රජරට වකුගඩු රෝගයට හේතුව කෘෂි රසායනද ? කිවුල් ජලය ද ?: තුලනාත්මක විමසුමක්

ලයිසෙන්කෝවාදය (Lysenkoism) නම් ව්‍යාජ විද්‍යාත්මක තර්කයක් ඉදිරිපත් කරමින්, විසි වැනි සියවසේ සෝවියට් සමාජය තුළින් ඉස්මතු වීමේ නොතිත් ආශාවකින් පෙළුණු, නිර්ධන පාන්තික විද්‍යාඥයකු ලෙස තමන් විසින්ම හඳුන්වාගත් ට්‍රොෆිම් ලයිසේන්කෝ (Trofim Lysenko) නමැත්තාට සමාන කළ හැකි චරිතයක් අපේ රට තුළ ද බිහි වී ඇතැයි සිතේ.

වර්ෂ 1930 ගණන්වලදී ලයිසෙන්කෝ විසින් ඉදිරිපත් කරන ලද, ශාක වර්ධනය හා පෝෂණය පදනම් වූ සිද්ධාන්තය, එතෙක් මෙතෙක් සාක්ෂි සහිතව පිළිගන්නට යෙදුණු මෙන්ඩලීනියානු ප්‍රවේණි විද්‍යාත්මක සිද්ධාන්තය සම්පූර්ණ ලෙසම ප්‍රතික්ෂේප කරන්නක් විය. එයට හේතුව ලෙස ඔහු ප්‍රකාශ කරන්නට යෙදුණේ මෙන්ඩල්ගේ සිද්ධාන්තය, මාර්කස් විසින් ඉදිරිපත් කරන්නට යෙදුණු භෞතිකවාදය සහ ඒ හා සබැඳුණු ස්වාභාවික පරිණාමය පිළිබඳ තර්කවලට ප්‍රතිවිරුද්ධ බවයි.

ඓතිහාසික වාර්තා අනුව බොහෝ දුරට ව්‍යාජ ලෙස නිර්මාණය කළ පර්යේෂණ දත්ත හරහා ලයිසෙන්කෝ යම් කාලයක් මුළුල්ලේ සෝවියට් දේශය තුළ ප්‍රමුඛ පෙළේ ශාක ජෛව විද්‍යා විද්‍යාඥයකු ලෙස ප්‍රසිද්ධව සිටි බව සඳහන් වේ.

මෙසේ කෘෂි විද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය දරමින් සිටි ලයිසෙන්කෝ හට ස්ටාලින් විසින් සෝවියට් දේශයේ කෘෂිකර්මය සම්බන්ධ ප්‍රතිපත්ති සැකසීමේ බලතල ලබාදෙන ලදී. ප්‍රවේණිවාදය ප්‍රතික්ෂේප කළ ලයිසේන්කෝ ශාක වර්ධනය හා ඵලදායිත්වයේ එකම තීරක සාධකය හිතකර පාරිසරික තත්ත්ව යන මතයේ පිහිටමින් විවිධ කෘෂිකාර්මික ප්‍රතිපත්ති ඉදිරිපත් කොට ඒ හරහා ප්‍රයෝගික නොවන සැලසුම් ක්‍රියාත්මක කළේය. මෙසේ ඔහු විසින් ඉතා උද්දාමයෙන් ප්‍රකාශ කරන්නට යෙදුණු එක් යෝජනාවක් වූයේ සයිබීරියානු පරිසරය තුළ දොඩම් වගා කිරීමේ හැකියාවයි.

1920 සිට 1930 වර්ෂවල මුල් භාගය අතරතුර කාලයේදී ජෝසෆ් ස්ටාලින් හා එක්ව ලයිසෙන්කෝ විසින් සෝවියට් කෘෂිකර්මාන්තයේ නවීකරණය සඳහා විප්ලවවාදී යෝජනාවලියක් ඉදිරිපත් කරන ලදී. මේ ක්‍රියාමාර්ගය මේ වනවිට ලංකාව තුළ ඉදිරිපත් වී ඇති “ක්ෂණික කාබනිකකරණය” නම් සංකල්පයට ඉතා සමානතාවක් උසුලන බව පෙනී යන්නේ මෙම අදූරදර්ශී කාබනිකකරණ වැඩපිළිවෙළ පිටුපස අප දේශීය ලයිසෙන්කෝ සිටින බැවිනි. අදූරදර්ශී තීරණ සහ වැරැදිසහගත ක්‍රියාමාර්ගවල අනිටු ප්‍රතිඵල විදහා දක්වමින්, ඉතා කෙටි කාලයක් තුළ සෝවියට් කෘෂිකර්මාන්තයේ නවීකරණ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම අසාර්ථක වූ බව ඉතිහාසය විසින් සාක්ෂි දරයි. මෙහි ප්‍රතිවිපාක ලෙස බෝග හානිය හරහා ඇති වූ ආහාර හිඟය හා සාගත තත්ත්වය හේතුවෙන් මිලියන හතක පමණ ජනතාවට සිය ජීවිත අහිමි වූ බව සඳහන් වේ. එහෙත් ස්ටාලින් විසින් තම දැඩි ප්‍රතිපත්තිය වෙනස් නොකරන ලදී. සමකාලීන සමාජවාදී පාලකයකු වූ මාවෝ සේතුං විසින් චීනය තුළ ද 1950 ගණන්වලදී හඳුන්වා දෙන්නට යෙදුණු මෙම වැඩපිළිවෙළ රුසියානු වැඩසටහනට ද වඩා ඉතා අසාර්ථක විය. මෙහි ප්‍රතිඵල ලෙස ග්‍රාමීය ජනතාව කුසගිනි දරාගත නොහැකිව ගස්වල කොළ, පොතු පමණක් නොව කුරුල්ලන්ගේ අපද්‍රව්‍ය ද අනුභව කළ බව සඳහන් වේ. 

1953 වසරේදී ස්ටාලින් මියගිය ද ලයිසෙන්කොගේ වැඩපිළිවෙළ 1964 පමණ වනතෙක් අසාර්ථකව ක්‍රියාත්මක වීමෙන් අනතුරුව ඔහුගේ නමත් සමඟ ඉතිහාසයේ කුණු බක්කියට එකතු විය. පසු කාලීනව එක් ප්‍රකට සෝවියට් විද්‍යාඥයකු සඳහන් කරන්නට යෙදුණේ “ලයිසෙන්කෝ සමඟ ප්‍රවේණි විද්‍යාව සම්බන්ධව කතා කිරීම සමාන වෙන්නේ දොළොස්වරක් ගුණනය නොදන්නා අයකුට අවකලනය පැහැදිලි කිරීමට උත්සාහ කිරීමට” යනුවෙනි.

ඉතිහාසය නැවත වරක් පුනරාගමනය වී තිබේ. අපේ රට තුළ මෑතකදී හඬ අවදි කර සිටින ඇතැම් විද්‍යාර්ථීන්ගේ ක්‍රියාකලාපය දකින විට ලයිසෙන්කෝ පරපුරේ මීළඟ පරපුර ශ්‍රී ලංකාව තුළ බිහි වී ඇතිදැයි සාධාරණ සැකයක් පහළ වේ. පාලක පන්තිය හා ජනතාව නොමඟ යවමින් මෙම ලයිසෙන්කෝලා ඉතාමත් සාවද්‍ය කරුණු කිසිදු විද්‍යාත්මක පදනමකින් හෝ ප්‍රමාණවත් සාක්ෂි විරහිතව ජනගත කරමින් සිටිති.

මොවුන්ගේ පරපුරේ එක් අයකු හිටපු ජනාධිපතිවරයා මුළා කරමින්, රජරට වකුගඩු රෝගය ඇතිවීමේ ප්‍රධාන හේතුව ග්ලයිෆොසෙට් නම් වල් නාශකය බව ඉඳුරා ප්‍රකාශ කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස, බොහෝ පිළිගත් විද්වතුන්ගේ ඉල්ලීම් නොසලකා එම වල් නාශකය ශ්‍රී ලංකාව තුළ භාවිතය තහනම් කෙරිණි. එහෙත් පසුව එම තහනම තේ වගාව සම්බන්ධයෙන් ලිහිල් කිරීමට සිදු වූයේ අපනයනිත තේවල විකල්ප වල් නාශකයක් වූ MCAP රසායනිකයෙහි ශේෂයන් අඩංගු වූ බවට ජපාන වෙළෙඳපොළ විසින් චෝදනා කරන්නට යෙදීමෙන් අනතුරුවය.

දැනට සිදුකර ඇති පර් යේෂණ ප්‍රතිඵල අනුව පැහැදිලිව පෙනී ගොස් ඇත්තේ උක්ත වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව රජරට ප්‍රදේශය ආශ්‍රිතව භූගත ජලයේ කිවුල් ස්වභාවය හා එහි ඇති අධික ෆ්ලු‍රයිඩ් සාන්ද්‍රණයයි. වාර්තා වන ආකාරයට, රජරට ප්‍රදේශය ආශ්‍රිතව මෙවැනි භූගත ජල ප්‍රභව 1,76,000ක් පමණ පවතී.

කඨින (කිවුල්) ජලයේ ඇති ෆ්ලු‍රයිඩ් ප්‍රමාණය සහ නිධන්ගත වකුගඩු රෝගය අතර ඇති සබැඳියාව

ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ යාබද ගම්මාන දෙකක් ආශ්‍රිතව සිදුකරන ලද පර් යේෂණයක් සම්බන්ධයෙන් ඔබගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. මෙම අධ්‍යයනය සිදුකරන ලද ගම්මාන දෙකෙන් ගින්නොරුව පිහිටියේ සාපේක්ෂව උසින් වැඩි ස්ථානයක වූ අතර, එහි ගම වැසියන් තම පානීය ජල අවශ්‍යතාව සපුරා ගන්නා ලද්දේ උස් බිමක පිහිටා තිබූ ළිංවලිනි. එසේ වුව ද යාබද ගම් වූ සාරභූමිය පිහිටා තිබුණේ පහත් තැනිතලා භූමියකය. මෙහි වැසියන් සිය පානීය ජලය ලබාගනු ලැබූයේ අසල වූ ගංගාවකින් සහ නිවාස ආශ්‍රිතව ඉදිකරන ලද ළිං මාර්ගයෙනි. මෙම ගම්මාන දෙකෙහිම වැසියන් ආහාරයට ගත් සහල් නිපදවනු ලැබූයේ සාරභූමියෙහි කෙත්යායන් තුළය. මේ ප්‍රදේශ ආශ්‍රිතව සිදුකරන ලද සමීක්ෂණවලින් හෙළි වූ කරුණක් වූයේ ගින්නොරුව නම් ගම්මානයේ සැලකිය යුතු පිරිසක් වකුගඩු රෝගයට ගොදුරු වුව ද සාරභූමි ගම්මානය තුළින් කිසිදු වකුගඩු රෝගියෙක් වාර්තා නොවූ බවය. මෙම ගම්මාන දෙකෙහි ළිං ජලය ආශ්‍රිතව කරන ලද සමීක්ෂණයේදී පෙනී ගියේ ගින්නොරුව ගමෙහි වූ ළිං ජලය කිවුල් හා අධික ෆ්ලු‍රයිඩ් සාන්ද්‍රණයකින් යුක්ත වූ බවය. එහෙත් එම ජලය තුළ කෘෂි රසායන කිසිවක් අඩංගු නොවී තිබිණි.

ෆ්ලු‍රයිඩ් සහ වකුගඩු රෝගය අතර ඇති සබැඳියාව පෙන්වාදීමට හැකි තවත් සාධකයක් වනුයේ වකුගඩු රෝගයට ගොදුරු වූ බොහොමයක් දෙනාගේ දත් කළු පැහැ වීමේ තත්ත්වයයි.

ඉහතින් දක්වා ඇති නිරීක්ෂණ තහවුරු කිරීම සඳහා එකිනෙකට ස්වාධීනව සිදුකරන ලද පර් යේෂණ පහකට වැඩි ගණනක පර් යේෂණ දත්ත යොදා ගැනුණි. මේ අතරින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධිත එක් පර්යේෂණ කණ්ඩායමක් මඟින් සිදු කරන ලද පරීක්ෂණයකදී

පර් යේෂණාගාර මීයන් කොටස් දෙකකට පාලිත තත්ත්ව යටතේදී වෙන් වෙන්ව ළිං ජලය සහ නළ ජලය බීම සඳහා ලබාදෙන ලදී. පර් යේෂණ කාලයෙන් අනතුරුව පරීක්ෂා කිරීමේ දී තහවුරු වූයේ ළිං ජලය පානය කළ මීයන්ගේ වකුගඩු යම් හානියකට ලක් වී ඇති බවය. නළ ජලය පානය කරන ලද මීයන්ගේ වකුගඩු නීරෝගි විය.

මෙහි දැක්වෙන ප්‍රස්තාරය විද්‍යාත්මක සඟරාවක (BMC Nephropathy, Vol. 20) පළ කරන ලද පර් යේෂණ පත්‍රිකාවකින් උපුටා ගැනුණකි. එයට අනුව වකුගඩු ආසාදිත ප්‍රදේශවල ජනතාව, ඉහතින් සඳහන් කළ පර් යේෂණ ප්‍රතිඵලවලින් පසු, 2014/2015 වකවානුවේ පටන් පිරිසුදු ජල ප්‍රභවයන්ගෙන් හා පිරිපහදු කළ ජලය පානය කිරීමට පටන්ගෙන ඇති අතර, ඒ හා සමගාමීව වකුගඩු රෝගවල පැහැදිලි අඩුවීමක් පෙන්වා ඇත. ගින්නොරුව ප්‍රදේශවාසීන්ට බීමට වර්ෂා ජලය රැස්කරගත හැකි ප්ලාස්ටික් ටැංකි මෙම වකවානුව තුළ සපයා දී තිබේ. අවාසනාවකට සෞඛ්‍ය බලධාරීන්ගේ මෙම පර්යේෂණ ඉදිරියට ගෙන ගොස් නොමැත.

ඉහතින් සඳහන් කළ දත්ත ජාතික වකුගඩු රෝග ඒකකයේ නව වකුගඩු රෝගීන්ගේ දත්ත ආවෙක්ෂණයන් මගින් ද තහවුරු වී ඇති බව පහත වගුවෙන් පෙනී යයි.

වගුව 1: වකුගඩු රෝගීන් සංඛ්‍යාවන්

පෙර ගණනයට පසු රෝගීන් අඩුවීමේ ප්‍රතිශතය වරහන් තුළ දක්වා ඇත.

ඉහතින් සඳහන් කළ දත්ත අනුව ඉතා පැහැදිලි කරුණක් නම්, වකුගඩු රෝගය හා කඨින ජලයේ ඇති සම්බන්ධතාව පිළිබඳව ජනතාව දැනුවත් වීමෙන් අනතුරුව ඔවුන් පිරිසුදු පානීය ජල පරිභෝජනයට පෙළඹීම හරහා වගුගඩු රෝගීන් සංඛ්‍යාව විශාල ලෙස අඩු වී ඇති බවයි. මෙම සංඛ්‍යාව වසර දෙකකට ආසන්න කාලයක් තුළ සියයට 52 සිට සියයට 12 දක්වා අඩුවී තිබේ (1 වන වගුව). මේ වනවිටත් 2019 දත්ත නිකුත් වී නොමැති වුව ද මේ ප්‍රවණතාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පැහැදිලි අවබෝධයක නොසිටීම සහ එය ප්‍රසිද්ධියේ පිළිගැනීමට පැකිලීම ඉතා විවේචනාත්මකය.

කරුණු මෙසේ පවතිද්දී දේශීයව හැඬනගන අය කිහිප වරක්ම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත්තේ ඉහත ප්‍රස්ථාරයේ වකුගඩු රෝගීන්ගේ වැඩිවීමේ කොටස පමණකි. පිරිසුදු ජල පරිභෝජනය හා සමගාමීව ප්‍රස්ථාරයේ වකුගඩු රෝගයේ අඩුවීමේ කොටස හිතා මතා ජනතාවගෙන් සඟවා ඇත. කිසිදු විටෙක වකුගඩු රෝගය හා කිවුල් ජලයේ ඇති සම්බන්ධතාව පිළිබඳව කතා කිරීමට ඉදිරිපත් නොවන අතර කිසිදු පැහැදිලි සාක්ෂියක් ඉදිරිපත් වී නොමැති කෘෂි රසායනවල ඍජු බලපෑම සම්බන්ධයෙන් ඇතැම් අය ඉතා විශාල ලෙස හඬක් නගනු පෙනේ.

රජරට වකුගඩු රෝගය හා කෘෂි රසායනවල සම්බන්ධතාව පිළිබඳව කිසිදු පැහැදිලි සාක්ෂියක් මේ වනවිටත් ඉදිරිපත් වී නොමැත.

Source: BMC Nephropathy Vol. 20, Article No. 338

ප්‍රස්තාරය

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2013 වසරේ කරන්නට යෙදුණු සමීක්ෂණයකට අනුව, වකුගඩු රෝගීන් සුළු සංඛ්‍යාවකගේ මුත්‍රවල කෘමි නාශක හා වල් නාශක ප්‍රමාණ ප්‍රවේශ මට්ටමට (allowable limit) වඩා වැඩි බව පෙනී ගොස් ඇත. ඉහත සංසන්දනාත්මකව වකුගඩු රෝගය නොමැති (පාලක පරීක්ෂණය) ජනයාගේ මුත්‍රවල කෘෂි රසායන ප්‍රමාණය සඳහන් කොට නොතිබුණි. පසුව අප විසින් සියලු‍ මූලික දත්ත නැවත පරීක්ෂාවකට ලක් කරන ලදී. එහි ප්‍රතිඵල දෙවැනි වගුවේ අන්තර්ගත වේ. එයට අනුව අපට පෙනී ගියේ වකුගඩු රෝගී නොවන පුද්ගලයන් වැඩි සංඛ්‍යාවකගේ මුත්‍ර සාම්පලවල රසායනික ඉඩ දිය හැකි ප්‍රමාණයට වඩා තිබී ඇති වගයි. (වගුව 2 බලන්න)

වගුව 2: ඉඩදිය හැකි (allowable) මට්ටමට වඩා වැඩි ප්‍රතිශතවලින් කෘමි නාශක සහ වල් නාශක මුත්‍රවල අඩංගු වූ රෝගීන් ප්‍රතිශත

මූලාශ්‍රය: ලෝක සෞඛ්‍ය සංවිධානයේ වකුගඩු රෝග දත්ත වාර්තාව (මූලික දත්ත) 2013

වගුව 3: කෘෂි රසායන පරිභෝජනය (Kg/ha/yr) 

මූලාශ්‍රය: http://www.worldbank.org/indicator/AG.COM.Fert.2S; https//www.worldometers

අනතුරුව, 2018 වසරේදී ශ්‍රී ලංකාවේදී සිදුකරන විදේශීය විශේෂඥයන් හතළිස්අට දෙනකුගෙන් සමන්විත අන්තර්ජාතික වකුගඩු රෝග උපදේශන වැඩසටහනකදී ද තහවුරු කර තිබුණේ මෙම වකුගඩු රෝගය ඇතිවීම කෙරෙහි කෘෂි රසායනවල බලපෑම තහවුරු කිරීම සඳහා මෙතෙක් කිසිදු සාක්ෂියක් නොමැති බවය.

ශ්‍රී ලංකාව ඉතා විශාල වශයෙන් කෘෂිරසායන  භාවිත කරන රටක් ද?

ඇතැම් අයගේ පැහැදිලි කිරීම්වලට අනුව, ශ්‍රී ලංකාව යනු “විෂ සහිත” කෘෂි රසායන භාවිතයෙන් ඉහළම ස්ථානයක සිටින රටකි. එසේ වුව ද ලෝක බැංකුවේ සහ එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධානයේ දත්තවලට අනුව මෙය සම්පූර්ණයෙන්ම මිථ්‍යාවකි. තුන්වැනි වගුවෙහි දැක්වෙන පරිදි, ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාව යනු ආසියානු කලාපයේ කෘෂි රසායන භාවිතයෙන් ඉතා පහළ පට්ටමක සිටින රටකි. තව ද 2002 සහ 2016 වසර තුළදී ශ්‍රී ලංකාව තුළ 1 වැනි කාණ්ඩයේ (ඉහළ විෂ සහිත) පලිබෝධ නාශක භාවිතය සියයට 98කින් ද 2 වැනි කාණ්ඩයේ පලිබෝධ නාශක භාවිතය සියයට 29කින් ද අඩු වී තිබේ. මෙයින් අදහස් වෙන්නේ ශ්‍රී ලංකාව පලිබෝධ නාශක භාවිතය අතින් ප්‍රශස්ථ මට්ටමක පවතින බව නොවේ. ගොවීන් අතර කෘෂි රසායන අවිධිමත් භාවිතය සැලකිය යුතු ලෙස පවතී. එම ගැටලු‍ව විසඳීම සඳහා රජයේ ප්‍රමුඛතාව අත්‍යවශ්‍යය. මේ සඳහා විධිමත් ලෙස සැකසුණු කෘෂි ව්‍යාප්ති සේවයක් හරහා ගොවීන් දැනුවත් කිරීම අත්‍යවශ්‍යයෙන්ම සිදුකළ යුත්තකි.

පාරම්පරික ප්‍රබේද භාවිතයට නැවත පෙළඹෙමු ද?

තවත් අවිද්‍යාත්මක මාතෘකාවක් වනුයේ දේශීය සහල් පරිභෝජනය සහ පාරම්පරික වගා ක්‍රම අනුගමනය කිරීමේ ඇති අවශ්‍යතාවයි. අවාසනාවට නොදන්නා එක් වැදගත් කරුණක් මෙහි ඇත. එනම්, දැනට වගා කරනු ලබන Bw 364, At 353 සහ Bw 272-6b වැනි වැඩිදියුණු කළ වී ප්‍රබේදවල පාරම්පරික වී ප්‍රබේදවලට සමාන කළ හැකි ප්‍රෝටීන පදාර්ථ ප්‍රමාණයක් සහ ග්ලුකෝස් දර්ශක (glycemic indices) අඩංගු වන බවය. අප පරිභෝජනය කරන ප්‍රධාන ශක්ති ප්‍රභවය වන කාබෝහයිඩ්‍රේට ප්‍රධාන ආහාරය වන සහල්වලින් ලැබෙන අතර සෙසු පෝෂක සංඝටක මස්, මාළු, එළවළු හා පලතුරු මාර්ගයෙන් ලැබේ. අප නැවත පාරම්පරික ගොවිතැනට යන්නේ නම් ප්‍රධාන ශක්තිජනක ආහාරය වන සහල් නිෂ්පාදනය දැනට පවතින අගයට වඩා අඩකින් අඩුවනු ඇත.

හරිත විප්ලවයේ පියා ලෙස සැලකෙන ආචාර්ය නෝර්මන් බොලාෆ් 2000 වසරේදී නොබෙල් සමුළුව අමතමින් ප්‍රකාශ කරන ලද්දේ, ආහාර සුරක්ෂිතතාව රැකගන්නා ගමන් නැවත පාරම්පරික වගා ක්‍රමවලට පිවිසීමට අවශ්‍ය නම්, දැනට වගා කරන බිම් ප්‍රමාණය අවම වශයෙන් තුන් ගුණයකින් වැඩි විය යුතු බවයි. එය එසේ කිරීමට යමකුට අවශ්‍ය වේ නම් ඒ හරහා සිදුවන පාරිසරික හානිය කෙතරම් විය හැකි ද?

ජාතික මට්ටමේ සැලසුම් පද්ධතියක අවශ්‍යතාව

එක් එක් ක්ෂේත්‍රයේ විශේෂඥයන් සමඟ සාකච්ඡා නොකොට ජනාධිපතිතුමා හදිස්සි තීරණ ගැනීමට පෙළඹීම කනගාටුවට කරුණකි. අන් බොහෝ රටවල මෙන් විශේෂඥයන් හා විද්වතුන්ගෙන් සමන්විත ජාතික සැලසුම් සංගමයක් හරහා වැදගත් ජාතික තීරණ ගැනීමට කටයුතු කළ යුතුය. එවැනි සංගමයක් ඉන්දියාවේ ශ්‍රී නේරුගේ යුගයේ සිට (1950) පැවැතුණි. අදත් එවැනි මණ්ඩලයක් නරේන්ද්‍ර මෝඩි අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියා කරයි. තාක්ෂණයට ප්‍රමුඛත්වය දීම සඳහා එහි නාමය ජාතික තාක්ෂණික කමිටුව (NITI Aayagog) ලෙස මෑතකදී වෙනස් කොට තිබේ. යහපාලන යුගයේ එවැනි සැලසුම් මණ්ඩලයක් තිබුණ ද එය හරියාකාරව ක්‍රියාත්මක නොවුණි.

පාම් තෙල් හා කටු පොල් වගා තහනම, එක් කන්නයකින් රටම සහමුලින්ම කාබනික කෘෂිකර්මාන්තයට හැරැවීම වැනි තීරණවලට පෙළඹීමේදී ජනාධිපතිතුමා අවම වශයෙන් අදාළ ආයතනික නිලධාරීන්ගේ අදහස්වත් විමසීමට කටයුතු නොකිරීමේ පලවිපාක ඉදිරියේදී දිස්වනු ඇත.

ආචාර්ය පරාක්‍රම වෛද්‍යනාථ

Recommended For You

About the Author: Thusal