කාබනික ගොවිතැන සමග ‘මහ පොළොව නිදහස් කර ගැනීමේ‘ ජාතික වගකීම

චින්තක සී ගුණදාස – ලේකම්, ගොවි උදාන ව්‍යාපාරය

පරිසර හිතකාමී නොවන රසායනික යෙදවුම් භාවිතය හේතුවෙන් ශ්‍රී ලාංකීය කෘෂිකර්මය මාරාන්තික කෘෂිකර්මයක් බවට පත්වෙමින් තිබිණි. අන් කවරදාකටත් වඩා සමාජ, ආර්ථික,සෞඛ්‍ය සහ පාරිසරික ගැටලු රාශියකට මුහුණ දෙමින් සිටින බරපතළ අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් සිය කැබිනට් මණ්ඩලය වෙත “දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථික රටාවක් කරා ” යන මැයෙන් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශය හේතුවෙන් තවදුරටත් ශ්‍රී ලංකාවට රසායනික පොහොර ගෙන්වීම සපුරා තහනම් විය. එම නිසා අපේ රටේ ගොවිතැනට රසායනික කෘෂිකර්මයේ සිට ස්වාභාවික ගොවිතැන කරා ක්ෂණිකව වෙනස් වන්නට සිදුවී ඇත.

අද ලෝකයට ගැළපෙන ජෛව විද්‍යාත්මක ගොවිතැන පිළිබඳ පැහැදිලිව අනාවරණය කර ගැනීම අද අප සතුව ඇති වගකීම වේ. ඕනෑම රජයක් ගැනීමට මැලිවන එහෙත් අතිශය දුෂ්කර, නිර්භීතව ගත්තා වූ උදාර තීරණයකි මේ.

එම තීරණය නිසා ශ්‍රී ලාංකීය ගොවීන්ට පමණක් නොව සමස්ත ලාංකීය ප්‍රජාවටම ලැබෙන්නා වූ ප්‍රතිලාභ රාශියකි. මෙම උදාර තීන්දුව ආපිට හැරවීම සඳහා උත්සාහ දරන්නන් සිටීම ද අවාසනාවකි. ජෛව විද්‍යාත්මක ගොවිතැන, රසායනික කෘෂිකර්මයට වඩා දියුණු, විද්‍යාත්මක ගොවිතැන් ක්‍රමයකි. මෙය ලෝකයේ දියුණු රටවල එනම් යුරෝපයේ, ජපානයේ, කොරියාවේ හා චීනයේ පසුගිය දශක දෙක තිස්සේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ශාස්ත්‍රයකි.

ජෛව විද්‍යාත්මක ගොවිතැන යනු පාරම්පරික ගොවිතැන හෝ කාබනික ගොවිතැන හෝ ලෙස හඳුන්වනු ලබන ගොවිතැන් ක්‍රමයක් නොවේ. වැඩි දියුණු කළ බීජ, කාබනික ගොවිතැනට සාර්ථක ලෙස ප්‍රතිචාර නොදක්වන නිසා පාරම්පරික කාබනික ක්‍රමවලට රසායනික ගොවිතැන හා තරග කිරීමට නොහැකිය. ඒත්, වස විස නැති ජෛව විද්‍යාත්මක ගොවිතැනෙන් රසායනික ගොවිතැනෙන් ලැබෙන අස්වැන්නම හෝ ඊට වැඩි අස්වැන්නක් ගැනීමට හැකිය.

ජෛව විද්‍යාත්මක ගොවිතැන

ජෛව විද්‍යාත්මක ගොවිතැන යනු අප වගා කරනු ලබන භෝගයෙන් උපරිම අස්වැන්නක් ගැනීමට හැකි වන පරිදි Rhizophere (රයිසොස්ෆියර්) යනුවෙන් හඳුන්වන පාංශු ක්ෂුද්‍රජීවී ගෝලය (ගොවිබිමේ සජීවී පස් තට්ටුව) වැඩි දියුණු කර ගැනීමයි.

මෙහිදී භෝගයට හිතකර ඇසට පෙනෙන නොපෙනෙන සියලු ජීවීන් එම පාංශු ක්ෂුද්‍ර ජීවී ගෝලයේ උපරිම ලෙස බෝ වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කෙරේ. එම ජීවීන්ට අවශ්‍ය ආහාර (පෝෂ්‍ය පදාර්ථ) සපයා දීම ද සිදු කෙරේ. මෙම ගොවිතැනේදී ගොවිබිම වැඩිදියුණු කරගැනීම සඳහා කාරණා කිහිපයක් උපයෝගි කර ගනී. එනම්, පරිසර පද්ධතියක් ලෙස ගොවි බිම වැඩි දියුණු කිරීම, පාංශු ඛාදනය හෙවත් භූමි හායනය සිදු වන්නට නොදී පසේ සාරවත් බව උපරිමයෙන් රැක ගැනීම, ජෛව විද්‍යාත්මක ඝන හා දියර පොහොර යෙදීම, වල් පැළ වැඩීමට ඇති ඉඩකඩ ඇහිරීම, ජෛව විද්‍යාත්මක ප්‍රයෝග භාවිතයෙන් හා ශාක ශක්තිමත්ව වැඩීමට සැලැස්වීම, කෘමි හා දිලීර උවදුරුවලින් වගාව මුදවා ගැනීම යන කාරණා වේ.

පස සංවර්ධනය කිරීම

දසක ගණනාවක් තිස්සේ රසායනික ගොවිතැන් ක්‍රම භාවිත කිරීම නිසා පස අජීවී වී විනාශ වූ ගොවිබිම්වල පවා ඊළඟ කන්නයේදීම රසායනික ගොවිතැනට සමාන හෝ ඊට වැඩි වස විස නැති අස්වැන්නක් ගැනීමට හැකි ලෙස සංවර්ධනය කිරීම, ජෛව විද්‍යාත්මක ගොවිතැනේ ඇති අපූර්වත්වයැයි.

ජෛව විද්‍යාත්මක ගොවිතැනේදී ශාකයක වඩාත් වැදගත් කොටස වනුයේ කිරි මුල් හා ඒ අවට සිදුවන ක්ෂුද්‍රජීවි ක්‍රියාවලියයි.

ශාකයක මූල මණ්ඩලයේ කෙළවර ඇති සුදු පාට කොපුවක් සහිත කොටස කිරි මුල ලෙස හැදින්වේ. පාංශු ක්ෂුද්‍රජීවී ගෝලයේ ක්ෂුද්‍ර ජීවීන් මඟින් පස්සේ ඇති පෝෂක කොටස් ශාකයට උරා ගත හැකි වන ලෙස සකස් කරන අතර මෙම කිරි මුල් මඟින් ඒවා ශාකයට උරා ගැනීම සිදු කරයි.

මෙම ස්වාභාවික ක්‍රියාවලිය ශක්තිමත් කිරීම ජෛව විද්‍යාත්මක ගොවිතැනයි. එනම් ගහට රසායනික ක්‍රමයේදී සපයා දෙන්නේ සේලයින්ය. ජෛව විද්‍යාත්මක ක්‍රමයේදී දෙන්නේ ආහාරය.

ජෛව විද්‍යාත්මක ගොවිතැන සඳහා වඩාත් සුදුසු වන්නේ ජෛව විවිධත්වය වැඩි නිවර්තන කලාපීය රටවලටය. අප වාසය කරන ශ්‍රී ලංකාව ද නිවර්තන කලාපීය රටකි. එසේ වුව ද අවාසනාවකට මෙන් පසුගිය දශක දෙක පුරාම ජෛව විද්‍යාත්මක ගොවිතැන පිළිබඳව ප්‍රමාණවත් තරම් පර්යේෂණයන් ශ්‍රී ලංකාවේ සිදුවී නොමැත.

රටේ කෘෂිකර්ම විශේෂඥයින් බොහොමයකට හා ව්‍යාප්ත සේවා නිලධාරීන් අති බහුතරයකට ජෛව විද්‍යාත්මක ගොවිතැන පිළිබඳව ප්‍රමාණවත් දැනුමක් නොමැත. එබැවින් ඔවුහු තවමත් යල්පැන ගිය රසායනික කෘෂිකර්මය ප්‍රවර්ධනය කරමින් සිටිති.

දීර්ඝ කාලයක් පුරා වර්ධනය වන අඛණ්ඩ භූමි හායනය කෘෂිකර්මයේ අවදානම් අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකිය. ශ්‍රී ලංකාවේ සමස්ත භූමියෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් පාංශු ඛාදනයට ලක්ව ඇති බවට ඇස්තමේන්තු කර ඇති අතර ඛාදනය සමානුපාතිකය ඇතැම් දිස්ත්‍රික්කවල 10% ට අඩු වන අතර ඇතැම් දිස්ත්‍රික්කවල 50% ට වඩා වැඩි වේ.

පසේ සාරවත් බව අඩු වීම හේතුවෙන් රටේ කෘෂිකාර්මික ඉඩම්වල ඵලදායිතාවය අඩුවන බව පොදුවේ විශ්වාස කෙරේ. පසේ සරු බව අඩු වෙමින් පැවතිය ද භෝග ඵලදාව එලෙසම පවත්වාගෙන යෑමට හැකි වී ඇත්තේ රසායනික පොහොර භාවිතය මත අධික රඳා පැවතීම මඟින් බව අවබෝධ කර ගත හැකිය.

මෙසේ පසට බාහිරෙන් එකතු කරන ද්‍රව්‍ය පිළිබඳ ගොවීන් පමණක් නොව නිලධාරීන් ද ඉතාම ගැඹුරින් තේරුම් ගත යුතුය.

පසේ එකම කාර්යය කෘෂිකර්මය සඳහා මාධ්‍යයක් වීමම නො⁣වන බව අප වටහා ගත යුතුය. පස වෙනස් දැවැන්ත පාරිසරික සේවා රැසක් සපයයි.

පස යනු හොඳම ස්වාභාවික ජල පෙරණයකි. පස දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීමටත් ඊට අනුහුරු වීමටත් ආධාර කරයි. නීරෝගි පස යනු විශාලතම භූගත කාබන් සංචිතයයි. පස දුර්වල ලෙස කළමනාකරණය කළ හොත් හෝ තිරසර නොවන වගා ක්‍රම අනුව වගා කළ හොත් මෙම පාංශුගත කාබන්, කාබන් ඩයොක්සයිඩ් ලෙස වායුගෝලයට නිදහස් විය හැකි අතර මෙය දේශගුණික විපර්යාසවලට දායක විය හැකිය. දේශගුණික විපර්යාසයන් ආහාර සුරක්ෂිතතාවයට බරපතළ තර්ජනයකි.

පාංශු දූෂණය

විද්‍යාත්මක සොයාගැනීම්වලට අනුව පාංශු දූෂණය සෘජුවම මිනිසාගේ සෞඛ්‍යයට බලපෑම් එල්ල කරනු ඇත. පාංශු හායනය හා දූෂණය මානව ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයකි. තිරසර නොවන භූමි පරිහරණ ක්‍රම සහ කෘෂිකාර්මික ක්‍රම හේතුවෙන් පාංශු හායනය කාලයක් පුරා අඛණ්ඩව සිදු වෙමින් පවතී.

පසට වැලඳෙන රෝග අතරින් වඩාත්ම පැතිරී ගිය හා වඩාත්ම බරපතළ රෝගය පාංශු ඛාදනය හෙවත් සෝදාපාළුවයි.

පෙර නොවූ විරූ පරිදි සාරවත් පස මහත් විනාශකාරී ලෙස ප්‍රයෝජනයට ගනු ලැබුවේ හරිත විප්ලවය අපට හඳුන්වා දීමෙන් පසුවය. සෝදා පාළුවෙන් සිදු වූ හානිය කිසිවිටකවත් අපි ගණන් බැලීමක් සිදු කර නොමැත. පාංශු ඛාදන අනතුරු ගැන අවබෝධයෙන් හිඳිමින් එය මැඬ පැවැත්වීම සඳහා විශිෂ්ටතම ශිල්පයක් දියුණු කරගත යුතුව ඇත. ඒ සඳහා වගකිව යුතු බලධාරීන් ක්‍රියාත්මක විය යුතුය.

පාංශු හායනය වැළැක්වීම සඳහා අවශ්‍ය නීති ශ්‍රී ලංකාවේ පවතින අතර ඒවා බලාත්මක කිරීමේ කාර්යය අද දවසේ ඉතාම වැදගත් කාර්‍යයක් වනු ඇත. මෙසේ ස්වාභාවික ආපදා තත්ත්වයන් හමුවේ මෙන්ම විවිධ ජාවාරම්කාර ව්‍යාපාර හමුවේ දිනෙන් දින ඉහළ යන පාංශු ඛාදනය වළක්වා ගැනීමට පස සංරක්ෂණ පනත සක්‍රියව ක්‍රියාත්මක කරලීමේ දැඩි අවශ්‍යතාවයක් පවතී.

1951 අංක 25 දරණ පස සංරක්ෂණය පිළිබඳ ආඥා පනත 1996 අංක 24 දරන පස සංරක්ෂණ පනත මඟින් සංශෝධනය වී ඇත ඒ මඟින්, පසේ නිෂ්පාදන ධාරිතාව වැඩි දියුණු කිරීම සහ පවත්වාගෙන යෑම, තත්ත්වය පහත වැටී ඇති ඉඩම් යථා තත්ත්වයට පත් කිරීම, පස සංරක්ෂණය කිරීම, ගංවතුර, ලවණතාවය, ක්ෂාරත්වය සහ ජලය එකතු වීම, නියමිත සිදු වන අලාභ හානි හමුවේ ඉඩම් ආරක්ෂා කිරීම මෙහි මුඛ්‍ය අරමුණ වී ඇත.

අනාගත පරපුර උදෙසා පස සුරැකීමේ ජාතික වගකීම ඉටු කිරීම වෙනුවෙන් මේ පනත සක්‍රීයව ක්‍රියාත්මක කරවිය යුතුය. ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මඟින් ප්‍රකාශයට පත් කරන ලද “පාංශු දූෂණය සැඟවුණු යථාර්ථයක් “(Soil Polluton a Hidden Reality) වාර්තාවට අනුව පාංශු දූෂණය යන්නෙන් අදහස් කරනුයේ පස තුළ රසායනික ද්‍රව්‍ය හෝ වෙනත් සංඝටක ආගන්තුක ලෙස අඩංගු වීම හෝ නියමිත සාන්ද්‍රණයට වඩා වැඩියෙන් අඩංගු වීමත්, එමඟින් ඉලක්කගත නොවන යම් ජීවීන් වෙත අහිතකර බලපෑම් ඇති කිරීමයි. පාංශු දූෂණය සෘජු ලෙස තක්සේරු කිරීමට, ඇසින් දැක ගැනීමට නොහැකි බැවින් එය සැඟවුණු අනතුරකි.

භූමි හායනය පිළිබඳ මතු වී ඇති නව අභියෝගවලට මුහුණ දීම සඳහා පස හා භූමිය සම්බන්ධ සියලු නීති ක්‍රියාත්මක කිරීමත් තිරසර භූමි කළමනාකරණය පිළිබඳ මාර්ගෝපදේශයක් වහ වහා පිළියෙල කළ යුතුව ඇත. එසේම ඒ පිළිබඳව සියලු තාක්ෂණික ක්‍රමවේදයන් සැකසීම හා ප්‍රවර්ධනය කළ යුතුය.

2009 අංක 1 දරන පස සංරක්ෂණ නියෝග ක්‍රියාවට නැංවිය යුතුය. පනත යාවත්කාලීන කළ යුතුය.

බීජ රැක බලා ගැනීම

ගොවිතැන ඇරඹුණ දා පටන් ගොවීහු වසර දහස් ගණනක් පුරාවටම තමන්ගේම බීජ රැක බලා ගත්හ. තමන්ගේ වගාව තුළින් වඩාත්ම හොඳම බීජ තෝරා බේරාගෙන එහි වර්ධනය දියුණු කරමින් එකිනෙකා අතර බෙදා හදා ගනිමින් වගා කළහ. ඒ මඟින් ඔවුහු මිලියන ගණනක් ලොව පුරා ජනතාවගේ සාගින්න නිවු අතරම ලෝකයේ ජෛව විවිධත්වය ද ආරක්ෂා කළහ.

ලෝක වෙළෙඳාම තුළ ප්‍රාග්ධනය හසුරුවන්නන්ට සදාචාරයක් නොමැත. ගොවිතැන සඳහා වස විස වෙළෙඳාමත් බීජ වෙළෙඳාමත් සමාගම් කිහිපයක අතිවිශාල ලාභ ගෙන දෙන ව්‍යාපාරයක් බවට පත්ව ඇත්තේ ලක්ෂ සංඛ්‍යාත ගොවීන්ගේ ජීවිකාවන් හා මහ පොළාවේ ජීවය විනාශය කරා ගෙන යමින්ය.

අමෙරිකාව, එංගලන්තය, යුරෝපය වැනි ප්‍රබල රටවල්වල විද්‍යාගාර තුළ පරීක්‍ෂණ කරන ලද දෙමුහුන් බීජයන් සහ රසායනික ද්‍රව්‍යයන් මත පදනම් වූ මේ අවිද්‍යාත්මක කෘෂිකර්මය හේතුවෙන් අද වන විට ගොවීහු කෘෂි රසායනික සමාගම්වල එළිමහන් සිරකරුවන් බවට පත් කර ගනිමින් සිටියා වූ මෙහොතක ඔවුන් ඒ මාරාන්තික කෘෂිකර්මයෙන් නිදහස් කරනු ලැබුවේ ජනාධිපතිතුමාය.

එදා වැඩි අස්වනු සපයා දෙන බීජ අපේ ගොවීන් අතට පත් විය. අස්වැන්න වැඩි කර ගන්නට ගොසින් අපට සිදුව ඇති විනාශය හා ලෝකයට සිදුව ඇති විනාශය නෝමන් බොලොග් විසින් හඳුන්වා දුන් පිටික් 62 හා පෙන්ජාමෝ 62 යන වැඩි දියුණු කළා වූ තිරිගු බීජ වලින් ආරම්භ වූ බීජ මංකොල්ලය වර්තමානය වන විට දැවැන්ත බීජ මාෆියාවක් බවට පත්වී ඇත. වර්තමාන බීජයට දෙවන පරම්පරාවක් නැත. බීජවල අයිතිය සමාගම් සතුය. සොබාදහම සතුව තිබු බීජයේ අයිතිය අවිද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ තමන් සතු කර ගන්නට සමාගම්වලට හැකි වී ඇත. බීජය තමන් සතු කර ගැනීමෙන් නොනැවතුණු සමාගම් විසින් ගෙන ඇති නවතම උත්සාහය නූපන් දරුවන්ටත් මරු කැන්දන ජානමය වෙනස් කරන ලද බීජ නිපදවා ගැනීමයි. මෙම ආහාර නිසා නොසිතූ විරූ ලෙස ලෙඩ රෝග ඇති වන බවටත් අනාගත මානවයාට පමණක් නොව ගහ කොළ සතා සිව්පාවට පවා වින කටින බවත් ලෝ පුරා විරෝධයක් ඇති වෙමින් පවතී.

බීජයේ අපූරු ගුණ

සොබාදහම විසින් බීජයට දී තිබූ අපූරු ගුණ විකෘතිතාවයට පත් කර අස්වැන්න වැඩිකර ගන්නටත්, පළිබෝධ පාලනය වීමටත්, ලෙඩ රෝග හා පාරිසරික උවදුරුවලට ඔරොත්තු ද දිය හැකි අන්දමට ජානය වෙනස් කරනුයේ ඌරකුගේ, ගෝනුස්සකුගේ, නයකුගේ, හූනකුගේ හෝ වෙනත් ඕනෑම සතකුගේ ජානයන් උපයෝගී කර ගන්නට ජාන වඩුවන් කිසි විටෙකවත් නොපැකිළෙනු ඇත. මේ එකතු කරනු ලබන සත්ත්ව හෝ ශාක ජානයන් මිනිසාට මිනිස් සෞඛ්‍යයට කොතරම් හිතකර ද යන්න ගැන ද ජාන වඩුවා සලකන්නේ නැත. මෙම බීජයන් හේතුවෙන් බරපතළ පාරිසරික සෞඛ්‍යයට හා සංස්කෘතික ගැටලු රාශියක් ඇති වී තිබේ.

අපේ රටේ ගොවිජනතාව පත්ව ඇති මේ අභාග්‍යසම්පන්න තත්ත්වයෙන් ගොඩ එන්නට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් සිය උපදෙස් මත ක්‍රියාවට නංවන වස විසෙන් තොර ශ්‍රී ලංකාවක් වෙනුවෙන් මහපොළෙව නිදහස් ජාතික වැඩසටහන තුළින් දේශීය බීජයන් නැවත නැවත වැඩිදියුණු කර භාවිත කරමින් බෝ කර ගැනීම සඳහා වු ජාතික වැඩපිළිවෙළක් සකසා නොගත හොත් තව කන්න කීපයකින් බීජ මිල 300% -400% කින් ඉහළයාම වළක්වා ගත නොහැකි තත්ත්වයට පත්වනු ඇත.

Recommended For You

About the Author: Thusal