‘මම කී සැරයක් වැසිකිළි යනවා ද කියලා මගෙන් ඇහුවා’

වසර 25ක්ම එකම ආයතනයේ සේවය කිරීමෙන් පසු, තමාට නව රැකියාවක් සොයාගැනීමට අපහසු වනු ඇතැ යි ජැනට් ඇස්පින් සිතුවා ය. නමුත් එහිදී තමා දිනකට කී වරක් වැසිකිළිය භාවිත කරන්නේදැ යි සිය නව හාම්පුතා දැනුවත් කිරීමට සිදුවනු ඇතැ යි ඇය බලාපොරොත්තු වූයේ නැත.

එංගලන්තයේ ලැන්කෂයර්හි ඩාවින් නගරයේ වෙසෙන හතළිස් හැවිරිදි ජැනට්, සිරුරේ ස්නායු පද්ධතියට බලපෑම් කරන ‘මල්ටිපල් ස්ක්ලෙරෝසිස්’ නම් රෝගයෙන් පීඩා විඳින්නියකි.

සිය රෝගී තත්වය සේවායෝජකයින් සමග සාකච්ඡාවට ගැනුනායින් පසු කතාබහ ඇදුනේ තමන්ට කළ නොහැකි දේවල් දෙසට මිස, කළ හැකි දේ සම්බන්ධයෙන් නොවේයැ යි ජැනට් පවසයි.

“මට කවදාවත් මෙහෙම දුකක් දැනිලා නැහැ”

ජැනට් මේ වන විට සාර්ථක පුද්ගලික සහායක ව්‍යාපාරයක හිමිකාරිණියකි.

නමුත් මෑතක දී, ඇය විසින් රැකියාවක් සඳහා අයදුම් කෙරුණු ආයතනයක් ඇගේ බලපොරොත්තු කඩකර දැමුවේ ය. ඔවුන් ඇගේ රෝගී තත්ත්වය තේරුම් නොගත් අතර, ඇයට එම රැකියාවේ යෙදීම සඳහා අත්‍යවශ්‍ය වනු ඇති සාධාරණ වෙනස්කම් කීපයක් සිදුකිරීම පිළිබඳ කිසිදු අවබෝධයක් ද ඔවුනට නොවීය.

වසංගත සමය අතරතුරේ ජැනට්ගේ රැකියාව අහිමි විය. ආබාධිත තත්ත්වයකින් පෙළෙන්නෙකුට නව රැකියාවක් සොයාගැනීම දුෂ්කර බව ඇය පැවසුවා ය.

“මට කවදාවත් මෙහෙම දුකක් දැනිලා නැහැ,” ඇය කියා සිටියා ය. “මම රස්සාවකට අයදුම් කළා, මට ඒ රස්සාව ලැබුනා. නමුත් ඊට පස්සේ මට කියනවා මම ආබාධිත නිසා අවදානම් තක්සේරු ගොඩක් කරන්න ඕනෑලු.

“එක වතාවක් එයාලට දැනගන්න ඕනේ වුණා මට පියවර කීයක් ඇවිදින්න පුළුවන් ද, මම දවසට කී සැරයක් වැසිකිළිය භාවිතා කරනවා ද කියලා.

“ඒක මගේ ආත්ම විශ්වාසයට ලොකු පහරක් වුණා. මට හැඟුනා මම අසාර්ථක මනුස්සයෙක් කියලා. රැකියාවක් ලබාගන්න තරම් මට සුදුසුකම් තිබුණා. ඒත් ඊට පස්සේ එක සැරේම මා ඉස්සරහට ලොකු බාධකයක් ඇවිත්, මගේ ආබාධිත තත්ත්වය නිසා.”

එංගලන්තයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් කණ්ඩායමක් පවසන්නේ රජය ආබාධිත පුද්ගලයින් මුහුණපානා මේ බාධාවන් ඉවත් කිරීමට අසමත්ව සිටින බව යි.

Katie Cheval
,කේටි ශෙවල් පවසන්නේ සාර්ථකව රැකියාවක් සොයාගැනීමට නොහැකි තරම් තමා ආබාධිතයැ යි එහි උපදේශකයින් ඇයට දැනුම්දුන් බවය

සේවානියුක්ති පරතරය

රජයේ රැකියා වැඩසටහනට ‘සම්පූර්ණ අලුත්මුහුණුවරක්’ අවශ්‍ය බව එංගලන්තයේ රැකියා සහ විශ්‍රාම වැටුප් කමිටුව ප්‍රකාශ කරයි.

කමිටුවේ මන්ත්‍රීන් මේ සම්බන්ධයෙන් පුණ්‍යායතන, ආබාධිත පුද්ගලයින්ගේ සංවිධාන, සහ රැකියා සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ඇමතිවරුන්ගෙන් සාක්ෂි විමසා ඇත.

කමිටුවට පැවරුණු කාර්යයභාරය වූයේ ආබාධිතයින්ගේ සේවානියුක්ති පරතරය දෙස අවධානය යොමු කිරීම යි. මේ වන විට ආබාධිත නොවන පුද්ගලයින්ගෙන් 81%ක් රැකියාවක නිරත වන නමුත්, ආබාධිත පුද්ගලයන් අතරින් රැකියාවක නිරත වන්නේ 50%ක් පමණි.

කමිටුව පවසන්නේ, දැනට රජය සතු සැලැස්ම වන, 2027 වන විට ආබාධිත පුද්ගලයින් මිලියනයක් ශ්‍රම බලකායට හඳුන්වාදීමේ ඉලක්කය පසෙකලා නව ඉලක්කයක් – ආබාධිකත්ව සේවානියුක්ති පරතරය අඩකින් අඩු කිරීම – හඳුන්වා දිය යුතු බව යි.

කමිටුවේ සභාපති, කම්කරු පක්ෂ මන්ත්‍රී ස්ටීවන් ටිම්ස් මෙසේ පැවසුවේ : “වසර ගණනාවක් තිස්සේ ශ්‍රම බලකායේ ආබාධිත පුද්ගලයින් සහ ආබාධිත නොවන පුද්ගලයින්ගේ සංඛ්‍යා අතර පරතරය වෙනස් කිරීමට අපහසු තරමට ඉහළ ගිහින් තියෙන්නේ.”

“වර්තමානයේ භාවිතා කෙරෙන අනවශ්‍ය තරම් මධ්‍යගත කෙරුණු ආධාරක ක්‍රියාවලිය කොහෙත්ම සාර්ථක නැහැ. අපට අලුත්, පෙරළිකාරී ස්ථානීය ප්‍රවේශයක් අවශ්‍ය යි.”

එසේම, රැකියා සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ රැකියා සහ ආධාර ඒජන්සිය වන Jobcentre Plus හරහා සහය පැතීමේ දී ආබාධිත පුද්ගලයින් මුහුණපාන, ආබාධිතබව හේතුවෙන් ගොඩනැගිල්ලට පිවිසීමට නොහැකිවීම, සහ පරිභාෂකයින්ගේ සේවය ලබාගැනීමට නොහැකිවීම ආදී ගැටලු පිළිබඳ සාක්ෂි විමසීම ද කමිටුව සිදුකළේ ය.

කේටි ශෙවල් Jobcentre Plus පිවිසීමට සමත්වූව ද, ප්‍රගතියක් ලැබීමට සමත්වූයේ නැත. කෙන්ට් ප්‍රදේශයේ වෙසෙන තිස් හැවිරිදි කේටි පවසන්නේ සාර්ථකව රැකියාවක් සොයාගැනීමට නොහැකි තරම් තමා ආබාධිතයැ යි එහි උපදේශකයින් ඇයට දැනුම්දුන් බව යි.

ඇයට චල්‍යතා ගැටලු, ෆයිබ්‍රෝමයැල්ජියා නම් ස්නායුක ආබාධය, සහ ඉගෙනීමේ දුබලතා තිබේ.

ඇගේ ප්‍රාදේශීය Jobcentre ආයතනයෙන් සහායක් නොලැබුණ ද රැකියාවක් සොයාගැනීමට කේටි සමත්වුණා ය. නමුත් තමා සිය වෘත්තීය ජීවිතය පුරාවටම ආබාධිකත්වය හේතුවෙන් වෙනස්කොට සැලකීමට භාජනය වන්නේයැ යි දැනෙන බව ඇය සඳහන් කරයි.

වර්තමානයේ දී ඇය පාවිච්චි කළ භාණ්ඩ අලෙවිසැලක සහකාර කළමනාකාරිණිය යි. එහිදීත්, ආබාධිත පුද්ගලයින් සඳහා වෙන්වූ වැසිකිළිය ඇයටම පිරිසිදුකර ගැනීමට සිදුවූ බවත්, මුදල් අයකැමි කවුන්ටරයේ රාජකාරි කිරීම සඳහා තවමත් තමන්ට පුටුවක් ලබා දී නොමැති බවත් ඇය පවසයි.

ඇය මෙසේ ද සඳහන් කළා ය: “සේවායෝජකයෝ මුලින්ම දකින්නේ අපේ ආබාධය. මම එක රැකියාවකට අයදුම් කරලා සම්මුඛ පරීක්ෂණයට ගියාම මගෙන් මුලින්ම ඇහුවේ, “ඇයි ඔයා කිහිලිකරුවක් පාවිච්චි කරන්නේ?” කියලා.

“ඒ වගේ කතාවලින් මට දැනෙන්නේ මට කිසිම වටිනාකමක් නැහැ, මගේ ආබාධය ලොකු අවහිරයක් කියලා යි. මට වැඩ කරන්න පුළුවන්, ආබාධිතයෙකු වීම ගැන මම ආඩම්බර වෙනවා.”

කමිටුවේ සොයාගැනීම් අතර මෙම කරුණු ද විය:

  • රැකියාවට සුදුසුදැයි පරික්ෂා කෙරෙන ඇගයුම් ක්‍රියාවලිය කාංසාව සහ ආතතිය ඇති කරන අතර, අයදුම්කරු රැකියා වෙළඳපොලෙන් තවත් ඉවතට තල්ලුකර දමයි.
  • ආබාධිත පුද්ගලයින් බහුතරයක් වසංගතය අතරතුරේ වසා දමන්නට සිදුවුණු අංශයන්හි සේවයේ නිරතවූවන් වන අතර, සේවක කප්පාදුවලට හසුවීමේ වැඩි අවදානමක සිටින්නන් ය. රැකියාවල දී ඔවුන්ට බොහෝවිට ලබාදෙන්නේ ආබාධිත නොවන පුද්ගලයින්ට ලබාදෙනවාට වඩා අඩු පැය ගණනකි.
  • ආබාධිත පුද්ගලයින් සාර්ථකව රැකියාවල යෙදවීම සඳහා සේවායෝජක ආයතනයන්ට රජයෙන් ප්‍රමාණවත් තරම් සහායක් නොලැබේ. ඇතැම් අවස්ථාවන්වල දී ආයතනයන් සිය නීතිමය බැඳීම පිළිබඳ නොදැනුවත් අතර, ඇතැම්විට ඔවුන් එය සිතාමතාම නොසලකා හරියි.

එංගලන්ත රජයේ නව ජාතික ආබාධිකත්ව මූලෝපාය, ආබාධිත පුද්ගලයින්ට රැකියා අවස්ථා සැලසීම සම්බන්ධයෙන් එතරම් සාර්ථක නැතැ යි විවේචනය කළ මන්ත්‍රී ටිම්ස්, එය “විශාල බලාපොරොත්තු කඩවීමක්” බව ද ප්‍රකාශ කළේ ය.

කෙසේ නමුත්, රජය වෙනුවෙන් පෙනීසිටි මාධ්‍ය ප්‍රකාශකයෙකු සඳහන් කළේ නවතම දත්තවලින් පෙන්නුම් කරන පරිදි ආබාධිතයින්ගේ රැකියා නියුක්ති පරතරය පටු වී ඇති බව යි.

වර්ෂ 2027 වන විට මිලියනයක පිරිසක් ශ්‍රම බලකායට ඇතුළත්කර ගැනීම මඟින් එම පරතරය තව දුරටත් අඩුකර දැමීමට රජය බලාපොරොත්තු වනබව මාධ්‍ය ප්‍රකාශකයා සඳහන් කළේ ය.

“රැකියා සොයාදීම සඳහා පිහිටුවා ඇති බිලියන කීපයක අරමුදල් සහිත සැලැස්ම මඟින් අපි තව තවත් අයදුම්කරුවන්ට රැකියා සොයාගැනීමට, රැකියාව රැකගැනීමට, සහ රැකියාවේ දියුණුවක් ලැබීමට උපකාර කරනවා. ඒ සඳහා අපි වෘත්තීය පුහුණුකරුවන් සහ ආබාධිකත්ව සේවානියුක්ති උපදේශකයින්ගේ පුද්ගලික සහාය ද ලබාදෙන විශේෂ වැඩසටහන් ඉදිරිපත් කරනවා.”

text by – bbc sandesay

Recommended For You

About the Author: Thusal