ජංගම වෙළෙදාම: පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් හා කොළඹ දිසා ලේකම්ගෙන් නිවේදන

නිරෝධාන ඇදිරිනීතිය ක්‍රියාත්මක වන සමයේ ජංගම වෙළෙදාම් කටයුතු කිරීමට අවශ්‍ය බලපත්‍ර පොලිසිය මගින් නිකුත් නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසීය.

‘‘වෙළෙදාම් කිරීමට අවශ්‍ය බලපත්‍ර බලාගැනීමට පොලිස් ස්ථානවලට පැමිණීමෙන් වළකින ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. නිරෝධාන ඇදිරි නීතිය ක්‍රියාත්මක වන දිනවල වෙළෙදාම් කිරීමට අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරීම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරු හරහා ක්‍රියාත්මක වනු ඇති බවයි අපි සිතන්නේ‘‘ යැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මේ අතර නිරෝධාන ඇදිරිනීතිය ක්‍රියාත්මක වන සමයේ ජංගම වෙළෙදාම සදහා අවසර ලබා දෙන්නේ කොවිඩ්-19 මර්ධන එන්නත් දෙකම ලබාගත් පුද්ගලයින්ට පමණක් බව කොළඹ දිස්ත්‍රික් ලේකම්  ප්‍රදීප් යසරත්න මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා, ‘‘කොළඹ දිස්ත්‍රික්කයේ නිවෙස් වලට ගොස් අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සඳහා අවස්ථාව පවතින්නේ කොවිඩ් මර්දන එන්නත්කරණයට ලක්වූ ජංගම වෙළෙඳුන් සදහා පමණයි. පසුගිය අවස්ථාවන්ට වඩා මෙවර දැඩි සුපරීක්ෂණයක් යටතේ එම කටයුතු අධීක්ෂණය කිරීමට අපි බලාපොරොතත්තු වෙනවා. පාරිභෝගික කටයුතු අධිකාරියත් සමග අවශ්‍ය අවස්ථාවලදී වැටලීම් සිදු කිරීමට ද අපි පියවර ගෙන තිබෙනවා.එමෙන්ම ජංගම වෙළෙඳුන්ගෙන් භාණ්ඩ මිලදී ගැනීමේදී සිදුවන අපහසුතාවයන් පිළිබඳව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට, ග්‍රාම නිලධාරීවරයාට හෝ පාරිභෝගික කටයුතු අධිකාරියට දැනුම්දීමේ හැකියාව ද ජනතාවට තිබෙනවා‘ යැයි පැවසීය.

Recommended For You

About the Author: Thusal