බිකිනි තහනම සහ පුරුෂාධිපතිවාදය: ක්‍රීඩාවේ ක්‍රීඩිකා ඇඳුමටත් නීති දමන ආකල්ප

“ක්‍රීඩිකාවන්ට තමන්ට පහසු ඇඳුමින් ක්‍රීඩා කරන්න ඉඩකඩ තිබිය යුතු නිසා, අපි එකතුවෙලා ක්‍රීඩිකාවන්ගේ ඇඳුම් සම්බන්ධ නීති වෙනස්කර ගන්න දිගින් දිගටම සටන් කරනවා.”

නෝර්වීජියානු අත්පන්දු සම්මේලනය මෙම ප්‍රකාශය සිදුකළේ, එරට කාන්තා අත්පන්දු (වෙරළ) කණ්ඩායමට පවුම් 1500ක (ඩොලර් 1764ක්) දඩයක් නියම වීමෙන් අනතුරුව යි.

ඔවුන් කළ වරද? ඒ, යුරෝපා ශූරතා තරගාවලියට තරග වැදීමේ දී බිකිනි ඇඳුම් කට්ටලයේ යටිකය ඇඳුම ඇඳීම ප්‍රතික්ෂේප කිරීම යි.

කෙසේ නමුත්, ඊට පෙර දිනයේ දී එක් පැරාඔලිම්පික් මළල ක්‍රීඩිකාවකට දැනුම් දී තිබුණේ ඇගේ යටිකය ඇඳුම “අනවශ්‍ය තරම් කෙටි සහ සිරුර නිරාවරණය කරන” බව යි.

අවාසනාවකට මෙන්, ක්‍රීඩිකාවන්ගේ ඇඳුමට (සහ පොදුවේ කාන්තාවන්ගේ ඇඳුම්වලට) නීතිරීති පැනවීම අලුත් දෙයක් නොවේ.

මේ ලිපියෙන් අප අවධානය යොමු කරන්නේ මෙවැනි ප්‍රසිද්ධ සිදුවීම් කීපයකට සහ ඒවාට එල්ලවූ විරෝධතාවන් කෙරෙහිය.

BBC

බිකිනි ඇඳීම ප්‍රතික්ෂේප කිරීම නිසා අත්පන්දු කණ්ඩායම දඩ කයි

නෝවීජියානු අත්පන්දු (වෙරළ) කණ්ඩායමේ ක්‍රීඩිකාවන් චෝදනා කළේ, අභිනව තරගාවලිය සඳහා තමාට ඇඳීමට නියම වූ බිකිනි කලිසම්, ක්‍රීඩා කිරීමේ දී සිය චලනයන් සීමා කරන, සිරුර අනවශ්‍ය පරිදි නිරාවරණය කරන, සහ අපහසුවක් ගෙනදෙන ඒවා බව යි. එනිසා, ලෝකඩ පදක්කමක් දිනාගැනීම සඳහා ස්පාඤ්ඤයට මුහුණදුන් අවස්ථාවේ දී බිකිනියේ යට කොටස වෙනුවට ඉතා කෙටි කොට කලිසමක් ඇඳීමට (ඉහළ පින්තූරයේ දැක්වෙන අන්දමට) ක්‍රීඩිකාවෝ තීරණය කළහ.

ශූරතා තරගාවලිය ඇරඹීමට ප්‍රථම ජාත්‍යන්තර අත්පන්දු සම්මේලනය සම්බන්ධ කරගත් නෝර්වේ බලධාරීන්, සිය කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට කොට කලිසම් ඇඳීමට අවසර දෙන මෙන් ද ඉල්ලා තිබුණි.

ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුනා පමණක් නොව, නීති කැඩීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ඔවුනට මතක්කර දෙනු ලැබීය. කෙසේ වෙතත්, ක්‍රීඩිකාවන් තරගය සඳහා කොට කලිසමම තෝරාගත් හෙයින්, ක්‍රීඩිකාවකට ඩොලර් 177 බැගින් කණ්ඩායමටම දඩ නියම කෙරිණි.

යුරෝපා අත්පන්දු සම්මේලනය (EHF) මෙම දඩය පනවා තිබුණේ, “අනුචිත ඇඳුම්” හැඳ සිටියේ ය යන හේතුව මත වන අතර, නොර්වේ රාජ්‍යයේ ක්‍රීඩිකාවන්ගේ කොට කලිසම් “ජාත්‍යන්තර අත්පන්දු සම්මේලනයේ අත්පන්දු (වෙරළ) නීතිරීති යටතේ අර්ථ දක්වා ඇති ක්‍රීඩක නිල ඇඳුම් රෙගුලාසිවලට අනුකූල නොවන බව” ඔවුන් ප්‍රකාශකර ඇත.

The women's Norwegian beach handball team in 2018

දඩ ගැසීමට විරෝධතා

නමුත්, මෙලෙස දඩයක් පැනවීම බොහෝ විරෝධතාවන් අවුලුවන්නට සමත් විය.

‘අත්පන්දු ක්‍රීඩකයින්ට ලිහිල්, දිගු උඩුකය ඇඳුමක් සහ ඉහළ කලවා ප්‍රදේශය තෙක් දිගු කලිසම් අඳින්නට හැකි නම්, ක්‍රීඩිකාවන්ටත් ඊට සමාන ඇඳුමක් හැඳීමට නොහැකි ඇයි ද?’ යන්න බොහෝ දෙනා අසා තිබූ පැනය විය.

“වඩාත්ම වැදගත් දේ වෙන්නේ ක්‍රීඩකයින්ට පහසුවෙන් පාවිච්චි කරන්නට හැකි උපකරණ තිබීම යි,” නෝර්වීජියානු අත්පන්දු සම්මේලනයේ ප්‍රධානී කාරේ ගයර් ලියෝ තර්ක කළේ ය. ඔහු ක්‍රීඩිකාවන්ට සහාය දුන්නා පමණක් නොව, ක්‍රීඩිකාවන්ගේ දඩය ගෙවීමට සම්මේලනය ද ඉදිරිපත් විය.

නෝර්වීජියානු වොලිබෝල් සම්මේලනයේ සභාපති එයිරික් සොර්දාල් පැවසුවේ මෙවැන්නකි: “2021 දී, මෙවැනි ගැටලුවක් මතුවිය යුතුවත් නැහැ.”

එරට සංස්කෘතික කටයුතු සහ ක්‍රීඩා පිළිබඳ අමාත්‍ය ආබිද් රාජා ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, “මේක මහා විහිළුවක් – ගතානුගතික, අනවශ්‍ය තරමට පුරුෂ-කේන්ද්‍රික ජාත්‍යන්තර ක්‍රීඩා ලෝකයේ ආකල්පය වෙනසක් සිදුවීම අත්‍යවශ්‍ය යි,” යනුවෙනි.

වෙරළ ක්‍රීඩාවන්හි මෙවන් වෙනස්කොට සැලකීම් ගැන ක්‍රීඩිකාවෝ වසර ගණනාවක් තිස්සේ පැමිණිලි කරමින් සිටි අතර, බිකිනිය සිය ආත්ම ගෞරවය කෙළෙසන, අප්‍රායෝගික ඇඳුමක් බව ප්‍රකාශ කළහ.

“ඕනෑම ක්‍රීඩාවකට නීති අවශ්‍ය යි. නමුත් කාන්තාවන්ට පමණක් බලපාන නීති පද්ධතියක් තියෙනවා නම් අන්න එතන ගැටලුවක් තියෙනවා,” ක්‍රීඩා මාධ්‍යවේදිනී රිනාටා මෙන්ඩෝසා BBC හා ප්‍රකාශ කළා ය.

Doaa Elghobashy of Egypt and Kira Walkenhorst of Germany competing at Rio 2016

“මේ තියෙන්නේ ස්ත්‍රීපුරුෂභාවය නිසා වෙනස්කොට සැලකීම පිළිබඳ හොඳ නිදර්ශනයක්. අවාසනාවට, ස්ත්‍රීපුරුෂභාවය මත වෙනස්කොට සැලකීමේ අවස්ථාවන් ක්‍රීඩා ක්ෂේත්‍රයේ බහුල යි. ඉතාම දක්ෂ ක්‍රීඩිකාවන් බොහෝ දෙනෙක් ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් සමුගැනීමටත් මෙය විශාල ලෙස හේතු වෙනවා,” පෙර නීතිවේදියෙකු ලෙස කටයුතු කර ඇති, වර්තමානයේ ඩිජිටල් මාධ්‍ය අන්තර්ගතයන් නිර්මානකාරිණියක් වන ටොවා ලී BBC සමග පැවසුවා ය.

“ගැටලුව කොට කලිසම් නෙවෙයි. ගැටලුව වෙන්නේ 2021 දීත් කාන්තාවන් ඇඳිය යුතු මොනවා ද, නැත්තේ මොනවා ද කියලා ඔවුන්ට කියන්න යන එකෙයි. මොකද කාන්තා ශරීර තවමත් සැලකෙන්නේ පිරිමින්ගේ ප්‍රයෝජනයට තිබෙන වස්තුවක් විදියට; ඒ නිසා කාන්තා ශරීර ගැන අදහස් ප්‍රකාශ කරන්න, බලපෑම් කරන්න, කාන්තා සිරුර ගැන තීරණ ගන්න හැමෝටම බලයක් ලැබිලා තියෙනවා.”

“ක්‍රීඩා ක්ෂේත්‍රයේ සිටිනා කාන්තාවන්ට ගෞරවයෙන් සලකන්නේ නැහැ. ඔවුන්ට සලකන්නේ ඇස පිනවීමට සිටින්නියන් ලෙස මිස වෘත්තීය ක්‍රීඩිකාවන්ට මෙන් නෙවෙයි,” එදිනෙදා ජිවිතයේ දී කාන්තා සිරුර ලිංගවාදී විවේචනයන්ට මුහුණපෑම පිළිබඳ නිතර සමාජ මාධ්‍යයන්හි ලියන, අදහස් දක්වන ලී වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා ය.

මෙන්ඩෝසා ද මෙයට එකඟ වෙයි: “බිකිනිය ඇඳීමට කිසිම යුක්තිසහගත හේතුවක් නැහැ. ක්‍රීඩිකාවන්ට කොට කලිසම් ඇඳගෙන ක්‍රීඩා කරන්නට දීමෙන් ක්‍රීඩාවට කිසිම ආකාරයක වෙනසක් ඇති වෙන්නේ නැහැ – වෙන මුකුත්ම නැතත්, ඔවුන්ට දැනට වඩා පහසුවක් දැනේවි.”

මෙන්ඩෝසා “Dibradoras” නම් ඩිජිටල් ප්ලැට්ෆෝමයේ සම-නිර්මාපකවරිය යි. ක්‍රීඩා ක්ෂේත්‍රයේ කාන්තාවන්ට ප්‍රධාන පෙළේ මාධ්‍ය නාලිකාවන් මඟින් ලැබිය යුතු නමුත් නොලැබෙන ප්‍රසිද්ධිය එම ප්ලැට්ෆෝමය හරහා ලබාදීම මඟින්, ඔවුනට ලැබෙන අවධානය ඉහළ නැංවීමට අරමුණු කරන බව ඇය පවසයි.

“ක්‍රීඩා තරගාවලි ඇතිකරලා තියෙන්නේ පිරිමින් වෙනුවෙන් – මෙවැනි සිදුවීම් අපට පෙන්නන්නේ එය යි. මේ 2021 වසරේත්, ක්‍රීඩා සංවිධානයන් පාලනය කරන පිරිස, සාමාන්‍යයෙන් ඒ සුදු ජාතික පිරිමි, ක්‍රීඩිකාවන් පිරිමින් පිනවීම සඳහාම ක්ෂේත්‍රයට ඇවිත් සිටින සැරසිල්ලක් විදියට යි දකින්නේ. තමන්ට වඩාත්ම සුදුසු ඇඳුම තීරණය කිරීමේ අයිතිය වෙන්විය යුත්තේ කාන්තාවන්ට. නමුත් ක්‍රීඩා සංවිධානවල පාලනාධිකාරියේ සිටින්නේ ඉතාම සුළු කාන්තාවන් පිරිසක් නිසාත්, බොහෝවිට මේවායේ කාන්තාවන් නොමැති නිසාත්, ක්‍රීඩිකාවන්ගේ හඬ ඉහළට ඇහෙන්නේ නැහැ,” ඇය සිය අදහස් දැක්වූවා ය.

“ක්‍රීඩිකාවන්ගේ අදහස් ගණනකට නොගෙන ඉන්නේ කොහොමද? පාලක මඬුලු සහ අනෙකුත් පිරිස් තවමත් ක්‍රීඩිකාවන්ගේ සිරුරු සහ ඇඳුම් පැළඳුම්වලට නීති පනවන්නේ ඇයි? පැරාලිම්පික් ක්‍රීඩිකාවගේ කොට කලිසම ‘අනවශ්‍ය තරම් කෙටි සහ සිරුර නිරාවරණය කරන’ ලෙස යි සැලකුනේ.”

මෙම ගැටලුවට පළමුවෙන්ම මුහුණ පෑ පිරිස නෝර්වීජියානු ක්‍රීඩිකා කණ්ඩායම නොවන අතර, බොහෝවිට ඔවුන් අවසාන කණ්ඩායම ද නොවනු ඇත.

ඇත්තෙන්ම, නෝර්වීජියානු කණ්ඩායම දඩ කෑමට පෙර දිනයේ, මහා බ්‍රිතාන්‍ය ආබාධිත ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩිකාවක ද, දෙවරක් ලෝක ශූරිය ද වූ ඔලිවියා බ්‍රීන් ‘ගොළුව ගියේ’ ඉංග්‍රීසි කුසලානයට තරග කිරීම සඳහා ‘ඊට වඩා ගැලපෙන’ කොට කලිසම් අඳින්නැ යි ඇයට දැනුම්දුන් නිසා ය.

මෙම දැනුම්දීම එහි නිලධාරියෙකු විසින් සිදුකෙරුණු අතර, ඔහු ඇගේ කොට කලිසම් ‘අනවශ්‍ය තරම් කෙටි සහ සිරුර නිරාවරණය කරන’ ඒවා බව පවසා තිබුණි.

ඉදිරි මස ටෝකියෝහි පැවැත්වීමට නියමිත පැරාඔලිම්පික් තරගාවලියේ කාන්තා කෙටි දුර ධාවකයෙකු සහ දුර පනින්නියක ලෙස තරග වැදීමට සූදානමින් සිටින ඇය පවසන්නේ, මේ පිළිබඳව විවෘතව කතා කිරීම මඟින් අනෙකෙකුටත් මෙයම සිදුවීම වැලැක්වීම ඇගේ අභිප්‍රාය වූ බව යි. ඇය තමා ඇඳසිටි ඇඳුම ‘උස් ඉණක් ඇති බිකිනි ඇඳුමක්’ ලෙස විස්තර කරයි.

“අපට අවශ්‍ය වෙලා තියෙන්නේ තරග කරන වෙලාවට පුළුවන් තරම් සැහැල්ලුවට, බරක් නොදැනී, සුවපහසුවෙන් ඉන්න යි,” ඇය BBC සමග සඳහන් කළා ය.

“මම එවැනි ඇඳුම් අවුරුදු නවයක් තිස්සේ ඇන්දා, මට කිසිම ගැටලුවක් ඇතිවෙලා නැහැ. අපිට අඳින්නට අයිතියක් ඇති දේ අපි අඳින්න ඕනෑ.”

“මේ උදාහරණයන් දෙක එකිනෙකට පරස්පර ලෙස පෙනෙන්න පුළුවන්. නමුත් ඒ එකම කාසියේ දෙපැත්තක්,” ලී තර්ක කරයි.

“කාන්තාවන්ගේ සිරුර දකින්නේ, එයට සලකන්නේ ‘ප්‍රශ්නයක්’ විදියට යි. අපේ සිරුරු එක්කෝ ‘නොහොබිනා’ යි, නැති නම් ‘සෑහෙන තරම් වින්දනීය නැහැ’.”

හිජාබයෙන් සැරසී ක්‍රීඩා කිරීම

Germany's Sarah Voss performs on the balance beam during the women's qualification round of the 2021 European Artistic Gymnastics Championships in the St. Jakobshalle in Basel, Switzerland, 21 April 2021

2016 වසරේ රියෝ ඔලිම්පික් උළෙලේ පින්තූරයක් කරළියට පැමිණි අවස්ථාවේ දීත් මෙම ගැටලුවම මතුවූයේ ය.

වොලිබෝල් (වෙරළ) ක්‍රීඩිකාවන් දෙදෙනෙකුගේ (ඊජිප්තු ජාතික ක්‍රීඩිකාවක් සහ ජර්මානු ජාතික ක්‍රීඩිකාවක්) පින්තූරයක් බොහෝ දෙනෙකුගේ ‘කට කියවීමට’ පාත්‍ර වුණේ ඔවුන්ගේ විශිෂ්ට ක්‍රීඩා කුසලතාවයන් නිසා නොව, ඔවුන් සැරසී සිටි ‘එකිනෙකට නොගැලපෙන’ ඇඳුම් කට්ටලයන් නිසා ය. ඇතැම් පුවත්පත් ප්‍රකාශ කළේ මේ පින්තූරය ‘සංස්කෘති ඝට්ටනයක්’ පෙන්නුම් කරන බව යි.

මේ අර්ථ නිරූපණයන්ට දැඩි දෝෂාරෝපණයක් එල්ල වූ අතර, බොහෝදෙනා මෙම ඇඳුම් ‘ක්‍රීඩාව සතු එක්සත් කිරීමේ බලය’ පෙන්වන බව පැවසූහ.

ඔලිම්පික් වෙරළ වොලිබෝල් තරගයකට පළමු වරට හිජාබයක් පැළඳි ක්‍රීඩිකාව වන්නේ ඊජිප්තු ජාතික දුවා එල්ගොබාශි ය. එකල ඈ සඳහන් කළේ ‘මම අවුරුදු 10ක් තිස්සේ හිජාබ් එක අඳිනවා… ඒක මම ආදරය කරන දේවල් කිරීමෙන් මාව වළක්වන්නේ නැහැ, බීච් වොලිබෝල් කියන්නේ එයින් එකක්.”

එනමුත් එක් පින්තූරයක් අළලා ඇවිලුණු මේ සටන, බොහෝදෙනා අත්විඳි විශාල ගැටලුවක් ඉස්මතු කර පෙන්වීමට සමත්විය.

“ඔබ මොන සංස්කෘතික පසුබිමකින් ආවත්, කාන්තා සිරුරුත් කාන්තා සිරුර අන්දවා පළන්දවා ඇති ආකාරයත් යන දෙකම පොදු අයිතියක් විදියට – තවත් නිවැරදිව කියනවා නම්, පුරුෂාධිපත්‍යයේ දේපලක් ලෙස යි සැලකෙන්නේ,” බ්‍රිතාන්‍ය ජාතික මාධ්‍යවේදිනී හැනා ස්මිත් එකල සටහන්කර තිබුණි.

“ඔබ ක්‍රීඩිකාවක් විදියට මොන ඇඳුම ඇඳන් ක්‍රීඩා කළත්, ක්‍රීඩා බලන පිරිමි අතින් ඔබ විනිශ්චය කෙරෙනවා.”

සෙරීනාගේ ‘කැට්සූට්’

Serena Williams in a black catsuit with a red band at the waits at the 2018 French Open.

2018 ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියට සහභාගි වීම සඳහා සිය මාතෘ නිවාඩුව අවසන් කර පැමිණි එක්සත් ජනපද විශිෂ්ට ටෙනිස් ක්‍රීඩිකා සෙරීනා විලියම්ස්, එම තරගාවලිය සඳහා ඇය ඇඳි ඇඳුම ‘දුෂ්කර ගර්භනී සමයක් ගෙවූ සියලු මවුවරුන්’ වෙනුවෙන් කැප කළා ය. විසිතුන් වරක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනූ මේ ක්‍රීඩිකාව සඳහන් කළේ ඇගේ ‘කැට්සූට්’ එක නිසා ඇයට ‘වකන්ඩාවෙන් පැමිණි රැජිණක්’ (බ්ලැක් පැන්තර් චිත්‍රපටයේ එන) මෙන් දැනුනු බව යි.

එම ඇඳුම නැවත වරක් තරගාවලිය සඳහා භාවිත කිරීමට අවසර නොමැති බව ඇයට දැනුම් දී තිබූ අතර, ප්‍රංශ ටෙනිස් සම්මේලනයේ සභාපති බර්නාඩ් ගිදිචෙල්ලි ටෙනිස් සඟරාව හා සඳහන් කළේ: “මම හිතන්නේ අපි සමහර වෙලාවට ඕනෑවට වඩා දුර යනවා. ඔබ තැනටත්, ක්‍රීඩාවටත් ගරු කළ යුතු යි.”

විලියම්ස් සඳහන් කළේ, දරු උපතේ දී තමාට ජීවිත තර්ජනයක් ඇති කළ ලේ කැටි ඇතිවීමේ රෝග තත්ත්වය මැඩපැවැත්වීමට එම ඇඳුම සහාය වූ බව යි.

නමුත් ඇය පවසන්නේ එකල ඇය ගිදිචෙල්ලි හා ඒ පිළිබඳව සාකච්ඡා කළ බව හා, එය ‘එතරම් ගැටලුවක් නොවේ’, සහ ‘යමක් සිදුකෙරෙන්නේ සෞඛ්‍ය හේතූන් මත බැව් ඔවුන් දන්නේ නම්, එයට විරුද්ධ වීමට කිසිම හේතුවක් ඔවුන්ට නැතයැ’ යි සඳහන් කරමින්, එම තීරණය ගැනීමට තමාට උදක්ම කියා සිටි බව යි.

මෙලෙස වැඩි වැඩියෙන් ක්‍රීඩිකාවන් මේ සඳහා නැගී සිටීමත්, සමාජය එයට පක්ෂව සිය අදහස් ප්‍රකාශ කිරීමත් නිසා, මේ සියල්ල වෙනස්වීම ඇරඹී තිබේ ද?

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දී ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ මුළු සිරුරම වැසෙන ඇඳුම් අඳිති

Germany's Pauline Schaefer-Betz competes in a full-body suit in the Tokyo 2020 Olympic Games

මෙවර ඔලිම්පික් තරගාවලියේ කාන්තා සුදුසුකම් ලැබීමේ වටයට සහභාගි වූ ජර්මානු කණ්ඩායමේ ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ, සම්පූර්ණ ශරීරයම ආවරණය වන අන්දමේ ඇඳුම් අඳිමින්, සිය ක්‍රීඩාව ලිංගිකකරණය කිරීමට විරුද්ධව තව දුරටත් පෙනී සිටියහ.

ඉන් ඇතැමුන් මෙවසරේ මුලභාගයේ පැවැත්වුණු යුරෝපා ශූරතා තරගාවලියට ද මීට සමාන ඇඳුමක් ඇඳි අතර, ළාබාල ක්‍රීඩිකාවන් තුළ ක්‍රීඩාව කෙරෙහි සුරක්ෂිත හැඟීමක් ඇති කිරීමට තමාටත්, තම කණ්ඩායම් සගයින්ටත් අවශ්‍ය වූ බව සාරා වොස් පැවසුවා ය.

බොහෝ ජිම්නාස්ටික් ක්‍රීඩිකාවන් ලියෝටාඩ් ඇඳුම තෝරාගන්නා සහ ජාත්‍යන්තර තරගවල දී සිය දෙපා ආවරණය කරගන්නා ක්‍රීඩිකාවන් ආගමික හේතූන් මත පමණක් එසේ කරනා වාතාවරණයක, එම බොඩිසූට් ඇඳුම් සම්ප්‍රදායට පටහැනිව යයි.

පසුගිය සතියේ පැවති පුහුණුවීම් සැසි අතරවාරයේ ජර්මන් කණ්ඩායම මීට සමාන ඇඳුම් ඇඳ සිටි අතර, ඔලිම්පික් තරගාවලිය සඳහා තෙවරක් සහභාගී වී ඇති සයිට්ස් එවිට ප්‍රකාශ කළේ එය “සුවපහසුව” සම්බන්ධයෙන් ගත් පියවරක් බව යි.

“අපට පෙන්නන්නට අවශ්‍ය වුණේ, සියලු කාන්තාවන්, සියලුදෙනාම, තමන්ගේ ඇඳුම් පිළිබඳ තීරණ සියතට ගත යුතු බව යි.”

සෝල් කැප්

Alice Dearing

සෝල් කැප් ක්‍රීඩාවට හඳුන්වාදීම පහසු නොවුන ද, මේ වන විට රළ යන අත වෙනස් වෙමින් පවතින අයුරක් පෙනී යයි.

අප්‍රිකානු හිසකේ ස්වභාවයන්ට ගැලපෙන පරිදි නිපදවුණු මේ පිහිනුම් හිස් ආවරණ ජාත්‍යන්තර පිහිනුම් තරගාවලි සඳහා භාවිතයට අවසර නොදීමේ තීරණය, ඒ සම්බන්ධයෙන් එල්ල වුණු ප්‍රතිවිරෝධය හේතුවෙන් යළි සලකා බැලෙමින් පවතියි.

සෝල් කැප් සමාගම පවසන්නේ, තමන් නිපදවන පිහිනුම් හිස් ආවරණ “හිසේ ස්වභාවික හැඩයට” අනුකූල නොවන නිසා ක්‍රීඩාවට නුසුදුසුයැ යි FINA, එනම් ලෝක ජල ක්‍රීඩා නියාමන මණ්ඩලය, තමාට දැනුම් දුන් බව යි.

නමුත් මෙම ප්‍රකාශය බොහෝ පිහිනුම්කරුවන්ගේ විවේචනයට ලක්වූ අතර, ඇතැමුන් සඳහන් කළේ කළු ජාතිකයින් පිහිනුම් ක්‍රීඩාවන්ට සහභාගි වීම මෙමඟින් අධෛර්යයමත් කරනු ඇති බව යි.

මෙහි ප්‍රතිඵලයක් වශයෙන් FINA මේ වන විට සඳහන් කරන්නේ, මේ නිෂ්පාදනයන් ‘සලකා බැලෙමින් පවතින්නේ ය” යන්න ය.

අනාගතයේ දීත්, ක්‍රීඩිකාවන් සිය ඇඳුම් නිසා විවේචනය වීමේ පුවත් ප්‍රධාන සිරස්තලයන් බවට පත් නොවීම නම් උගහට ය.

නමුත් ලී පවසන පරිදි නම් මේ සම්බන්ධයෙන් අපට කළ හැකි එක් දෙයක් ඇත. ඒ, “එවැන්නක් දුටු තැන, එහි වරද සෘජුව පෙන්වා දීම” යි.

මක් නිසා ද යත්, “ක්‍රීඩාව කියන්නේ කාන්තාවටත් අයිති තැනක් බව කුඩාකල පටන්ම දැරියන්ට පෙන්වා දිය යුතුය.”

බී.බී.සී. සන්දේශය ඇසුරිණි

Recommended For You

About the Author: Thusal