කොවිඩ් වසංගතය හා එන්නත්කරණය: ගංවතුරෙන් කැඩෙන ගෙදර වහලේ කාන්දු හැදීම

අගෝස්තු 13 වන දින ජනාධිපති කාර්යාලයේදී පැවතුණු කොවිඩ් මර්ධන විශේෂ කමිටුවේ දී අධි අවදානම් කාණ්ඩ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීම ගැන මදකට හෝ සතුටු විය හැකිය.

එය විධිමත් ලෙස පහළ වූ ශ්‍රේෂ්ඨ අදහසක් ලෙස දැක්වූවත් රජයේ සම්පූර්ණ ක්‍රියාවලිය ගැන සලකා බැලූවිට අවබෝධයෙන් සිදුකළ ප්‍රකාශයක් ලෙස දැකිය නොහැකිය. එය උඩුගම් ඉවුරේ ඇති සියලු දේපොළ විනාශ කරමින් එන සැඩ ගංවතුරක් ගැන දැනුම් ඇති මහදැනමුත්තා, ගඟ අද්දර ඇති තමන්ගේ නිවසේ වැස්සෙන් තෙමෙන ස්ථාන පිළිසකර කිරීම වැනි ක්‍රියාවකි.

මෙහිදී එම අවදානම් කාණ්ඩයේ ඇති පුද්ගලයන් හට PCR පරීක්ෂණ කිරීමට ප්‍රමුඛතාවයක් දෙන මෙන් සලකන ලද්දේ එන්නත්කරණය නොකරන ලද එම අහිංසකයන්ගෙන් මරණ මංචකයට යොමු විය යුතු අය කලින් හඳුනාගැනීමටද ? ප්‍රමුඛතාවය දිය යුත්තේ ඔවුන් ආරක්ෂා කර ගැනීමට මිස ඔවුන් කොරෝනා ගිනි ජාලාවේ ගිනිගෙන දැවෙන්නේ දැයි සොයා බැලීමට නොවේ. එය එන්නත් කරණය තුළිනුත් ඔවුන් සුවිශේෂී ලෙස වෙන්කොට සුරක්ෂණය කිරීමෙනුත් කළ හැක. අවදානම් සියලු දෙනාට PCR කිරීමට සිදු වනුයේ මෝඩකම නිසා වැඩ වරද්දා ගත් විටකදීය.

නිසි එන්නත් කළමනාකරණය කළ යුතුව තිබුණේ සැඩපහර පටන් ගැනීමට පෙරය. අද දින එන්නත්කරණය සම්පූර්ණ කළද, රජයේ නොසැලකිල්ල නිසා අසරණ වූ එම අහිංසක ජනතාව පූර්ණ ලෙස ප්‍රතිශක්තිකරණය වනුයේ තව මසක් පමණ ගතවීමෙන් පසුවය. තමා වෙත එන සැඩපහරේ දරුණු බව අවබෝධ කරගෙන නොමැති වීම ඉතාම කණගාටුවට කරුණකි. විවිධ රටවල කොරෝනා වසංගතය හැසුරුණු ආකාරය සලකා බැලීමේදී ඉතා වැදගත් හේතු ගණනාවක් අවබෝධ කරගත හැක.

ඉතා සීග්‍ර ලෙස කොරෝනා රැල්ල නැග එන විට එය කටයුතු කරන්නේ බුර බුරා නැගෙන ගිනි ජාලාවක් ලෙසිනි. මෙහිදී විද්‍යාත්මක ලෙස සලකා බලන එක සාධකයක් වනුයේ R අගය නම් නියාමකයයි. R අගය යන්නෙන් අදහස් වන්නේ ආසාදිත පුද්ගලයෙකු මගින් ආසාදන කරන ලද පුද්ගලයන් ගණන වෙයි. ගිනි පුලිඟු ලෙස ඇති මූලික අවස්ථාවේදී මෙම R අගය එකක් හෝ ඊට ආසන්න අගයක් ලෙස දක්වා ඇත. එනම් එක් පුද්ගලයෙකු එක් අයෙකු හෝ දෙදෙනෙකු ආසාදනය කරනු ලබයි.

නමුත් අද ශ්‍රී ලංකාවේ ඇති ඉතා සීඝ්‍ර ලෙස නැග එන වසංගත තත්වයකදී මෙම R අගය පහක් හෝ හයක් දක්වා ඉහළ නගිනු බොහෝ රටවල් අත්දැක ඇත. එම අවස්ථාව වන විට සීඝ්‍රගාමී වර්ධන වේගයක් ලබා ගන්නා වසංගතය ගිනි ජාලාව අවට ඇති සියලු දේ දවා හළු කරමින් වේගයෙන් පැතිර යයි. ඉන්දියාවේ හා බ්‍රසීලයේ වැනි රටවල වසංගත වර්ධන චක්‍රය විමසූ කලදී දින දෙකක් ඇතුළත ආසාදිත ජනගහනය දෙගුණ වන අවස්ථා දැක ගැනීමට හැකිවිය.

එවැනි දරුණු ගිනි ජාලාවකට හසුව වියළි පිදුරුසේ දැවී විනාශ විය හැකි අධි අවදානම් ජනගහනය ආරක්ෂා කළ හැක්කේ සම්පූර්ණ ලෙස එන්නත් කරණය කිරීම මගින් පමණකි. එනමුදු ඉහත සඳහන් සීඝ්‍රගාමී වර්ධන වේගය හමුවේ එම පුද්ගලයන් එන්නත් කරන කිරීමට රජය හට මසක පමණ කාලයක් තුළ හැකිවේයැයි යන්න ඉතාම සැක සහගත කරුණකි.

සීඝ්‍රයෙන් නැගඑන වසංගත රකුසා ඊට පෙර එම ජනගහනය බිල්ලට ගනු ඇත. එහිදී කළ යුත්තේ නැගඑන වසංගතය යම් පමණකට හෝ මන්දගාමී කළ හැකි තාර්කික පියවරක් ගැනීම පමණි. එම පියවර ලෙස රජය සංචාරන සීමා තර කිරීම, බුරබුරා ගිනිගෙන දැවෙන නිවසක කොටු වූවන්ට කාමර අතර ගමන් කිරීම තහනම් කිරීමක් වැනි වූ ක්‍රියාවලියකි. වසංගතයේ මෙම පරිණාමික අවස්ථාවේ දී සිදු කළ යුත්තේ ගිනිගෙන දැවෙන ජනගහනය සම්පූර්ණයෙන් සුරක්ෂණ කිරීමේ ක්‍රියාවලියකි.

මෙවැනි තත්වයකට මුහුණ දුන් ඉන්දියාවට, ඇමරිකාවේ ප්‍රධාන වසංගත වෛද්‍ය නිලධාරී Fauci මහතා විසින් ලබා දුන් අවවාදය වනුයේ රට සම්පූර්ණයෙන් සති 6කට වැඩි කාලයක් සම්පූර්ණයෙන් වසා දැමීම සිදු කරන ලෙසය. මෙම උපක්‍රමය චීනය, ඉතාලිය වැනි රටවල ද සීඝ්‍ර ප්‍රවර්ධන වසංගත සමයේ දී යොදවනු අප සැවොම දැක්කෙමු.

මෙමගින් අක්‍රමික එන්නත් කළමනාකරණය මගින් සිදුවූ මෝඩකම නිසා ඇති වන අයහපත් ප්‍රතිඵලය අවම කර ගැනීමට අවශ්‍ය වටිනා කාලය ලබා ගත හැකි වේ. මෙහිදී නැගෙන ගිනි ජාලාව මන්දගාමි කිරීමට අඩු වශයෙන් සති 6ක පමණ කාලයක් වත් මුළු ජනගහනයම හුදකලා කළ යුතු බව මීට කලින් නොයෙක් රටවල අත්දැකීමෙන් ලද දැනුමකි. එය නොයෙක් අවස්ථාවලදී ආචාර්ය මලික් පීරිස් වැනි විශේෂඥයන් විසින් ද පෙන්වා දී ඇත.

අධි අවදානම් පුද්ගලයන්ගෙන් සියයට අසූවක් පමණ ප්‍රතිශක්තිකරණය වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා ප්‍රසිද්ධියේ පිළිගන්නා ලදී. එය එසේ සිදුවී ඇත්තේ කුමන හේතු කාරණා නිසා දැයි බලධාරීන් විසින් නියම පරීක්ෂණයක් සිදුකරන ලද්දේ ද? නැත! එසේ නම් මොවුන් එම හේතු සහ නිසි පියවර ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ යුතුව ඇත. ඉතා පැහැදිලි කාරණයක් වනුයේ මාධ්‍ය ප්‍රසිද්ධිය ලබා ගැනීමට සංඛ්‍යා පෙන්වීම හැර අධි අවදානම් පුද්ගලයන් හට ඇති ප්‍රමුඛතාව පිළිබඳ නිසි ප්‍රචාරක වැඩපිළිවෙළක් රජය කිසි දිනකත් පවත්වාගෙන නොයාම බව පැහැදිලිය.

ඉදිරියට හෝ වැදගත් වන තවත් වැදගත් කරුණක් මෙහිදී මතු කිරීමට කැමැත්තෙමු. එය නම් ප්‍රතිශක්තිකරණය නොකරන ලද රෝගීන් හඹාගොස් ප්‍රතිශක්තිකරණය කිරීමට සිදුකරන මිලිටරි ප්‍රයත්නයයි. එය ඉවුරේ සිට බිලී පිත්තකින් මාලු බෑම වෙනුවට බිලි පිත්ත රැගෙන ගැඹුරු මුහුදේ කිමිදෙමින් මාළු ලුහුබැඳ යෑම වැනි මහදැන මෝඩ ක්‍රියාවලියකි.

මිලිටරිකරණයේ හයිය පෙන්වීමට යාමේදී තමන් වෙත ඇති ඉතා ශක්තිමත් සාධක අමතක වීම මහදැනමුත්තන්ගේ ලක්ෂණයකි. ශ්‍රී ලංකාවේ සිටින සියළුම බෝනොවන දීර්ඝකාලීන රෝගවලින් පෙළෙන රෝගීන් රජයේ හෝ පෞද්ගලික රෝහලක සායනයක් වෙත ලියා පදිංචි වූ අයවේ. එම පුද්ගලයන් තමා තමාගේ සායනික ඉතිහාසය ඉතා හොඳින් සටහන් වී ඇති වෛද්‍ය සේවාවන්ගේ අධීක්ෂණය යටතේ එන්නත්කරණය සිදු කළේ නම් මෙම ක්‍රියාව සතියකින් වුවද දීප ව්‍යාප්ත කළ හැකිය.

බොහෝ අධි අවදානම් පුද්ගලයන් එන්නත් ලබා නොගත් හේතුව වන්නේ ඔවුන් වෙත රජය විසින් නිසි ප්‍රමුඛතා දැනුම ලබා නොදීමත්, මිත්‍යාවන් නිසා එන්නතේ අහිතකර බලපෑම් ගැන ඇති අවිශ්වාසය නිසාත්ය. තමා ප්‍රතිකාර ලබාගන්නා ස්ථාන වෙත ඔවුන් යොමු කළේ නම් ඔවුන්ගේ විශ්වාසය ගොඩනැගීමත්, ඔවුන් කළමනාකරණයත්, ඔවුන් නිසි ලෙස අධීක්ෂණය කිරීමත් ඉතා කාර්යක්ෂමව කළ හැකිව තිබිණි. මිලිටරියේ කීර්තිය සඳහා ඇති ඉතා අධික ආශාව සපුරා ගැනීමට කාර්යක්ෂම සැපයුම් සේවාවන් සඳහා ඉහත ස්ථාන වෙත එන්නත් යොමු කිරීමට ඔවුන් යොදවා ගත්තේ නම් මෙය වඩාත් කාර්යක්ෂම ලෙස කළ හැකිව තිබිණි.

සමස්තය ගැන හේතුඵල ලෙස සලකමින් කුසලතාවයෙන් කටයුතු නොකිරීම ඕලාරික ලක්ෂණයකි. එවැන්නන්ගේ ලක්ෂණය වනුයේ නොවැදගත් කාරණයක් ගැන උත්කර්ෂයෙන් කතා කිරීමෙන් සමස්තය ව්‍යාකූල කිරීමයි. අප්‍රමාදව කටයුතු නොකිරීමයි.

සෞඛ්‍ය විශ්ලේෂකයකු විසිනි

Recommended For You

About the Author: Thusal