බලකනුව වශයෙන් සිටිනවා ඇත . සහෝදර   මාඕ සේතුං ගේ වැදගත් කෘති අතුරෙන් බොහොමයක් ලියන ලද්දේ නව ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ සහ සමාජවාදී විපර්යාසකරණයේ  වකවානු තුළ වුවද , අපි තවමත් ඒවා නිරතුරුව අධ්‍යයනය කළ යුත්තේ …… මේ කෘතිවල ඉදිරිපත් කර තිබෙණ මූලික න්‍යාය , මුලධර්ම සහ විද්‍යාත්මක ප්‍රවේශ අතුරෙන් බොහොමයක් විශ්ව  වැදගත්කමකින් යුක්ත නිසා සහ දැන් අපට අගය කළ නොහෙන මාර්ගෝපදේශයන්  සපයන නිසාත්  අනාගතයේ දී දිගටම එසේ කරන නිසාත්ය. … භාවිතාවේ  යෙදී සිටින අතර පැන නගින අළුත් ප්‍රශ්න විසදිමේදීත් , එම  ස්ථාවරය , දෘෂ්ටිකෝණය සහ ක්‍රමය යෙදිය යුත්තෙමු … අපි සහෝදර   මාඕ සේතුං ගේ විද්‍යාත්මක කෘති පිළිබද අපේ අධ්‍යයනය මාක්ස්ගේ , එංගල්ස් ගේ , ලෙනින් ගේ සහ ස්ටාලින් ගේ විද්‍යාත්මක ලේඛන පිළිබද අධ්‍යයනය සමග බද්ධ කළ යුතු වෙමු .”

මියයන මොහොතේ ද චීන කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ද , පක්ෂයේ සහ චීන රාජ්‍යයේ මිලිටරි කමිටුවේ සභාපති ද, 1921 පක්ෂය ආරම්භ කළ යුගයේ සිට ප්‍රධාන න්‍යායික , උපාය මාර්ගික භාවිතයේ නායකයා ද  වූ හෙයින්   සභාපති මාඕ සේතුං  චීන කොමියුනිස්ට් පක්ෂයේ හරය හෙවත් මදය හෙවත් මධ්‍යය වුයේ ය .  “CORE OF THE PARTY” හෙවත් “පක්ෂයේ හරය” යන අර්ථයෙන්  සභාපති මාඕ සේතුං  ගේ අභාවය තෙක් පක්ෂය විසින් පිළිගනු ලැබුවේ ඔහුය. චීන කොමියුනිස්ට් පක්ෂය තුළ  තෙන් ශියාඕ පිං ගේ  නායකත්වය පිහිටුවන ලද්දේ 1978 දෙසැම්බර් මස පවත්වන ලද පක්ෂයේ එකොලොස්වන මධ්‍යම කාරක සභාවේ තුන්වන පූර්ණ සැසි වාරය තුළ දී ය . ඒ ඔහුගේ න්‍යායාත්මක මග පෙන්වීම පක්ෂය පිළිගැනීමෙන් පසුවය. එහෙයින් “තෙන් ශියාඕ පිං ගේ න්‍යායය” , මාඕ සේතුං ට පමණක් දෙවැනි වූ දෘෂ්ටිමය මාර්ගය වශයෙන් පක්ෂ ව්‍යවස්ථාව අනුවම ස්ථාපිතව තිබීමෙනි .

1956 පැවති පක්ෂයේ අටවන ජාතික සම්මේලනයේ දී පක්ෂයේ ප්‍රධාන ලේකම් වූ ඔහු ආණ්ඩුවේ උප අගමැතිවරයකු ද වූ නමුදු පසුකලීනව විටින් විට මුළුමනින් ම බලයෙන් පහ කර තිබිණි . එහෙත් 10 වෙනි මධ්‍යම කාරක සභාව විසින් ඔහු 1975 දී පක්ෂයේ උප සභාපතිවරයකු වශයෙන් ප්‍රථම වරට පත් කරගන්නා ලදී .එහෙත් 1976 ජනවාරි  අගමැති චවු එන්ලායි  මිය ගිය පසු,  1976  අප්‍රේල් 5 දින ටියනාන්මෙන් චතුරශ්‍රයේ පැවති  ශිෂ්‍ය හා  තරුණ උද්ඝෝෂණයෙන් පසුව තෙන් ශියාඕ පිං යළිත් සියළු තනතුරු වලින් පහ කෙරිණි . 1976 සැප්තැම්බර් මස සිදුවූ සභාපති මාඕ සේතුං ගේ අභාවයෙන් පසු,  “හතර දෙනාගේ කල්ලිය’’ නමින් හදුන්වන ලද පක්ෂයේ දේශපාලන බියුරෝ මණ්ඩලයේ  වාම අන්තවාදී කුමන්ත්‍රණකරුවන් වූ ස්ථාවර කාරක සභිකයින් හතර දෙනා, එනම්    ජියාං චින් නම්   මාඕ සේතුං බිරිඳ , න්‍යායාචාර ජාන් චුන්චියාඕ, සංස්කෘතික පෙරමුණේ ප්‍රධානි, යාඕ වෙන්යුවාන් සහ තරුණ කම්කරු නායකයකු වූ  උපසභාපති   වාන් හොන්ග්වන් සියළු බලතලවලින් පහ කරන ලදී.  චීන කොමියුනිස්ට් පක්ෂයේ නව  සභාපති හුවා ගුවෝපං සහ අනෙකුත් නායකයන් එකතු වී  නැවත වරක්  තෙන් ශියාඕ පිං   ඔහු කලින් දරා සියළු තනතුරුවල පිහිටුවා ලනු ලැබීය . හුවා ගුවෝපං ගෙන් පසු නාමික වශයෙන් වෙනත් ප්‍රධානින් සභාපති සහ ප්‍රධාන ලේකම් ධුර ඉසිලුවද , තෙන් ශියාඕ පිං  සිය කැමැත්තෙන්ම , 1989 දී සියළු තනතුරු අත්හැර දැමුවද,  1997 පෙබරවාරි මස මියයන තෙක් ම චීන කොමියුනිස්ට් පක්ෂයේ හරය හෙවත් අනුත්තර නායක ස්ථානය ඉසිලුවේ  තෙන් ශියාඕ පිං  විසිනි.  චීනය  වර්තමානයේ ලබා සිටින ආර්ථික ප්‍රත්‍යහාරයේ නිර්මාතෘවරයා තෙන් ශියාඕ පිං  යැයි අවිවාදයෙන් ම සලකනු ලැබේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ වර්තමාන නායක ෂි ජින්පින්ග්, පක්ෂයේ ද, රාජ්‍යයේ ද අළුත්  පරපුරේ නායකයෙකි. ඔහු උපන්නේ ද චීන විප්ලවයේ ජයග්‍රහණයෙන් පසු 1953 දීය . එහෙත් ඔහුගේ පියා,   ෂි  ශෝන්ග්ෂුන්               එක් කාලයක ආණ්ඩුවේ උප අගමැතිවරයකුද , ජාතික මහජන සභාවේ උප සභාපතිවරයකුද , පක්ෂයේ ප්‍රචාරක අංශ ප්‍රධානියා ව සිටි, පළමු පරම්පරාවේ නායකයකු වුවද , සංස්කෘතික විප්ලව වකවානුවේදී ඔහු සියළු තනතුරු වලින් 1968 දී පහ කර  බරපතල පීඩා වලට ලක්කර දිගු කාලයක් සිරභාරයේ තබන ලදී . මේ කාලයේ ශිෂ්‍යයන් දුර බැහැර ගමමාන වලට යැවිමේ  යුගයේ 1969 දී  දහසය හැවිරිදි ලාබාල ෂි ජින්පින්ග්, එවකට අතිදුෂ්කර ව පැවති  ෂාන්ෂි පළාතේ  යැන්අන්  ප්‍රදේශයේ  ලියාන්ජීයාහ ගම්මානයේ ගල් ගුහාවක් තුළ ජිවත්වූ කෘෂිකාර්මික කම්කරුවකු ලෙස  වැඩකළේය. ඔහු පක්ෂයට සම්බන්ධ වුයේ එකලය. එම ලියාන්ජීයාහ ගම්මානයේ   චීන කොමියුනිස්ට් පක්ෂ කණ්ඩායමේ ලේකම් වීම  ෂි ජින්පින්ග් පක්ෂයේ කාර්යභාරයක් ලැබූ ප්‍රථම අවස්ථාව විය.

එසේ ආරම්භවූ දේශපාලන අධ්‍යාපන සහ පරිපාලන ක්‍රියාදාමය තුළින් වර්ධනයවූ,  ෂි ජින්පින්ග් 2012 නොවැම්බරයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ධුරයට පත් කර ගන්නා ලදී. ඔහුගේ න්‍යායික මාර්ගෝපදේශකත්වය සහ දේශපාලන නායකත්වය 1921 ආරම්භ වූ චීන කොමියුනිස්ට් පක්ෂයේ ද , 1949 පිහිටුවාලන ලද චීන මහජන  සමුහාණ්ඩුවේද, සභාපති මාඕ  සේතුං හට පමණක් දෙවැනිවූ  ප්‍රතිමුර්තියක් ස්ථාපනය කර තිබේ. පක්ෂයේ  සභාපති පදවියක් වර්තමානයේ නොමැති අතර, පක්ෂයේ ප්‍රධාන ලේකම්, රාජ්‍යයේ ජනාධිපති, පක්ෂයේ සහ රාජ්‍යයේ මිලිටරි කමිටු දෙකේම  සභාපති සහ සියළු සන්නද්ධ සේනාවල ප්‍රධාන අණදෙන නිලධාරියා ෂි ජින්පින්ග් වන්නේය.

එම ධුරාවලියට අමතරව පක්ෂය විසින් මීට පෙර කිසිකලක නොකළ ලෙස 2017 ඔක්තෝබරයේ පවත්වන ලද චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වන ජාතික මහා සම්මේලනය සම්මත කරගත් පක්ෂ ව්‍යවස්ථාව පූර්ණ මධ්‍යගත දේශපාලන නායකත්වයක් ඔහුට පවරමින් ව්‍යවස්ථානුකුලවම ෂි ජින්පින්ග් “පක්ෂයේ හරය” යැයි නම්  කර ඇති, පහත උදෘතයෙන් මෙම ලිපිය නිම කිරීම වඩාත් උචිත වන්නේය.

“ පක්ෂයේ  තීරණ වහාම සහ ඵලදායී අන්දමින් ක්‍රියාත්මක කරලීමටද  සමගිය සහයෝගය සමුහික ක්‍රියාවලිය සහතික කිරීමටද , සහෝදර ෂි ජින්පින් හරය වශයෙන් පවතින්නාවූ මධ්‍යම කාරක සභාවේ  ඒකාබද්ධ නායකත්වයේ මධ්‍යගත අධිකාරිය ඉහළින් ඔසවා තැබීමටද , එක එල්ලේ කටයුතු කරමින් නායකත්ව හරය ඉහළින් ඔසවා තැබීමටද, කටයුතු කරමින්,  සමස්ත චිත්‍රය ම කල්පනාවට ගනිමින්, දේශපාලනික ඍජු අවංකත්වය පවත්වාගැනීමේ අවශ්‍යතාවය සිත්හි තදින් ධාරණය කරගනිමින්, පක්ෂයේ සියළු සාමාජිකයන්  සිටිය යුතුය.”

Recommended For You

About the Author: Thusal

Leave a Reply

Your email address will not be published. Required fields are marked *